පණස් වස­කට පෙර අහු­බුදු කිවිඳු පෑ අනු­බුදු මිහිඳු හර­සර 'දම් රස දහර' මහ කව | සිළුමිණ

පණස් වස­කට පෙර අහු­බුදු කිවිඳු පෑ අනු­බුදු මිහිඳු හර­සර 'දම් රස දහර' මහ කව

නෙක කම්කටුල්ලෙන් සිත මැඬී-ගිය රැයක ඉන් මිදෙනු වස් පොත්ගුල පීරා දෙනෙත් විහිදුවීමි. අහඹුවක් සේ නෙත නැවතුණේ කව් පොතක් අසලය. අහඹු සේ පෙනුණද, සිදු වන බොහෝ දෑ දෛවෝපගතයන් බවට මා අත්දුටු සත්‍යය යළිදු පසක් කරමින්, එපොත මෙදවසට තෙ-කරුණක් හෙයින්ම වටනේ බැව් වැටහී-ගියේ එසැණිනි. ඒ අනුව පළමුව: පොසොන් පොහොය අනිද්දාට යෙදී තිබියදී මෙකව මහින්දාගමනය පාදකව රසැයී ඇති හෙයින්ද, දෙවනුව: එය ලියැවී මෙවසරේදී වසර 50කට එළැඹෙන හෙයින්ද, එහි පබඳුවන් අප‘තරින් වියෝ වී මෙමස 26 වැනිදාට 7 වසක් සපිරුණු හෙයින්ද කලාසූරී අරීසෙන් අහුුබුදු (1920-2011) විරචිත රාජ්‍ය සම්මානිත ‘දම් රස දහර‘ ඇසුරේ එරැය පුරා මා යළිදු විඳි රසය සිළුමිණි පාඨකයන් හා මෙලෙස බෙදා-හදාගන්නට සිතීමි.

අනුබුදු මිහිඳු හිමියන් මෙලකට වැඩම කොට වසර 2325ක් ගතව ගොසිනි. එදා-මෙදා තුර කොපමණ නම් නිමැවුම්කරුවන් එපවත පාදක කරගෙන නිබැඳුම් කරන්න ඇත්ද? ඒ බොහෝ අය මෙසිදුව දුටුවේ එතුවක් දඩ-වැද්දන්ව වුසූ දැයක් එක්වනම තමන් පිට පැවරුණු දහමක් නොවිමසාම හිසින් ගෙන, වහා දැහැමියන් වූ ලෙසයි. ඒ එසේ වත මේ අපූරු කව අරඹිනුයේ මෙලෙස විමසමිනි:

“එතෙරින් දොන් ජුවන්

පට ලැබැ කිතු සසුනැ වන්

කොළොඹැ දම්පල් රජ

වී-ල ගැත්තෙක් පිලිප් රජුගේ...

 

එතෙරින් දෙවන පෑ

පට ලැබැ බුදු සසුන පෑ

අනුරපුරැ තිස් රජ

වී ද ගැත්තෙක් අසෝ රජු හට?“

 

මේ පිවිසුමම කිවියර දැක්මෙහි නොගැති බව අපට හඟවයි; දිගට කියවාගෙන යෑමට අප පොලඹවා-ලයි. ‘රස දහර‘ යන කව් නම ගැනද මෙහිම යමක් පවසනු නිසි. එහි අරුත් කිහිපයක්ම ගැබ්ව පැවතීම වෙසෙසියාවයි. මතු පිටින් බැලූ වනම පෙනී-යන අරුත නම් ‘දහරක් සේ වෑහෙන රස‘ යන්නයි. ‘දහයක් වූ රස‘ ඇති බව තවත් අරුතකි. ‘නව නළු රස‘ අසම්පූර්ණ වග දුටු කුමාරතුංගයෝ විරිත්වැකියෙහි-ලා කැමි, පිළිකුල්, හැසි, විස්මි, රුදුරු, කුලුණු, විරු, බැයි, කුහුලුරු, නුවළු සේ දස රසක් දක්වති. මේ ඒ රස දහයයි. ලොවුතුරු රස අත් (රස‘ත්: රහත්) වීමෙන් ලෙවි රස දැහුම (දුරැලීම) යනුද මින් ‍මතු කරගත හැකි අරුතකි.

එවන් වූ ‘රස දහර‘ ඔස්සේ ඉදිරියට යන අපට හමු වනුයේ එක-එකක් වෙන වෙනම පැහැදිලි අරුත් රස ගත් සර්ග දොළොසක් මෙහි පෙළගැස්වෙන බවයි. සග බෙදුම ‘මහ කව්‘ ලකුණකි. ‘අඹතලා සැණ බිම‘ නම් වන පළමු වන සගෙහි එනුයේ මිහින්තලා බිම දඩ කෙළි පිණිස සැරසුණු අන්දමයි.

 

නැඟී දිනින්දා අහසේ දිලෙද්දී

තවත් හිරෙක් දැයි සැක මන් අවුස්සා

ලෙළේ දදේ හෙල් මුදුනේ හෙළන්ගේ

රජා උයන් වන් බව පෑ සනක් වන්...

 

හෙළයන්ගේ ධජය හිරු රුවින් යුත් විය. කඳු මුදුනේ වූ කොඩියත්, අහසේ පෑයූ සූර්යයාත් කිවියා එක් සිතුවමකට ගැළපූ‘යුරු බලන්න. පද ගැටීමෙන් උපදින ශබ්ද රසයට ද කන් දෙන්න!

 

දඩ කෙළිය හා බැඳුණු උයන් කෙළියක්ද කවියාගේ පරිකල්පනයෙහි උපදී. විය හැක්කක්මය. එහි දිය කෙළිද විය හැකිය. එයින් කවියා විවර කරගනුයේ ශෘංගාර රසය උපදවන්නට ඉඩ-හසරකි:

 

පිහිනන අඟනන් උඩුකුරු වුණු ගත

පැදැ-යන අත් රන් හබලින් නොනැවැත

තුඟු තන කුඹ දුන් රන් නැව් සිරි ගත

පැටැවෙන බඩු නැති අඩුවයැ ඒ මත

 

‘අඹතලා සැණ බිම‘ ‘කැමි රස‘ ගැබ් කරගත්තේය. කවියා මේ අරුත කුළු ගන්වමින් සග නිමැවුම සටහන් කරනුයේ මෙලෙසිනි:

 

සියුම් රස වින්දන

පුරුදු කළ මනසින් දන

දහම් රස වින්දන

හුරු වැ දුර-ලති සසරැ බන්දන

 

දෙවැනි ‘තුන් නළුවම‘ නම් වන සග ‘හැසි රස‘ පිඬු කරගත්තේය. සග නිමැවුම මෙසේ සලකුණු කෙරේ:

 

සිනා රස හඳුනන

රසවත් දනන් ගැවසෙන

අපාය ද නිසැකින

තැනෙක් වෙයි සුරඟනන් රඟ දෙන

 

‘ළසෝ මීදුම‘ නමැති තෙවන සග නිමැවෙනු‍යේ මෙලෙසිනි:

 

සැඬ නල වතුරු එත

ගස්-ගලුදු පෙරැළෙනු ඇත

නොපෙරැළෙන දේ නැත

මේ යැ ලෝ දම; එ-පෙරැළෙනු නැත

 

රුදුරු රස ගැබ් කරගත් සිව් වන සර්ගය ‘පළිගැනුම‘ නමි. එහි අරුත මෙලෙස පිඬු කෙරේ:

 

මුදුව නිවනට හිත

තදය සසරට දෙයි අත

හැරැ එමැ වයිර සිත

මෙතයැ කළ යුතු සෙත පතන සත

 

පස් වන ‘දඩ හටන‘ සර්ගය විරු රසය දක්වන අතර, එහි නිමැවුම මෙසේ වේ:

එක් දිය රෝදයක්

දුවවන සෙ බල යතුරක්

එක් විරුවෙක් නොවක්

දැයක් ගෙනැ-යයි දිගට යුගයක්

 

ඉක්බිති අපට පිළිවෙළින් ‘බැයි රස‘ ගැබ් කරගත් ‘දසඅට සන්නිය‘ නමැති සවැනි සගත්, ‘සහන් රස‘ ගත් ‘මිහිඳු හමුව‘ නම් වන සත්වන සගත්, ‘විස්මි රස‘ ඇති ‘පෙළහර‘ නම් අට වන සගත්, ‘පිළිකුල් රස‘ යුත් ‘කෙලෙස් වැලැහුම‘ නම් නවවන සගත්, ‘උවහස් රස‘ යුත් ‘සිල් උවහස‘ නම් දසවන සගත්, ‘දසුන් පෙරැළිය‘ නමැති එකොළොස් වන සගත්, ‘දසුන් රස‘ නමැති දොළොස් වන සගත් හමු වෙයි.

කවෙහි මුඛ්‍යාර්ථයට පිවිසෙන ‘මිහිඳු හමුව‘ සගෙහිදී රජු දඩ බිම හැසිරෙන විට වනයේ තතු දක්වන තැන වෙසෙසින් අප සිත් අදී; ‘නැළැවිල්ල‘ පැදි පෙළෙහිදී කුමාරතුංගයන් දරුවාට නිදන්නට පරිසරය නිසල කරන‘යුරු සිහියට නංවයි:

 

වියැළුණු තුරු පත් බිම හැළුමෙන්

නැඟුණොත් හඬ වරදෙකැ හැඟුමෙන්

පෙනුණේ අත දී කෙමෙන් කෙමෙන්

පවනා ඒ ඔසවා-ලන මෙන්

 

මෙසේ වන සිරි වැනුම් ඉක්බිති රජු හා තිස් හමුව දක්වන තන්හිදීය කවියා තම අදීන චින්තනය ප්‍රකට කරනුයේ. එයට පෙර දෙදෙනා අතර වන මේ සජීව දෙබසට කන් දෙන්න:

 

කවුරුද ඔබ? කොහි සිටැ මෙහි ආහුද?

කරුණ කිමද මෙහි පැමිණෙන්නට අද?

 

දඹදිවිනා‘වෙමි.

කොයින් ලැබූහුද අවසර?

ඔබගෙනි.

නැති, නැති නැති නැති.

 

ඇයි මහරජ මා කැඳවා ගන්නට

පත් යැවුවා නොවැ මා පිය නිරිඳුට.

හෝ! මේ දම්සෝ රජු පුත් මිහිඳුද

ඔබේ පියා මා මිතුරෙකි නුදුටද

 

එහෙත් නොරජ ඔබ රජ මා එලෙසට

නමිනැ‘මතූයේ සිරිතද ඒ රට

කමන්නැ මහරජ, මම දම් රජිඳුට

පුත් බව ලදුයෙන් උසසිමි ඔබ හට

 

මැනැවි මිහිඳු, ඔබ ආයේ මෙලකට

හොඳම දිනෙහි වෙයි මෙපොසොන් උලෙළට

තෙල ඔබ දික් පිළි මුදමින් හණිකට

හිණ කඩ හැඳැගෙනැ එනු දඩ කෙළියට

අප යම් කටයුත්තක ‍යෙදී සිටියදී තරමක් දන්නා කෙනකු පැමිණිය හොත් ආගන්තුකයාගේ රිසි-නොරිසි නොදන්නා අපි ඔහුටද අප කරමින් සිටි දෙයට හවුල් වන්නට ඇරියුම් නොකරමුද? මේ දෙබස කොතරම් යථාර්ථවාදිද යත්: අපට වැටැහෙනුයේ එය සිදු වන තැන අපද සිටින සෙයකි. ඉනික්බිති මිහිඳු හිමි තම ගමනේ අරමුණ හෙළි කරයි. නරපතියකුගේ තර්ක ඥානය තාත්වික සේ නිරූපණය කරමින් තම කව ගොඩනැංවීමට කවියාණන් ඉඩ-හසර විවර කරගන්නේ මෙතන්හිදීය.

දැනීමෙන් මේ දහම් මාගේ

රටටත් ම-හටත් වැඩෙක්

වේ ද? වේ නම් විනා, නැත් නම්

නො අසම් සදහම් වුවත්

 

දඹදිව් දෙසිනා‘ මේ දම්

ගැන්මෙන් හෙළදිව් මගේ

වේ නම් ඊ ගැති, එපා එ-දම්

පතියා මම මේ රටේ

රජු තෙරුන් වෙතින් ලබන පිළිතුරින් ඉක්බිති පැනනැඟෙනුයේ කරුණින් කරුණ ඈඳෙන අපූරු සංවාදයකි. හුදු ‘සම්මුඛ පරීක්ෂණයක්‘ බඳු අඹ පැන විමසුමකට ලඝු නොවූ ඉගැඹුරු බුද්ධිමය සංවාදයක් කිවිඳු මෙහිදී අප හමුයේ තබනුයේ ඉතිහාසය ලියූවන් අතින් සිංහල නරපතියාට සිදු වූ අසාධාරණයක් නිවැරදි කරමිනි.

ඔහු මෙහිදී අප හමුයේ නිරූපණය කොට දක්වනුයේ මනා රණශූරත්වයකට සේම ඉහළ ප්‍රඥා පාඨවයකටද හිමිකම් කියන අදීන නරේන්ද්‍රයෙකි. එහෙත් එයින් එසැවී දැක්වෙනුයේ තිස්ස නිරිඳුන්ගේ තත්ත්වය පමණක් නොවේ; මිහිඳු හිමිගේ පෞරුෂයද මේ තුළින් මොනවට විරාජමාන වන්නේ වෙයි. එනයින් ස්වකීය ශ්‍රේෂ්ඨ කවිත්වය මඟින් අරීසෙන් අහුබුදු කිවිඳුන් සිදු කර ඇත්තේ මනා මිහිඳු පූජාවෙකැයි සිතමි.

Comments