සීගිරි ගී සහ ජෝති ගී අතර සම්බ­න්ධ­යක් තිබේද? | සිළුමිණ

සීගිරි ගී සහ ජෝති ගී අතර සම්බ­න්ධ­යක් තිබේද?

එච්. ආර්. ජෝතිපාල සංගීත සම්ප්‍රදායන් සම්බන්ධයෙන් ආයතනික අධ්‍යාපනයක් ලබා නැත. එහෙත් ඔහු සියලු සම්ප්‍රදායන්ට හිස නැමුවේය. හින්දි සම්ප්‍රදාය, හෙළ ගී සම්ප්‍රදාය ආදී සියල්ලේ මිහිර නිහතමානී ලෙස හදවතින් පිළිගත්තේය. අමුතුවෙන් විප්ලවකාරයකු වීමට සිතුවේ නැත. රසිකත්වය තුළින් සම්ප්‍රදාය හඳුනාගත්තේය. ජෝතිපාලයන් විප්ලවීය ගායකයකු වන්නේ එසේය. එනම් විප්ලවීය ගායකයකු වීමට එතුමන් අමුතු උත්සාහයක් ගත්තේ නැත. නිහතමානීව රසිකත්වයෙන් සංගීතයේ සියලු සම්ප්‍රදායන් දැනගැනීමට උත්සාහ කළේය. එයට අමතරව ජෝතිපාලයන්ගේ ගීත මිහිරි වීමට තවත් හේතුවක් වන්නේ ඔහුගේ ගායනා තුළ අපේ කතා සාමාන්‍යයෙන් කතා බහකරන ආකාරයේ රිද්මය රැඳී තිබීමයයි සිතමි. ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයෙන් කටහඬ ‘උල්’ කරනු නොලැබීම නිසා ම ඔහුගේ ගායන ශෛලිය තුළ අපේ කතාබහේ පවතින ස්වාභාවික ආවේණික ලතාව රිද්මය රැඳී තිබිණි.

තරුණයාගේ කැමැත්ත විප්ලවීය වීමයි. ඒ අනුව විප්ලවීය වීම උදෙසා සම්ප්‍රදායට පයින් ගැසීමට සූදානම් වෙති. එහෙත් සම්ප්‍රදායට පයින් ගැසීම පහසු නොවේ. මක්නිසාද යත් සම්ප්‍රදාය යමෙකුට අවශ්‍ය නම් ඔහු ඊට පෙර සම්ප්‍රදාය හඳුනාගත යුතු බැවිනි. එහෙත් සම්ප්‍රදාය හඳුනා ගැනීම පහසු නොවේ. සම්ප්‍රදාය හඳුනා ගැනීමට නම් එය ඉගෙනගත යුතුය.

සැබවින්ම සම්ප්‍රදාය යනු අන්කිසිවක් නොව කලාවක නම් එහි ශිල්පයයි. නැටුම් සම්ප්‍රදාය යනු නර්තන ශිල්පයයි. ලේඛන සම්ප්‍රදාය යනු ලිවීමේ කලාව නොඑසේ නම් ලිවීමේ ශිල්පයයි. අද විප්ලව කරන්නට යන බොහෝ අය එය කරන්නට යන්නේ ශිල්පය හඳුනා ගැනීමෙන් තොරවය.

සැබවින්ම විප්ලවීය යන්නෙන් අදහස් වන්නේ වෙනස් හා ආකර්ෂණීය නව නිර්මාණයකි. හඳුන්වා දීමකි. විප්ලවීය වෙන්නට උත්සාහ කරන්නෝ සම්ප්‍රදාය අතහැර යති. සම්ප්‍රදාය හැදෑරීමටඋත්සාහ නොකරති. එහි ප්‍රතිඵලය වන්නේ ම ඔවුන් අතින් විප්ලවීය වූ කිසිවක් හෝ නිර්මාණය නොවීමයි. ආකර්ෂණීය වූ කිසිවක් හෝ නිර්මාණය නොවීමයි. එයට හේතුව සියලු විප්ලවීය දෑ ඇත්තේ සම්ප්‍රදාය තුළ ම වීමයි. සම්ප්‍රදාය නොදන්නා තැනැත්තාට විප්ලව කළ නොහැකිය.

ලේඛන ශිල්පයේ විප්ලවයක් කළ හැක්කේ එතෙක් මෙතෙක් පැවැති ලිවීමේ සම්ප්‍රදායන් ශිල්ප ක්‍රම බොහෝ දුරට උපරිම වශයෙන් හා ආදරයෙන් හැදෑරූ අයෙකුටය. පැරණි ලේඛකයන් ලියූ කිවූ ආකාරය ඔවුන් අනුගමනය කළ ශෛලීන් උපාය උපක්‍රම හැදෑරූ ඉගෙන ගත් අයෙකුටය. හොඳ ලේඛකයකු වීමට නම් බොහෝ පොතපත කියවිය යුතුයැයි කියනු ලැබේ. ඒ කියන්නේ අන්කිසිවක් නොව සම්ප්‍රදාය හඳුනාගෙන සිටිය යුතු බවය. එහෙත් අද විප්ලව කරන්නට යන බොහෝ අය එසේ කරන්නට යන්නේ සම්ප්‍රදාය හඳුනා ගැනීමෙන් තොරවය. අද විප්ලව කිසිවක් සිදු නොවන්නේ ඒ නිසාය. ලේඛන කලාවත් අනෙකුත් කලාවනුත් එක තැන පල්වන්නේ ඒ නිසාය. විප්ලවකාරයන් වැඩි නිසා අද කලාව එක තැන පල්වෙන තත්ත්වයට පත් ව ඇත. සම්ප්‍රදාය හඳුනාගත් දැනගත් නිර්මාණශීලී ශිල්පීන් සිටියානම් අද අපේ කලාවන් විප්ලවීය තත්ත්වයකට පත්වනු ඇත.

මෙය අපේ තරුණ පරපුරේ ඛේදවාචකයයි. ඔවුන්ට ඇත්තේ හදිස්සියක් පමණි. අරමුණු විරහිත උද්යෝගයක් පමණි. විප්ලවකි දී මට ඔවුන්ට ඇති එකම සුදුසුකම සම්ප්‍රදාය නොදැනීම පමණි. ඒනිසා ම ඔවුන්ට කවදාවත් විප්ලවකාරීන්වීමට නොහැකිවනු ඇත.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය වශයෙන් බොහෝ විචාරකයන් විසින් සලකනු ලබන්නේ නිධානයයි. නිධානය රචනාකරන ලද්දේ ජී.බී. සේනානායක මහතා විසිනි. ජී. බී. සේනානායක මහතා ඉතා සාම්ප්‍රදායික ලේඛකයෙකි. එනම් ඔහු කිසිම විටක ලිඛිත ශෛලියෙන් බැහැරව රචනා කළේ නැත. විප්ලවීය වීමට උත්සාහ කළේ නැත. නිහඬව බොහෝ පොත පත කියවා නිහඬව බොහෝ සේ ලීවේය.

විප්ලවකාරී සංවිධානවලට බැඳුණේ ද නැත. එහෙත් මා සිතන අන්දමට අනාගතයේ යම් දිනක එළිදරව් වනු ඇත්තේ මේ යුගයේ විසූ ඉතා ම විප්ලවීය ලේඛකයා ජී.බී. සේනානායක බවය.

බොහෝ විප්ලවීය යැයි කියන ලේඛකයන් අරටු නැති එඬරු දඬු වැනි බවය. එතුමන්ගේ‘ විනිවිඳිමි අඳුර’කෘතිය ලෝකයේ වුව ද උසස් ම පොත් අතර තැබිය හැකි සිංහල කෘතියකි. එතුමන් විප්ලවීය වන්නේ එතුමන් නිහඬව දේශීය ලේඛන සම්ප්‍රදාය පමණක් නොව ලෝක ලේඛන සම්ප්‍රදාය ද හැදෑරූ නිසාය. එහෙත් අද කලාවේ විප්ලව කිරීමට සැරසෙන අයගෙන් කොතරම් ප්‍රමාණයක් ජී. බී. සේනානායක හඳුනාගෙන සිටින්නේ ද? අපේ රටේ කලාවේ විප්ලවීය නිර්මාණ බිහි නොවීමට හේතුව පැහැදිලි යැයි සිතමි.

යම් ක්ෂේත්‍රයක් තුළ සියලු දැනුම කැටිවී පවතින්නේ සම්ප්‍රදාය තුළය. නැටුම, නාට්‍යය, සංගීතය, ලේඛන කලාව යන සියලු අංශයෙන් සම්බන්ධයෙන් එය සාධාරණය. ඒ නිසා සම්ප්‍රදායට අවමන් නොකළ යුතුය. නිහඬව නිහතමානීව එය හඳුනාගත යුතුය. හිස නැමිය යුතුය.

විප්ලවීය නිර්මාණකරුවන් බිහිවන්නේ එතුළිනි. එච්. ආර්. ජෝතිපාල සංගීත සම්ප්‍රදායන් සම්බන්ධයෙන් ආයතනික අධ්‍යාපනයක් ලබා නැත. එහෙත් ඔහු සියලු සම්ප්‍රදායන්ට හිස නැමුවේය. හින්දි සම්ප්‍රදාය, හෙළ ගී සම්ප්‍රදාය ආදී සියල්ලේ මිහිර නිහතමානී ලෙස හදවතින් පිළිගත්තේය. අමුතුවෙන් විප්ලවකාරයකු වීමට සිතුවේ නැත. රසිකත්වය තුළින් සම්ප්‍රදාය හඳුනාගත්තේය. ජෝතිපාලයන් විප්ලවීය ගායකයකු වන්නේ එසේය. එනම් විප්ලවීය ගායකයකු වීමට එතුමන් අමුතු උත්සාහයක් ගත්තේ නැත. නිහතමානීව රසිකත්වයෙන් සංගීතයේ සියලු සම්ප්‍රදායන් දැනගැනීමට උත්සාහ කළේය. එයට අමතරව ජෝතිපාලයන්ගේ ගීත මිහිරි වීමට තවත් හේතුවක් වන්නේ ඔහුගේ ගායනා තුළ අපේ කතා සාමාන්‍යයෙන් කතා බහකරන ආකාරයේ රිද්මය රැඳී තිබීමයයි සිතමි. ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයෙන් කටහඬ ‘උල්’ කරනු නොලැබීම නිසා ම ඔහුගේ ගායන ශෛලිය තුළ අපේ කතාබහේ පවතින ස්වාභාවික ආවේණික ලතාව රිද්මය රැඳී තිබිණි. ‘සුදු ඔබ මොනව කළත් අහිතක් නෑ හිතුවේ’‘ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගෙ වාසානා’‘පණ වාගේ හිටියාට වෙන් වීලා ගියදාට’මේ ඒ සම්බන්ධයෙන් උදාහරණ කිහිපයක් පමණි. විප්ලවීය වීමට කිසිදා නොසිතූ නිසා ම ජෝති විප්ලවීය වේ. එහෙත් ‘විප්ලවීය’ අපේ පරපුරෙන් විප්ලවීය නිර්මාන කිසිවක් බිහි නොවේ.

සීගිරි කුරුටු ගී නොඑසේ නම් සීගිරි පද්‍ය ඉතා සරලය. ඒවා තුළ ඇත්තේ සීගිරි ලලනාවන්ගේ රූපය, සෞන්දර්ය දැකීමෙන් හිතේ ඇති වූ විවිධ රසාත්මක හැඟීම් කීමට දැරූ උත්සාහයන්ය.

පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද නායක හිමියන් විසින් සීගිරි පද්‍ය 200ක අර්ථ විවරණය කරමින් සම්පාදනය කර ඇති කෘතිය කියවීමෙන් ඕනෑම අයෙකුට සීගිරි ගීවල මිහිර හඳුනා ගැනීමට හැකිවේ යැයි සිතමි. පැමිණෙන පුද්ගලයන් විවිධ නිසා එකම සීගිරි රූ විසින් වුව ද මනස තුළ ඇති කරන භාවයන් වෙනස් වේ. කෙසේ වුවත් කාන්තාවන් කෙරෙහි පවතින ලෙන්ගතු හැඟීම ඒ සියලුම සීගිරි කුරුටු ගීවල පවත්නා අර්ථයවේ. සීගිරි චිත්‍රවලද අර්ථය එයමය. ජෝතිපාලගේ සියලුම ගීතවල ද අර්ථය එයමය. මෙය සීගිරි කුරුටු ගී හා ජෝතිපාලගේ ගීත අතර සම්බන්ධයක් දැකීමට උත්සාහ කිරීමක් නොවේ. අනික් අතට එබඳු සම්බන්ධයක් ඇත්නම් එය ද පුදුමයක් නොවේ. කලාවේ මග හා මිහිර රැඳී ඇත්තේ සම්ප්‍රදාය ඔස්සේය. මෙය විප්ලවීය සොයාගැනීමක් යැයි සිතා අද තරුණයා මෙයට ආකර්ෂණය වේවා යැයි පතමි.

Comments