මහි­න්දා­ග­ම­න­යෙන් දියුණු වූ සිංහ­ලය බුද්ධ­ඝෝ­ෂා­ග­ම­න­යෙන් පිරි­හි­ණිද? | සිළුමිණ

මහි­න්දා­ග­ම­න­යෙන් දියුණු වූ සිංහ­ලය බුද්ධ­ඝෝ­ෂා­ග­ම­න­යෙන් පිරි­හි­ණිද?

ලොව අන් කවර රටකට වත් නොදෙවැනි ත‍රමේ ශ්‍රේෂ්ඨ දියුණුවක් අපට ලැබුණේ. බුදු දහම රැගෙන මෙරටට වැඩම වු මිහිඳු මහ රහතන් වහන්සේ නිසාය. බුදු දහම ලැබීමට පෙරැ මෙ රට යම් සංස්කෘතියක් හා සභ්‍යත්වයක් පැවැතුණද විවිධ ආගම් ඇදහීම් පැවතුණද සැබෑ බෞද්ධ සිංහල නව නවෝදයක් උදාවුයේ බුදු දහම ලක් දිවට ගෙන ඒමෙන් පසුව බව පැහැදිලිය.

යම් සංස්කෘතියකට නව සංස්කෘතියක් ආදේශ කිරීම අසීරු කාර්යයක් වුවත් මිහිඳු හිමියන් හෙළ බසින් බුදු දහම දේශනා කිරීම මෙරට වැසියනට ධර්මය අවබෝධ කරගැනීමට පහසු විය. සංස්කෘතියේද නව නැම්මක් උදා විය. ඒ නිසා ලක් රජය සිංහල බෞද්ධ රජයක් බවට පත් විය. ධර්මයේ ගැඹුරු දහම් කරුණු අඩංගු සුත්‍ර රාශියක් දේශනා කළේ සිංහල බසිනි. ඒ අනුව සිංහල බසෙහි ඇති පිරිපුන් බවද පෙනේ.

චුල්ලහත්ථීපදෝප සුත්‍රය, සමචිත්ත පරියාය සුත්‍රය, දේව දුත සුත්‍රය, බාල පණ්ඩිත සුත්‍රය, අග්ගිඛන්ධෝප සුත්‍රය, ආසිවිසෝප සුත්‍රය, අනව තග්ග සුත්‍රය, ගෝමය පිණ්ඩික සුත්‍රය, ධම්මචක්ක පවත්තන සුත්‍රය, මහා අප්පමාද සුත්‍රය, වස්ප්‍රපිනායික සුත්‍රය, පේතවස්තු ප්‍රකාරණය, විමාන වස්තු ප්‍රකරණය, සම්ම සංයුත්ත සුත්‍රය, ආදි විසින් දේශනා කළ සුත්‍රවල ගැඹුරු ධර්ම කාරණා අන්තර්ගත වුවද ඒවා සිංහල බසින් දේශනා කිරීම හේතුකොටගෙන ප්‍රබල සිංහල භාෂාවකුත් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයකුත් මෙරට ඇති විය. ජන ජීවිතයට අදාළ සරල දහම් උපදෙස් ද එමෙන්ම සිත සන්සිඳු වීමට අදාළ ගැඹුරු දහම් කරුණු ඇතුළත් විය. භාෂාවේ හා සාහිත්‍යයේ පෝෂණයට මුලික වු‍වෝ භික්ෂුහු සාහිත්‍ය නිර්මාණ කරණයට පිවිසුණහ. පත පොත ලිවීමේදී වස්තු බීජ ලබා ගත්තේද බණ දහමින් වීම සුවිශේෂ ලක්ෂණයයි.

ග්‍රන්ථ කරණයේ නියැළුණු ගිහි පැවිදි වියතුන්ගෙන් සාහිත්‍ය රසඥතාව මෙන්ම සාරධර්ම ගුණ ධර්ම ද පෝෂණය වු බව පෙණේ. සිංහල සාහිත්‍යයේ සැඟ වී ඇති යථාර්ථය බෞද්ධ ධර්මය නිසා හරවත් වී ඇත. සුමංගල විලාසිනියේ සඳහන් වන කරුණු අනුව මිහිඳු මහ රහතන් වහන්සේ (මාගාධි) පාළි භාෂාවෙන් පැවැති අටුවා සිංහලයට පරිවර්ථනය කර ඇත. මේවා සීහලට්ඨකතා, නොහොත් හෙළ අටුවා යනුවෙන් හැඳින්වේ.

හෙළ අටුවා පරිහරණය නිසා මෙරට වැසියෝ ආධ්‍යාත්මික හා බාහිර පැවැත්මෙන් සාමකාමී පරිසරයකින්ද යුතු වුහ. මහ අටුවාව, මහ පසුරු අටුවාව, කුරුඳු අටුවාව, අටුවා අතර මුල් තන්හිලා ගැනේ. මහ අටුවාව මුළු ත්‍රිපිටකයම අලළා මෙරට බොහෝ තොරතුරු ඇතුළත්කර සංග්‍රහ කර ඇත. හෙළ අටුවාව දක්නට නොලැබෙතත් ක්‍රි.ව. 908-918 දක්වා රජ කළ අබාසලමෙවන් කසුප් නිරිඳුන්ගේ ධම්පියා අටුවා ගැට පදය හෙළ අටුවා තිබුණු බවට සාක්ෂි දරයි.

එහි සඳහන් ලෙස “බුදුකැලි අටුවා හෙළ දිව ඇජුරෝ හෙළු බසින් තැබුහ. යන වදන් වලින් හැ‍ඟෙන්නේ හෙළ අටුවා පැවැති බවයි. ලක්දිව බුදු දහම මුල් බැස ගැනීමට මුලික වුයේ අනුරාධපුර මහා විහාරය හෙවත් ථෙරවාද මුලස්ථානයයි. එහෙයින් පිරිසිදු ථෙරවාද ධර්මය පදනම් කැරගෙන ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍ය සේවාව පෝෂණය වු බව පැහැදිලිය

මහා විහාරිය භික්ෂුන් කළ ධර්ම ග්‍රන්ථ සමුහයක් ගැන වංශ කතාව සඳහන් කරයි. දුටු ගැමුණු රජුගේ පින් පොත, මේඝ වර්ණ රජු සමයේ ලියු සිංහල දාඨා ධාතු වංශය, බුද්ධදාස රජු කළ ධම්ම කථික තෙරුන් කළ සුදාන්ත පරිවර්තනය, මහානාම රජු දවස ලියැවුණු සිංහල මහා බෝධි වංශය පළමු වන කසුප් රජු කළ ග්‍රන්ථ, පළමුවන මුගලන් රජු දවස කළ කේශ ධාතු වංශය, සවන මුගලන් රජු දවස ලියැවුණු සිංහල කාව්‍යය, සවන කසුප් රජ කරවු ග්‍රන්ථ සංග්‍රහ පාළිය, සවන දසපුල රජු කරවු නඩු විනිශ්චය, යන ග්‍රන්ථ විසුද්ධි මාර්ග පුරාණ සන්නස කුදාසික පුරාණ සන්නස, පුරාණ කුස ජාතක කාව්‍යය, අසක්දා කව, පුරාණ මයුර සංදේශය, යන පොත් අද දක්නට නැත.

දැනට සිංහල සාහිත්‍යයේ ඉතිරිව ඇති පළමුවන සේන රජු රජුගේ සියබස්ලකර පස්වන කසුප් රජු කළ ධම්පියා අටුවා ගැටපදය, සික වළඳ හා සික වළඳ විනිස සිංහල සාහිත්‍යයේ මුදුන් මල් ලෙස අදත් පවතී. සියබස්ලකර සිංහල සාහිත්‍යයේ නිර්මාණකරණය සඳහා සපයන ලද්දේ මහ එළියකි.

සීගිරි ගී දෙස බලන කළ බුදු දහම සිංහලයට පරිවර්තනය වීම නිසා නිර්මාණ සාහිත්‍ය‍යක් මෙහි ඉක්මනින් ව්‍යාප්ත වු බවද පැවසිය හැකිය. එහෙත් ක්‍රි.ව. 5 වැනි සිය වසේ සිදු වු අටුවා පාලියට පෙරළීම නිසා යළි සිංහල භාෂාවේ පරිහානි යුගයක් උදා වු බවද පැවැසිය හැකිය. බුදු දහම ලැබී සිංහල භාෂාව තවත් ඔප මට්ටම් වී ඉදිරියට ගලා ගියත්, පාලි භාෂාව සඟරුව‍නේ බස මෙන්ම උගතුන්ගේ බස වශයෙන් පරිහරණයට ගන්නා විට සිංහල අටුවා මුළු ගැන්වී අතුරු දහන්වීම සමඟම පොදු ජනතාවට ධර්මය අවබෝධ කරගැනීමට තිබු අවස්ථාව ද ගිලිහී යන්නට විය.

Comments