නව­තින්න තිස්ස! | සිළුමිණ

නව­තින්න තිස්ස!

රිදී සීනුවක මිහිරියාව නාද නංවමින් විවියන් ද සිල්වා බොරලැස්ස නම් වූ ගායිකාව ගායනා කළ ‘නවතින්න තිස්ස ඇයි මේ? නුදුවන් මුවාගෙ පස්සේ’ යනුවෙන් ඇරඹෙන ගීතය අසමින් අප රසවත් වූයේ කුඩා අවධියේ ය. අද ඉතා කලාතුරකින් මේ ගීතය ඇසෙන විට ඒ අතීතාවලෝකනය ද සමඟින් එහි අරුත පිළිබඳ අලුත් අදහසක් ද සිතට නැගෙයි. මිහින්තලා කඳු මුදුනේ දී මිහිඳු හිමියන් සංකේතාත්මක ව ප්‍රකට කළ සුවිශේෂි අවධාරණ දෙකකි එහි දී අපගේ සිහියට ගලා එන්නේ. එකක් නම් අහිංසාව ය. අනෙක නම් මමායනය, අධිමානය අවම කිරීමේ අවශ්‍යතාවයි. (මමායනය හෝ අධිමානය සම්පූර්ණයෙන් දුරුකිරීම යැයි කිව හැකි නොවන්නේ කිසිවකුටත් එය ලේසිපහසු කටයුත්තක් නොවන නිසා ය.

මිහිඳු මාහිමියන්, තිස්ස! යැයි ආමන්ත්‍රණය කළේ සාමාන්‍ය මිනිසකුට නොව රජකුට ය. මේ ආමන්ත්‍රණය අභියෝගයක් විය හැක්කේ රාජ තේජසට ය. නැතහොත් රජුගේ අභිමානයට හෝ අධිමානයට ය. නාගයකු අල්ලා ගැනීමට පෙර දළ ගලවාලීම අනිවාර්ය ය. සුමට ලෙස මෙහි දී සිදුවන්නට ඇත්තේ ඒ හා සමවූවක් යැයි අපට උපකල්පනය කළ හැකි ය. මිනිසාට හැමවිට ම බලපෑම් කරන්නේ ද මමායනය නම් වූ නාගවිෂ ය.

අප අසා ඇති ආකාරයට වේගයෙන් දිව ඇදෙමින් සිටි දේවානම්පියතිස්ස රජු නතර වූයේ ‘නවතින්න තිස්ස’ කී විට ය. එසේ කී තරමින් රජු අත වූ දුනු හී ගිලිහී වැටුණේ යැයි සිතාගැනීම පහසු නැත. රජුට යථාවබෝධය ලැබෙන්නට ඇත්තේ හිංසනයේ ආදීනව ගැන කෙරුණු ධර්මානුකූල අවධාරණයන් නිසා ය. දුනු හී අතහැරෙන්නට ඇත්තේ ඉන්පසුව ය.

බලය දූෂිත බවත්, පරම බලය පරම ලෙස ම දූෂිත බවත් අපි අසා ඇත්තෙමු. රජකුට පූර්ණ නිර්දෝෂි මිනිසකු, අහිංසාවාදියකු විය නොහැකි යැයි තර්කානුකූල ව සිතා ගත හැකි වන්නේ ඒ අනුව ය. රජු සමඟ යුද්ධයත්, යුද්ධය සමඟ ඝාතනයත් ගසට පොත්ත මෙන් එකිනෙක බැඳී පවතී. අහිංසාවෙන් දේශසීමා පුළුල් කර ගත නොහැකි ය. දේශසීමා ජයගැනීමට නම් යුද්ධය අවශ්‍ය ය.

යුද්ධය අනවශ්‍ය යැයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන අපි අද දවසේ දී සිතමු. ‘යුද්ධය එපා’ යැයි හඬ නඟන්නේ යහපත් මිනිසුන් යැයි පොදු පිළිගැනීමක් ද වෙයි. එය මුසාවක් ද නොවේ. සැබැවින් ම යුද්ධයට වැට බැඳීම යනු ඝාතනයට තිත තැබීම ය. සාමකාමී මිනිස්සු ඝාතනය අනුමත නොකරති. ඒ අනුව ඔවුහු යුද්ධය ද පිටුදකිති. ඒ එක පැත්තකි. තවත් පැත්තකින් ‘යුද විරෝධී’ ලේබලය අලවාගන්නා පුද්ගලයින්ට මෙකල අදෘශ්‍යමාන වීර පදක්කමක් ද හිමි වෙයි. ඒ අනුව සමාජයේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කිරීම සඳහා ම ‘යුද්ධය එපා’ යන්න ආභරණයක් කරගැනීමට ද බැරි නැත.

යුද්ධය මුලින් ම හටගන්නේ මිනිස් සිත් තුළ ය යන අදහසට මෙකී නොකී සියල්ලෝ ම බොහෝවිට එකඟත්වය පළ කරති. මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත ඔස්සේ ද මේ බව තහවුරු කෙරෙයි. යුද්ධ හටගන්නේ මිනිස් සිත්වල නම් ඝාතනය සඳහා උත්තේජනය ලබා දෙන්නේ ද ඒ සිත් ම මිස වෙනත් සිත් නොවේ. තිරිසන් සතුන් ඝාතනය කිරීමේ දී ඒ සඳහා ලැබෙන උත්තේජනය ඉතා සරල සාමාන්‍ය දෙයකි යි සමහරු කල්පනා කරති. බොහෝ විට යුද පුහුණුවේ දී (විශේෂයෙන් කැරලිකාර කණ්ඩායම්) ඝාතනය සඳහා නවකයන් යොමු කිරීමේ අභ්‍යාසයක් වශයෙන් මුලින්ම හඳුන්වා දෙන්නේ තිරිසන් සතුන් (කුකුළන් වැනි සත්ත්වයින්) ඝාතනය කිරීම ය.

ප්‍රජාපතී හෝ බ්‍රහ්මන් හෝ දෙවියන් වහන්සේ හෝ ලෝකය මවද්දී තිරිසන් සතුන් නිර්මාණය කරනු ලැබුණේ මිනිසාගේ ආහාරය සඳහා ය යන ආගමික මතවාදය මෙහි දී යමකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපට වැඩිපුර කතා කළ හැකි නැත. එහෙත් ඝාතනය සඳහා මැවූ සතුනට මැවුම්කරුවාණන් කකුල් ප්‍රදානය කළේ ඇයි යන අතුරු ප්‍රශ්නය නම් අපට මගහරින්නට බැරි ය. මිනිසකු විසින් හඹා එනු ලබද්දී සතුන් වේගයෙන් දිවගොස් සැඟව යන්නේ පාද ඇති නිසා ය. ඉතින් මැවුම්කරුවාණන් සතුනට පාද ලබා දී ඇත්තේ මිනිසාට ශරීරාභ්‍යාසයක් ලබාදීම සඳහා යැයි අප සිතිය යුතු ද?

‘බුදු දහම’ විශ්වීය දහමක් බවට පත්වන්නේ එහි ඇති මේ සර්වසාධාරණ, සර්වව්‍යාපී, මෛත්‍රී සහගත බව නිසා ය. ඒ අනුව ශ්‍රී ලංකාවේ සංඝ සමාජය ස්ථාපිත කිරීම මහින්දාගමනයේ එක් විශිෂ්ට ප්‍රතිඵලයක් වූ බවට විවාදයක් නැත. සෑම පොසොන් පොහෝ දිනක දී ම මේ ගැන පුන-පුනා ස්මරණය කිරීම ද වැදගත් ය. එහෙත් මහින්දාගමනයේ විශිෂ්ට අරමුණු ඉන් ඔබ්බට ද විහිද යන්නක් වන බව ය, අපගේ අදහස වන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ යනු අශෝක අධිරාජයාගේ පුත්‍රයා ය. ඝාතනයේ යෙදුණු හා ඝාතනයේ ආදීනව සාක්ෂාත් කළ පියකු සෙවණේ උන්වහන්සේ ලබන්නට ඇති අත්දැකීම් බොහෝ ය. භාරත පොළොව සිසාරා ගලා ගිය ලේ ගංගා ද ඇතැම් විට නොව බොහෝ විට උන්වහන්සේගේ නෙත ගැටුණේ යැයි අපට උපකල්පනය කළ හැකි ය. උන්වහන්සේ ‘නවතින්න තිස්ස!’ යැයි කීවේ ද රුධිර ගලනයක් වළක්වනු පිණිස ය. ඒ හඬ විසින් අප තුළ චිත්‍රණය කරනු ලැබෙන්නේ මානව දයාව අතික්‍රමණය කළ විශ්වීය මිනිසාගේ ප්‍රතිරූපයකි. අද ලෝකයට අවශ්‍ය ව ඇත්තේ ද ඒ විශ්වීය මිනිසා ය. වර්ගවාදය ප්‍රතික්ෂේප කරන කවර මානවයකුට වුව මානව වර්ගයා වෙනුවෙන් පමණක් පෙනී සිටිය හැකි නොවන්නේ ද ඒ නිසා ය.

රාජ්‍ය අනුග්‍රහයෙන් එදා නතර වූ දඩයම අනුක්‍රමයෙන් පසුකලෙක හිස එසවූයේ මිනිසාගේ නිසග ස්වභාවය නිසා ය. ඒ සියලූ දඩයම් මුව දඩයමට පමණක් සීමා වූයේ නැත. ඝාතනය ද සමඟින් බොරුව, දූෂණය, වංචාව හා මුළාව ද අත්වැල් බැඳගත්තේ ය. ‘දඩයම’ ප්‍රස්තුත ව බොහෝ කලාකෘති බිහිවුණේ ද ඒ නිසා ය. හදබැඳි ලේඛක කරුණාසේන ජයලත් ලියූ මුල් ම නවකතාව වන්නේ ‘මුවදඩයම’ ය. එහි සාකච්ඡා කෙරුණේ ස්ත්‍රී දඩයමක් පිළිබඳව ය. වසන්ත ඔබේසේකර සිනමාවේදියාණන්ගේ ‘දඩයම’ චිත්‍රපටය බිහිවුණේ ද කාන්තාවක් දඩයම් කරගැනෙන ආකාරය පෙන්වීම සඳහා ය. පසුකාලීන ව පළ වූ නිශ්ශංක විජේමාන්නගේ අපූරු කෙටිකතා සංග්‍රහය නම් කෙරුණේ ‘මුවා මැරූ සලමන්’ කියා ය. මුවා මැරූ සල්මන් ඛාන් පිළිබඳ කතාපුවත කරළියට නැගුණේ ඊට ද පසුව ය. එය සත්‍ය සිද්ධියක් මිස ප්‍රබන්ධ කතාවක් නොවේ. මුවකු ඝාතනය කිරීමේ වරදට සල්මන් ඛාන්ට එරෙහිව නඩු පැවරුණු හා දඬුවම් නියම වූ පුවත දැන් බෙහෝ දෙනා දැන සිටිති.

කෙසේ වුව ද මේ අපූරු නඩුතීන්දුව අපගේ මතකයට රැගෙන ආවේ ලංකා ඉතිහාසයේ එළාර රජ සමයයි. තමාගේ කුඩා පැටවාගේ ඝාතනය පිළිබඳ පැමිණිල්ලක් එළාර රජුට ඉදිරිපත් කළ එළදෙන පිළිබඳ කතාපුවත අපට නොකියා කියන්නේ ඝාතකයකුගේ තරාතිරම නොබලා දඬුවම් පැමිණවීමේ ශක්තිය එදා රජුන් තුළ වූ බව ය. එළදෙන එළාර රජුගේ සීනුව හැඬවූව ද වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට නැත. සතුනට කතා බැරි ය. කතා බැරි, ගතු නොකියන, නඩු නොකියන, නීතිඥයන් නැති අසරණ සතුන්ට දයාවෙන් සැලකීමේ වගකීම පැවරී ඇත්තේ මිනිසාට ය. එහෙත් අප මිනිසුන් වශයෙන් (බෞද්ධයන් වශයෙන්) මෙකළ බොහෝ දේ කරන්නේ ප්‍රතිලාභ අරබයා ය. බෞද්ධයන් බෝධිවන්දනා-බෝධිපූජා ආදියෙහි යෙදෙන්නේ හුදෙක් බුදුබැතියෙන් ද ආධ්‍යාත්මික සුවයක් අපේක්ෂාවෙන් ද නැතහොත් රෝග සුවය, විභාග සාමාර්ථ්‍ය වැනි භෞතික ඉලක්කයන් සපුරා ගැනීම සඳහා ද යන්න විමසා බැලිය යුතු වන්නේ තමතමන්ගේ හෘදයසාක්ෂියෙන් ම ය. සත්ත්ව ඝාතනය කෙසේ වෙතත් සත්ත්ව ඝාතනයේ දී සිදුවන බරපතළ දුෂ්ටකම්, අමානුෂික ක්‍රියා පිළිබඳව අපට වගේවගක් නැත්තේ ද ඒ නිසා ය. ඒ පරපීඩකකාමය ප්‍රතික්ෂේප කරන උද්ඝෝෂණ, විරෝධතා අපට ලිප්ටන් වටරවුමේ දී හෝ හයිඩ්පාක් පැත්තෙන් හෝ හමුනොවන්නේ සතුනට කිසිවකු සඳහා ප්‍රතිලාභ ලබාදිය නොහැකි නිසාම ය. (බොහෝ මිනිසුන් සිය පරපීඩාකාමය මුදාහැරීම සඳහා සත්ත්ව ඝාතන අත්හදා බලන බව ද අපට සැලවී තිබේ.)

ඝාතනයෙන් තොර අනාගත ලෝකයක් උපකල්පනය කළ කාරුණික විද්‍යාඥයකු මෙහි දී මට සිහි වේ. ආතර් සී. ක්ලාක් නම් වූ මේ විද්‍යාඥයා විසින් ලියන ලද The Food of the Gods (දෙවියන්ගේ ආහාරය) නම් වූ කෙටිකතාවට අනුව අනාගත ලෝකයේ මස්මඩු - ගව ඝාතකාගාර තුරන් වී තිබේ. එදවස ලොවෙහි වෙසෙන වඩාත් ශිෂ්ටසම්පන්න මිනිසුන් සිය මුතුන්මිත්තන්ගේ ම්ලේච්ඡ ඝාතන දෙස පසුහැරී බලන්නේ කනගාටුවෙන් හා ලජ්ජාවෙන් යුතුව ය. මේ වූ කලී මේ රටේ සිංහල බෞද්ධ නිර්මාණකරුවකු අතින් බිහිවිය යුතුව තිබූ සාහිත්‍ය නිර්මාණයක් නොවන්නේ දැයි කතාව කියවූ පසුව මම මඳක් සිතා බැලූවෙමි.

දැන් මේ කාරණය හා සම්බන්ධිත බෞද්ධ මතය වෙතට යොමු වෙමු. ‘පරපණ නැසීමෙන් වළකිමි’ යන අදිටනින් යුතුව පාණාතිපාතා සිල්පදය සමාදන් වන ගිහියා, ඒ ‘පණ’ ශබ්දයෙන් කුමක් නම් අදහස් වන්නේ ද යන්න සොයා බැලීම වැදගත් ය. එහි පුළුල් හා ගැඹුරු අරුත මනාව වටහාගැනීමට නම් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවා ඇති ශික්ෂාපද කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු කළ යුතු යැයි බුදුදහම, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන මහාචාර්ය ඔලිවර් අබේනායකයන් අවධාරණය කර තිබේ.

බහුතර සූත්‍රයන්හි සඳහන් වන ආකාරයට භික්ෂූන් වහන්සේ විෂයයෙහි කිසියම් අවධියක දී පැනවූ විධි නියමය දැක්වෙන්නේ ‘පාණ­ාතිපාතා පටිවිරතො හොති නිහිතදණෙඩා නිහතසත්තා ලජ්ජි දයාපන්නො සබ්බ පාණභූත-හිතානුකම්පී විහරති (දීඝ නිකාය) ලෙසිනි. පාළි ත්‍රිපිටකය තුළ බහුල වශයෙන් යෙදී ඇති ‘තස-ථාවර’ යන ප්‍රාණ ප්‍රභේදයට ප්‍රාණයේ සියලූ ශාඛා ප්‍රශාඛා අයත් වන බව මහාචාර්ය ඔලිවර් අබේනායකයන් පැහැදිලි කරන්නේ මෙසේ ය.

තසථාවර ප්‍රයෝගයට යෝජනා කොට ඇති බෙහෙවින්ම සතුටුදායක අර්ථය දක්නට ලැබෙන්නේ එංගලන්තයේ පාළි පොත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද පාළි ඉංග්‍රීසි ශබ්දකෝෂයෙහිය. ඒ අනුව තස යනු ඇවිදින ප්‍රාණීහුය. ථාවර යනු නොඇවිදින ප්‍රාණීහු ය. ඒ අනුව සියලූ ප්‍රාණීන් ගමන් කරන හා නොකරන යනු විසින් දෙකොටසකට බෙදා දැක්විය හැකි ය. තස යන්නෙන් චලනය වන්නෝ ද ථාවර යන්නෙන් චලනය නොවන්නෝ ද ගැනෙති. ඒ අනුව ප්‍රාණ වර්ග දෙකක් එනම්, මනුෂ්‍ය සහ සත්ත්ව ‘තස’ සංඛ්‍යාවට ද තුන්වන ප්‍රාණ වර්ගය එනම් ශාක ‘ථාවර’ සංඛ්‍යාවට ද ඇතුළත් කළ හැකි ය.

(බෞද්ධ අධ්‍යයන විමර්ශන - 182 පිටුව -

සංස්කරණය: මහමිතව පඤ්ඤාරතන හිමි සහ පහළගම ධම්මික හිමි)

මිනිසා හැරුණු විට පරිසරයෙහි මූලික සාධක තුනක් වන අතර ඒවා හැඳින්වෙන්නේ සත්ත්ව ලෝකය, ශාක ලෝකය හා ජල ලෝකය වශයෙනි. බුදුසමය මේ දෙස හෙළන බැල්ම සානුකම්පික ය. සහජීවනාත්මක ය. ගස්වලට ආවේණික වූ අරුම පුදුම ක්ෂමා ගුණය ගැනත් ගස් කපා හෙළන්නන්ට පවා එය සෙවණ සලසන ක්ෂමාවාදී ආකාරයත් ප්‍රකට කෙරෙන බුදුන් වහන්සේගේ අවධාරණ බොහෝ ය. උන්වහන්සේගේ ජීවිතයේ සියලූ වැදගත් සිදුවීම් සිදුව ඇත්තේ ද ගස්් සෙවණෙහි ය. ගහකොළ සම්බන්ධයෙන් සිදුකෙරී ඇති විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල ගැන කතාකිරීමට මෙය අවස්ථාව නොවේ. ඒ අනුව සහජීවනය සඳහා පුළුල් අවකාශයක්, සැබෑ අවකාශයක් විවර වන්නේ මිනිසා ඉතා වැදගත් වූ එක් දෙයක් තේරුම් ගත් දාට වන බව නම් නිසැක ය. ඒ, තමා හුදෙකලා සත්ත්වයකු නොවන බව හා තමා යනු මහාපරිමාණ විශ්වයේ ක්‍ෂුද්‍ර ඒකකයක් පමණකි ය යන්නයි. වර්ගවාදයට එරෙහි වන ඕනෑ ම පුද්ගලයකුට මානවවාදය නම් වූ වර්ගීකරණය අසල වුව නැංගුරම් ලා ගත හැකි නොවන්නේ මේ අනුව ය.

ජාතක කතාවල තිරිසන් සත්ත්වයින් මිනිසාට සමාන වන අතර ඔවුන් මිනිසා ඉක්මවා යන අවස්ථා ද තිබේ. තිරිසන් සතුනට වඩා බොහෝ කලකට පසුව පෘථිවි වාසියකු බවට පත්වූ මිනිසා, ලෝකයේ මහ බලවතා වී අනුන් පෙළන්නට යොමුවීමේ ආදීනව ඉන් මනාව විශද වේ.

රජුන්ට, රජකම් කළයුතු ආකාරය පවා කියා දෙන සිවුපාවෝ ද ජාතක කතාවල දී අපට හමුවෙති. මේවා සංකේතාත්මක ව නිර්මාණය කෙරුණේ ද නැද්ද, මේවා විද්‍යාත්මක ද නැද්ද වැනි ප්‍රශ්න මීට අදාළ නොවේ. ඕනෑ ම දෙයක් විද්‍යාත්මක දැයි ප්‍රශ්න කරන්නේ බොහෝ විට විද්‍යාව තොලේ කටේ ගාගත්තවුන් මිස විද්‍යාවෙහි පාරප්‍රාප්ත වූවෝ නොවෙති යි අපි විශ්වාස කරමු. ‘ලෝකයේ කිසිවක් අහඹු ලෙස සිදුවන්නේ යැයි තමන්ට විශ්වාස කළ නොහැකි ය’ යන අයින්ස්ටයින්ගේ අවධාරණය මීට එක් නිදසුනකි. කෙසේ වෙතත් ජාතක කතාවක අගමුල සෙවීමට වඩා අප අවධානය යොමු කළ යුතු වන්නේ ජාතක කතා කියවීමේ අවසාන ප්‍රතිඵලය පිළිබඳව ය. ජාතක කතාවක් කියවීමෙන් දරුවකු තුළ හටගන්නා දයානුකම්පික ළතෙත් ගුණය අනාගත ලෝක සාමයේ අඩිතාලම වන බව පමණකි, අපට ඉඳුරා පැවසිය හැකි වන්නේ.

මහින්දාගමනයේ අතිශයින් වැදගත් සමාරම්භක අවස්ථාව වූයේ ද අවි බිම දැමීම බව අපගේ අදහස ය. විශ්වීය මිනිසා බිහිකෙරෙන කලලය වර්ධනය වන්නේ එතැන් සිට ය. රජු අවි බිම දැමුවේ මිනිස් ඝාතනය පමණක් නොව සත්ත්ව ඝාතනය ද නොකළ යුත්තක් බව අවබෝධ කර ගත් නිසා ය. ඒ අනුව මිනිසා වර්ධනය කරගතයුතු වන්නේ මානව දයාව පමණක් නොව විශ්වීය කරුණාව බවට මුල් ම සංඥාව සැපයුවේ මිහිඳුමාහිමියන් ය. පොසොන් දවස අතිශයින් වැදගත් වන්නේ බුදුදහම වැනි විශ්වීය දහමක් ප්‍රදානය කිරීමේ දී ඒ විශ්වීය දයාවට ද ඉන් මාහැඟි අවකාශයක් විවර වූ නිසා ය.

මිහිඳු මාහිමියන් ‘නවතින්න තිස්ස’ යැයි එදා කීවේ දේවානම්පියතිස්ස රජුට ය. මෙහි ගැඹුරු අරුත මැනවින් සාක්ෂාත් කරගත හැකිවන්නේ මඳක් නැවතී හැරී බලන විටක පමණි. වර්තමාන ලෝකයේ ප්‍රධාන අභියෝගය වන්නේ මානව දයාවෙන් යුතු මිනිසකු නොව විශ්වීය මිනිසා නිර්මාණය කිරීම වන නිසා ය.

 

අදහස්