හිනා අන්දර | සිළුමිණ

හිනා අන්දර

අම්මලා කියන්නේ බිලිඳුන් දෙවියන් හා සුරඟනන් සමඟ සිනාසෙන බවකි. ඒ නිමේෂයේදී ම බිලිඳු කට ඇද කර හඬා වැටෙන අයුරු පෙන්වන අවස්ථා ද ඇත. මවුවරුන් පවසන්නේ යකුන්ගේ බිය ගැන්වීම හෝ පත්තිනි සුරතල් දකින්ට එසේ කරන බවයි.

සිනාව කඳුළ එකතැනකදීම පහළව නැතිව යන අයුරු මෙයින් පසක් වේ. මේ ක්‍රියා පෙර ආත්මය හා බැදී පවතින්නක් බව ඇතැම් ආගම්වල ඉගැන්වෙයි. මනෝ විද්‍යා මතය ද මීට සමානකම් දක්වයි. පූර්ව සටහන් සහ මතක මෙලොව දේවල් එකතුවීමත් සමඟ යටපත්වන බව මනෝ විද්‍යා පර්යේෂණවලින් තහවුරු වේ.

හිනාව මිනිස් චර්යා අතර අතිශය විශිෂ්ටම වටිනාකම් අඩංගු ක්‍රියාවකි. මෙයින් බහුවිධ අර්ථ ප්‍රකාශනය වෙයි. අපේ අතීත හා වර්තමාන තොරතුරු ගවේෂණයේදී හිනාව ගැන විවිධ කතා බහ හෙළිවෙයි. ඊට අාහාරපාන සබඳතා ද ඇත. ‘හිනැහෙන බිම්මල්’ කැවුණොත් දිරවන තුරුම හිනා යන බව කතාවක් ඇත. තද හිනාවේ යෙදෙමින් අහරගැනීම නොහොබී.

ශාරීරික සෞඛ්‍යය අනුව වි‍ටෙක හිනාව නිසා රුධිර සංසරණය පවා වෙනස් වන අයුරු දක්වයි. හිනාවී සිටින අයගේ ලේ පිරිසිදු වේ යයි ගමේ ඇත්තන් කිව්වේ ද එයයි. හිනා පා අපට ඕනෑම කෙනෙකු ආකර්ෂණය කරගැනීමේ හැකියාව ද පවතී. ඔවුන් අතරැති හිනා ගැන කවියක් මෙසේය.

විටකදි හිනා පියඹුව කැඳවා ගනිති

විටකදි හිනා හතුරන් මිතුරන් කරති

විටකදි හිනා සෝ දුක් යටපත් කරති

විටකදි හිනා කෙළවර කඳුළුත් දකිති

තවත් උපදේශනයක් කාව්‍යශේඛරය නම් වන පැරණි පොතෙත් ‘සිනා නොමසෙන් දසන් දක්වා’ යි ස්ත්‍රීන්ට පවසා ඇත.

හිනාවේ සොබාව අනුව විවිධාකාර හැඟීම් මතු වෙයි. හාස්‍යයට ලක් කිරීමේදී හිනාවේ ඇත්තේ ඉඟි පානා ස්වරූපයකි. උපහාසය හාස්‍යය හෝ සතුට වෙනුවෙන් පළවන හිනාව ක්‍රමයෙන් තිව්‍ර වී හඬ උස් හඬක් බවට පත්වන අවස්ථා තිබේ. එය නවතා ගත නොහැකි තත්ත්වයට පත්වෙත් ම හිනා කෙළවර දෑසේ කඳුළු මතු කරයි. ශබ්ද නගා සිනාසීම ‘කොක් හඬ තළා සිනාසීම’ ලෙස නම් කෙරේ.

ඇතැම්විට අපේ අනෙකුත් ක්‍රියාකාරකම් සිතාමතා නතර කර ගත හැකි වුවද, වරින්වර ආවර්ජනය කර ගනිමින් නොනවත්වා නඟන හිනාවක්ද පවත්නේ ය. එය ඉලඇදෙන හිනාවයි. පපුවේ ඉල රිදුම් දෙයි.

සාහිත්‍යවේදයේදී නව නාට්‍ය රස අතර සිනාවට ‘හාස්‍ය’ රසයට විශේෂ ‍ස්ථානයක් ලැබී ඇත. ශ්‍රව්‍ය දෘශ්‍ය විවිධ වූ සාහිත අංග ‘හාස්‍යයට’ ලබාදෙන්නේ විශේෂ ස්ථානයකි. කව් ගී, සැහිලි, යාදිනි, යාතිකා ආදී සියල්ලම හිනාවෙන් පෝෂණය ලද අවස්ථා එමට ඇත. වසභ රාජ සමයේ ශුභ රජවීම මෝඩකම හා ‘සිනාව’ මතු කළේ ය. අදත් මේවා සිදු වේ.

‘සිනහව’ ම අරමුණු කරගත් චිත්‍රපට, වේදිකා නාට්‍ය, ගීත නාටක, කෝලම් නාට්‍ය ආදිය ද ඇත.

මුව පුරා සිනාස‍ීම, විවෘත හදවත් ඇත්තන්ගෙන් පෙනෙයි. අනුන්ගේ වැරැද්දට බොහෝ දෙනා සිනහවන්නේ උපහාසය හෝ අපහාසය පෙරදැරිව යි. අද කාටූන් චිත්‍ර ශිල්පීන් දේශපාලනඥයින් රූපයට නගන්නේ දෙකන් දක්වා කට පුළුල් කරවන සිනාවක් ඇති උපහාසයෙනි. සිනාව පිළිගැනීමේ මාධ්‍යකි. කපන්ට බැරි අත සිඹින්නා සේ අකමැති පුද්ගලයින් පිළිගන්නේ ද මවාගත් ‘බොරු සිනාවක්’ පාමිනි. ධනය, බලය, දේශපාලනය නිසා ලොකුකම්පාන අයට ලැබෙන සිනාව එවැන්නකි. රජගෙදර හිනා උපදවන්නෙක් එකල සිටියේය. අද රජකම් කරන්නෝම විහිළු සපයති. ‘කපටි සිනාව’ කටින් නොව නළලෙන් යයි කියති. බොහෝ විට එබඳු අයගේ නළලෙහි රැලිද මතුවෙයි.

වත්මන් ලෝකයේ ‘සිනහ’ චිකිත්සාව යයි වෛද්‍ය ප්‍රතිකාරයක්ද පැතිර පවතී. කිසිදු වියදමක් හෝ ආයාසයක් නොකර පිළිගැනීම, සුහදතාව ගොඩනගාගත හැකි එකම උතුම්චර්යාව වන්නේ ද ‘සිනාවයි.’

පෙම්වතුන් පළමුව හඳුනා ගන්නේ ද සිනාපාය. ඒ ‘පෙම් සිනාවයි.’ සිනා සීමට මුව, දෙතොල් මුඛය පමණක් නොව දෑස ද එකතුවෙයි‍. හොඳ හිතින් පපුවෙන් ම මතුව එන සිනාව ප්‍රකාශ වන්නේ දීප්තිමත් දෑසෙන් ය. විවෘත මිනිසාගේ දෑසේ නිරතුරුව දීප්තිමත් ආලෝකයක් සෙයින් සිනාව මතුව සිටී. කෝල බැලුම් ළඳකගෙන් මතුවන්නේ ද ඒ ‘සිනාව’ ද සමඟමය.

සපුමල් කුමාරයා නම් ජනශ්‍රැති සංකල්පිතයක් ඇත. සිනා නොමැති මුහුණැතියකු කලාතුරකින් ‘කටකොනකින්’ හිනා වනවිට ‘සපුමල් කුමරා හිනා උනා වැස්ස වහියි’ කියයි. ඔහුගේ සැබෑ සිනාවට වැහි වහින නිසා ය.

මෙසේ හිනාව පුළුල් අරුතින්, විවිධත්වයෙන් සිදු වන වටිනා චර්යාවක් බව පෙනේ‍. “නිහඬ හිනාව” මීට කදිම නිදසුනකි‍. එය හඳුනාගැනීමක්, සතුට, ප්‍රසාදය, පළ කිරීමක්, පිළිගැනීමක් යන අර්ථ තුනෙහිම යෙදෙයි. වෛර සිතැතිව කෙනෙකුගෙන් පලිගැනීමට ද ‘හිනාව’ භාවිත කරයි. ‘වැලඳගෙන හිනාවීම’ හොඳ නරක දෙකටම කරන ක්‍රියාවකි. අටලෝ දහම තේරුම් ගත් අය දුක, සැප යනාදී ඒ සියලු ධර්මතා ‘සිනාසී’ පිළිගනී.

‘අම්බලමේ පිනා’ ජනප්‍රිය කවියේ සිනාව ගැඹුරු දහමක් සරලව කියාදෙයි‍. සසර හා නිවන් මඟ පෙන්වයි.

සිනාසෙන්නේ මිනිස් සත්ත්වයා පමණ කැයි ඇතැම්හු පවසති‍. එය දුර්මතයකි. මිනිසා හා එකට ජීවත්වන සත්ත්වයින් සිනාසී සිය හැඟුම ප්‍රකාශ කරන අවස්ථා අපි දැක ඇත්තෙමු. සුනඛයා සිය ස්වාමියාට සිනා සී සතුට ප්‍රසාදය දක්වයි. හොර ගමනක්, කෑමක් කා ස්වාමියා තරවටු කරන විට දෑසින් කටින් ලජ්ජා ශීලී හිනාපායි.

“හිනාව ගැන තවත් නොයෙක් විසිතුරු කතා, අදහස් තිබිය හැකි ය. ඒ සියල්ලට ඉඩ තබා ‘හතර හිනාව’ ගැන දන්නා දේ මෙසේ සටහන් කර තබමු.

1. මසුරා මුදල් පොදි බදිනා විට මුදල “අනේ මෝඩයෝ මා උඹ ළඟ සදාකල් හිටිනවාද? වුවමනාව ඇති වූ වහාම මගේ මගේ කිව් මුදල පිටවෙනවා නේද” කියමින් සිනාසේලු.

2. ඉඩමක ඉන්ගන් (මායිම්) වලට අඬදබර, නඩු හබ කියා ගන්නා විට පොළෝ මහී කාන්තාව ‘අනේ තණ්හා කාරයෝ මේ ‍‍ෙපාළොවේ මෙතැනම කී දෙනෙක් නම් මගේ කීවද ඒ සියලු දෙනාම මිය ගියා නේද පොළොවේ සදාකල් අයිතියක් කොහිද” කියා සිනාසේලු‍.

3. සොර සැමියා නිසා උපන් දරුවා ආදරයෙන් සිප වැලඳ නළවන තම ස්වාමියාට අඹුව සිනාසේලු ‘අනේ මෝඩයා මේ උඹේ දරුවා නොවෙයි නේද?” කියා සිතමින්.

4. හැම දේම ඉක්මන්, කියමින් ඒවා ඉටු කරගන්ට දඟලන විට මරුවා (මාරයා) ‘මොන’ ඉක්මන් ද, වැඩය නිම කරන්ටත් පෙර මරණය සිදු විය හැකියි” කියා සිනාසේලු.

සිනා සී තරවුවත් ‘සිනාවෙන් හෝ කතා වෙන් බෑ මනින්නට මිනිසා’ යනු සැබෑවකි.

මාමිනියාවේ ඉලංගසිංහ

අදහස්