මුනි­වරුන් වන් පිය­වරු | සිළුමිණ

මුනි­වරුන් වන් පිය­වරු

පෙරේත කමෙන් ඉහවහ ගිය බිසෝ අක්කා එසේ කී සැනින් මම පය ගසා සිටි අත්ත මාරු කළෙමි. මට මතක එපමණය. යහලූ යෙහෙළියෝ ගසෙන් ඇද වැටුණ මා ගෙට ඔසවා ගෙන ගියහ. ඇඟපත සීරිම් හැර ලොකු හානියක් මට සිදුවි තිබුණේ නැත. සීරුණ තුවාලවල අඟුරු උරච්චි කළ බිසෝ අක්කලා යන්ට ගියහ. මම පැදුරක දිගාවී සිටියෙමි. ගෙදර එන අතර මගදීම මට සිදුවූ ඇබැද්දිය මා පියාණන්ට සැලවී තිබිණ. ගෙදරට පැමිණී ඔහු වහා මා පරීක්‍ෂා බැලීය. මුවින් වචනයක් හෝ පිට නො කළ හෙතෙම කුස්සියට ගොස් වක් පිහිය ගෙන ගලේ ඇතිල්ලීය. ඉන් මොහොතකට පසුව පුහුලමින් අතු බරවූ කජු ගස කපා එහි අතු වැටට හේත්තු කළේය. වෙනදා තක්කඩිකමකට මට ලැබෙන කිසිදු දඬුවමකට හෝ අවවාද කිරීමකට එදින මා ලක් වුණේ නැත. මේ කජුගස කැපීමේ කතාව පියානන් මියයන තෙක්ම, අපේ අම්මා වරින්වර සිහිපත් කළාය.

අඩ සිය වසකින් ඈත අතීතයට ආපසු ගමන් කිරීම අපූරු අත්දැකිමකි. ඒ හරහා දැනෙන මනෝ භාවයන් බෙහෙවින් අපූරුය. ඒ අපූරුව එකිනෙකට වෙනස් මිශ්‍ර හැඟීම් ජනිත කරවයි. අපේ ගෙදරත් ගමේ පාසලත් අතර දුර සැතපුම් දෙක තුනකි. කාලයේ තාලය අනුව තුන් හැවිරිදි විය සපිරි වහාම මම ද පාසල් ගමන ආරම්භ කළෙමි. පාසලට මා භාරදුන් මුල් දිනය මට මතකය. එදින පාසල අහවර වන තෙක් ම පියාණන් මට පේන තැනක පාසල් බිමේ ම රැඳී සිට, දහවල් මා ආපසු ගෙදර කැඳවාගෙන ගියේ ය. පසුදා උදෑසන සිට මා පාසලට කැටුව ගියේ බිසෝ අක්කා ය. ඇය අල්ලපු ගෙදර රන් බණ්ඩා මාමාගේ ලොකු දුවය.

දහවල් දොළහට හෝඩියේ පන්තිය (පහළ බාලාංශය) අවසන් වෙයි. බිසෝ අක්කා ඉහළ පන්තියක ය. එ නිසාදෝ මා ගෙදර කැඳවාගෙන යාමට ම පියාණන් දිනපතා පාසලට පැමිණියේය. පාසල් ගමන සඳහා සුප්‍රකට ඒ නවය පාරේ සැතපුම් කිහිපයක් අප ගමන් කළ යුතු විය.

මහමග දෙපස යෝධ මාරා ගස්වල හෙවන තිබිණ. එහෙත් මහ පාරේ ගල් තාර රත්වීමෙන් දිවා කාලයේ පාර ගිනියම් වේ. ඒ මද්දහනේ අව් කාශ්ඨකයෙහි පාවහන් නොමැතිව කුඩා දරුවෙකු පාරේ ගමන් කිරීම අදට නම් දුක හිතෙන කතාවකි. මේ කාලයේ පාසල් නිල ඇඳුම් හෝ පාවහන් අපට තිබුණේ නැත.

පියාණන් පාසල් මිදුලෙහිදිම මා ඔසවා සිය කරමත තබා ගනී. ඉන්පසුව මම දෑතින් ඔහුගේ දෙකන් අල්ලාගෙන කරමත සුරක්‍ෂිත වෙමි. ඒ සමග මග දෙපස සිරි සොබා උස් තැනක සිට, නිදහසේ නැරඹීමේ වරම මට හිමිවෙයි.

එසේ පියාණන්ගේ කර මතින් අතීතයේ ගිය ගමන අද මට සිහිනයක් වාගේය. ඒ මතක හරහා මතුවන හැඟීම් අද වෙන්ව හඳුනා ගෙන ගොනු කිරීමට බැරි තරම් ය. එදා එසේ පියාගේ කර මතින් ගමන් කරද්දී ඔහු මට විවිධ දේ කියයි. ඒවා මට ඇසුණත් නෑසුණත් ඔහුට කමක් නැත. ඔහු ඒ කතා කළේ කුඹුරක වී වැපිරීම හෝ හේනක කටුසර බෝග අස්වැන්න ගැනය. මෙසේ මාස කිහිපයක් ඔහුගේ කර පිටින් පාසල ඇරී ගෙදරට ආ ගමන නතරවූ හැටි මට මතක නැත. සමහර විට මාස් කන්නයේ කුඹුරේ අස්වැන්න නෙළන කාලය එළඹියෙන් ඒ ගමනට තිත වැටුණා විය හැකිය.

අපේ කාලයේ ගම් දරුවන්ට ගස් නගින්නට බැරිවීම ලජ්ජාවට කරුණකි. ඉලක්කයට ගලක් ගැසීමට නො හැකිවීම අවමානයකි.

ඇළකට දොළකට පැන පිහිනීමට කිමිදීමට බැරිකම පසුතැවිල්ලට කාරණාවකි. එහෙත් ම පියාණන් මෙවැනි අනතුරුදායක විනෝද ක්‍රීඩා මට තහනම් කර තිබිණ. මා අකීකරුවූ අවස්ථාවක ඉස්මතු වන ඔහුගේ කෝපය බෙහෙවින් සැර පරුෂ විය. එහෙත් මගේ කොලූකම යටපත් කිරීමට ම පියා­ෙණා් සමත් නොවූහ. අපේ ගෙවත්තේ සුවිශාල කජු ගසක් විය. එය මාර්තු මාසය වනවිට කහපාට කජු පුහුලමින් වැසී යයි.

ගස වසා ගත් ඉදුණ කජු පුහුලන් ගසේ කොළ ප්‍රමාණය ඉක්මවා යන තරම් ය. වැඩිහිටියන් ගෙදර නැති එක් දවසක පුංචි අපට කජු ගහේ සශ්‍රීකත්වය සිහිපත් විය. බිසෝ අක්කා මූලිකවූ අහල පහළ දරු කැල මා උනන්දු කරවා අපේ කජු ගසට නැංවීය. ඇති තරම් කජු පුහුලන් කඩා දැමූ මම ආපසු ගසෙන් බසිමින් සිටියෙමි.

‘‘ලොකු මල්ලියේ අනේ ඔය අත ළග තියෙන එකත්......’’ පෙරේතකමෙන් ඉහවහ ගිය බිසෝ අක්කා එසේ කී සැණින් මම පය ගසා සිටි අත්ත මාරු කළෙමි. මට මතක එපමණය. යහළු යෙහෙළියෝ ගසෙන් ඇද වැටුණ මා ගෙට ඔසවා ගෙන ගියහ. ඇගපත සීරිම් හැර ලොකු හානියක් මට සිදුවි තිබුණේ නැත. සීරුණ තුවාලවල අඟුරු උරච්චි කළ බිසෝ අක්කලා යන්ට ගියහ. මම පැදුරක දිගාවී සිටියෙමි. ගෙදර එන අතර මගදීම මට සිදුවූ ඇබැද්දිය මා පියාණන්ට සැලවී තිබිණ. ගෙදරට පැමිණී ඔහු වහා මා පරීක්‍ෂා බැලීය. මුවින් වචනයක් හෝ පිට නො කළ හෙතෙම කුස්සියට ගොස් වක් පිහිය ගෙන ගලේ ඇතිල්ලීය. ඉන් මොහොතකට පසුව පුහුලමින් අතු බරවූ කජු ගස කපා එහි අතු වැටට හේත්තු කළේය. වෙනදා තක්කඩිකමකට මට ලැබෙන කිසිදු දඬුවමකට හෝ අවවාද කිරීමකට එදින මා ලක් වුණේ නැත. මේ කජුගස කැපීමේ කතාව පියාණන් මියයන තෙක්ම, අපේ අම්මා වරින්වර සිහිපත් කළාය.

ගැමියෙකුවූ ම පියාණන් පිටස්තර ලෝකය ගැන දැන සිටියේ අල්පයකි. උසස් අධ්‍යාපනය සඳහා මා පිවිසෙන තෙක් විශ්ව විද්‍යාලය ගැන ඔහු අසා තිබුණේ නැත. ඔහු මගේ ජයග්‍රහණ දෙස බලා සිටියා පමණි. කිසි විටෙකත් ඒ ගැන කතා කළේ නැත. සත්තකින්ම මම පියානන්ට මහත් සේ බියෙන් පසුවීමි.

මා පියාණන් සමග කතා කළේ මෑණියන් හරහා ය.

වරක් ගොවීන් පිරිසක් මතට සුළු වාරිමාර්ගයක ඉවුරක් කඩා වැටිණ. ඒ අනතුරේදී පස් ගොඩට යටවී වැඩිම හානිය සිදු වූ අය අතර ම පියාණන්ද වූහ.

පස් ඉවත් කර ගොඩ ගත් පසුව තමන් නිරුපද්‍රිත බව දැනගත් ඔහු කළ ප්‍රකාශය ගැමියන් බොහෝ කලක් මට සිහිපත් කළ බව මට මතකය.

‘‘මගේ ලොකු එකා තවම ඉගෙන ගන්නවා මම බේරුණේ උගේ වාසනාවට ....’’ සත්තකින්ම ඔහු ජීවත් වුණේ අප වෙනුවෙනි. ගමේ ක‍ෙඩ් මුදලාලි වරක් කී අපූරු කතාවක් මෙසේය

එක් සිංහල අවරුදු සමයක හිස තෙල් ගෑවාටත් පසුව අවුරුදු කෑමක් ගැන ම පියාණෙන් කඬේ මුදලාලිට යෝජනා කර තිබේ. අවුරුදු පහුවෙලා නේදැයි මුදලාලි විමසූ විට ම පියාණන් දී ඇත්තේ අපූරු පිළිතුරකි.

‘‘පහුගිය දවස්වල ලොකු පුතා ගෙදර හිටියා. එයා කොළඹ ගියේ ඊයේ.’’ ඒ කතාව තුළ ම පියාණන්ගේ සැඟවුණ චරිතයේ බොහෝ විසිතුරු සැඟවී තිබිණ. තරුණ කාලයේ ම පියාණන් මද පදම ඉක්මවා සප්පායම් වූ චරිතයක් බව ප්‍රකට කරුණකි. මම ලග්ගල සේවය කළ කාලයේ එක් රාති‍්‍රයක නිවසේදී ඔහු අපූරු කතාවක් කීය.

‘‘මම අද ලොකු පුතා බලන්න කන්තෝරුවට ගියා. එය ඇසූ මට දුක හිතිණ. එහිදී ඔහු මට හමු නොවීම මගේ තැවිල්ලට හේතු විය. ඔහු යන්ට ඇත්තේ පුත්තරයා කන්තෝරුවේ විරාජමාන වනු දැක්මට ඇති කැමැත්ත නිසා විය හැකිය. එහෙත් ම පියාණන් කීවේ වෙනත් කතාවකි. මම වයසක ගැමියෙකුට ආවේගයෙන් කතා කරනු දැකීම ඔහුගේ නො සතුටට හේතු වී ඇත. එදා කන්තෝරුවේ පැවති රාජකාරි බහුලත්වය ගැන මම තත්වය පැහැදිලි කළෙමි.

‘‘ලොකු පුතා කැමතිද කන්තෝරුවක මහත්තයෙක් මට ඒ විදියට සැරෙන් කතා කරනවා අහන්ට. ඒ මනුස්සයා මගේ වයසේ කෙනෙක්....’’ කුඩා අවදියේ නම් මට එවැනි වරදට ගස් බැඳ තලනවා නො අනුමානය. මගේ රාජකාරි ජීවිතය පුරා ඔහුගේ කතාව දෝංකාර දෙමින් පැවති බව මම මෙහි ලියා තබන්නේ ඔහුට කෙරෙන ගෞරවයක් හැටියටය.

මා අනුරාධපුරයේ සේවය කරන අවදියේ පියාණෝ මගේ නිල නිවසේ දින කිහිපයක් ගත කළහ. අනුරාධපුර වට වන්දනාවේත් මිහින්තලේත් කැමැත්තෙන් ගිය ඔහු මගේ කාර්යාලයට යාම උපායශීලීව මග හැරිය බව ට තේරුම් ගොස් තිබිණ. එක් උදෑසනක මම කන්තෝරුවට යාමට අනියමින් යෝජනා කළෙමි.

ජාතික ඇඳුම ඇඳ උතුරු සළුවක් කරෙහි රුවාගෙන සිටි ම පියාණන් තමන් දක්වමින් කියා සිටියේ මම මෙහෙම ගියාම පුතාට හරි නැහැ කියා ය. මම එදින ඔහුව කන්තෝරුවට කැටුව ගොස් සියල්ලන්ට හඳුන්වා දුනිමි.

‘‘හුඟ දෙනෙක් වැඩ කරන තැනක්නේ.’’ පෙරළා නිල නිවෙස වෙත එන අතර ඔහු කීවේ එපමණකි. එහි තේරුම උඹ දැන් ලොක්කෙක් එහෙනම් යන්න විය හැකිය.

මේ මතක පොත දිග හැරුණේ මියගිය ම පියාණන් සිහිපත් වීමෙනි. ඔහු මෙලොව හැර ගියේ පෙබරවාරි 25 දවසකය.

ම පියාණෝ උගතෙකු නොවීය. ඔහුගේ පාසල් ජීවිතය වසර තුනකට සීමාවූ එකකි. හෙතෙම හොඳ ගොවියෙක් විය.

කලක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවකු ලෙස ද වැඩ කළේය. මා සරසවියට තේරුණ බව ඇසූ දෙපාර්තමේන්තු නිලධාරින් වැඩ නොකළ කාලයක් සඳහාද ඔහුට අමතර අතිකාල ගෙවීමක් කළ බව මම දැන සිටියෙමි. වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි ගොඩ්ෆ්‍රි සිල්වා මේ කියන කාලයේ හසලක ඉංජිනේරු වරයා විය.

පසු කලෙක ගොඩ්ෆ්‍රි සිල්වා වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටියදී මට හමුවිය. ඒ ක්ෂේත්‍ර රාජකාරියක් අතරය. එහිදී ගොඩ්ෆ්‍රිට මගේ පියා අසුවලා යයි සිහිපත් කළෙමි. ඔහු අසුනෙන් නැගිට මගේ දෑත් තදින් අල්ලා ගත්තේය.

‘‘අපි ඔබේ පියා තුළින් දුටු විශ්වාසය සහ අවංක භාවය අද ඔබ නැවත තහවුරු කළා. අද මේ තොරතුරු ඔබ මට නොකියන්නත් තිබුණා.’’ තවත් වාරිමාර්ග අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක්වූ ජිනදාස මහතා මිනිපේ ව්‍යාපාරයට ගිය ගමන්වලදී ම විශ්‍රාම සුවයෙන් සිටි මගේ පියානන් හමුවූ බව මම දනිමි.

සිකුරාදාවක පියා හදිසියේ රෝගි විය. ඔහු දිගින් දිගටම මා විමසා තිබිණ. එහෙත් මට ඒ පණීවිඩය ලැබුණේ ඉරිදා සවස ය. මා යන විට ඔහු සිහිසුන්ව සිටියේ ය.

‘‘මට අසනීප බව දන්නවා නම් මගේ නීතිඥයා නෑවිත් ඉන්න එකක් නෑ’’ ඔහු එසේ කී බව ම පියාණන්ගේ මළ ගෙදරට පැමිණී ළග ඤාතියෙක් මා සමග කීය. එය ඇසූ මට මහ හයියෙන් ඉකි ගැසිණ.

පාසලේ තුනේ පන්තිය සමත් ම පියාණන් වැනි දස දහස් ගණනක් පියවරුන් මිය පරලොව ගියේ සිය ශ්‍රේෂ්ඨ චරිතාපදාන තම අතෙහි මිට මොළවාගෙනය. මා ලියු චරිත කතා එකතුවක් මුනිවරු වන් පියවරු නමින් මුද්‍රණය විය. එහි ජේ. ආර්. ජයවර්ධනගේ තොරතුරුද ඇතුළත් පරිච්ඡේදයක් එහි විය. එකී පොත පෙන්වා ජේ.ආර්. මුනිවරයකු වන්නේ කෙසේදැයි මිතුරෙක් මගෙන් විමසීය.

ජේ. ආර්. මුනිවරයකු වන්නේ මට නොව ඔහුගේ පුත්‍රයාට බව කී පසු ඔහු නිහඬ විය. ඒ අර්ථයෙන් ගත් කල හැම දරුවෙකුටම තම පියාණන් මුනිවරයකු බවට කිසිදු සැකයක් නැත.

අදහස්