පෙර සිට එන වෙසක් පහන් විත්තිය | සිළුමිණ

පෙර සිට එන වෙසක් පහන් විත්තිය

කවදත් පහන් අතර කැපී පෙනුණේ මැටි පහන්ය. තවද පැපොල් ගෙඩි හා නාවා පහන්ද විය. කැකුණ ඇට, කොප්පරා, දෙමටහුළු, වැට එඬරු වැනි දේවලින් ද එදා වෙසක් පහන් තනා ගැනීමට ගැ‍මියෝ සමත් වුහ. ගස්ලබු ගෙඩිය දෙකට පළා ඇට ඉවත් කිරීමෙන් යහමින් තෙල් දැමිය හැකි පහනක් නිර්මාණය වෙයි. නාවා ගෙඩිවලින් මැටිවලින් තැනුවාක් මෙන් පහනක් නිර්මාණය කරගත හැකිය.

පහන් පූජාව තරම් පහසුවෙන් සිත පහන් බවට පමුණුවන තව එකද පූජාවක් නැත. පහන් පිදීම දිවැස් ලැබීමට මඟක් යැයි බණ පොතේ සඳහන්ව තිබේ. අඳුරෙහි ඇස් ලබන්නේද පහනෙහි ආනුභාවයෙනි. ලෝකයේ ආගම් අතුරින් පැරණිතම යයි පිළිගනු ලබන සුර්යය නමස්කාරයටද හේතු වී ඇත්තේ අඳුර වනසා ආලෝකය ගෙන දීමට හිරු සමත්වීමය. පැරණිකමින් දෙවැනි තැනට පැමිණි ගිනි දෙවියා පිදුම් ලැබීමට සුදුසුකම් ලැබුවේද මේ ගුණය නිසාය.

හින්දුන්ගේ ආදිම දහම් පොතලෙස පිළි ගැනෙන සෘග්වේදයෙහි දැක්වෙන මන්ත්‍රපාඨ වලින්ද එය සනාථ කෙරෙයි. හිරුගෙන් මෙන් ම ගින්නෙන් වන සේවය වන අඳුර වැනසීම සඳහා වු අදහස සංකේතවත් කැරෙන්නේ පහනයි. එය පරිශුද්ධ වස්තුවක් වුයෙන් ඉන් කැරෙන පුජාව දෙලෝ සැප සාදා දීමෙහි සමත් බවට විශ්වාසයක් ගොඩ නැඟිණි.

විජයාගමනයටත්, බුදු දහම පැමිණී‍මටත් අතරතුර කාලයෙහි දිවයිනෙහි පැවැත්තේදැයි හරි හැටි නොවුණත් ගිනි දෙවියන් පිදීම නම් තිබු බවට සැකයක් නැත. මේ දක්වා මේ දිවයින් වැසියන් දැන හෝ නොදැන හෝ ගිනි දෙවියන් පුදන බව පැහැදිලියි. බක් මහේ අවුරුදු සිරිත් විරිත් වලදී එය මොනවට හෙළි වෙයි. නැකැතට ළිප් ගිනි දැල්වීම, ගෙවැදීම්වලදී පහන් පත්තු කිරීම, දැල්වෙන පහන් තිරියට කිරිබත් තැබීම හා පහනින් ආ‍ලත්ති බෑමාදියෙන් එය පෙනේ.

බුදු දහම දිවයිනේ මුල් බැස ගැනීම නිසා පහන් පුජාව ප්‍රචලිත විය. එය නිසා ජනයා තුළ විචිත්‍ර හැඟීම් පහළ විය. විචිත්‍ර වු හැඟීම් නිසා ජන සමාජය පවිත්‍ර වු බව පෙනේ.

“ගිරිහඬු ගිරිහිසේ සෑ මළුව වටා අවුළුවන ලද පහන් වැටෙහි එළියෙන් මුළු පෙදෙසම ආලෝකවත් විය. මඳ සුළ‍ඟෙහි නැළ වෙන සිය දහස් ගණන් පහන් එළි බුදු පුදට සැදැහැවතුන් හිසින් ඇසින් කැඳැවන්නාක් විය. පහනින් මැවුණු මේ සුපසන් දසුනෙන් වශී වී ගිය නව යොවුන් සුන්දර දැරියක් සිය ගෙමිදුලෙන් නොදැනුවත්වම අහසට එසවී ගව් කීපයක් දුර පිහිටි සෑ මළුවට මොහොතකින් පහත් වුවාය.”

මේ අපගේ පැරණි බණ පොතක එන පුවතකි. පහන් දැල්වීම කෙතරම් සරුවට සිදු කළාද කිව හොත් මුළු සිරිලක් පො‍ළොව ඉඩ මඳ වුයෙන් මහදැලි මහතා මහරජ තෙමේ වැඩිපුර ඉඩ සලස්වා ගත් සැටි මහාවංශයේ සඳහන් වන්නේ මෙසේය.

“අතුරු නැති පහන් මාල‍ාවක් මුළු ලක්දිව්හිද හාත්පස යොදුනක් මානයෙහි මුහුදු දියෙහිද පැවැත්වීය”.

විසිතුරු රස හැඟීම්වලින් මෙන්ම විසිතුරු ශ්‍රද්ධා භක්තියෙන්ද ඉතිරී ගිය මහානාගදී පහන් පුජාවෙන් සිරිලක ඒකාලෝක කළ මහ බොදු රජවරුන්ගෙන් මේ දිවයින හිස්වී සියවස් ගණනාවක් ම ගෙවී ගොස් ඇත. එහෙත් වසරක් පාසා සිරිලකට වෙසක් පුන්සඳ සමඟ පෙර පැවැති අසිරිමත් පහන් පුජා පෙරහර පහළ වන්නේය. ඈත පිහිටි දුගී පැල්පත් මෙන්ම අගනුවර හා අනෙක් උප නගරවල ප්‍රාසාද ද පහන් සැරසිල්ලකින් වෙසක් නිමිතිකර ආලෝකවත් වීම සිරිතයි.

මෙයට වසර දෙසීයයකට පමණ මෙපිට වෙසක් සිරිත් ගැන විමසන විට එදා නිවෙස්වල වෙසක් පහන් දැල්වීම ඉතා චාම් ආකාරයට වු බව පෙනේ. එහෙත් විහාරස්ථානවල අත්‍යාලංකාර ලෙස සැරසිලි දක්නට ලැබුණේය. බණ පිරිත්, පිංකම් ඉතා සරුවිය. බණක් කියවන කල දැන් මෙන් පැයක් දෙකක් නොව තිස්පැයකින් නොඅඩු කාලයකින් කෙරෙයි.

බණ මඩු අලංකාර ලෙස සරසති. උඩුවියන් බැඳ වට තිර ඇද ධජ පතාක ආදිය නංවා දුටු වන් මනනුවන් ඇද ගන්නා ලෙසට සැරසීමට දායකයෝ යුහුසුලු වෙති. කණුවල පොල් වලු එල්ලා වතුකැන් සහිත කෙසෙල් ගස් කණුවල බැඳ පුවක් වලු එල්ලා ගොක් ගෙඩි බැඳ සරසති. තවද බණ මඩුවේ කැවිලි මුට්ටිද එල්ලති. සමහර විට නානාවිධ පලතුරු ජාතිද වැල වරකාද ගෙනත් තබති. මේවා මෙසේ සම්පුර්ණ වු විට බණ මඩුව සුදම් දෙවි සභාව මෙන් සොභාමත් වෙයි. මේ අවස්ථාව විචිත්‍රවත් කෙරෙන්නේ බොහෝ විට තරුණ පිරිස් අතිනි. ඒ මේ අවස්ථාවේදී පහන් පුජා පැවැත්වීමට විශේෂයෙන් යුහුසුලු වන බැවිනි. හිස උඩ පහන් පත්තු කිරීම කාගෙත් සිත් ගත් අවස්ථාවකි. එය විශේෂ පුජාවක් හැටියට කවුරුත් පිළිගත්හ.

ධර්ම දේශකයාණන් වහන්සේ බණට වඩින විට කොණ්ඩකාර තරුණයෝ දෙපෙළට සිට උන්වහන්සේට නමස්කාර කරමින් කොණ්ඩා ළිහා එකකට එකක් යාවෙන්නට අතරක් නැතිව කොණ්ඩා අතුරත්. අද මෝස්තරයට ස්වල්ප දෙනෙක් කොණ්ඩය වැව්වාට එදා පිරිමි කවුරුත් කොණ්ඩය වවා බැඳීමට පුරුදුව සිටියහ. ධර්ම දේශකයාණෝ වහන්සේ කොණ්ඩා පාවඩය මතින් ධර්මාසනයට වඩිති. දේශකයන් වහන්සේට මුළු රාත්‍රිය පුරාම ධර්මදේශනා කළ යුතු බැවින් ඒ අතරතුර විවේකය සැපයීම වෙනුවෙන් වෙස්සන්තර, දහම් සොඬ, අන්ධභූත වැනි ජාතික කථා ලුහුඬින් රඟ දක්වන්නට පිළියෙල කැර තිබිණි.

එදා දන් පෙරහර විශාල එකකි. නොයෙක් විධියේ කෙළි සෙල්ලම්ය. බොරු මිනුම්දෝරු කට්ටියක් මුලින්ම පාර මැනගෙන යති. ඊට පසුව කස කාර‍යෝය. ඊළඟට බොරු පා කාරයෝය. කඩු හරඹ කාර‍යෝ යන්නේ ඊට පසුවය. ඊට පසුවය. ඊටත් පසුව යන්නේ ලී කෙළිකා‍රයෝය. මේ ආදී වශයෙන් නන් අයුරින් සැකසුණු කෙළිසෙල්ලම් වෙත්. තවද කොටි නැටුමද එකකි. අත්කම් කළ ඉඳිකොළවලින් සරසපු ‘සිංහයා’ පෙරහැරේ විශේෂ දර්ශනයකි. මේ අතර ගස් අතුරිකිලි බැඳ සැරසු කරත්තවල උසුළු විසුළු කරමින් යන රිලා, වඳුරු වෙස් ගත්තෝද වෙති.

පෙරහැර පිංකම් පොළට පැමිණි පසු පංසලේ දායක මහත්වරු ගරු බුහුමන් ඇතිව එය පිළිගනිති. අනතුරුව දන් පිළිගන්වනාතර පෙරහැරේ පැමිණි නැට්ටුවෝ සහ නළුවෝ සිය දස්කම් පෙන්වති.

අපගේ පහන් පූජා පිංකම කාලයාගේ ඇවෑමෙන් දියුණු වී ආ සැටි විසිතුරු විත්තියකි. ශ්‍රද්ධා වන්තයෝ තුන්යම්රැය මුළුල්ලෙහි විශේෂයෙන්ම වෙසක් පොහෝ දිනවල පහන් දැල්වීම ඉතා සොම්නසින් කරති. දැල්වු පහන් හිසමත තබාගෙන බුදු ගුණ කියමින් ත්‍රිවිධ චෛත්‍යයන් පැදකුණු කිරීම පහන් පැවැත්වීම යනුවෙන් කියැවේ. තිරවැටි අවුළුවන ලද කුකුළු, මොනර, කොත් විලක්කු, ආදී පිත්තල පහන් මෙන්ම නොයෙකුත් හැඩයේ සටහන් ආරුක්කුවල තබා බැඳි මැටි පහන්ද හිසින් දරා ගත් පිරිස සෑය වටා යන දසුන කවරෙකුගේ වුවද සිත් පහන් කැරවන්නකි.

එදා ගම්වල පහන් පවත්වනු ලැබුවේ හිස මත දැල්වීමෙනි. එනම් පුවක් හෝ කිතුල් පටි කීපයකින් හිස වසා වෙලා බැඳ එසේම වියතක් පමණ උසින් සිටිනසේ වට‍ෙකාට තවත් පට්ටයක් බැඳීමෙන් හිසේ නිර්මාණය වන පාත්‍රය ගොඩපර මදවලින් පුරවනු ලැබේ. ඒ මත තෙලින් පෙඟවු පාන්කඩ දමා ගිනි දල්වති. එය ප්‍රදේශයම ආලෝකවත් කරන ගිනි ජාලාවක් බවට පත්වන්නේය.පිටතට ගින්න කෙතරම් ප්‍රබල වන නමුදු එය දැල්වෙන හිසට ඉන් මද හෝ පීඩාවක් නොදැනෙන්නේ ගොඩපර මදයේ සිසිල නිසාය.

මෙසේ හිස දල්වා පහන් පුජා පැවැත්වීම දුටු ගැමුණු රජ දවස ද පැවැති බව රුවන්මැලිි ධාතු ගර්භයෙහි කරවන ලද රූප අතර “එසේම පාත්‍රා ගත් දේවතා පන්තිය උන්ගේ හිස ගන්ධ තෛලයෙන් පුරවන ලද්‍දා වු පස් රියන් දුහුල්පට පහන් වැටි පෙළ හැම කල් අවුලන ලද්දාහ” යන මහාවංශ පාඨයෙන් ඔප්පුවේ.

කවදත් පහන් අතර කැපී පෙනුණේ මැටි පහන්ය. තවද පැපොල් ගෙඩි හා නාවා පහන්ද විය. කැකුණ ඇට, කොප්පරා, දෙමටහුළු, වැට එඬරු වැනි දේවලින් ද එදා වෙසක් පහන් තනා ගැනීමට ගැ‍මියෝ සමත් වුහ. ගස්ලබු ගෙඩිය දෙකට පළා ඇට ඉවත් කිරීමෙන් යහමින් තෙල් දැමිය හැකි පහනක් නිර්මාණය වෙයි. නාවා ගෙඩිවලින් මැටිවලින් තැනුවාක් මෙන් පහනක් නිර්මාණය කැරගත හැකිය. එදා නිවෙස් සහ පන්සල් ඉදිරිපිට මේවායෙන් ඉදිකළ පහන් වැටවල් අති චමත්කාරය ගෙන දුන්නේය.

වෙසක් පහනේ ඊළඟ පෙරළිය ඉටිපන්දම විශේෂයෙන් වෙසක් උත්සවය විචිත්‍රවත් කළා යැයි පැවසීම මුසාවක් නොවේ.

මේ කියන සමයෙහි නිපදවුණු ඉටි පන්දම් නොයෙක් පාටින් යුතුවු අතර ඒවා ප්‍රමාණයෙන් විශාලය. මේ ඉටිපන්දම් නිසා තැන තැන තොරණ සෑදීම ඇරඹිණි. මේ තොරණවල ජාතක කතා චිත්‍රයට නගා අලවා ඒ මත කලාත්මක වර්ණවත් ඉටිපන්දම් ගසා ඇලවීම සිරිතයි. ඉටි පන්දම් නිසා නානා කැටයම් කපන ලද කොළවලින් සැරසු එළිය පෙට්ටියෙන් ආලෝකවත් වුයේ සැරසිලි කලාව පමණක් නොවේ ඉන් කවි කලාවද අමුතු එළියකින් බැබළීමට රුකුලක් වුයේය.

වෙසක් පූජා සඳහාම ලියැවී මග යන එන දෙනෝ දාහක් දෙනාගේ රස දියුණු කළ එළිය පෙට්ටි කවි දහස් ගණනින් ගිණිය හැකිය. කලාවත් කාලයත් අතර ඇති වු හබයෙන් කාලය ජය ගැනීම නිසා මුද්‍රිත චිත්‍ර කොළවලට එළිය පෙට්ටිය ආක්‍රමණයට ඉඩදී කැටයම් කොළය මුලු ගැන්වින.

ඉටි පන්දම නිසා බෙහෙවින්ම පැතිරී ගිය පහන බකට් යනුවෙන් හැඳින්වුයේය. පහන් සැරසිලි කිරීමේ උපන් හපන්කම් ඇත්තෝ වු ගැ‍මියෝ විවිධ වර්ණ බකට් වලින් පහන් වැට, පහන්වැල්, පහන් කොඩි, පහන් තොරණ සෑදුහ.

පසුකාලයේ විදුලිය ලැබීමේ පිණෙන් දිවයින පුරා විවිධ වු සැරසිලි පහන් කූඩු බිහිවන්නට වු අතර නගර ගම් දනව් ආදිය වර්ණවත්වීම සුලභ දර්ශනයක් වුයේ ය. තොරණ බිහිවීම එහි අග්‍රඵලය ලෙස හැඳින්වීම නිවැරැදිය.

එහෙත් ගම්බදව තැනෙන පහන් කූඩු දහස් ගණනෙකි. කෙතරම් දිළිඳු ගෙදරක වුවද බුදු රජාණන් වහන්සේ උදෙසා එකම පහන් කූඩුවක් හෝ තැනෙන්නේය. අද ක‍ෙඩන් ගැනීමේ තත්ත්වයට පත්වෙමින් තිබුණත් එදා සත්විය ඉක්ම වු එකම සිංහල දරුවෙකුවත් අටපට්ටම් කූඩුවක්, නෙළුම් මලක් හෝ තාරකාවක් සාදන්නට නොදැන සිටියා ‍ෙනාවේ. එදා සිට ජාතියේ කලාකාමයත් ශ්‍රද්ධා ආලෝකයත් අවුළුවන වෙසක් පහන සිංහලයාගේ ආගමික සලකුණක් බවට පත්ව තිබේ.

අන්ධකාරයෙහි මංමුළාවූ සත්ත්ව වර්ගයාට ඥානාලෝකය පතුරුවා යහමඟ පෙන්වා වදාළ සම්බුදු පියාණන් වහන්සේට තුන් සිංහලයම වෙසක් පොහෝ දින එකම පහන් කූඩුවක් බවට පත්වන්නේ මෙසේය.

Comments