මිනිසකුගේ වටි­නා­කම | සිළුමිණ

මිනිසකුගේ වටි­නා­කම

ඔලීගා ස්ටෙෆ්කොවගේ පුතා වූ අන්ද්‍රි තරම් කඩවසම් තරුණයකු ස්ට්‍රෙෙඩන්සියාවේ පමණක් නොව මුළු ස්නෙගොවොස්කි දිස්ත්‍රික්කයේම නොවීය.

ඔහු පිළිබඳ සෑම තොරතුරක්ම සිත් ඇදගන්නා සුලු විය. මනා රූ සපුවෙන් යුත් ඔහු උස පුද්ගලයෙකි. තියුණු අළු පැහැති ඇස් හා ආරුක්කුවක හැඩ ගත් ඇහි බැම ඔහුගේ මුහුණ ආලෝකමත් කළේය.

අන්ද්‍රි ස්ටෙෆ්කෝවා ඒ අවට ප්‍රදේශයේ සිටි කඩවසම් තරුණයා වූවා පමණක් නොව ජේත්තුවට අඳින පළඳින පුද්ගලයෙක්ද විය. කඳුකර සමුහ ගොවිපළක ප්‍රධාන එඬේරා වශයෙන් සේවය කළ මෙම කඩවසම් තරුණයාගේ සිත දිනාගැනීමේ අපේක්‍ෂාවන් පසුවූ රූමතියෝ තම රූමත්කම රැක ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් වූහ.

සුදු කලිසමකින් සහ ගෙත්තම් කළ කමිසයකින් නිතරම සැරසී සිිටින ඔහු කඳුකර ප්‍රදේශවල පාවිච්චි කරන පාවහන් පැළැන්දේය.

 

“ඔබ ඔබගෙ හොඳම ඇඳුම් සතියෙ දවසවල අඳින්නෙ ඇයි ?” ෆියඩෝර් සක්‍රිෂකා වරක් ඔහුගෙන් විමසුවේය.

“මට සතියෙ දවස් කියල විශේෂයක් නැහැ” තරුණයා පිළිතුරු දුන්නේය.

“මට හැමදාම නිවාඩු දවසක්”

අන්ද්‍රි ප්‍රිය සම්භාෂණවලට සහ මංගල උත්සවවලට නොවරදවාම සහභාගි විය. එහෙත් එවැනි තැන්හි දී ඔහු නැටුවේ කලාතුරකිනි. ඔහු පසෙකට වී සියල්ල සිදුවන ආකාරය බලා සිටියේය.

තරුණියෝ ඔහු අසංවර පුද්ගලයකු ලෙස සැලකුහ. ඔහු තරුණියන් කිසිවෙකුගෙන් තමා සමඟ විවාහවීමට කැමැති දැයි විමසුවහොත් තරුණිය පිළිතුරු දිමට බොහෝ වෙලාවක් කල්පනා කරනු ඇත. ඇය මඳක් ලැජ්ජාහීලිව සිට අවසානයේ කැමැත්ත පළ නොකරනු ඇත.

මේ මිනිහත් සමඟ විවාහවන තරුණිය සතුටින් සිටින එකක් නැහැ වරක් මහලු කාන්තාවක් කීවාය. කඩවසම් තරුණයන් හරිම දුෂ්ටයි මොහුත් එවැනි කෙනකු වේවි.

අන්ද්‍රි ස්ටෙෆ්කෝවා ගැන කල්පනා කළේ තරුණියන් පමණක් නොවේ. මිනිසුන් ගැන ක්‍ෂණික නිගමනවලට එළඹෙන ගරුල්යාද ඔහු ගැන සිතුවේය. ඔලීගාගේ පුත් අන්ද්‍රි ස්ටෙෆ්කෝවා කඩවසම් මුහුණක් ඇති හිස් පුද්ගලයෙකුයැයි ඔහුගේ නිගමනය විය.

දිනක් සමූහ ගොවිපළවල ලේකම්වරුන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගිවී ගරුල්යා ආපසු එමින් සිිටියේය. සමූහ ගොවිපලට අවශ්‍ය යන්ත්‍ර උපකරණ සහ අහාර ගෙනයමින් සිටි ලොරියක නැග ඒමට ඔහුට සිදුවිය.

මාර්තු මාසයේ මැද දිනයක් වූ එදින අනපේක්‍ෂිත ලෙස හිම දියවීම ඇරඹි තිබිණ. පහත් බිම් ප්‍රදේශයේ හිරි පොද වැස්ස පැවැති අතර කඳුකර ප්‍රදේශවල ශිතල වැස්ස සහ හිමපතනයද විය. සෑම තැනකම වුයේ මඩ සහ අඳුරයි. කඳු අතරින් ගලා යන ජල පහර වේගවත් විය. හැම පාරක්ම මඩෙන් වැසී ඇත.

ගරුල්යා රියැදුරු අසුනට යාබද අසුනේ ශිතලේ ගැහෙමින් වාඩිවී සිටියේය. අවාසනාවකට මෙන් ලොරියේ එන්ජිම ක්‍රියා විරහිත විය. රියැදුරා එන්ජිම යළි හදා ගැනීමට මහන්සි ගත්තේය. ලොරියේ විදුලි බුබුලුවල ආලෝකයෙන් දැඩි අඳුර මැකිය නොහැකි විය. ස්ට්‍රෙඩන්සියාවට යාමට තව බොහෝ දුර ගමන් කළ යුතුව ඇත.

අවසානයේ රියැදුරු රිය හදා ගත්තේය. ඔවුහු තවදුරටත් කඳුකර මාර්ගයේ ඉදිරියට ගමන් කළහ. මාර්ගය වංගු සහිත දුෂ්කර එකක් වු අතර ශිතල අධික විය. හිම පතනය ඇරඹිණ.

රියැදුරාගේ කාර්යක්‍ෂමතාව ගැන ගරුල්යා සිතින් ඔහුට ප්‍රශංසා කළේය. වයස හැට ඉක්මවුවකු වුවද මනා පුහුණුවක් ලත් තරුණයකු මෙන් ඔහු රිය ඉදිරියට ගෙන ගියේය. ඊටත් වඩා හිම වැටෙන අන්ධකාර රාත්‍රියේ කඳු අතරින් ගමන් කිරීමේ භයානක බව වළක්වමින් ඔහු ඉදිරියටම රිය පදවාගෙන ගියේය.

අවසානයේ ඔවුහු පටු පාරකට පිවිසියහ. කඳුකර පටු මාර්ගයේ ඉහළට ගමන් කිරීම සඳහා ලොරියේ ඒනජිම උපරිම උත්සාහය දරුවේය. ලොරියේ ඉදිරිපස විදුලි බුබුළුවල ආලෝකයෙන් ලොරිය දෙසට එන කිසිවකු ගරුල්යාට සහ රියැදුරාට දක්නට ලැබිණ.

“මේ වගෙ රාත්‍රියක යන මේ මිනිහා කව්ද ?” මවිතයට පත් ගරුල්යා විමසුවේය.

රියැදුරා තිරිංග තද කොට රිය නවතා දොර විවෘත කළේය. රියේ එන්ජිම නතර කළ පසු ශිතල සුළගේ හඬ ගරුල්යාට ඇසිණ.

“ආආ කව්ද ? කොහාටද යන්නෙ ?” ගරුල්යා හඬනගා විමසුවේය.

“වැඩිදුර නෙවෙයි” සන්සුන් හඬකින් පිළිතුරක් ලැබිණග “අල්ලපු ගමට”

“උඹ කව්ද ?”

“මාව අඳුරන්න බැරිද ?”

“ආ මේ අන්ද්‍රිද ?”

“ඔව් කොහොමද ?”

“උඹ මෙහෙ මොකද කරන්නෙ ?”

“නිකං ඇවිදින්න යනවා” තරුණයා ගණනක් නැතිව පිළිතුරු දුන්නේය.

ගරුල්යා වික්‍ෂිප්ත විය.

“උඹට මොළයක් කියල දෙයක් ඇත්තෙම නැද්ද ?”

අන්ද්‍රි සිනාසුණේය. එහෙත් හදිසියේම නිහඬ වූ ඔහු මොහොතකට පසු තමා යන තැන හෙළිකිරීමට සිතා කතා කළේය.

“හොඳයි උඹට දැනගන්න ඕනෙ මම යන්නෙ කොහාටද කියලනෙ. මං යනවා ස්ටීවන් ඔසට්‍රෙව්කාගෙ ගෙදරට”

ගරුල්යා සන්සුන් විය. ස්ටීවන් ඔස්ට්‍රෙව්කාගේ දියණිය පසුගිය වසර තුළම මාරාන්තික ලෙස රෝගාතුරව සිටි බව ඔහු දැන සිටියේය. උසාගොඩ් රෝහලේ මාස කිහිපයක් සිට ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා ඇය කිව් නගරයේ රෝහලකට ගෙන යනු ලැබීය. ශල්‍ය කර්මයේ ප්‍රතිඵල ගැන කිසිවකු විශ්වාස නොකළ නමුදු ඇගේ ජීවිතය බේරාගැනීමේ තීරණය ඒ මත රැඳි තිබිණ.

“ඇයි උඹ ඔස්ට්‍රෙව්කාගේ ගෙදර යන්නෙ ?

“මම තැපැල් කන්තොරුවෙ ඉන්න කොට ස්ටීවන් ඔස්ට්‍රෙව්කාගේ නමට විදුලි පුවතක් ලැබුණා. ඒ අනුව ශලය කර්මය සාර්ථක වෙලා. ස්ටීවන්ගෙ දුව ක්‍රමයෙන් සනීපවේවි”

“ඒ්කෙ තිබුණෙ එහෙමද ?”

අන්ද්‍රි හිස සලා එය අනුමත කළේය.

“උඹ ඒ ටැලිග්‍රැම් එකත් අරන් යනවද ?”

“හෙට වෙනකම් මේ ටැලිග්‍රෑම් එක තැපැල් කන්තොරුවෙ තිබිල ඇති වැඬේ මොකක්ද ? වයසක මිනිස්සුන්ට රාත්‍රිය කියන එක හුගක් දිග කාලයක්නෙ. ඊටත් වඩා ස්ටීවන් ඔස්ට්‍රෙව්කා දුවගෙ ඔපරේෂන් එකේ තොරතුරු දැනගන්න නොඉවසිල්ලෙන් බලා ඉන්නව ඇතිනෙ. උඹට ඒ ගැන විස්තර කරන්න ඕනෙ නැහැනෙ. මං ගිහින් එන්නම්”

ඔහු ක්‍රමයෙන් නොපෙනී ගියේය.

ඔවුහු ඉදිරි සැතපුම් අටත් පටු පාර දිගේ ගොස් නිහඬවම ස්ට්‍රෙඩන්සියාවට පැමිණියහ. ගමට කිට්ටුවනවිට නිහඬතාව බිඳිමින් ගරුල්යා කතා කළේය.

“මිකායෙල්” ඔහු රියැදුරාව ඇමතුවේය.

“ඇයි ?”

“මම උඹට කියන්න කියලයි හිටියෙ” ගරුල්යා හැගීම් බරව පැවසුවේය.

“මිනිහෙකුගෙ වටිනාකම තේරුම්ගන්න ඕනෙ නම් ඒ මිනිහා තවත් කෙනකු විපතට වැටුණහම හරි සන්තෝෂ වෙන වෙලාවක හරි කටයුතු කරන ආකාරය බලන්න ඕනෙ. ඒ අනුව තමයි ඒ මිනිහගෙ වටිනාකම මැනගන්න පුළුවන්. එහෙම බලන කෙනෙකුට කවදාවත් වරදින්නෙ නැහැ”

අදහස්