වට­පිලේ වග | සිළුමිණ

වට­පිලේ වග

සියලු සත්ත්වයෝ ශාරීරික හා මානසික රෝගාබාධයන්ට ගොදුරු වෙති. සත්ත්ව උපත සිදුවූ කාලයේ සිටම මීට ප්‍රතිකාරයන් ද පැවත එයි. මුල දී සිරුරට කෙරුණ ප්‍රතිකර්ම පසුව මානසික ව්‍යාධීන් දක්වා දිගු විය. අද වනවිට පෙරදිග, බටහිර, ආයුර්වේද, ස්වදේශීය, කටු චිකිත්සා ආදී විවිධ ක්‍රමවේද අනුව මෙය සිදුවෙමින් පවතියි. “මානසික චිකිත්සාව” ශබ්ද භාවිතයෙන් (නාද මාලා, රිද්ම, වචනාර්ථ හා උච්චාරණයෙන් කළ හැකි බව පෙර අපර දෙදිගම රටවල් පිළිගෙන හමාර ය. අප රටේ මෙය ඇරඹී ඇත්තේ බොහෝ කලකට පෙර ය.

අපේ ගම්වල ඇත්තන් මානසික පීඩා පහකර සුවපත් කිරීමට හඬ, ශබ්ද (කථා, ගායන, වාදන, නාද - කතාන්දර, කවි, ගී, මන්ත්‍ර, පිරිත්, යාදිනි, වාදන ආදී දේ) භාවිත කර ඇත. ඔවුන් මීට දුන් නාමය නැළැවිල්ලයි. සැනසීම, අස්වසනවා, සහනයට පත්වෙනවා, සන්සුන් වෙනවා, නින්දට පත් වෙනවා, සුරතල් වෙනවා, සතුටු කරනවා යන අර්ථ ද ‘නැළවිල්ල’ වචනයෙන් ම මතු වන අවස්ථා ඇත. මේ අර්ථයන්ගෙන් සම්පූර්ණ වෙනස්වූ අදහසක් මතුවන ‘මාත් එක්ක නැළවෙන්ට හදන්න එපා” වැනි යෙදුම් ද පවතී. ඒ වදනම විරුද්ධාර්ථයකට පෙරළුණු අයුරු ය.

වඩාත් ප්‍රමුඛ සේම සම්භාවනාවට පත්ව ඇත්තේ ‘දරු නැළවිලි ගී සහ කවි ගායනාවන්ය. හඬා වැටෙන, වැලපෙන බිලිදා සුවපත් කොට නිද්‍රාවට පත් කිරීමේ පුදුම ශක්තියක් ඒ තුළ ගැබ්ව පවතී. අපේ ගං කූඩුවල මුතුන්මිත්තන් සේම අද ඇත්තෝ ද දරු නැළවිල්ලේ අගය, සුවය, මිහිර දනිති. විඳති. නැළවිල්ලෙන් ලබන ආස්වාදය පරයා දරුවාගේ වර්ධනයට ලැබෙන රුකුල ද අතිමහත් ය. අත දරුවාට සුවපත් වින්දනයන් ලැබීම ඇරඹෙන්නේ මෙතැනදී ය. කථාවට අවශ්‍ය වන වචන එකතු වෙයි. ළදරු විය ප්‍රථම පාදයට පිවිසෙන උතුම් මිනිස් ක්‍රියාකාරකම්වලට යොමු වීම ද ළදරු ගී කව් ගායනා වෙන් මනාව සිදුවෙයි.

දරු නැළවිලි ගී කවි මනෝචිකිත්සාවක් බව තහවුරු වන්නේ ලෝකයේ ඕනෑම තැනකින්, ඕනෑම බසකින්, ගැයෙන හඬට කන්දී සිටින කුමන වයසක කෙනෙකු වුව ද ශබ්ද මාධූර්යටම මෝහනය වී වින්දනයට පත්වන බැවින් ය.

අපගේ ළමා කාලයේ අම්මා, අප්පච්චී, සහෝදරයින් කිසිදු අර්ථයක් නැති ශබ්ද, නාද රටා පමණක් මුමුනා බංකු ලෑල්ලක තාල තබන විටත් අපේ දෑස් පියවී නින්දට වැටුණේ ද ඉහත ගුණය නිසාම ය. ලොව පළමු කවි ගීවල උපත ද දරු නැළවිලි යයි මතයක් ඇත.

දරු නැළවිලි ගී කවි, සැපදුක, වියෝග, අසරණකම්, සමාජ, සංස්කෘතික මූලයන්, ආර්ථික, රැකියා ක්‍රියාකාරකම්, වටා ගෙතී ඇත.

“අතට වළලු කොහෙන් පුතේ

පයට ගිගිරි කොහෙන් පුතේ

ඉනට හවඩි කොහෙන් පුතේ

දැනට නිදා ගනින් පුතේ

නැළවිලි කවි ගී බහුතරයේ ගැයුනේ මවුගෙන් නොව බාහිරයන්ගේ හඬින්ය.

“දෑතේ වළලුත් නද කෝ

දෙපයේ ගිගිරිත් නද කෝ

අම්මා දැන් එයි හනිකෝ

නාඩා නිදියන් මැණි කෝ

අම්මා වැඩ පළට ගිය විට බඩගිනි නිවා දරුවා සන්සුන් කර නළවා ගත්තේ ද දරුවා හුදෙකලා නොකර සුවපත් කරගත් අයුරු මෙසේ විය.

කන්දක් ගිනි ඇවිලෙන්නේ

හැන්දක් කිරි බීපන්නේ

නැන්දත් නුඹ නළවන්නේ

නින්දක් නිදියා ගන්නේ

වත්මන් ගී අතර ද මනස සුවපත් කරන දරු නැළවිලි රැසක් පවතී. විශාරද නන්දා මාලනිය හා පණ්ඩිත් අමරදේව ගාන්ධර්වයාණන් එක්ව ගයන ඇස්. මහින්ද හිමියන්ගේ ‘මුනි සිරිපා සිඹිමින්නේ, සමනල ගල පෙදෙසින්නේ’ ගීය පමණ ක් ම ඒ සියල්ල නියෝජනයට ප්‍රමාණවත් ය.

කොටුගම්වල අද අපේ කාන්තාවන් වැඩි දෙනකු ද දරු නැළවිල්ලෙන් දුරස් වී ඇත. අද දරු නැළවිලි ගයන්නේ තරගයකදී පමණි.

‘නැළවිලි’ චිකිත්සාව විද්‍යාත්මක පදනමකින් මේ වනවිට ක්‍රියාත්මකව පවත‍ී. විවිධ ගී පද නිර්මාණයන් ද, ඊට සුවි‍ෙශ්ෂී තනු නිර්මාණය ද ළබැඳි, මිහිරි, සොඳුරු, සංගීත සංයෝජනයන් කල්පනාකාරීව මුසු කිරීම ද සිදු වෙයි. ගීයෙන් තොර මනා ශික්ෂණැති වාද්‍ය ඛණ්ඩ ද වෛද්‍ය හා සංගීත විශේෂඥයින් ප්‍රතිකාර සඳහා ම නිර්මාණ කර තිබේ. මීට ලෝකයම දායක වී සිටී.

අපේ ප්‍රබුද්ධ ගීපද ගැයුම් බොහෝ ශල්‍යාගාරවල ඇහෙන්ට සලසා ඇත. එය ලෙඩාටත්, වෛද්‍යවරයාටත් මහත් සුවයකි. අසහනය, පීඩනය, විරහව, වේදනාව සමනයේදී මෙන් ම වෙහෙසකර අවස්ථාවන්හිදී එබඳු ගී ඇසීම හා ගැයීමෙන් ඇතිවන පහසුව, සුවය අතිමහත් ය‍.

සුනිල් සරත් පෙරේරා සූරීන් අතින් ලියවී අමරදේවයන් ගයන ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය, මේ මහ කන්ද වැනි බොහෝ ගී බිඳ වැටුණ, හඬන, පසුගාමී සිත් ඇත්‍තන් යම් පමණකට සුවපත්කර ප්‍රාණ පිහිටුවයි.

විටෙක දරුවා මවගේ විප්පයෝගය විඳ ගත්තේ මෙසේ ය.

“දර පාරේ ගිය අම්මා හුඟක් වෙලා

මලයා අඬයි බිව් රහ කිරි මතක් වෙලා

පිල පිට වැටෙන බිම් කළුවර පරක් වෙලා

අම්මා එන්න හඳ පානේ හඳක් වෙලා”

අපේ ඇත්තෝ ‘නැළවිලි චිකිත්සාව’ නිවැරැදිව ජය ගැනීමේ උපන් හපන් කම් ඇත්තෝ ය. මවිසින් ම වරිග උරුම ජනඥානය මතින් ශෝකය, වේදනාව යටපත් කරගත් අත්දැකීමකින් මේ කාරිය අවසන් කරමි. සහජාතක පුතකුට තම පියාණන් වහන්සේගේ අවසන් මොහොත ළඟ ඇතිවන වේදනාව කොතරම් දැයි විග්‍රහ කළ යුතු නැත. අප්පච්චී අවුරුදු 96 ක් ආයු වළඳා නික්ම යන්ට සූදානමින් සුසුම්ලයි. සහෝදරාදීන් හුද ළඟම ඥාතීහු ද අඬා වැලපෙයි. කෙනෙක් ගමේ සිරිත් කර අත ගැලිබදින්ට සැරසෙයි. මට ක්ෂණයෙන් හාමුදුරුවන් වහන්සේත්, අප්පච්චීත් කියා තිබූ ‘නැළවිලි චිකිත්සාවක්’ සිහිගැනුණි. සියලු දෙනාම නිහඬ කළෙමි. මීට පෙරදී ද අප්පච්චීට හුස්ම ගැනීමේ අපහසුවක දී මා කළ නැළවිල්ල ඇරඹීමි. තෙරුවන් නැමද අප්පච්චී ඉතා ආසාවෙන් අසා සිටි ශ්‍රී විෂ්ණු අෂ්ටකයේ ස්තෝත්‍ර ගැයීම, මුත්තාගේ වෙද පොතේ තිබූ ‘නවකුන්‍‍ඩ රාජයා’ නම් ආශිර්වාද මන්ත්‍රය ද අවන් පතින් පවන්සලා ගැයීමි. අප්පච්චීට අදත් සෙම තද වී ඇති බවත් මේ පිරිත් කිරීමෙන් වෙනදා මෙන් ම එය පහව සුවනින්දක් ලැබෙන බවත් ද කීවෙමි. සුළු වේලාවකදී ගොර ගොර සුසුම් අඩුවිය. අපච්චීට මා කියවන දේ ඇසෙන ස්වරූපයක් පෙන්වමින් අතක් මඳක් ඔසවා වන්දනා ස්වරූපය දැක්විය. අවසන් වශ‍යෙන් ධම්මචක්ක පවත්තන සූත්‍ර ගාථා කීපයක් කියවා “මහා කාරුණිකෝ නා ථෝ” මහ ජයමංගල ආශිර්වාද ගාථා අවසන් වනවිට මගේ සිත්වේදනා පහවූ සේ ම අප්පච්චී ද වේදනාවෙන් මිදී නිදහස්ව තිබිණි.

කවුරු කුමන තර්ක නැගුවද මනස හා සිරුර අතරැති මේ නොබි‍ඳෙන, නොපෙනෙන සබඳතාවම ‘නැළවිලි’ සහනයට හේතුව වී ඇති බව මගේ හැඟීමයි. එනිසා සිරුරට පෙර මනස සුවපත් කර ගනිමු. නාද චිකිත්සාව ඊට හොඳම පිළියමකි.

Comments