මහි­න්දා­ග­ම­න­යට පෙර ලක්දිව පුද - ඇද­හිලි | සිළුමිණ

මහි­න්දා­ග­ම­න­යට පෙර ලක්දිව පුද - ඇද­හිලි

මහින්දාගමනය සිදුවුයේ අනුරාධපුර රජ කළ දේවානම්පියතිස්ස මහ රජු (ක්‍රි.පු. 247 -207) දවස බු.ව.236 වැන්නේ පොසොන් මස පුන් පෝ දිනයේදී ය. ක්‍රි.පු.543 වර්ෂයේදී විජය කුමරු ප්‍රධාන පිරිස පන්සියයක් දෙනා මෙරටට සැපත්වීම ප්‍රාග් බෞද්ධ යුගයේ දී සිදු වු ඉතා වැදගත් ඓතිහාසික සිදුවීමයි. විජය කුමරුගේ සම්ප්‍රාප්තියට පෙර මේ රටේ ආගමික හා සාමාජීක තොරතුරු පිළිබඳ කිසිදු සටහනක් හෝ වාර්තාවක් හෝ මෙතෙක් හමු වී නැත. විජය - දෙවනපෑතිස් සමය පුර්ව අනුරාධපුර යුගය ලෙස සලකා, ඒ කාලය තුළ මේ රටේ පැවැති පුද පුජා හා ඇදැහිලි පිළිබඳව කිසියම් සඳහනක් ඉදිරිපත් කිරීම මේ කෙටි ලිපියේ අරමුණයි.

ප්‍රාග් අනුරාධපුර යුගයේදී උතුරු හා දකුණු භාරතීය ජනතාව රාශි වශයෙන් මෙරටට සැපත් වු ජන කොට්ඨාස වුවාට සැක නැත. මේ අතර දේශීය ආදිකාලීන ජනතාවට අමතරව බ්‍රාහ්මණයන්, නිගණ්ඨයන්, ආජීවකයන්, පරිබ්‍රාජිකයන් හා වෙනත් තාපස කොටස්ද ලංකා සමාජය තුළ සිටින්නට ඇත.

මේ අවධියේ මෙරට පැවැති අධ්‍යාපනික, සාමාජික හා ආගමික පරිසරය පිළිබඳව මහාවංශ කතුවර මහානාම හිමියෝ විවිධ තොරතුරු සිය ග්‍රන්ථයෙහි ලා ප්‍රකාශ කළහ. මහාවංශය රචනා කළ අවධිය ලෙස සඳහන් ලබන්නේ ධාතුසේන රජු (ක්‍රි.ව. 516 – 526) දවසයි. ඒ අනුව වසර දහසක් පමණ කල් අතීතයේ සිට ආසන්න කාලයට ලක්දිව පැවැති සාමාජික හා ආගමික තත්ත්වය පිළිබඳව ඒ හිමියන් මත පළ කර ඇත්තේ කවර නම් මුලාශ්‍රයන් උපයෝගී කරගෙන දැයි පැහැදිලි නැත.

මෙරට සමාජය තුළ ප්‍රමුඛත්වයට පත් බ්‍රාහ්මණයින්, ආජීවකයින් හා නිගණ්ඨයන් වැනි ආගමික කොටස් තම තමන්ගේ පුද පුජා විධි හා ඇදැහිලි ක්‍රම මේ රට තුළ සිදු කළ බවට කිසිදු සැකයක් නැත. මේ අතර හින්දු ධර්මයේ ඇදැහිලි ක්‍රම මෙන්ම යක්ෂයින් ඇදැහීම, මළවුන් පිදීම, වෘක්ෂ වන්දනාව, හිරු පිදීම, ග්‍රහ තාරකා ඇදැහීම ද සිදු වුවා නිසැකය. සමකාලීන භාරත සමාජය තුළ පැවැති සියලු ආගමික පුද සිරිත් හා වතාවත් ඒ ආකාරයෙන්ම මෙරට සමාජය තුළ ද ක්‍රියාත්මක වු බවට උපකල්පනය කිරීම සාවද්‍ය නොවේ.

විජය කුමරුන් සමඟ මෙරටට සැපත් සත් සියයක් දෙනා අතර බුදුරදුන් දැක ඇති අය මෙන්ම බොදු දහම පිළිබඳව අසා දැනීමක් වත් ඇති අය නොසිටියා යයි කිව නොහැකිය. මන්දයත්: ක්‍රි. පු. 6 වැනි සියවස සමයේදී දඹදිව පැතිර පැවැති ආගමික දර්ශන හා සමයාන්තර මතවාද අතර බුදු දහමට ද ජනතාව නැඹුරු වෙමින් පැවැති බවට සාධක බොහෝය. මේ අය අතර මෙරටට සැපත් විවිධ පුද්ගලයින් බුදු දහම පිළිබඳ පණිව්ඩය මෙරට සමාජය තුළ කිසියම් දැනුවත් කිරීමකට ලක් වන්නට ඇත. විජය පසුකාලීනව සිය බිරිය ලෙස මෙරටට ගෙන්වාගත් මධුරාපුර පාණ්ඩ්‍ය රජුගේ දු කුමරිය සමඟ තවත් රාජකීය කාන්තාවන් රාශියක් මෙරටට සැපත් වු බවට ඓතිහාසික තොරතුරු අනාවරණය කරයි. පඬුවස් දෙව් කාලයේදී ( ක්‍රි. පු. 504 -474 ) උතුරු ඉන්දියාව සමඟ සබඳතා පැවැතිණි. බුදුරදුන්ට නෑකම් තිබු “පණ්ඩු” නම් ශාක්‍යයාගේ දියණිය වු “භද්දකච්චානා” හා අනුරාධ, විජිත, දීඝායු, රෝහණ ආදී වශයෙන් ඇයගෙ සහෝදරයන් රැසක්ම මෙරටට පැමිණීම වැදගත් සිද්ධියකි. මේ අය අතර බුදුරදුන් හා බුදු දහම පිළිබඳව තොරතුරු දත් අය නොසිටින්නට හේතුවක් නැත.

අනෙක් අතට බුදුරදුන් ජීවමාන අවධියේදී එහි මුල් වකවානුව තුළම විජයාගමනයට පෙරදීම තපස්සු හා භල්ලුක වෙළෙඳ දෙබෑයන් සිය ගමනාන්තය බලා යද්දී කේශ ධාතූන්ද රැගෙන මෙරටට සැපත් වු පුවතද, ක්‍රිකුණාමලයෙන් ඔබ්බේ තිරියායි සමීපයේ තිතුපත්පානේ ගිරිහිසක වඩා හිදවු ධාතූන් යළි එතැනින් ඔසවන්නට නොහැකි වුයෙන් වෙහෙරක් කරවා (ගිරිහඬු වෙහෙර) පිටත්ව ගිය බවද මෙහිදී අපට බැහැර කළ ‍ෙනාහෙන ප්‍රවෘත්තියකි.

බුදුරදුන් තෙවරක් ම ලක්දිවට වැඩම වා ලක්දිව විවිධ ස්ථානවල ජනතාව හමු වී ධර්ම දේශනා කොට බුදු දහම පිළිබඳ මුලික දැනීමක් මෙරට වාසීන්ට ලබා දී තිබු බැව්ද අප විසින් අමතක නොකළ යුතු කාරණයකි.

ප්‍රාග් අනුරාධපුර යුගයේ මෙරට පවතින්නට ඇතැයි හැ‍ඟෙන පුද පුජා හා ඇදැහිලි විමසීමේදී පළමුවෙන්ම අපට හමුවන්නේ පණ්ඩුකාභය රජුගේ (ක්‍රි.පු. 437-367) රාජ්‍ය සමය තුළ අනුරාධපුර නගර නිර්මාණය අනුව ස්ථානගත කර තිබු ආගමික ස්ථාන යැයි උපකල්පනය කළ හැකි ගොඩනැගිලි රැසක් පිළිබඳ විස්තරයයි. බෙහෙවින්ම ගොඩනැගිලි වෙන් කොට තිබී ඇත්තේ යක්ෂයන් උදෙසායි. පණ්ඩුකාභය රජු යක්ෂයන් සමඟ සමීප සබඳතාවයකින් යුතුව කටයුතු කර ඇති බැව් මහාවංශය අනුව මෙසේ විස්තර වෙයි.

“පණ්ඩුකාභය රජු නුවරට නැගෙනහිර කාලවේල යක්ෂයාගේ දෙවොල ඉදිකළේය. චිත්තරාජ යකු අභය වැව යට භාගයෙහි වාසය කරවි. යක්ෂ යෝනියෙහි උපන්නාවු පුර්වෝපකාරී ඒ දාසිය නුවර දකුණු දිග් දොර කෘතගුණ දන්නා ඒ රජතෙමේ වාසය කරවී.

වළවාමුඛ යකින්න රජ ගෙවුයන ඇතුළත රැස්වී උන්ට ද අන්‍යයන්ටද අවුරුදු පතා බිලිදානය කරවී. නැකත් කෙළි දවස්හි ඒ පණ්ඩුකාභය රජතෙමේ චිත්තරාජයා සමඟ සම අස්නෙහි හිඳගෙණ දෙවි මිනිස් නැටුම් නරඹමින් රති ක්‍රීඩාවෙන් යුක්තව සිත් ඇලවී...”

ප්‍රාග් බෞද්ධ යුගයේ පුද ලද තවත් යක්ෂයෙක් නම් “මහේජ” නැමැත්තායි. මේ යක්ෂයා සඳහා කළ දේවාලය තිබී ඇත්තේ අනුරාධපුර ථුපාරාමයට ආසන්නවය. ථුපාරාම චෛත්‍යයේ ධාතු නිධානය සඳහා ධාතූන් වහන්සේලා වැඩමවාගෙන ගිය මංගල හස්ති රාජයා මහෙජ යක්ෂයාගේ දේවාලය තෙක් ගමන් කළ බවත් සඳහන් වෙයි. මේ නම් දේවානම්පියතිස්ස යුගයයි. පුරාණයේ ඉතා බවත්ව පැවැති යක්ෂ වන්දනාව මේ කාලය දක්වාම පැවැති බවට මේ සාධකයකි.

මේ යුගයේ ලක්දිව තවත් ප්‍රදේශවල පුද ලද යක්ෂයන් කීපදෙනෙකු ගැන ද සඳහන් ලැබෙයි. “ජුතින්ධර” යක්ෂයා තවත් එක් යකෙකි. ඔහු වාසය කර ඇත්තේ නැගෙනහිර ප්‍රදේශයේ මහවැලි ගඟ අසල දුම්රක්ගල නම් ස්ථානයේය. එදා මේ දුම්රක්ගල අද දිඹුලාගල ලෙස හඳුනාගෙන තිබේ.

රිටිගල විසු ජයසේන යක්ෂයාද තවත් එක් යක්ෂයෙකි. අනුරාධපුර දකුණු වාසල් දොර අසල ‘ගුම්බකභූතා’ නම් යක්ෂණියක් විසු බවද සඳහන් ය. අනුරාධපුර මුල් යුගයේදී පවා මෙසේ තැන තැන යක්ෂයන්ට පිදු දේවාල ගැන සඳහන් ලැබීමෙන් ගම්‍ය වන්නේ ප්‍රාග් අනුරාධපුර යුගයේ යක්ෂයන් පිදීම නිසැකවම මේ රට තුළ මැනැවින් මුල් බැසගෙන තිබු ඇදැහිලි ක්‍රමයක් බවයි.

එකල පැවැති තවත් ඇදැහිලි හා වන්දනා ක්‍රමයක් නම් වෘක්ෂ වන්දනාවයි. සුවිසල් ලෙස වැඩීගිය ඉපැරණි වෘක්ෂ තෝරාගෙන ඒ තුළ දෙවියන් අරක්ගෙන වැඩ වාසය කරන බවට විශ්වාසය තහවුරු කරගත් ආදි කාලීන වැසියන් විවිධ වෘක්ෂයන්ට වන්දනාමාන හා පුද පුජා පැවැත්වු බවට ද සාධක තිබේ. මහින්දාගමනයෙන් පසුව වෘක්ෂ වන්දනාව බෝධි වන්දනාව බවට පරිවර්තනය විය.

ගිරි ශිඛරවලට වැඳීම, හිරු සඳු වන්දනාව, වැනි පුද සිරිත් ද තිබු බවට සාධක හමු වෙයි. ආදිකාලයේ ගිරි ශිඛරවල වැන්ද මිනිස්සු පසු කාලීනව ඉදි වු සුවිසල් චෛත්‍යවලට වන්දනාමාන කිරීමට පුරුදු වුහ.

පණ්ඩුකාභය කුමරුට ශිල්ප උගැන්වීමට “පණ්ඩුල” බමුණාගේ ශිල්ප ශාලාවට යවනු ලැබිණි. දේවානම්පියතිස්ස රජු අශෝක රජු වෙත යැවු දුත පිරිසට බමුණෙක්ද ඇතුළත් විය. ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන එද්දී ‘තිවක්ක’ බමුණාගේ ගමේ රැයක් පහන් කළ බවත්, මහමෙවුනා උයනේ සීමාව ලකුණු කිරීමේදී “දියාවාස” බමුණගේ දේවාලයක් තිබු බවත් සඳහන්ය.

ශිව දෙවියන් හා ශිවලිංගය පිදීම ඉතා පුරාණයේ සිට පැවැති පුජා විධියකි. ප්‍රාග් බෞද්ධ සමාජයේද මේ ලිංග පුජාව පැවැති බවට සාධක තිබේ. පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරයේ “සිවිකාශාලා” හා “සොත්ථීශාලා” නමින් ගොඩනැගිලි ඉදිකළ බව මහා වංශ‍ය කියයි. සිවිකාශාලා යනු ශිව ලිංග පුජාවට යොදාගත් පුජනීය ස්ථානය බැව් ඉතිහාසඥයෝ උපකල්පනය කරති.

බමුණු දහම බලපැවැති මෙ සමයේ බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්‍රී මුර්තිය ඇදැහීම හා පුද පුජා පැවැත්වීම ප්‍රාග් අනුරාධපුර සමාජයේ ඉතා සරුවට කෙරී ඇති ආගමික චාරිත්‍ර බැව් නිසැකය.

මෙහිදී සිහිපත් කළ යුතු හාස්‍යයට කරුණ නම් අවුරුදු දහස් ගණනකට එපිට ප්‍රාග් බෞද්ධ සමාජයේ පැවැති විෂ්ණු වන්දනාව වැනි දේව පුජා අදත් බෞද්ධ යැයි කියාගන්නා මෙරට භක්තිමත් (සැදැහැති නොවේ) බෞද්ධයන් ඉමහත් අභිරුචියකින් සිදු කරන බවයි. පුද පුජා හා ඇදැහිලි අනුව එදා ප්‍රාග් බෞද්ධ සමාජයේ විසු මිනිසාත් අද මේ රටේ වෙසෙන ඇතැම් බෞද්ධයනුත් අතර වැඩි වෙනසක් දක්නට නොලැබෙන බව මෙහිදී අවබෝධ වෙයි.

Comments