නව­ක­තාව හා කෙටි­ක­තාව අපූ­රුයි! කවිය චම­ත්කා­රයි! | සිළුමිණ

නව­ක­තාව හා කෙටි­ක­තාව අපූ­රුයි! කවිය චම­ත්කා­රයි!

යථාර්ථවාද රීතියේ විවිධ ප්‍රභේද වර්තමාන ලේඛකයන් පිළිගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අධියථාර්ථවාදය, නව යථාර්ථවාදය, මායා යථාර්ථවාදය බඳු යථාර්ථ රීති උපයෝගි කරගෙන නිර්මාණකරුවන් තම නිර්මාණ කරන බව පේනවා. මේ අකාරයට විවිධ යථාර්ථවාදී රීතීන් පැන නැඟී තිබෙනවා. උදාහරණ ලෙස එරික් ඉලයප්පආරච්චි වැනි ලේඛකයන් හැකිතාක් යථාර්ථවාදී රීතිය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. මොහාන්රාජ් මඩවල, කපිල කුමාර කාලිංග, ලියනගේ අමරකීර්ති බඳු ලේඛකයන් මයා යාථාර්ථවාදී සංකල්ප ඉස්මතුවන ආකාරයට නවකතාව නිරූපණය කර තිබෙනවා. කෙසේ වුවත්, බටහිරින් ඉස්මතු වන කලා රීති යටතේ විවිධ පැතිකඩවල් අගේ කිරීමට දරන උත්සාහය හොඳ ප්‍රවණතාවක්.

උපකුලපතිවරයකු ලබා දෙන සී.වී.ඩී.සී සම්මානයෙන් පිදුම් ලද සම්මානිත මහාචාර්යවරයකු වූ කුලතිලක කුමාරසිංහ මහතා හොඳම පර්යේෂකයා ලෙස ද වරක් සම්මාන ලැබීය. ගම්පහ ලේඛක හවුල වෙනුවෙන් ප්‍රබල මෙහෙයක් කළ මොහු නූතන සාහිත්‍ය පිළිබඳ නිරන්තරව පර්යේෂණයේ යෙදෙයි. නූතන සාහිත්‍ය ප්‍රවණතා ගැන කරුණු විමසමින් ඔහු සමඟ කළ සාකච්ඡාවක් අසුරින් මෙය සැකසිණි.

නූතන සාහිත්‍යය අද පවතින්නෙ කෙබඳු තැනකද?

නූතන සාහිත්‍යය යනුවෙන් ප්‍රධාන වශයෙන් හඳුන්වන්නෙ නවකතාව, කෙටිකතාව, කවිය යන කලා මාධ්‍ය. මෙයට විශේෂයෙන් නාට්‍ය පිටපත් රචනයත් අයත් වෙනවා. මේ කාණ්ඩයන් මත තමයි නූතන සාහිත්‍යය රඳා පවතින්නේ. අද තත්ත්වය දිහා බැලුවහොත් මේ හැම මාධ්‍ය‍යක්ම එක ලෙස පනප්‍රිය නෑ. එහෙත් නවකතාව ගුණාත්මක වශයෙන් කෙසේ වුවත්, ප්‍රමාණාත්මක වශයෙන් ඉතාමත් ප්‍රචලිත වී ඇති කලා මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා.

නවකතාවේ ප්‍රමාණාත්මක ව්‍යාප්ත වීමට සම්මාන උත්සව බලපෑමක් කළාද?

ඔව්. සම්මාන උත්සව ඉලක්ක කරගෙන නවකතාකරුවන් තම කෘති එළි දැක්වීමේ ප්‍රවණතාවක් සම්මාන උත්සව නිසා ඇති වී තිබෙනවා. සෑම වසරකම කෙසේ හෝ නවකතාවක් එළි දැක්වීමට ලේඛකයන් උත්සාහ ගන්නවා. ඇත්තටම පොදුවේ ගත් කල මෙමඟින් අපේ සමාජය සෑම පැතිකඩක්ම, නැතිනම් සමාජයේ සෑම සංකීර්ණ අංශයක් ගැනම විවරණය කිරීමට නවකතාව හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් බොහෝ දෙනා මේ විචාර කරන්නේ බටහිර න්‍යාය විචාරවලට අනුරූපීවයි.

ලේඛකයන් යොදා ගන්නා බටහිර න්‍යාය ගැන තව දුරටත් විස්තර කරනව නම්?

යථාර්ථවාද රීතියේ විවිධ ප්‍රභේද වර්තමාන ලේඛකයන් පිළිගෙන ඇති බව පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. අධියථාර්ථවාදය, නව යථාර්ථවාදය , මායා යථාර්ථවාදය බඳු යථාර්ථ රීති උපයෝගි කරගෙන නිර්මාණ කරුවන් තම නිර්මාණ කරන බව පේනවා. මේ අාකාරයට විවිධ යථාර්ථවාදී රීතීන් පැන නැඟී තිබෙනවා. උදාහරණ ලෙස එරික් ඉලයප්පආරච්චි වැනි ලේඛකයන් හැකිතාක් යථාර්ථවාදී රීතිය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. මොහාන්රාජ් මඩවල, කපිල කුමාර කාලිංග, ලියනගේ අමරකීර්ති බඳු ලේඛකයන් මයා යාථාර්ථවාදී සංකල්ප ඉස්මතුවන ආකාරයට නව කතාව නිරූපණය කර තිබෙනවා. කෙසේ වුවත්, බටහිරින් ඉස්මතු වන කලා රීති යටතේ විවිධ පැතිකඩවල් අගේ කිරීමට දරන උත්සාහය හොඳ ප්‍රවණතාවක්.

සම්මාන උත්සව නිසා නවකතා නිර්මාණය ප්‍රමාණාත්මකව වැඩිවූ නමුත් එය ගුණාත්මක අතින් ජන සමාජයට යහපතක් වෙනවාද?

කාලයක් ගෙවී ගියත් අතීතයට නොයන සමකාලීන විඥානයෙන් පෝෂණය වූ කෘතීන් අද වන විට දක්නට ලැබෙන්නේ නැහැ. උදාහරණ ලෙස මාටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය, කෘතීන් කාලයක් ගෙවී ගියත්, වර්තමානයෙත් විද්වතුන් විවරණය කිරීමට පෙලඹෙනවා. එම කෘතීන් කියවා අරුත් ග්‍රහණය කිරීමට යොමු වෙනවා. එහෙත් වර්තමානයේ ඇතැම් කෘතිවලට සම්මානය හිමි වී තිබුණත්, ඒ කෘතීන් මේ වසරේදී වත් අපේ මතකයේ රැඳෙන්නේ නැහැ. එලෙස සමකාලීන ගුණයෙන් සෑම කෘතියක්ම යුක්ත වෙන්නේ නැහැ. ඒ අතින් ගත් කල ප්‍රමාණය විශාල වූ පමණින් නවකතාව අද සමාජයට යහපතක් කරනවාද කියන ප්‍රශ්නය තියෙනව.

නූතන සාහිත්‍ය යේ භාෂා භාවිතය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් යුතුව භාෂාව හසුරුවමින් අත්දැකීම පිඩුකොට භාව නිරූපණය කිරීමට බොහෝ නිර්මාණ කරුවෝ පෙලඹෙනවා. මෙය කෙටිකතාව කෙරෙහි විශේෂිතයි. සංක්ෂිප්ත භාවය කෙටිකතාවේ ආත්මීය ලක්ෂණයක්. කෙටිකතාවෙන් කියැවෙන්නේ මූලික අදහස කතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා කෙටිකතාවේ අභ්‍යන්තරයෙන් ප්‍රකට වෙන්න ඕනේ, සමස්ත කෙටිකතාව ගොඩනැඟෙන මූලික අදහස ඉස්මතුවන ආකාරයට. ඉන් පරිබාහිරව මූලික අදහස් දෙකක් හෝ කීපයක් එකවර කීමට කෙටි කතාකරුවාට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. මේ මූලික ලක්ෂණ අද කෙටිකතාකරුවා ඛණ්ඩනය කිරීමක් කරනවා. ඔවුන් කියන්නේ නවීනත්වයේ ග්‍රහණයට කෙටි කතාව හසුවී තිබෙන නිසා සම්මතය ඛණ්ඩනය වීම වළක්වන්න බැහැ කියා. කෙටිකතාවේ සම්මතය කියන්නේ ජෝසප් බර්ග්එසැන්විල් කියන විචාරකයා පවසා තිබෙන ආකාරයට මතු සඳහන් අංග නිර්මාණයේ අඩංගු වී තිබීමයි. ඒ අනුව කෙටි කතාවක අඩංගු වියයුතු මූලික ලක්ෂණ හයක් තිබෙනවා. එනම් සියල්ල අභිභවා සිටින ප්‍රබල සිදුවීමක් තිබීම, ඉස්මතුවී පෙනෙන මුඛ්‍ය චරිතයක්, ලේඛකයාගේ පරිකල්පනය නිර්මාණයක් ලෙස නිර්මාණය කිරීමට ලේඛකයා තිබෙන ශක්තිය, ඒ වගේම වස්තු වින්‍යාසයක් තිබිය යුතුයි. ඒ කියන්නේ කෙටිකතාවේ හේතුඵල ක්‍රියාවලීන් එකිනෙකට බැඳෙන සම්බන්ධයකින් යුක්තවීම. එක් සිදුවීමක් තවත් සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස පාඨකයාට දැනෙන්න ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම කතාව මනා ලෙස සංවිධානය කළ යුතුයි. කතාවේ සිදුවීම් සංසිද්ධි සහ ඇතිවී නැතිවී යන චරිත ඒකාබද්ධතාවකින් යුක්ත විය යුතුයි. එසේම මූලික අදහස හෙවත් ධාරණයේ ඒකත්වයක් තිබිය යුතුයි. ඒ වගේම සිද්ධිමාලාව මනා ලෙස විකාශනය කිරීමට හැකියාව තිබිය යුතුයි. මේ ලක්ෂණ යම් නිර්මාණයක තිබේ නම් එය කෙටි කතාවක් කියලා තමයි ජෝසප් බර්ග්එසැන්විල් බටහිර විචාරකයා පවසා තියෙන්නේ. මේක තමයි කෙටිකතාවේ සම්මතය.

මේ සම්මමතය බිඳින්න බැහැ කියලද ඔබ කියන්නෙ?‍

එග්ගා ඇලන්ෆෝ 1842දී තමයි කෙටිකතාව නමැති කලා මාධ්‍යය හඳුන්වා දෙන්නේ. ඔහුගේ සමකාලීනයෙක් වූ නැතැලීයන් හෝතෝන්ගේ ‘දෙවරක් කී කතා සංග්‍රහය‘ට ප්‍රස්තාවනාවක් සපයන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. ඔහු එය කියවා ප්‍රස්තාවනාවක් ඉදිරිපත් කරනවා. ඔහු මේ නිර්මාණය කියවා ඒ පිළිබඳ විස්මයට පත්වෙනවා.

එයින් කම්පිතව ඔහු කෙටිකතාව කුමක්ද යන්න ප්‍රථම වතාවට නිරූපණය කරනවා. ඔහු ගේ මතය අනුව කෙටිකතාව යනු ද්‍රව්‍යමය වූ ආධ්‍යාත්මික වූ ඒකීය සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා අවසන් කළ හැකි, ප්‍රබන්ධ විශේෂයක් විදිහට තමයි අදහස් කරන්නේ.

මේ සංක්ෂිප්ත භාවය මඟින් මෙහිදී බස අරපිරිමැස්මෙන් යුතුව පරිහණය කළ බව යුතු බව පසක් කරනවා. කෙටි කතාකරුවකුට බස අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ හැකියි. ඒ සම්මතය බිඳුණොත් කෙටිකතාවේ අනන්‍යතාව නැති වෙනව.

නවකතාකරුවකුට භාෂාවේ මේ අරපිරිමැස්ම අවශ්‍ය වන්නේ නැතිද?

නවකතාකර­ුවකුට එහෙම පිරිමහන බසක් සහිතව නිර්මාණකරණයේ යෙදෙන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔහුට බස යොදා ගැනීම පිළිබඳ නියාමනයක් නැහැ. ඔහුට සිදුවීම් දිග්ගස්සමින් නිර්මාණකරණයේ යෙදෙන්න තිබෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. එහෙත් කෙටිකතාකරුවාට මූලික සීමාව ඉක්මවා යන්න බැහැ. මූලික ධාරණාවට අදාළ වචන තෝරා බේරාගෙන විවේක බුද්ධියෙන් යුතුව යොදාගෙන නිර්මාණකරණයේ යෙදෙනවා. මේ නිසා තමයි පේලේටන් හෙමින්ටන් කියන බටහිර විචාරකයා වරක් ප්‍රකාශ කළේ හොඳ කෙටිකතාවකින් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් බැහැර කළ නොහැකි කියා. අඩුම වශයෙන් ඉස්පිල්ලක් බැහැර කළ හැකි නම් එය සාර්ථක කෙටිකතාවක් නොවේ. මේ නිර්වචනයේ ගැබ්වෙලා තියෙනවා කෙටිකතාවේ විෂය ක්ෂේත්‍රය පිළිබඳව. ඒ කියන්නේ අපේ භෞතික ජීවිතය විවරණය කරන අත්දැකීමක් විය හැකියි. නැතිනම් අපේ ආධ්‍යාත්මික ජීවිතය විවරණය කරන අත්දැකීමක් විය හැකියි.

භාෂාව පිළිබඳ විශේෂත්වයක් දක්වන ලේඛකයන් පිළිබඳ විස්තර කළහොත්?

අජිත් තිලකසේන, සයිමන් නවවත්තේගම, ජයතිල කම්මැල්ලවීර වැනි ලේඛකයන් මේ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. බොහෝ ලේඛකයන් සිටියත්, අතළොස්සක් තමයි මේ පිළිබඳ සැලකිලිමත් වෙලා සිටින්නේ. සම්මාන පිදීම නිසා කෙටිකතා ලියන ලේඛකයන් සංඛ්‍යාවත් දැන් වැඩි වෙලා තියෙනවා. නූතන කෙටිකතාව කියන්නේ කතාන්දරයක් නොවේ. කතාන්දරය ඉක්මවා යන්නක්. කෙටිකතාකරුවා උත්සාහ ගන්න ඕනේ ඉතා කුඩා අත්දැකීමක් වුවත් නිරූපණය කරමින් එමඟින් මානව ජීවිතයට අනන්‍ය වූ යම්කිසි ධර්මතාවක් ඉස්මතු වන කතාවක් ගොඩනගන්න. ඒ වගේම එයින් ජීවිතය විනිවිද දකින්න, විවරණය කරන්න කෙටිකතාකරුවා උත්සාහ ගත යුතුයි. එසේ නොමැතිව සමාජ විවරණයක යෙදෙන්න නැතිනම් සමාජ යථාර්ථයක් ඉස්මතු කරන්න කෙටිකතාකරුවා සමත් වෙන්නේ නැහැ.

කවිය අද කෙබඳු ස්ථානයක ද පවතින්නේ?

කවිය කියන සාහිත්‍යාංගය අතිපුරාණ සාහිත්‍යාංගයක්. කවිය කියන්නේ භාවාත්මක කලා මාධ්‍යයක්. කවියා උත්සාහ ගත යුත්තේ හැඟීම් නිරූපණය කිරීමට නොවේ. හැඟීම් ප්‍රතිනිර්මාණය කිරීමට. භාවාත්මක නිරූපණය ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයට තමයි කවි නිර්මාණය කරන්න ඕනේ. නූතන සිංහල කවිය සමාජ යාථාර්ථ නිරූපණය කරන කලා මාධ්‍යයක් ලෙස ප්‍රවර්ධනය වී තිබෙනවා. නූතනය අදහස් කරන්නේ කවියෙන් වින්දනයක් ලබා දීමටත් වඩා සමාජාර්ථයක් නිරූපණය කර දක්වන්න. එහෙත් පාඨකයාගේ අදහස, ඔහුට අවශ්‍ය කාව්‍ය රසවිඳීමටයි.

කවියෙන් කවියාගේ දෘෂ්ටිය ඉස්මතුවීම අවශ්‍යද?

අත්‍යවශ්‍ය නැහැ. එය අප්‍රධාන කාර්යයක්. එය සිදුවෙනවා නම් හොඳයි. එහෙත් වින්දනය ඉස්මතු කිරීම තමයි මෙහිදී ප්‍රමුඛ. එමෙන්ම කවිය වින්දනාත්මක මාධ්‍යයක්. බොහෝවිට වෙළෙඳපොළ ප්‍රතිනිර්මාණය කරලා දෙනවා මේ කවියා නිසා මේ කවිය සුදුසුයි යන්න. අද බොහෝ නිර්මාණ රසවිඳින්නේ කවියන්ගේ ස්වරූපය අනුව විමසා බලා. පුද්ගලානුබද්ධව කවියක් රසවිඳීමට පෙලඹිය යුතු නැහැ. අපි සිතිය යුත්තේ නිර්මාණ සම්බන්ධයෙන් පමණයි. නිර්මාණය මගින් කවියා කෙබඳු අයෙක් ද යන්න මඟ පෙන්වනවා. අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ ශක්‍යතාවයෙන් යුතු රචකයෙක් ද කියලා කියන්න කවිය මඟ පෙන්වනවා. අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තේ නිර්මාණයයි. ප්‍රතිභාව කියන දේ පිළිබඳ සංස්කෘත විචාරකයන් අර්ථ නිරූපණය කරලා තියෙන්නේ ප්‍රතිභා අපූර්ව වස්තු නිර්මාණකංශමා ප්‍රඥා කියලා. ඒ කියන්නේ ප්‍රතිභාව කියන්නේ අපූර්ව වස්තු නිර්මාණය කිරීමට තිබෙන ප්‍රඥාව කියලයි හඳුන්වා දුන්නේ. ඒ ගුණය කවියක තියෙන්න ඕනේ. කවියකු සතු එම ශක්‍යතාව කාව්‍ය නිර්මාණයෙන් ප්‍රකට විය යුතුයි. කවියක් රසය විඳීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ චමත්කාරයක්. රසය සාරං චමත්කාරං කියලා කියා තියෙන්නේ. ඒ කියන්නේ චමත්කාරයක් නිරූපණය ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. මෙහිදී චමත්කාරය කියන්නේ භාව සසලතාවයෙන් ඇති වන කම්පනය. කවිය විචාරයේදී චමත්කාරය යන වචනය භාවිතා කරන අතර නවකතා කෙටි කතාවේදී අපූර්ත්වය යන වචනය භාවිතා කරනවා.

නූතන සාහිත්‍යයට විශ්ව සාහිත්‍යයේ ආභාසය ලැබීම ගැන ...?

1950 දශකයේ සිරි ගුනසිංහ, සරත් අමුණුගම, ගුණදාස අමරසේකර, විමල් දිසානායක, මහගමසේකර බඳු කවින් කාව්‍යකරණයට ප්‍රවිෂ්ට වුණේ ඔවුන් විශ්ව සාහිත්‍යයේ ප්‍රකට කාව්‍ය නිර්මාණ කියවීමෙන් ලද වින්දනාත්මක චින්තනයෙන් යුතුවයි. විශේෂයෙන් ටී. එස්. එලියට් වැනි කවීන්ගේ කවි කියවා ලැබූ විකසිත වූ මනසකින් යුතුව තමයි ඒ කවීන් කාව්‍යකරණයට ප්‍රවිෂ්ට වුණේ. අද විශ්ව සාහිත්‍යයෙන් ආලෝකනය වන කවීන් නම් නැති තරම්. විශ්ව සාහිත්‍ය කියන්නේ අපරදිග පමණක් නොවෙයි. ප්‍රංශ සංකේතවාදී කවීන්ගේ නිර්මාණ අපේ බොහෝ කවීන්ට බලපෑවා. සරත් අමුණුගම කවියාගේ හද තුළ ආසාව නැමැති කාව්‍යයට ප්‍රබල ලෙස බලපෑවේ ප්‍රංශයේ සංකේතවාදී කවි. ඒ වගේම විමල් දිසානායකගේ කවිවලට බලපා තිබෙනවා ජපානයේ හයිකෝ කවි. හයිකො කියන්නේ මාත්‍රා 17කින් යුත් අතිශයෙන් සංක්ෂිප්ත භාව්‍ය කාව්‍ය විශේෂයක්.

හයිකු කවීන්ට තිබෙන සීමාව පැහැදිලි කළහොත්......

හුදු භාවයක් නිරූපණය කිරීම තමයි කවියාගේ අධ්‍යාශය වන්නේ. ඔවුන්ට බැහැ එම සීමා ඛණ්ඩනය කරන්න. ප්‍රබල භාවයක් ගැඹුරින් නිරූපණය කිරීම හයිකු කවීන් ප්‍රකට කරනවා. ඕනෑම ගැඹුරක් හයිකු කවිය මඟින් නිරූපණය කිරීමට හැකියාව තිබෙනවා. මේ නිසා හයිකු කවිය පහසුයි කියලා අපට හිතන්න බැහැ.

හයිකු කවියේ සමාරම්භකයා ලෙස සලකන්නේ බෂෝ කියන කවියා. උදාහරණයක් ලෙස සැලකුවොත් පුරුඉකෙයා තවස්තෘ තොභිකෝ මිස්නෝ ඔතො. ජපන් බසින් මෙ ලෙස කිවුවත් මෙහි සිංහල පරිවර්තනය වන්නේ පැරැණි පොකුණකට මැඩියෙක් පැන්නේය. ජලය හඬ නැඟීය. මේ කෙටි කාව්‍යයෙන් ගැඹුරු අර්ථයක් නිරූපණය කරනවා. මෙහි මැඩියා කියන්නේ බුදු හිමි. පැරැණි පොකුණ කියන්නේ සංසාර සාගරය. බුදු හිමි නිසා මිනිසාට සසර එළිපෙහෙළි කිරීමට මඟ පාදනවා. ජපානයේ හයිකු කවි නිර්මාණය වූයේ ඍතු බේදය ගැන සැලකිලිමත් වෙමින්. ජපානයේ ඇති වන ඍතු වෙනසත් සමඟ හයිකෝ කවියේ ස්වරූපය අලංකාර වුණා. මේ එක් එක් ඍතුවලදී භාවයන්ගේ ඇතිවන පරිවර්තනය අපූරුවට හයිකු කවිවලින් නිර්මාණය වෙනවා. අපේ රටේ දක්නට ලැබෙන්නේ හයිකු කවි නෙවෙයි සංක්ෂිප්ත කාව්‍යයන්. සංක්ෂිප්ත කියන්නේ හයිකු නෙවෙයි. සංක්ෂිප්ත කවිවල අභාසය අපට සීගිරි ගී වලින් ලැබෙනවා. සීගිරි ගී කියන්නේ මුක්ත කාව්‍ය විශේෂයක්.

කෙටිකතාව, නවකතාව කවිය සම්බන්ධයෙන් සුදුසු විචාර මඟක් අද තියෙනවද?

ගුරුකුල අත්තුක්කංසනයෙන් සම්පූර්ණයෙන් මිදිය යුතුයි. නැත්නම් නිර්මාණ යථා ස්වරූපයෙන් විචාරය වන්නේ නැහැ. අද බොහෝදෙනා තමන්ගේ ගුරුකුලයේ අයෙකු නම් ඒ පිළිබඳ අතිශයෝක්තියෙන් විචාරය කරනවා. එසේ නොමැති නම් ඒ නිර්මාණය හෙළා තළා කතා කරනවා. මෙය නිර්මාණයක අභිවර්ධනයට හේතුවන්නේ නැහැ. මේ නිසා විචාරකය මධ්‍යස්ථව නිර්මාණය දෙස බැලිය යුතුයි.

රූපාන්ති බුලත්සිංහල

සේයාරූ - විමල් කරුණාතිලක

අදහස්