මහි­යං­ග­ණයේ සාමූ­හික නිරූ­පණ මඟින් හෙළි වන අන­න්‍යතා | සිළුමිණ

මහි­යං­ග­ණයේ සාමූ­හික නිරූ­පණ මඟින් හෙළි වන අන­න්‍යතා

තමන් මධ්‍යයේ සිටින තමන්ගේ ඥාති වූ එහෙත් තමන්ගෙන් විසංයෝජනය වූ පිරිසක් වන වැද්දන් හා සිංහලයන් අතර පවතින සමානභාවය හා අසමානභාවය සංකේතාත්මකව නැති නම් කදිමට පෙන්වන්නක් ලෙස වාර්ෂික මහියංගණ පෙරහරට ඇතුළත් ‘වැදි පෙරහර’ දැක්විය හැකිය. සබරගමුවේ දඩයක්කරුවන්ගේ වනාන්තරය මැද සුමනකූට මුදුනෙහි බුදුන්ගේ පා ලකුණ සහ බෞද්ධ විහාරය වැදි දඩයක්කාර ජනගහනය මත බෞද්ධයන්ගේ අධිපතිභාවය පෙන්නුම් කරන ලකුණකි. අදත් මේ බෞද්ධ ස්තූපය සහ පන්සල මෙන්ම සිංහලයන් සහ වැද්දන් දෙකොටසටම පොදු වූ ප්‍රධාන දෙවියන් වන සමන් සහ ස්කන්ධ සඳහාද සිද්ධස්ථාන තිබෙනු දැකිය හැකිය.

අපි ආරම්භක පුරාණ කථාවේ එන වැද්දන්ගේ ප්‍රභවය පිළිබඳ ප්‍රවෘත්තිය මඳක් විමසා බලමු. ඒ පුරාවෘත්තයට අනුව වැදි ජනයා විජයගේ හා කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන්නෝය. ඒ අනුව විජය නිසා සිංහලයන් හා වැද්දන් අතර ඥාතිත්වයක් ඇත (විජය විසින් කුවේණිය ආවාහ කොටගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස උපන් දරුවෝ දෙදෙන ජීවහත්ත හා දිසාලාය). එහෙත් මේ දරුවන් වනයට පිටුවහල් කළ හෙයින් දඩයමින්, එනම් අබෞද්ධ වූ දිවිපෙවෙතකින් ඔවුන් සිය ජීවිකාව සරි කරගත් නිසා දෙපිරිස එකිනෙකාගෙන් ඈත් වූහයි සිතිය හැකිය. සහෝදරයා සහ සහෝදරිය අතර ඇතිවූ මේ සංගමයෙන් ‘පුලින්දන්’ - දඩයක්කරුවන්’ - එනම්: වැද්දන් - ඇති වූ අයුරු අපි නිරීක්ෂණය කළෙමු. දඩයම් කිරීම සහ බුදුදහම අතර ඇති ප්‍රතිවිරෝධතාව පිළිබඳ පුරාකෘතික පුරාණෝක්තිය බොහෝ බෞද්ධයන් දන්නා කාරණයකි. එය පළමුවරට අප ඉදිරියෙහි පෙළගස්වන්නේ ‘මහාවංසය’ යි. එහි විස්තර කර ඇති ආකාරයට දඩයමේ යේදී සිටිය දේවානම්පියතිස්ස රජු අහසින් ආ අර්හත් මහින්ද හිමියන් ඇතුළු පිරිස මිහින්තලා කඳු මුදුනට ගොඩ බැස, බුදුදහමට හරවාගත්හ. පසුව මේ පුරාකෘතික වැරදි ක්‍රියාව සිදු වූ ස්ථානය පළමු භික්ෂූන්ට භාවනාව සඳහා භූමියක් සහ බොදුනුවන් පුද-පූජා හා වන්දනා කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන්නේය. එහෙත් මේ පුරාණෝක්තියට වාච්‍යාර්ථ සත්‍ය වටිනාකමක් නැත්තේය. මෙමඟින් පෙන්වන්නේ අධිපති කණ්ඩායම විසින් තම මධ්‍යයේ සිටි තමන්ට ඓතිහාසික සහ ආර්ථික බැඳීම් මඟින් සම්බන්ධයක් ඇති නමුත් තමන්ට පිටස්තර වන ප්‍රජාවක් ලෙස වැද්දන් ප්‍රත්‍යක්ෂ කරගැනීමය.

තමන් මධ්‍යයේ සිටින තමන්ගේ ඥාති වූ එහෙත් තමන්ගෙන් විසංයෝජනය වූ පිරිසක් වන වැද්දන් හා සිංහලයන් අතර පවතින සමානභාවය හා අසමානභාවය සංකේතාත්මකව නැති නම් කදිමට පෙන්වන්නක් ලෙස වාර්ෂික මහියංගණ පෙරහරට ඇතුළත් ‘වැදි පෙරහර’ දැක්විය හැකිය. සබරගමුවේ දඩයක්කරුවන්ගේ වනාන්තරය මැද සුමනකූට මුදුනෙහි බුදුන්ගේ පා ලකුණ සහ බෞද්ධ විහාරය වැදි දඩයක්කාර ජනගහනය මත බෞද්ධයන්ගේ අධිපතිභාවය පෙන්නුම් කරන ලකුණකි. අදත් මේ බෞද්ධ ස්තූපය සහ පන්සල මෙන්ම සිංහලයන් සහ වැද්දන් දෙකොටසටම පොදු වූ ප්‍රධාන දෙවියන් වන සමන් සහ ස්කන්ධ සඳහාද සිද්ධස්ථාන තිබෙනු දැකිය හැකිය.

වැදි පෙරහරේ මුල් කොටසේදී සමන් හා කතරගම දේවාල අසල රැස් වන වැදි ජනයා හෙල්ල නිරූපණය කරන දිග කෝටු අතැතිව පළමුව එම දේවාල පැදකුණු කොට දෙවැනිව ඒවාට ‘පහරදීම’ නිරූපණය කරමින් එහි පඩිපෙළ මත සිය කෝටු හෙළමින් ‘ප්‍රහාරයක’ යෙදෙති. ඉන් පසු චෛත්‍යය වෙත දිව යන ඔවුන්ගේ ගමන මුරකරුවන් විසින් වළක්වා එහි ඇතුළු විය නොහැකි බවත්, රජ වීදියට ආපසු ගිය යුතු බවත් දන්වා ආපසු හරවා යවති. මේ ව්‍යාජ සටන කීප වතාවක් කළායින් පසු ඔවුහු තම කෝටු චෛත්‍යයට හේත්තු කරමින් ඊට වන්දනා කරති. ඉන් පසු පන්සල වෙත දිව යන ඔවුහු එතැනට ඇතුළු වීම වළකන ලදුව භික්ෂූන්ට වැඳ ආපසු පැමිණ යළිත් දේවාලය වෙත පැමිණ තම කෝටු ගෙන ඒවායින් පඩිපෙළට පහර දෙති. අවසන කෝටු කැඩී යෑමෙන් මේ ‘සටන’ අවසන් වේ. ඉන් පසු බිම දිගෑදී දෙවියන්ට නමස්කාර කරන වැදි ජනයා ගඟ වෙත දිව ගොස් එහි ගිලී නා පිරිසුදු වෙති. මෙසේ පිරිසුදු වීමෙන් පසු ආපසු එන ඔවුන්ට දේවාලයට ඇතුළු වීමට අවසර ලැබේ. කපුරාල දේව ස්තෝත්‍ර ගායනා කොට ඔවුන්ට සඳුන් දියර ඉස සෙත් පතයි. කතරගම දෙවියන්ට ස්තෝත්‍ර වශයෙන් “හරෝ! හරා!” යැයි වැද්දන්ගේ කෑගැසීමෙන් පූජාව අවසන් වේ.

වැද්දන් හා සිංහල බෞද්ධයන් අතර ඇති වෙනස මේ වැදි පූජාව මඟින් පෙන්නුම් කෙරෙයි. සිංහලයන් සියලු දෙනා එකම සදාචාර සමාජයකට අයත් හෙයින් කුමන පෙදෙසින් ආවත් නිරත වන්නේ එකම පුද-පූජාවන්හිය. එහෙත් වැදි ජනයාගේ පුද-පූජා ස්වරූපය විසින් ඔවුන් මෙහි ප්‍රධානත්වය උසුලන ආගම හා දරන සම්බන්ධය නිර්මාණය වී ති‍‍බේ. ඔවුන්ට පන්සලට හෝ චෛත්‍යයට ඇතුළු වීමට අවසර නැත. ඔවුන් විධිමත් ලෙස බුදුන් පිළිගැනීමට සලස්වන නමුදු අවසන බුදුන්ට හා සංඝයාට නමස්කාර කරන ඔවුන් පැහැදිලිවම බෞද්ධ සමාජයට පිටතින් සිටින අය වෙති. එහෙත් ඔවුහු පූර්ණ පිටස්තරයෝ නොවන්නාහ. පළමුව සමන් හා කතරගම දෙවියන් වෙත ප්‍රතිරෝධ දක්වන මුත් අවසන ඔවුන් තම දේවගණයේ ප්‍රධානත්වයේ සිටින බව පිළිගනු ලැබේ. මේ ආරක්ෂක දෙවිවරු හුදෙක් බුදුසසුන රකින්නන් පමණක් නොව, ගිහි රාජ්‍යය රකින්නෝද වෙත්. වැද්දෝ බෞද්ධ ‘ජාතිය’ හෝ ස්තූපයෙහි ලා සංකේතාත්මකව නියෝජනය කෙරුණු ‘සාසනය’ තුළට අන්තර්ගත නැතත් ‘රාජ්‍ය ව්‍යූහය’ තුළ අන්තර්ගත වූවෝ වෙති.

වැද්දන් මහනුවර රාජධානියේ සැලැස්ම තුළට නැති නම් දේශපාලන පර්යාය තුළට අන්තර්ගත වූවන් බව වැදි පෙරහරේ වෙනත් ජවනිකාවකින්ද විද්‍යමාන වේ. මෙහිදී ඇඟ පුරා මී පැණි ගල්වා ගන්නා ඔවුහු ඒ මත පුලුන් අලවා නටමින් පෙරහරේ යති. මී පැණි හා පුලුන් යනු වනයේ සම්පත් අතුරින් ඔවුන් රජුට නැතහොත් රාජකාරිය ලෙස රාජ ගබඩාවට සැපයූ ප්‍රධාන වස්තු අතර තිබූ ඒවා වේ.

ආරම්භක පුරාණ කථාවේ විජය කුවේණිය හමුවට එන විට ඇය කපු කටිමින් සිටි බව කියවෙන පුවත අනුව මේ අමුද්‍රව්‍ය මෙම ජන සමාජ දෙක විසින්ම හවුලේ භාවිත කළ දේවල් බව සංකේතාත්මක පෙන්වාදිය හැකිය. ඒ අනුව සිංහලයාගේ හා වැද්දන්ගේ මුහුව පෙනෙ‍න්නේ බුදු පුද තුළ නොව කතරගම දෙවි පුද අරභයාය. අද දින වැදි හා සිංහල (එමෙන්ම දෙමළ) ජන පිරිස් එක් කරන ආරක්ෂක දෙවියා කතරගම දෙවියෝය.

වැදි දේව ගණයේ ප්‍රධානියාද කතරගම දෙවියෝය. මේ අන්තර්ගත වීම (වැද්දන් විසින් දරුවකු ලෙස හදා-වඩාගත් සහ ස්කන්ධගේ පර’ඹුව ලෙස සැලකෙන නැත හොත් දෙවැනි අඹුව බවට පත්) වල්ලි අම්මා (පිළිබඳ පුරාණෝක්තිය මඟින්ද තහවුරු වේ. එපමණක්ම නො වේ; මෑතදී සිදු වූ මධ්‍යම පාන්තික කරණයට පෙර කතරගම පූජාභූමි ආසන්නයේ දඩමස් විකිණීමට ඉඩ තිබිණි. දේව දානයේ අඩුක්කු පූජාව තුළ දඩමස්ද තිබිණි. මේ හා සමානව වැදි හා සිංහල සබඳතාව ග්‍රාමීය පුද-පූජාවන්හිද තිබුණු ආකාරය කොහොඹා කංකාරියේ එන ‘වැදි දානේ’ හෙවත් ‘වැදි පූජාවේ’ නිරූපණය වේ. මෙයද වැද්දන් ගම් මට්ටමෙහි සිංහල බෞද්ධ පුද-පූජා ක්‍රමය තුළට ගෙන ඒමට ගත් උත්සාහයක් විය හැකිය. මේ වතාවත්වලදී සැබෑ මස් නොව, අභිනයෙන් ‘මස්’ කෑමටද වැද්දන් ලෙස රඟපෑ සිංහලයන්ට ඉඩ තිබිණි. මෙමඟින් වැදි පූජාව තමන්ගෙන් වෙනස් අභිචාර ක්‍රමයක්ය යන්න හඳුනාගන්නා අතරම, කෘෂිකාර්මික ප්‍රජාවගේ ආගමික සහ සමාජීය ව්‍යූහය තුළට වැද්දන් ඇතුළු කරගැනීමේ යන්ත්‍රණයක් ලෙසද අර්ථකථනය කිරීමට කැමැත්තෙමි.

ඉහත විස්තර කළ සිද්ධි හා උපක්‍රමික විධි පෙන්නුම් කරන්නේ සිංහලයන් වැදි ජනයා සිය ශාසනයේ කොටස්කරුවන් වුවද වෙනම අනන්‍යතාවක් ඇත්තන් ලෙස සැකීමට උත්සාහ කළ බවයි. වැදි ජනයාගේ ඒ අන්තර්ගතභාවය පූර්ණ පිටස්තරයන් හා ඔවුන් අතර වෙනස පෙන්නුම් කරන්නක්ද වේ. එපමණක් නොව, බෞද්ධයන්ට මහියංගණ වැදි පෙරහර හා මෙම පුද-පූජා ශාසනයේ සාමාජිකයන් නොවන අයට ප්‍රතිපක්ෂව මෙන්ම ශාසනයේ සාමාජිකයන් ලෙස තමන්ගේම වෙනස් අනන්‍යතාව පිළිගැනීමේ මඟක්ද වේ.

(මහාචාර්ය ගණනාත් ඔබේසේකර පැවැත්වූ දෙසුමක් ඇසුරෙනි)

Comments