කතුවැකිය

සම්මුතිවාදි රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්

 රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ගත් කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු නිල සංචාරය ඉතා වැදගත් මංසන්ධියකි. ඒ, රුසියානු විප්ලවය සිදු වී 2017ට වසර සියයක් සම්පූර්ණ වීම නිසා පමණක් නො වේ; මේ සංචාරය සිදු වන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන බටහිර බලපෑම යළිත් අලුත් වූ කාලයක වන බැවිනි. එය එක් පැත්තකි. අනෙක් අතට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට ඇති ආර්ථික අභියෝගය හමුවේ ද රුසියානු 'බලවතා' තීරණාත්මක ය. 'ධනවාදි' හා 'සමාජවාදි' යන පැරණි බෙදීමට අනුව නො ව බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ඇතුළත් 'BRICS' නමැති ආර්ථීක සංසදය තුළ ද රුසියාව බලවත් රටක් වන බැවිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මේ සංචාරය සිදු වූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ආරාධනාවකට අනුව යි. 1974 වසරේ දී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පසු එවැනි නිල ආරධාවක් අප රටට ලැබුණු ප්‍රථම අවස්ථාව ද මෙය යි. බලවත් රටක් තම බලය තවදුරටත් පතුරුවා ලීම ස්වාභාවික ය. ආසියානු කලාපය තුළ රුසියාවේ හිතවත්කම් තර කර ගැනීමට උනන්දු වීම ද ස්වාභාවික ය. ඒ පැතිරීම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් යොදා ගැනීම යනු රාජ්‍යතාන්ත්‍රික හැකියාව යි. කෙනකුට කෙනකු ගොදුරු නොවී දෙදෙනාට දෙදෙනා අවශ්‍ය වන පරිදි ඒ ගනුදෙනුව කළ හැකි යි. නොබැඳි පිළිවෙත ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් අත්හදා බැලූ මාර්ගය යි. මධ්‍යම ප්‍රතිපදාව සංස්කෘතික හුරුවක් වී ඇති ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සඳහා නොබැඳි පිළිවෙත හොඳ මාර්ගයකි. මේ මඟ ඇමෙරිකාව හා එදා සෝවියට් රුසියාව අතර සීතල යුද්ධය පැවති සමයේ නොබැඳි රටවල් ලෙස සංවිධානගත වීම නො වේ; අසවල් බලවතා වෙනුවෙන් ම පෙනී සිටිනවා ය, යන අන්තවාදි ස්ථාවරය නම් මෙහි දී ප්‍රතික්ෂේප වේ. මෙරට පක්ෂ දේශපාලනය කරපින්නා ගෙන අත් කර ගත් අනන්ත පාඩු, එක් බලවත් රටක් වෙනුවෙන් අන්තගාමි වීම නුසුදුසු බව අවබෝධයට ගෙනෙයි. නව ලෝක ප්‍රවණතා හමුවේ, තම කැමැත්ත හා වුවමනාවන් අනුව ගැළපෙන රටවල් සමඟ ගනුදෙනු කිරීමට යි ශ්‍රී ලංකාවේ භූගෝලීය වටිනාකම භාවිත කළ යුතු වන්නේ.

ලෝක බලවතකු වන රුසියාව සංකීර්ණ දේශපාලනයක් සහිත වේ. එනම්: එරට රාජ්‍යතාන්ත්‍රික දැක්ම හැම විට ම එක ම ආකාරයකින් නො රඳයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්වභාවයට අනුව ද - එනම්: කවර දේශපාලන පක්ෂයක් රටේ ආණ්ඩු බලය මෙහෙයවනවා ද යන කාරණය අනුව ද - වෙනස් විධි අනුගමනය කරන්නට ඉඩ ඇත. එහෙත් ධනවාදි හෝ සමාජවාදි හෝ කඳවුරු භේදයකින් තොර ව, මෙරට ආණ්ඩුවේ දේශපාලන අන්තය කුමක් වුව ද, එක් පොදු කාරණයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ දී රුසියාව හැම විට ම ශ්‍රී ලංකාවේ පැත්ත ගෙන තිබේ. ඒ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවරය අනුමත කරමිනි. මානව හිමිකම් හේතුවක් කොට ගෙන රටක අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වීම රුසියාව විසින් අනුමත කරනු නොලැබීම එහි දී ශ්‍රී ලංකාව සමඟ එකඟ වූ පදනම යි. එරට සංකීර්ණ දේශපාලන ස්වභාවය ම, එරට නායකත්ව ලක්ෂණ ම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට යොදා ගත හැකි බව අවබෝධයට ගැනීම පිණිස ඒ අතීත අත්දැකීම ප්‍රයෝජනවත් ය.

ලෝක බලවතකු ලෙස රුසියාව විශාල බලශක්ති නිධි අයත්, තාක්ෂණය අතින් පොහොසත් රටක් වීම පමණක් නො ව, එකී අංශයේ උදවු උපකාර 'කතාවට' පමණක් සීමා නොකළ ඉතිහාසය ද මෙහි දී වැදගත් ය. මෙරට ජනසමාජයේ සංහිඳියාව කෙරෙහි අවශ්‍ය ම සාධකයක් වන්නේ ආර්ථික සංවර්ධනය වන නිසා, රුසියාව තනි රටක් ලෙසත්, 'BRICS' සාමාජිකයකු ලෙසත් ලෝක දේශපාලනය තුළ පෙන්වන ආර්ථික හා දේශපාලන ශක්තිය අමතක කළ නොහැකි ය. දෙරට අතර කෙරෙන රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා සමඟ ගැළපෙන්නේ එවැනි සාධක ය. එකී ධනාත්මක ගනුදෙනු වර්ධනයට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරය විශාල දායකත්වයක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය වුවමනාවන් වෙනුවෙන් ඉදිරිපත් වන රටවල් හා දිනා ගත හැකි රටවල් සමඟ ගනුදෙනු කළ හැකි හොඳ ම මාර්ගය නොබැඳි පිළිවෙත බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ රුසියානු සංචාරය වෙතින් දෙන ආදර්ශය යි. විවිධත්වය එක තැනක රඳවා ගත් සම්මුති ආණ්ඩුව අනුගමනය කරන මේ මඟ හෙවත් දේශීය ව අනුගමනය කරන නොබැඳි පිළිවෙත අන්තර්ජාතිකවත් ඵලදායක වනු ඇත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.