‘පේමතෝ ජායතී අසෝකෝ’ ශ්‍රී ලාංකික අත්දැ­කී­මක් | සිළුමිණ

‘පේමතෝ ජායතී අසෝකෝ’ ශ්‍රී ලාංකික අත්දැ­කී­මක්

නිර්මාණයක් ගැන කරන නිර්මාණයක් වන විචාරයක් හෝ විවේචනයක දී එයින් ඒ නිර්මාණය තරම් ම හෝ ඊට ආසන්න තරම් හෝ වින්දනයක් ලැබිය යුතුය. මුදලිඳු ගුණවර්ධනයන්ගේ ගුත්තිල කාව්‍ය වර්ණනාව ඒ ආකාරයේ විචාරයක් විවේචනයක් විවරණයක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඉසුරු ප්‍රසංගගේ ‘පේමතෝ ජායතී අසෝකෝ’ සම්බන්ධයෙන් එවන් සාධාරණයක් ඉටුකිරීමට මට හැකියාවක් නැත. ඒ නිසා ‘පේමතෝ ජායති අසෝකෝ’ නවකතාව හඳුනාගැනීමට නම් එහි ඇති අර්ථය රසය කෙබඳු දැයි යම් හැඟීමක් ඇති කරගැනීමට නම් එය කියවිය යුතු ම වේ.

‘කපිතාන්ගේ දියණිය’ කියවද්දී අපට හිතෙන්නේ ඒ නවකතාව ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා ඇලැක්සැන්ඩර් පුෂ්කින් බවය.‘ගැහැනු ළමයි’ කියවද්දී අපට සිතෙන්නේ ඒ නවකතාව ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා කරුණාසේන ජයලත් බවය.‘හිඟන කොල්ලා’ කියවද් දී අපට හිතෙන්නේ එය ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා ඩබ්ල්යු. ඒ. සිල්වා බවය. ‘සියක් වසරක හුදකලාව’ කියවද් දී අපට හිතෙන්නේ එය ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා ගාර්ෂියා මාකේස් බවය. ‘චරිත තුනක්’ කියවද්දී අපට හිතෙන්නේ එය ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා කේ. ජයතිලක බවය. එසේ ම ‘පේමතෝ ජායතී අසෝකෝ’ නවකතාව ලියන්නට හැකි ලෝකයේ එකම තැනැත්තා ඉසුරු ප්‍රසංග බව එය කියවද්දී අපට වැටහෙයි.

මේ නිර්මාණය ගැන ලිවීම අපහසු වන්නේ ද ඒ නිසාය. එනම් යම් නිර්මාණයක් ගැන කරන නිර්මාණයක් වන විචාරයක් හෝ විවේචනයක දී ඒ නිර්මාණය තරම් ම හෝ ඊට ආසන්න තරම් හෝ වින්දනයක් ලැබිය යුතුය. මුදලිඳු ගුණවර්ධනයන්ගේ ‘ගුත්තිල කාව්‍ය වර්ණනාව ඒ ආකාරයේ විචාරයක් විවේචනයක් විවරණයක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඉසුරු ප්‍රසංගගේ ‘පේමතෝ ජායතී අසෝකෝ’ සම්බන්ධයෙන් එවන් සාධාරණයක් ඉටුකිරීමට මට හැකියාවක් නැත. ඒ නිසා ‘පේමතෝ ජායති අසෝකෝ’ නවකතාව හඳුනාගැනීමට නම් එහි ඇති අර්ථය රසය කෙබඳු දැයි යම් හැඟීමක් ඇති කරගැනීමට නම් එය කියවිය යුතු ම වේ. අපට කළ හැක්කේ ඒ සඳහා යම් සීමිත ප්‍රවේශයක් ලබාදීම පමණි.

ඒ ප්‍රවේශය ලබාදීමට හැකි පහසුම ක්‍රමය මුලින්ම මේ පොතේ යම් යම් තැන්වලින් කොටස් කීපයක් උපුටාගෙන ඔබේ අවධානයට ලක්කිරීමයි.

‘හඬ නඟා ඇඬෙන්නේ, ඉකි ගැහෙන්නෙ නැති විදිහට ආවේග හිර කරගන්න මාලතීට පුළුවන් වුණත් සිද්ධවුණ දේවල් ගැන කතා කරපු හැම වෙලාවකම එයාගේ ඇස්වලින් නිසොල්මනේ කඳුළු ගලාගෙන ගියා. හිනාවකට වඩා රූමතියකට කඳුළු කොච්චර ලස්සන ආභරණයක් ද කියන එක මම එච්චර හොඳට දැනගත්තේ මාලතී නිසා’

මේ කොටසට මෙතරම් ලස්සනක් එන්නේ ඉසුරු එතැනට ඇද දමන රූමතිය නමැති වචනය නිසාය. රූමතිය යන වචනයේ රූමත්කම මෙතරම් මතු ව ඇති තැනක් මට මා කියවා ඇති පොත් අතර හමුවූ බවක් මතක නැත. එතැන එසේ ලියන ඉසුරු තවත් තැනක දී ලියන්නේ මෙසේය.

‘රෙදි බැනියම් අඳින බුලත්විට කන සේනාරත්න අංකල්ගේ කතාව ඉතාම ලේසියෙන් තර්කයේ අභියෝගයට ලක්කරන්න පුළුවන් වුණත්, තර්කෙට වඩා එයාගේ භක්තිමත් විශ්වාසය කොච්චර සුවදායක ද කියලා මට හිතුණා. මේ කඨෝර ලෝකයේ ජීවත් වෙන්න ඒ වගේ විශ්වාස කොච්චර නම් ඕනැ වෙනවද කියලා මට හිතුණු වාර අනන්තයි. මිථ්‍යා මත කියලා සලකන දේවල් විතරක් නෙමෙයි උපරිම විද්‍යාත්මකයි කියලා සැලකෙන මාක්ස්වාදය පවා යම් තාක් දුරකට භක්තිමත් විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයිද? මාක්ස්වාදීන්ට, හේතුවාදීන්ට පවා තර්ක බුද්ධියෙන් එල්ලවෙන තර්ජනවලින් බේරෙන්න භක්තිය කොයි තරම් ලොකු ශක්තියක් වෙනවාද කියන එක එදිනෙදා අත්දැකීම් ඔස්සේ මට තේරුම් යමින් තිබුණා’

ඉහත උපුටා ගෙන ඇති කොටසේ ලස්සනම වාක්‍යය ‘කඨෝර ලෝකයේ ජීවත් වෙන්න ඒ වගේ විශ්වාස කොච්චර නම් ඕනැ වෙනවද කියලා මට හිතුණු වාර අනන්තයි’ යන්නයි. එතැන දී එසේ ලියන ඉසුරු තවත් තැනක දී මෙසේ ස්වකීය පෑනත් හිතත් හසුරුවා ගනියි.

‘මෙන්න මාමේ මම ඥාව්. ඉතින් මට ගහන්න...මාව එළවන්න...’

සුරංගිගේ පොඩි කෙල්ල එහෙම කිය කිය මම වාඩිවෙලා හිටිය පුටුව යටින් රිංගගෙන ඇවිත් මගේ කකුල් දෙකේ පැටලුණා.

සුරංගිගේ පොඩි කෙල්ල කියනවා යැයි ඉසුරු සඳහන් කරන ආකාරයේ නාටකීය දෙබසක් ශේක්ස්පියර්ගේ හෝ කිසිඳු නාට්‍යයක ඇතැයි මට නොසිතෙන්නේ සමහරවිට මා ශේක්ස්පියර්ගේ සියලු නාට්‍ය කියවා නැති නිසාම විය හැකිය.

‘එදා මා ගාව උන්නේ ස්වීඩනයේ දී හමුවුණාට වඩා වෙනස් එකියක්. අරුන්දතීට මගේ තිබ්බ බය ඒ වෙද් දී දුරුවෙලා අපේ කතාබහ පොඩි සෙල්ලම් තත්ත්වෙකට මාරු වෙමින් තිබුණා. ඒක වුණේ මම මෙහෙ එන්න කලින් ෆේස්බුක් හරහා ඇතිවුණ සංවාදවලදීම තමයි. එහෙම සෙල්ලම් නැළවිලි කතාවකට ෆේස්බුක් තරම් ගැළපෙන තවත් තැනක් කොහෙද? ටයිප් වෙන වචනවලින්, හැඟීම් දනවන මූණු සහ පින්තූරවලින් රූමත් ලලනාවක් ටිකෙන් ටික ආක්‍රමණය කරන එකේ කාව්‍යමය සෞන්දර්යය විනාඩි දහයක රමණයකට වඩා අපූරු නැද්ද කියලා මට වෙලාවකට හිතුණා’

ෆේස්බුක් ගැන මට මෙවන් විවරණයක් හමුවූ පළමු අවස්ථාව මෙය යැයි සිතේ.

‘පෙර ආත්මයක එක රාත්‍රීයක

මධු කුසලානේ දෙතොල රැඳෙව්වේ

ඒ ඔබයි මිහිරේ...ඔබයි මිහිරේ...

රෑ වෙනකොට තත්ත්වේ එන්න එන්න ම දරුණු වුණා. කවුරුත් ඒ සිංදුව මඟුල් ගෙදර කිව්වේ නැති වුණත් සංගීත කණ්ඩායමටත් ඉහළින් මට මිල්ටන් පෙරේරාගේ කටහඬ ඇහෙන්න ගත්තා. ජෝති, මිල්ටන් වගේ මිනිස්සුන්ට මල් තියලා වඳිනවා යකෝ කියලා මම කෑගැහුවා. විරහවේ මැරෙන්ඩ යන ප්‍රතිගාමී බේබද්දෙක් විදිහට සුගත්ගේ චරිතය නිර්මාණය කරපු එක ගැන කරුණාසේන ජයලත්ට මම මුලින් ම සමාව දුන්නෙත් එදා තමයි’

ලංකාවේ නවකතාවක දී විනා වෙනත් රටක කිසිම නවකතාවක දී මෙවන් ඡේදයක් ඔබට හමුවන්නට ඉඩක් නැත. මාක්ස්ට සේ ම මිල්ටන් පෙරේරාටත් සැපසේ නිදහසේ ජීවත් වෙන්නට හැකි තරම් ඉතා පුළුල් හදවතක් ‘පේමතෝ ජායතී අසෝකෝ’ නවකතාවේ වීරයා වන රවිඳු සතුව පැවැති බව හැඟෙයි. මේ මා රවිඳුගේ හදවත ගැන කියන කතාවයි. එසේම ඉසුරු අතින් ද හදවත ගැන බොහෝ දේ බොහෝ තැන්වල දී ලියැවී ඇත. මේ එවන් එක් තැනකි.

‘අනුරාධාගේ තොල් මත ජීවිතයේ පළමු හාදුව සටහන් කරන්න මට පුළුවන් වුණා. අනුරාධා මූණ බෙරි කරගෙන තොල් දෙක ලේන්සුවෙන් පිහ ගත්තා. ඒ විතර ද? ගැහැනු පපුවක කන්කළු ගැස්මේ රිද්මයට කන්දීමේ සිහිනය සැබෑවක් කරගන්නත් අහිංසක අනුරාධාගේ පැතලි ළමැද තලාව මට පිහිට වුණා’

මේ උපුටා ගත් කොටස්වල අරුන්දතී, මාලතී හා අනුරාධා යන නම් සටහන්ව ඇත. එහෙත් රවිඳුගේ ලෝකයේ ඇතුළුවූ තවත් චරිත අතරට ශාක්‍යා, නිම්මි, චමෝ නංගි හා නර්මදා ද අයත් වේ.

‘තමන්ගේ දුවණියව හය මාසයකටත් යන්න කලින් පිටගමකට දීග දෙනවා කියලා ශාක්‍යාගේ විදුහල්පති තාත්තා මට ගෝරනාඩු කළා. මමත් සැලූණෙ නෑ. වානේ වගේ පන්නරය ලබන්න හිතාගත්තා. නිකැළැල් ප්‍රේමයකට එරෙහි මේ දුෂ්ට අතපෙවීම පරාජය කරන්න මම ගම මැද්දේ යකා නැටුවේ හරියට සෝවියට් වීරයෙකුයි බොලිවුඩ් වීරයෙකුයි එක පාර ආවේශ වුණා වගේ’

සෝවියට් දේශය බිහිවීම මෙබඳු දේ ලියන්නට හේතුවෙතැයි අනාගතය දූරදර්ශීව දැකීමේ හැකියාවක් තිබූ ලෙනින් හෝ කවදාවත් සිතන්නට නැත.

මෑතක දී මා කියවූ බොහෝ නවකතා මත විවිධ බටහිර නවකතාවල පමණක් නොව චිත්‍රපටවල පවා සෙවණැලි වැටී තිබුණැයි මට සිතිණි. එනම් අපේ රටේ කොතරම් දෑ සිදුවුණත් විදේශ නවකතා චිත්‍රපට හා මතවාද විසින් ඇතිකරනු ලැබූ දැනුම ඒ බොහෝ දෙනාගේ ඇස් අන්ධ කරන දැනුමක් බවට පත්ව තිබුණු බවක් මට දැනිණි. ඒ නිසා ඔවුන්ට ඔවුන් අවට සිදුවන දේ නොදැනේ. නොපෙන්. බොහෝ අය නවකතාකරුවන් බවට නිර්මාණකරුවන් බවට පත්ව තිබුණේ ඒ නොපෙනීම ම නොදැනීම ම ඔවුන්ගේ හැකියාව බවට පත්ව තිබීම නිසා යැයි මට සිතේ. අසංවේ දී බව ම ඔවුන්ගේ නිර්මාණ උල්පත වී ඇති අතරම එවන් ම අසංවේ දී වූ විචාරකයන් විසින් එවන් නිර්මාණ උඩ දමනු ලැබේ. එවන් නිර්මාණ නවකතා අතරට ඉසුරු ප්‍රසංග ශ්‍රී ලාංකීය අත්දැකීමක් ගෙන එන්නේ යැයි සිතමි. ‘පේමතෝ ජායතී අසෝකෝ’ වැනි නවකතාවක් ශ්‍රී ලංකාවේ දී විනා වෙනත් රටක දී ලියවීමට ඉඩක් නැතැයි සිතමි. ඒ අනුව අප ජීවත්වන්නේ කුමන රටකද යැයි දැනගැනීම සම්බන්ධයෙන් රවිඳුගේ ජීවිත කතාව රැගත් ඉසුරු ප්‍රසංගගේ ‘පේමතෝ ජායතී අසෝකෝ’ කියැවීම උපකාරී වනු ඇත. ඒ අර්ථයෙන් ගත් කල නවකතාවේ එතරම් අර්ථවත් නොවන ආරම්භය හා අවසානය ගැන සපුරාම අමතක කර දැමීමට හැකිය. සපුරාම නොතකා හැරිය හැක.

අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මා උපුටා ගෙන දක්වා ඇති කොටස් පමණක් නොව නවකතාවේ ලියැවී ඇති සෑම වචනයක් ම පාහේ රසයෙන් පිරී ඇති බවය. එය විචාරයෙන් නොව නවකතාව කියවීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තකි. මෙය විචාරයකට වඩා ප්‍රචාරයක් බව කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත. මට ද අවශ්‍ය එයයි. ශ්‍රී ලාංකික අත්දැකීම් ඇති නවකතා ඉතා අඩුවෙන් ලියැවෙන කලක එවන් නිර්මාණයකට ප්‍රචාරයක් ලබාදීම කළ යුතු ම වේ.

 

Comments