කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

නුඹ මගේ

පහන් තරු­වට අත වනා හිරු ගාට­මින් අැවි­දින්
පවන් රොද­කට රහස් මුමු­නයි සිසිල හුරු කර­මින්
දෙනෝ­දා­හක් දෑස් අත­රින් නුදුටු නෙත් සොය­මින්
ගෙවුණු මොහො­තක් දැනුණා සත්තයි කල්ප­යක් විල­සින්

සසර පෙර දා දැනුණා හුරු බව ආයෙ­මත් දැනුණා
ස්නේහයේ සුව සුවඳ කුසු­මක් හද­වතේ පිපුණා
අපි අපේ නෙත් වලම පැටලි මොහො­ත­කුත් ගෙවුණා
රත්තරං මට තවම මත­කයි මාව හිරි­වැ­ටුණා

හිතේ හිර­වුණු දහ­ස­කුත් දේ කිය­න්නට තිබුණා
කඳුළු ඇවි­දින් දෙක­ම්මුල් පෙති මතින් බිම වැටුණා
අැඟිලි තුඩු අග සෙමෙන් අතැ­ගිලි නොදැ­නීම බැඳුණා
මින් පෙරදී අප මුණ­ගැ­හුණා නම්, කියලා මට සිතුණා

කියා­ග­න්නට බැරි තරම් මට ආදරේ දැනුණා
නුඹේ උණු­හුම දැනෙන හැම විට සැන­සු­මක් දැනුණා
දෙතොල් පෙති අඟ සෙමෙන් තැව­රුණු සිසි­ල­සක් දැනුණා
මගේ පණ මේ ඇත්ත­මයි නුඹ මගේ බව දැනුණා

සිතු­මිණි මධු­ෂිකා


සොඳුරු සිහි­ව­ටනේ

යමුනා නිදි තෙර ප්‍රේමයෙ සිහි­ව­ටනේ
ඉදි වූ අපූ­රුව මන්මත් කරවන්නේ
සොඳු­රුම පෙමක මහි­මය ලොව පතු­රන්නේ
ටජ් මහ­ල­ටත් කණ කොක් හඬ මතු වන්නේ

සෙනෙ­හස පුද­න්නට හද­වත පතුලෙ උපන්
ෂා-ජහන් රජු ඉදි­කළ මුම්ටාස් වෙනුවෙන්
මුළු ලොව මවිත කළ ප්‍රේමයෙ සිහි­ව­ට­නින්
යුග­යක් කියයි දඹ­දි­ව්පුර අතී­ත­යෙන්

කම්හල් වලින් පිට­වන විෂ වායු වලින්
අම්ල වැසි වසී නැහැවී දුඹුරු වතින්
වාහන දුමට නිර­තු­රු­වම ගොදුරු වෙමින්
විනා­ශ­යට මහ දොර­ටුව විවර කරන්

සිව් සිය වස් කිරි ගරු­ඩෙන් බැබ­ළු­ණද
අව පැහැ ගැන්වී හිස මුදුනේ වෙනස අද
පරි­සර බල­පෑම තර්ජ­න­යකි නොමද
විස්මිත ඉන්දු රත්නය රැක නොග­නි­මුද

සුව­හස් ජනී ජන මෙන් ගොඩ ගලන සිඳු
වග­කිව යුත්තෝ නොම­හැර නොසිත ඉඳු
පිවි­තුරු පෙමක් ගැන නැත දැන් එදා බදු
පිස­ලනු මැනවි ටජ් මහලේ කඳුළු බිඳු

අමිතා කුමාරි දිවා­රත්න


මිනි­සුනේ

නැති දා දුක බෙදා­ගෙන බත් පත කෑවත් එකට
ඒ අයට ලැබෙන කොට මුල අම­තක කළාට
හිතුවෙ නෑ කිසි­වෙ­කුට බොරු වළ­වල් කප­න්නට
හිතුවෙ කාටත් හැකි ලෙස දුකේදී පිහි­ටක් වෙන්නට

බැංකු­ණය හතර වටින් අර­ගෙන මාලිගා හැදු­වට
හිතට වද දිදි මැරෙන තුරු රෑ පුරා සිනහ මැවු­වට
මර­ණය සද­හ­ටම තම හිතින් අම­තක කර දැමු­වට
මිනිස්සු නොමැරි සද­හට ම ජීවත් වෙන්න හැදු­වට

මහ මඟ හිටි­යත් මාලිගා ඇතුළේ හිටි­යත් එදාට
සල්ලි මිටි බැදන් කොප­මණ ‍සැප සම්පත් වින්දට
එනවා දිනක් මගෙ කියන සියල්ල ම දමා යන්නට
මිනි පෙට්ටි­යක් ඇතුළෙ පොළ­වට පස්ව­න්නට

කසුන් ලක්ප්‍රිය


දුකින් එතෙර වීම

දුක දරා සිටින මට
සඳ­ව­තිය කියන්නේ
දුක් සිත සනහා ගන්න
ම‍ාව­තක් ඇත ඔබට
එනු; යන්න මා සමඟ

දුර ගෙවා යනෙන මඟ
කිසා ගෝතමී ගයයි
නිබ්බුත පද
අසා සිටි­යෙමි සැන­සුණේ නැත හද

පටා­චාරා මෙහෙණි
දුක් නිවා ගත් ලෙසට
ඉඟි කරයි මා දෙසට

සඳ ගොසින් නැව­තුණේ
දෙව්රම් වෙහෙර ළඟ
දොහොත් මුදු­නත තබා වඳින්නී
හැඳි­න්නෙමි.
විශාකා මහ මවු තුමිය

වැඳ වැටී දුක කියමි
මම බුදු හිමි නැමද
ලෝ සියලු සත වෙතට
කරු­ණාව පෙර දැරිව දම් දෙසා
මා වෙත දුක් තැවුල් සැම
එතෙර කර­න්නෙමි: දුක් සසර

කමලා ධර්ම­ලතා ජය­සූරිය


හිරුට

කවි­යන්ගෙ කවිවලට මගේ වත උල්ප­තක්
සිනා­සෙන තරු කැකුළු මා වටා පිරි­ව­රක්
සුමුදු මුදු රැස් දහර මුළු ලොවට සැන­සු­මක්
රැ අහස සර­සන්නේ වෙන කවුද මා මිසක්

කවු­රුත්ම නෑ දන්නෙ මගෙ ලොවේ ඇති රහස්
මා සතුටු වන දවස අමා­වක පෝ දිනක්
ඔබ සොයා­ගෙන එන්න නෑනෙ මට ඉව­සු­මක්
අපේ පෙම ගැන දන්නේ වෙන කවුද අප මිසක්

එළිය විහි­දු­ව­න්නට මට කොහිද හැකි කමක්
මගෙ අගය අඩු වේවි ඒ රහස හෙළි වුණොත්
එපා නුඹ කිය­න්නට කිසි කලෙක ඒ වගක්
මට එළිය ගෙන එන්නෙ වෙන කවුද නුඹ මිසක්

මේ එකම අහස් කුස නුඹට මට නිව­හ­නක්
නුඹ ඉවත යන විටදි එය මගේ උරු­ම­යක්
හැබෑ කර­ගන්න මම පතමි එක සිහි­න­යක්
එක අහසෙ අප දෙදෙන එකට හිනැ­හෙන දිනක්

ගයානි දිසා­නා­යක


නොකි­ලිටි

විඳ දුක් කන්දරා සිත තුළ යොමාවා
ඩහ­දිය පෙර පෙරා නිති සියො­ළ­ඟාවා
දිවි සරි කර­න්නට ගත් තැන මනාවා
නොපමා වන්ට නුඹ සිතුවා සොඳාවා

අගු­පි­ලක නිදන නුඹ
වකු­ටුව කුරු­මි­ට්ටකු සේම
දකින්නේ කුරු­මිටි නොව
සද්දන්ත ගලි­වර හීනය

නැව් වගේ රථ­ව­ලින් පැන දුවන
විකුම් තේජ බල ඇති මහ­තෙකු දකින
සිහි­නය මොන පාට දැයි නොදැ­නම ඉතින
අතපා ඉතින් නුඹ තව හිඟ­මන් යදින...

අඹු­වත් සමඟ විර­සක වී කොටු පනින
නොදැ­මුණු ගජ සිතුම් එහෙ මෙහෙ පැන දුවන..
සැමි වෙත වෙර බැඳන් වට පිට පෙම් කෙළින
උන්ගේ තතු එහෙම බව මද­කුදු නොදැන
හිනා­වක් පපා නුඹ හිඟ­මන් යදින

කිලිටි ගතින් වුව කිලු­ටක් නැති සිතින
එහෙට මෙහෙට නුඹෙ කණ­වැල ගෙන අදෙන
නුඹත් සමඟ සසරේ සරනා ඇයම
රැජ­නක් බව නුඹට වැට­හෙන්නේ කෙදින...?

විල­වුන් සුවඳ ගල්වා­ගත් බිසෝ­වරු
මත් සුව රතින් ඔකඳ වු සිටු­ව­රුන් විරූ
ළඟ නැති සුව­ය­කින් නුඹලා වේය සරූ
උනු­නුන් බැඳි පෙමින් නුඹ­ලාය - රජ­වරු !

යමුනා මාලනි පෙරේරා


අබු­ද්දස්ස කාලය

පවස නිව­නට තම ගෙවත්තේ පුංචි ළිඳ නිති පිහිට වන මුත්
මනස අද­මිටු පළ කරන්නේ සයුර දෙන බැව් සියලු සම්පත්
සිරස නම­මින් රුහිරු හෙළු­වද දොසක් මිස නැත හොඳක් කව­දත්
කුකුස රඳනා හදක් ඇද­මය කෝවෙ මකලා නැවත ගත්තත්

කොකා නිල­ඹර පියා හැඹු කල සැඟව උන් සුද නෙතු ගැටේවී
මකා දැමු­වද සිහින ලොව­කදි සැබෑ පති­දම නොමැකි යාවී
නොකා හිඳු­මට නිති වරම් ලද යදින්නා වුව රස වනාවී
ක-කා බත් පත එහිම පහ­රන සතුන් අද හැම තැනම බෝවී

පියුම අස­ලම රැඳෙන මැඩියා හමන සුව­ඳින් පිනා යේවිද
රැයම අඳු­රුව පහන් වුවද කණා පසු­දින හිරු දකී­විද
තරුම පායා අඹර දිලුණ ද සඳක් නැති කල එළිය දේවිද
ධර්ම­යට පිටු­පාන මිනිසා සසර සයු­රෙන් එතෙර වේවිද

සඳුන් විජේ­සිරි


මිම්ම

ඉසු­රින් මිනිස්කම
මනිනු නොමැ­නවි කිසි­විට
අබ­තුරු වොරැඳි ගුණ
ගනිමු සැම ­කල් මිනුම් දඬු­වට
දළු­පත - පිලී­ෂි­යන්


පණ ගැහෙන නුඹෙ අකුරු

දිවි මගෙහි කඩ ඉමක්
දිනන පැතු­මින් මහරු
ලොවක් වටිනා උතුම්
ශිල්ප කැටි­කළ අකරු...

නොසිතු මහ සම්ප­තක්
රැගෙන විත් හිත මිතුරු
නිදි නොමැති රෑ පුරා
ළඟින් හිඳ ලියු අකුරු...

ලද පුංචි විරා­මෙක
ගයා ගී පද මියුරු
නුඹ කවු­රු­දැයි අසා
ලියා දුන් කවි අකුරු....

සොඳු­රු වූ මත­ක­යන්
සීරු­වට ගෙන ඇතිරු
මහා දිග කතා­වක
ඇර­ඹු­මක් වූ අකුරු....

එලෙස ඉප­දුණු බැඳුම්
නුඹට වූවත් නිසරු
බොහො මතක ඉතිරි කළ
නුඹේ මුතු­කැට අකුරු...

නිමා කළ පිටු අතර
නුඹ නික්ම ගිය අයුරු
ඒත් මගෙ නොත­නි­යට
ඉතිරි කර ගිය අකුරු.....

නිර­තු­රුව රිද­වු­වත්
උතු­රවා නෙත් ඉවුරු
අදත් මගෙ හිත පුරා
පණ ගැහෙන නුඹෙ අකුරු...

නදීරා රෝෂීණී නල්ල­පෙ­රුම


ඇය එන­ තෙක්

අකුරු කරවා වියරු උප­දෙස් පුරන්වී කාල­යක් ගෙවලා
අතුරු වැසි­වට ලියදි පොඟවා නැවුම් සුව­ඳක් සිතට එබිලා
නුහුරු නොපු­රුදු නොවන රහ­සක් මගේ තනි­යට තුරුලු කරලා
දෙගුරු පායේ දව­ස­රියි ඇය පුර දෙපෝ­යක නිමිති දැකලා

සිහිල් හිමි­දිරි පින්න පාකොට සුමුදු දෑතක පහස ලබ­මින
හවුල් වී උණු­සු­මට තුරු­ලුව කුසේ ගින්දර නිවා සැන­සුණ
නොකල් මෙහෙ­වර විරා­මය ලැබ දුම්මැස්සෙ පිළි­වෙ­ළට ඇහි­රුණ
අවුල් වී‍ බො­ල්හඬ නගයි හැළි­ව­ලන් මී පුර වැසියො පිළි‍ගෙන

පද්ද පද්දා තාල­යට ඇඹ­රෙ­මින් සිප­ගත් ගෙබිම මන හර
රෙද්ද එළ­මින් දිගා­ව­න්නට නොදී මැසි­වි­ල්ල­කට අව­සර
සද්දෙ දැමී­මට ගෙමි­දුලේ හිඳ රෑ පුරා­වට බලු බළල් පොර
වැද්ද නොගනී එදා වගේ කොස්ස මුස්ස­නය පුරුදු හර­සර

වයන ගී තනු කනට ළංකර සොඳුරු සිහි­නය මුද­ව­මින්
අනින හී තුඩු දැනෙන නොදැ­නෙන මායිමේ පලු­ වගා කර­මින්
දැහැන බිඳ­වන මසිත හඳුනා සතුරු මඟ අවු­රා­ල­මින්
නොගෙන බිය සැක රැදෙන් ම මිතුර දැල­ වි­ය‍ා­ගෙන රටා දම­මින්

පුතුගෙ තනි­යට මල්ලි පැටි­යෙක් ගෙනැත් දෙන්නම් කියා හිනැ­හෙන
නෙතු­පි­යන් අඩ­වන් කරන සඳ ඉගි­ය­කින් මා සිතැගි හඳු­නන
මුතු පොටක්වී ඇයගෙ ගෙල­වට ආද­රය දෙප­සට විදාලන
සතුට උතුරා ළඟා­වෙයි හෙට තරු කැකු­ලි­යක් තුරුලු කර­ගෙන

දේනු­වල තිල­ක­රන්න


කොහා ඇවිත්

නිම විය නොදැ­නීම සිංහල අවු­රුද්ද
නොඇ­සුණි දෙස­ව­නට කෝකි­ල­යගෙ සද්ද
තෙම­ඟුල් දිනේ­වත් ඇහැ ඇරුණේ නැද්ද
දැන් ඇහෙ­නවා ඉමි­හිරි කෝකිල සද්ද

නිවසේ කැවිලි නොහ­දන බව දැනුණාද
අවු­රුදු සිරිත් විකි­ණෙන හැටි පෙනු­ණාද
පතු­රන්නේ නැතිව ඔය ඉමි­හිරි නාද
සිත කල­කිරී නුඹ නිහ­ඬව උන්නාද

ඇසුණෙ රති­ඤ්ඤා­වල අඬ­හැ­ර­යක්ය
නැති­වම කොවුල් නද ගත­වුණ දින­යක්ය
නිහ­ඬව සිටියෙ ඇයි අප හට පැන­යක්ය
පිළි­තුර දන්නෙ කොවුලෝ නුඹ පම­ණක්ය

මානෙල් බමු­ණු­සිංහ


එතෙර කවිය

ඔබේ හැඟුම් තුළට වදින්න

Get into your Imotions

ඔබේ ආත්මිය අගය කිමි­දු­මක් කරන සඳ
අර­ඹයි ඔබ ප්‍රශ්න කර­න්නට ඔබේ වටි­නා­කම
විම­සයි ඔබ හේතුව, ඔබ මෙහි සිටි­න්නට

දිනා තිබිය යුතු නැතිද ඔබ, මෙයට වැඩි යමක්?
හැ‍ඟෙනුයේ කිම ඔබට, එකම තැන, එකම තත්ත්වයේ ගැලි බවක්?
නැතිද ඔබ සපුරා තිබිය යුතු, අත් කර­ගෙන තිබිය යුතු වැඩි යමක් ?

විටෙක සිතු­විලි ඔබේ, ගෙනෙනු ඇත ඔබ තැන­කට
ඔබ­ගේම හැඟුම් ඔබට නොරිසි වන
මුත් එයද රැස­කින් එක් මුහු­ණ­තකි. ඔබ වැල­ඳ­ගත යුතු
කම් නැත හැඬු­වද ඔබ අද,
තවම දිව­මන්ය ඔබ,
අර­මු­ණක් උදෙසා හඟිනු හැකිය තව­මත්
බිය නොවන්න, ඔබේ හැඟුම් තුළට වදි­න්නට.
විය හැකිය එය විරේ­ච­න­යක්.

නොතකා නොසි‍ටින්න ඔබ හඟින දේ.
සක්‍රීය වන්න ඒ ඔස්සේ.

විල්මා නීල්ස් - දකුණු අප්‍රි­කාව

කිවි­ඳිය පාඨ­කයා අම­ත­මින් ආත්ම ගවේ­ෂීය ප්‍රශ්න කීප­යක් මතු කරයි. ඒ, ඇතැම් විට කෙනෙකු තම­න්ගේම ආත්ම­යෙන් අසන ප්‍රශ්න විය හැකිය. මෙබඳු විම­සු­ම­කදී ලැබෙන පිළි­තුරු විටෙක සතු­ටු­දායි නොව­න්නට පුළු­වන. එහෙත් එයින් විස්සෝප නොවී දිරි­මත් විය යුතු බවයි කිවි­ඳි­යගේ දෘෂ්ටිය. හැඟුම් නොතකා නොසිට, ඒවා තුළින්ම ඉදි­රි­යට යන්නැයි කිවි­දිය අව­සන දෙන උව­දෙස අගනේ යැයි හැ‍ඟේ.
විල්මා නීල්ස්, දකුණු අප්‍රි­කාවේ කේප්ට­වුන් නග­රයේ ඉපිද, දැන­ටත් එහිම වෙසෙන, සුදු ජාතික නුතන කිවි­දි­යකි. දෙසැ. 25 තම උප­න්දි­නය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍ය­ලං­කාර විස්ම­යා­හ­වාහ Table Mountain කන්ද ඇගේ උදා නැර­ඹුම් ඉල­ක්ක­යන් ගෙන් එකක් බව පව­ස­න්නීය. “whispers From My Soul” ඇය 2012 දී පළ කළ පැදි සර­ණි­යයි.

දේ. වී. ගාල්ලගේ

Comments