තුන් දෙනෙක් වික්ක පුත්තු සහ පියවරු | සිළුමිණ

තුන් දෙනෙක් වික්ක පුත්තු සහ පියවරු

ප්‍රසන්න, හඳගම සහ විමුක්ති යන සිනමාකරුවන්ට ජනවාර්ගික සාමය පිළිබඳ සිනමා පටයක් නිර්මාණය කිරීම සඳහා යෝජනාකර ඇත. ඔවුහු පශ්චාත් යුද්ධය ප්‍රස්තුත කොට ගනිමින් වෙන වෙනම සිනමා පට තුනක් නිර්මාණය කිරීම සඳහා යාපනයට ගියහ. යුද්ධයෙන් පසු යාපනය සහ ජන ජීවිතය පසුබිම්ව ගනිමින් ජනාවර්ගික සහයෝගය නිරූපණය වන වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කිරීමට වෑයම් කළා නම් ඔවුන්ට අත් වන්නේද කිසලොව්ස්කි මුහුණදුන් ඉරණමටය.

හීන කියන්නේ ලෙහෙසියෙන් දකින්න පුලුවන් වුණාට ලෙහෙසියෙන් ඉෂ්ඨ කරගන්න පුලුවන් දේවල් නෙවි. එහෙම හීනයක් සැබෑ වෙනව කියන්නේ මොන තරම් සතුටක්ද? එහෙම හීන දකින ඒව සැබෑ කරගන්න පුලුවන් අත ලොස්සක් අපි අතර ඉන්නවා. ඔවුන් දකින හීන ඔවුන් විඳිනව විතරක් නෙමෙයි, අපිටත් දකින්න සලස්වනව. මේ හීනවල තියෙන අරුමයත් ඒකයි.මෙහෙම හීන දකින්න පුලුවන් සිනමාකරුවන් විතරයි. කතා කරන භාෂාවෙන් හීන කිව්වට අපිට මේ අය හඳුන්වන්න කථන භාෂව නැතුව බැහැ. 'හීනමාව' කියල නොලියා සිනමාව කියල ලියවෙන්නෙත්, 'හීනමාකරුවන්' නොකියා සිනමාකරුවන් කියල ලියැවෙන්නෙත් ඒ හින්ඳා. චිත්‍රපටයක් කියනවට වඩා සිනමාව කියන නම මේකට උචිතවෙන්නෙ ඒ අර්ථයෙන්.

අද ඉඳන් මේ ඉඩ වෙන් වෙන්නෙ ඒ හීන ගැන ඔබට, මට හිතෙන දේ ලියන්න. ඉතිං මම හිතුවා ආරම්භයක් විදියට 'තුන්දෙනෙක්(Her. Him. The Other)' හා 'පුත්තු සහ පියවරු (Sons and Fathers)' යන සිනමා පට දෙක ගැන යමක් සඳහන් කරන්න.

'තුන්දෙනෙක්' අනෙක් සිනමාපටය සිනමා ශාලාවල නිශ්චිතව පෙන්වන්නේ නැහැ. එය බැලීමට නම් අවශ්‍ය කිසියම් කණ්ඩායමක් විසින් හෝ සංවිධානයක් විසින් එය නිර්මාණ කරුවන්ගෙන් ඉල්ලාගෙන පෙන් විය යුතුය. මෙම සිනමා පටය පිළිබඳව සමන් වික්‍රමාරච්චි මහතා 'විපරිත තුන්දෙනෙක්' යනුවෙන් තැබූ සටහනකින් කොටසක් මෙසේ උපුටා දක්වමි. (වැඩිදුර කියවන්න 3mana.com)

"ක්‍රිස්ටෝපර් කිසලොව්ස්කි නම් සිනමා කරුවා 1977 දී From a Night porter’s point of view යනුවෙන් වාර්තා චිත්‍රපටියක් කළේ ය. එයට ප්‍රස්තුත වූයේ විශ්‍රාම ගිය පෝටර්වරයෙකුගේ ජීවන දැක්ම ය. විනය මහත්කොට ගත් සීමාන්තයෙකු වූ මේ පෝටර්වරයා තම බලය ස්වකීය පුද්ගලික ජීවිතය කරා ද විහිදුවන්නේ හැමෝමත් හැමදේමත් පාලනය කිරීමට ප්‍රයන්ත දරමිනි. රජය විවේචනය කිරීම හෙලා දුටු ඔහු මරණීය දණ්ඩනය පැනවීම අනුමත කරයි. එහෙත් මේ කිසිවකින් ඔහුගේ චිත්තාභ්‍යන්තරය ප්‍රකාශ වූයේ නැත. ඔහු කළේ ආදර්ශ රූපයකුයි තමාටම ආරෝපණය කර ගත චරිතයක් රඟපෑම ය. වාර්තා සිනමාකරුවා බියකරු උගුලක හසුවී ඇත. කිසලොව්ස්කි වාර්තා සිනමාවෙන් ප්‍රබන්ධ සිනමාවට මාරු වෙන්නේ මේ අබග්ගයෙන් ගැලවීමටය. ඒ කියන්නේ කිසිවෙකු සැබෑ ජීවිතය වාර්තාමය ලෙස චිත්‍රපට ගත කරන විට එහි පෙනී සිටින්නවුන් කරන්නේ තමන්ම රඟපෑමය. ඔහුන් පැලඳ සිටින වෙස්මුහුණු ගලවා ඊට යටින් සිටින සැබෑ මිනිසුන් පෙන්විය හැක්කේ කෙලින්ම ඔහුන්ට චරිතයක් රඟපෑමට දී ප්‍රබන්ධය තුළට තල්ලුකර දැමීමෙනි. සාරාංශව කිවහොත් එහි අර්ථය නම භූමිකා රඟන සමාජ යථාර්ථයට වඩා ප්‍රබන්ධය සැබෑළවක් බවය.

ප්‍රසන්න, හඳගම සහ විමුක්ති යන සිනමාකරුවන්ට ජනවාර්ගික සාමය පිළිබඳ සිනමා පටයක් නිර්මාණය කිරීම සඳහා යෝජනාකර ඇත. ඔවුහු පශ්චාත් යුද්ධය ප්‍රස්තුත කොට ගනිමින් වෙන වෙනම සිනමා පට තුනක් නිර්මාණය කිරීම සඳහා යාපනයට ගියහ. යුද්ධයෙන් පසු යාපනය සහ ජන ජීවිතය පසුබිම්ව ගනිමින් ජනාවර්ගික සහයෝගය නිරූපණය වන වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කිරීමට වෑයම් කළා නම් ඔවුන්ට අත් වන්නේද කිසලොව්ස්කි මුහුණදුන් ඉරණමටය. දැන් ඔවුන් Her (ඇය) Him (ඔහු) Other (අනෙකා) යනුවෙන් ප්‍රබන්ධ සිනමා පට තුනක් නිර්මාණය කර ඇත. එක් අතෙකින් මෙය සමාජ ජීවිතයේ ප්‍රබන්ධමය නිරූපණය කිරීමකි. එහෙත් මෙම කෘති ජනවාර්ගික සහයෝගය පිළිබඳ ප්‍රචාරාත්මක නිර්මාණයයි ලේබල් ඇලවීමට කිසිවෙකු උත්සුක වෙතොත් කලබලවීමට හෝ පුදුම වීමට තරම් දෙයක් එහි නැත.

සටහන් පාඨ සිනමාවක් කියා දෙයක් නැත. (මෙම සිනමා පට ත්‍රිත්වය හුදු ප්‍රචාරක සිනමාවකැයි ගන්නා බවත් මින් නොහැඟවෙන බව සලකන්න) ඕනෑම ප්‍රචාරාත්මක සිනමා කෘතියකට වුවත් සිනමාව විපරිත කලාවකැයි යන අපවාදයෙන් ගැලවෙන්නට බැරිය. දෘශ්‍යමාන යථාර්ථය කැමරාවට හසු කර ගන්නා ඊනියා වාර්තා චිත්‍රපටයක් වුවත් විපරිත සිනමාවකි. කෙටියෙන් කිවහොත් කිසලොව්ස්කි කියන්නා සේ කැමරාව මිනිසුන් දෙසට මානන ඇසිල්ලෙන් ඔවුහු රඟපාන්නට පටන් ගනිති. සිනමාව තුළට විපරිත බව එසැනින් කඩා වදී.

යට කී ප්‍රවාදය සමග ඔබ එකඟ නම් ප්‍රසන්නවත් හඳගමවත් විමුක්තිවත් ජාතික ගැටළුව පිළිබද ප්‍රචාරාත්මක කෘති තුනක් නිර්මාණය කර නැති බව වැටහිය යුතුය. ඔහුන් තිදෙනා වෙන් වෙන් ව සිනමාව නම් වූ විපරිත කලාවට (pervert art) අනුගත සිනමා කෘති තුනක් නිර්මාණය කර ඇත. දැන් ඉතිරි සිනමාව විපරිත කලාවක් වන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් ඇති බව සැබෑය.

ඇත්ත. සිනමාව විපරිත කලාවකැයි යන්න ජිජැකියානු ප්‍රවාදයකි. සැබවින්ම අපට ඇති ගැටළුව නම් අපගේ ආශාවන් තෘප්තිමත් වේද නොවේද යන්න නොවේය. ගැටළුව නම් අප ආශා කරන්නේ කුමකටදැයි අප දන්නේද යන්නය. මිනිස් ආශාව පිළිබද ඕපපාතික වූත් ස්වභාවික ලෙස ගත හැකි වූත් කිසිවක් නැත. අපගේ ආශාව කෘත්‍රිමය. ආශා කිරීමට අපට ඉගැන්වීමට සිදුවී තිබේ. සිනමාව නියත ලෙසම විපරිත කලාවකැයි කියන්නේ එය ඔබට ආශා කරන දේ ලබා නොදෙන බැවිනි. ආශා කරන්නේ කෙසේද යන්න නම් එය ඔබට කියා දෙනවා ඇත.

යටකී ප්‍රවාදය මෙම සිනමා ත්‍රිත්වය තුළට පිවිසීමේ යතුර ලෙස භාවිතා වන්නේ නම් අසරණ වන්නේ අපරිමිත මව් සෙනෙහස සහ වාර්ගික සීමා ඉක්මවා ගිය මනුෂ්‍යත්වය ආදී වූ දෘෂ්ටිවාදී කියවීමය. ඇත්ත නම් එකිනෙකට වෙනස් කතා ප්‍රවෘත්තීන් තුනක් ලෙස බැලු බැල්මට පෙනී ගියත් මේවා එකම තේමාවන්ද ප්‍රස්තුත කර ගන්නා බවය. එය කිසිසේත් ජනවාර්ගික අර්බුදය නොවේ. මෙම සිනමා කරුවන් තිදෙනා තම තමාට අනුගත ශෛලියකින් අපට ප්‍රක්ෂේපණය කරන්නේ යථාර්ථය යනු ෆැන්ටසි ප්‍රබන්ධයක් බවය.

වෙසෙසින්ම ප්‍රසන්නගේ සිනමා පටයේ (Her) එන ‘කේසා’ නම් වූ එල්.ටීටී සංවිධානයේ ඡායාරූප ශිල්පියා සහ හඳගමගේ Other හි එන ත්‍රීවීල් රථ රියදුරා දෙදෙනෙකු නොව එක් අයෙකු මෙනි. අර වාර්ගික සීමාව ඉක්මවූ මනුෂ්‍යත්වය කියන දෘෂ්ටිවාදය අනුව විමසන්නේ නම් ප්‍රසන්නගේ චිත්‍රපටයේ දෙමළකු සිටින අතර හඳගම ඔහුට සමාන සිංහලයෙකු හදුන්වා දෙයි. දෘෂ්ටිවාදී මළ පුඬුවක සිරවෙන ඊනියා විචාරකයෙකු මේ දෙදෙනා කියවනු ඇත්තේ මනුෂ්‍යත්වයේ පරමාදර්ශ ලෙසය. එහෙත් සිනමාව යනු විපරිත කලාවකි!" මේ පිළිබඳව ඔබටත් මතයක් ඇත් නම් අපට ඒ ගැන ලියන්න.

මී ළඟට මම තෝරා ගත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය පිළිබද කිසියම් ප්‍රශ්නාර්ථයක් නගන සුමති සිවමෝහන්ගේ ‘පුත්තු සහ පියවරු’ (Sons and Fathers) සිනමා පටයයි. පසුගියදා ඉන්දියාවේ පැවති ජගත් සිනමා උළෙලේදී (2nd Indian World Film Festival) දී ජූරියේ හොදම සම්මානයෙන් (Jury Award for Best Film- Feature) මෙම සිනමා පටය පිදුම් ලැබුවා. මීට ප්‍රථම ඇගේ “ඉන්ගිරිඳු” සිනමා නිර්මාණයත් කැලිෆෝනියා වල දී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව සම්මානයට පාත්‍රවුණා. නමුත් ජගත් සිනමා උලෙළක දී ඇය සම්මාන දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන සිනමාකාරිණිය අපේ රටේ දෙමළ භාෂිත සිනමාපට අධ්‍යක්‍ෂවරියන් අතර පළමු වැන්නා බව සඳහන් කළ යුතුමය.

“පුත්තු සහ පියවරු” සිනමාපටය තුළ ඇය කතා කරන්නේ ලංකාවේ මෑත කාලින ඉතිහාසයේ පරම්පරා දෙකක් ගැන. සිංහල සිනමාපටයක් සදහා දායක වන දෙමළ සංගීතඥයකුගේ පවුල් ඒකකයේ ආසන්න පරම්පරා දෙකක් මුහුණ දෙන දේශපාලන, සමාජ සංස්කෘතික අර්බුදයන් නිරූපණය කිරීමට මෙමඟින් ඇය උත්සාහ ගෙන තිබෙනවා. මෙහි දී හමු වන පළමු පරම්පරාව 77- 83 කාලයන් තුළ සිදුවූ සමාජ අර්බුදයන්ට මුහුණ දෙනවා. ඊළඟ පරම්පරාව ජනවාර්ගික යුද්දයට මුහුණ දෙන පරම්පරාවයි. කථාව සාරාංශමය වශයෙන් මෙසේය." රෙක්ස් පෙරියසාමි සිංහල සිනමාව සඳහා මියුසික් කරන ප්‍රමුඛ පෙළේ දමිළ සංගීතඥයෙකි. සිය වෘත්තීය දිවියේ අති සාර්ථකත්වයට පත්වන සමයේදී ඔහු කාන්ති නම් සිංහල තරුණියක් සමඟ විවාහ වෙයි. මේ දෙපල සංස්කෘතීන් දෙකක එක් වීම හා එමගින් බිහිවූ අපූරු සුසංයෝගයකි. එය මෙරට සිනමාවට ද නව ආලෝකයක් ගෙන දේ. ලකී නම් පුතු හා මාලා නම් දියණිය සමඟින් නව බලාපොරොත්තු හා සෞභාග්‍යයෙන් අනූන දිවියකට මේ දෙපළ මුලපුරයි. ඒ සමඟ ඔවුන්ගේ ජීවිතවලට එල්ල වේ.

සුන්දර මෙන්ම අසුන්දර සිද්ධීන් දිගැහැරෙන අතර මෙරට සිනමාවට උරදුන් දෙමළ හා සිංහල සබැඳියාව පෙන්වන අතරම ඒතුළ ඇති වන සිත් රිදවීම් නොතකා හැරීම් සිහිපත් කරවයි. පරම්පරා දෙකක් නියෝජනය කරන මේ සංගීතඥයින් දෙපළ රට තුළ ඇති වන දේශපාලන කැළඹීම් මධ්‍යයේ රට දෙකඩ කරන යුද්ධය මෙන්ම ඊට එරෙහිව නැගෙන දමිළ විරෝධී බලවේගයන්වලට මුහුණදෙන අයුරු ඇය සිය සිනමා කෘතිය මඟින් මනවා චිත්‍රණය කරයි. ඉදිරියේදී මෙම චිත්‍රපටය ඔබට දැක ගැනීමට අවස්ථාව සැලසෙන නිසා දැන්ම ඒ ගැන කියැවීමකට යාම අනුචිතය.

Comments