අලුත් අද­හ­සින් තොරව බෞද්ධ ‘කුමක් හෝ’ සංක­ල්ප­ගත කිරීම | සිළුමිණ

අලුත් අද­හ­සින් තොරව බෞද්ධ ‘කුමක් හෝ’ සංක­ල්ප­ගත කිරීම

ආරම්භක පුරාණ කථාවල ආධිපත්‍යය දරන පිරිස දේශපාලන නීත්‍යනුකූලභාවය සපයමින් දිවයිනේ මූලික වශයෙන් බෞද්ධ ස්වභාවයට සාධාරණත්වයක් ගෙනැවිත් දී තිබේ. ක්‍රි.ව. හයවන සියවසේ සිට සිංහල සංස්කෘතිය තුළ මේ ආරම්භක පුරාණෝක්තීන් විවිධාකාරයෙන් ජනකතා, ග්‍රාමීය පූජානුගත නාට්‍ය, ජන කාව්‍ය ආදී වූ බහුවිධාකාරයෙන් නිරන්තරව නිර්මාණය වෙමින් නූතන නාට්‍ය සාහිත්‍ය තෙක්ම පැවැතවිත් තිබේ.

මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ මෙම ලිපිය ලංකාවේ ජනවාර්ගික ගැටුම් සංදර්භය තුළ සිංහල ජන විඥානය (මානසිකත්වය) වටහා ගැනීමෙහි ලා ඉතා වැදගත් චිත්‍රයක් අප වෙත ගෙනහැර පායි. එසේ වුවත් එදා සහ අද දෙපිල බෙදී වාද කරගන්නා සිංහල ජාතිකවාදීන් මෙන්ම වාම-ලිබරල්වාදීන් ද මෙමඟින් මතු කළ බහු අරුත් සහ දේශපාලනික දැක්ම පිළිබඳව මේතාක් සාකච්ඡාවට බඳුන් කොට නැත. එය ඔවුන් විසින් හිතාමතා හෝ මොනයම් හේතුවක් නිසා හෝ මඟහරිති. එහෙත් මෙමඟින් මතු කරන කාරණා කිසිවක් දේශපාලනය පිළිබඳව හෝ ජනවාර්ගික ඝට්ටනය පිළිබඳව බැරෑරුම්ව සිතන කිසිවකුට කිසිසේත් මඟහැර යා නොහැකිය.

මෙහිදී ශ්‍රී ලංකාවේ යටත්විජිත යුගයට පෙර පැවැති තත්ත්වය නිරූපණය කිරීම සඳහා ‘ජාතිය’ ‘ජාතික රාජ්‍යය’ හෝ ‘රාජ්‍යය’ යන කිසිදු වචනයක් යොදාගැනීමෙන් වැළකී සිටීමට මම කැමැත්තෙමි. යුරෝපීය චින්තනය ඔස්සේ අපට උරුම වූ මේ සංකල්පමය වචන යොදනු වෙනුවට ‘බෞද්ධ කුමක් හෝ’ යනුවෙන් තාවකාලිකව යොදා ගනිමින් පූර්ව යටත්විජිත යුගයේ පැවැති තත්ත්වය පිළිබඳ වලංගු වූ තොරතුරු පමණක් ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

එකල පැවති පසුබිම අනුව ශ්‍රී ලංකා රාජ පාලනය තුළ ස්වාධිපත්‍ය පිළිබඳ අදහස පිළිගෙන තිබුණු බව පැහැදිළිවම පෙනේ. විවිධ කාලවල විටින් විට පැන නැගුණු කුඩා රාජධානිවල (12 වන සියවසින් පසු - යාපනේ රාජධානිය ) රජවරු තම අණසක පවත්වාගෙන සිටියේය. ඒවා කුඩා ප්‍රදේශ වුව තමන් ‘මුළු ලංකාවටම අධිපති’ යැයි ප්‍රකාශ කර සිටියේ ය. මෙය මතවාදී නිර්මිතයක් වුව ප්‍රබන්ධයකි. සත්‍ය වශයෙන් ම සිදු වූයේ ඒ ප්‍රාදේශීය රජවරු පරිකල්පනීය වශයෙන් අධිපත්‍ය භාවය උරුම වී ඇතැයි සැලකූ රාජධානිය කෙරෙහි ගරුසරු දැක්වීමය.

එසේ වුව තමන් රජ කළ ප්‍රදේශවල පමණක් ස්වාධීනත්වය තහවුරු කරගෙන සිටියේය. ඒ අනුව යථාර්ථමය වශයෙන් සලකා බලන කල පුරාණ හා මධ්‍යකාලීක යුගයන්හි වැඩිකාලයක් රුහුණේ තිබුණේ ස්වාධීන රාජධානියකි. එනිසා එය ‘රජරට’ (ස්වාධිපත්‍යයේ උරුමය රැඳී පැවතීම හේතුකොට ගෙන) එනම්, අනුරාධපුරයේ හෝ පොලොන්නරුවේ පැවැති රාජධානිවල ප්‍රතිබිම්භයක් බඳු විය.

15 වන සියවසින් පසුව මහනුවර රජවරු, ප්‍රාදේශීය පරිපාලකයින් පත් කිරීම හා පහකිරීම වැනි බලතල ක්‍රියාත්මක කරමින් තම රාජ අණසක පතුරවාගෙන සිටියහ. මේ අයුරින් කලින් කල දිවයිනේ ඇති වුණු රාජධානි ව්‍යූහමය වශයෙන් අසමාන වුවත්, සංකල්පමය වශයෙන් ඒකාබද්ධ බෞද්ධ ‘කුමක් හෝ’ යැයි කිව හැකි ව තිබුණි.

වරින් වර ලියැවුණු මහාවංශයේ කොටස් තුළ ප්‍රායෝගික ව මුළු රට එක් සේසත් කළ ලෙස හඳුනාගෙන ඇත්තේ දුට්ඨ ගාමිණී (ක්‍රි.පූ. 161-137), පළමුවන විජයබාහු (ක්‍රි.ව. 1070-1110), පළමුවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) සහ සයවන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1411-1461) යන රජවරුන් පමණය. එනිසා ඉතිහාසයේ වැඩි කාලක් රාජ මධ්‍යස්ථානය අස්ථාවරව පැවති බව පැහැදිලිය. එහෙත් එහි අණසක බෞද්ධ ‘කුමක් හෝ’ මඟින් නීතිප්‍රකාරව මුළු දිවයිනේම පැවැති බව කියැවෙන අයිතිය පිළිබඳ අදහස දිගින් දිගටම පැමිණ තිබේ. මේ ආකාරයට විවිධ ආකාරයෙන් වෙන් වෙන්ව පැවැති “රාජ්‍යය” අතික්‍රමණය කර මතවාදීමය ඒකත්වයක් ‍ගොඩනගාගෙන ඇත්තේ කෙසේද යන්න විග්‍රහ කර බලමු.

ඒ අනුව බෞද්ධ ජන විඥානය තුළ එම මතවාදීමය ඒකාබද්ධතාව නිර්මාණය ‍කොට ප්‍රකාශයට පත් වූයේ,

1. හයවන සියවසේ රචිත මහාවංශයේ පළමු පරිච්ඡේදයෙහි දැක්වෙන ආකාරයට බුදුන්වහන්සේ මේ දිවයිනට තෙවරක් අහසින් වැඩම කොට ඇත. එහිදී බුද්ධත්වයෙන් නමවැනි මස මෙහි වැඩම කළ උන්වහන්සේ මෙහි සිටි යක්ෂයන් ගිරිදිවයිනට පළවා හැරියේය. අනතුරුව සම්‍යක් සම්බෝධියෙන් වසර පහක් ගෙවුණු තැන උතුරේ වාසය කළ නාගයන් අතර වූ දබරය සමතයට පත් කර ඔවුන්ට ධර්මය දේශනා කළ බවය. එසේම කැලණිය, මහියංගනය හා සුමණ කූඨය බුදුන් වැඩි තැන් වූ අතර, ඒවා පසුකාලීනව ශුද්ධ භූමි බවට පත් වූ බව කියැ වේ. මේ ගැන විවාදයක් ඇත් නම් ඒ ඉතාම කලාතුරකිනි. ඒ අනුව මේ ගමන්වල අරුත පැහැදිලිය. මේ දිවයින දුෂ්ට වූ යක්ෂයන්ගෙන් මුදාගෙන යහපත් වූ නාගයන් සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවා තිබේ. බුදු පා පහසින් පාරිශුද්ධ වූ ස්ථාන අතර, සිරිපතුල පිහිටුවා ඇති සුමනකූටය අතිශයෙන්ම වැදගත් වූ වන්දනීය ජූජ්‍ය ස්ථානයක් බවට පත්ව තිබේ. ඒ අනුව බුදුරදුන්ගේ ආගමනයන්ගෙන් අනාගතයේ ප්‍රතිෂ්ඨාපනය වන්නා වූ බුදුසමය මේ ලංකා භූමියේ අභිෂේක කළා වැන්න. අනෙක් අතට සිංහලයන්ගේ ආදි පුරුෂයා වන විජයගේ ආගමනය සඳහා මේ දිවයින සූදානම් කර තැබුවා යැයි සිතිය හැකිය‍‍.

2. විජය කුමරු වනාහි තම පියා මරා සොහොයුරිය විවාහ කරගත්, උතුරු ඉන්දියාවේ සිංහපුර රාජධානියේ රජ කළ සිංහබාහු රජුගේ වැඩිමහල් පුත්‍රයා ය. විජය තුළ දාමරික චර්යාවක් පැවති හෙයින් ඔහු හා සත්සීයක් පිරිස නැවක දමා පිටුවහල් කරනු ලදුව බුදුරදුන් පරිනිර්වාණය කරන දිනයේ මෙහිවිත් ගොඩබසිති. ආධ්‍යාත්මික ලෝකයේ ජයග්‍රාහකයා (ජින) බුදුන්වහන්සේ වන්නා සේම, ගෙහසික ලෝකයේ ජයග්‍රාහකයා විජය විය. පළමු වන බෞද්ධ රාජ්‍යයේ ආරම්භකයාට ‘විජය’ නාමය මෙරට පළමු ඉතිහාස ග්‍රන්ථය වන දීපවංශයේ ද, අනතුරුව මහාවංශයේ ද ලබාදීමට එක් හේතුවක් වන්නේ එය යි. එහෙත් ශ්‍රී ලංකාවෙත් පිටත ලියවුනු සෑම කෘතියකම පාහේ ඔහු හඳුන් වා දී ඇත්තේ ‘සිංහල’ යන නමිනි. විජය ආරක්ෂා කරන ලෙස බුදුහු ශක්‍රයාට භාර කළහ. ශක්‍රයා එය විෂ්ණු (උපුල්වන්) වෙත භාර කරන ලදින් ඔහු දිවයිනේ ආරක්ෂක දෙවියෙක් ද බෝධිසත්ව වරයෙක් බවට ද පත් වුණි. විජය පළමුව කුවේණී නම් යක්ෂණිය විවාහ කරගෙන පසුව ඇය අතහැර දැමීය. එම විවාහයේ දරුවන්ගෙන් වැද්දෝ ඇති වූහ. පසුව විජය දක්ෂිණ (දමිළ රටේ) මධුරා පුරයෙන් (කෘෂ්ණගේ වාස භූමිය වූ උත්තර මධුරාවෙන් වෙනස්) රජ කුමරියක අභිෂේක කළත් දරුපල නැති බැවින් රජකම සඳහා ඔහුගේ ඇවෑමෙන් දෙටු සොයුරු සුමිත්ත කුමරුගේ පුත් පඬුවස්දෙව් සිංහ පුරයෙන් ගෙන්වා ගැනුණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් පදනම පිළිබඳ පුරාණ කථාව මෙය වන අතර එය සිංහලයන්ගේ ඓතිහාසික චින්තනයේ අනිවාර්ය අංගයක් ද වන්නේ ය. මේ පුරාණ කථාවේ ජනවාර්ගික වියෝජනයක් (separation) හා සංයෝජනයක් (integration) ගැබ් වී ඇති අයුරු වත්මන් ශාස්ත්‍රවන්තයන්ට පෙනී ඇත්නම් ඒ කලාතුරකිනි.

දිවයින විජයාගමනය සඳහා යක්ෂයන් එළවා පිරිසිදු කොට සූදානම් කිරීම බුදුන් අතින් සිදු වේ. වැද්දෝ විජයගෙන් පැවැත ආවද, අවජාතක වූ හෙයින් ඔවුන්ට නීත්‍යානුසාරී රාජත්වයවත්, බෞද්ධ ඉතිහාසයවත්, ශිෂ්ටාචාරයවත් හිමි නැත. දමිළයෝ ඤාතීහු වෙති. එහෙත් ඔවුනට රාජ පරම්පරාව උරුම නොවේ.

එය මහාභාරතයේ වීරයන් සිහියට නංවන පණ්ඩුවාසදේව වෙත ආපසු යැවේ. එසේ වුවද වැද්දන් සහ දමිළයෝ ඥාතීන් පමණක් නොව ජාතිය ගොඩනැගීමේ ආරම්භක සාමිජිකයෝ (co-founders) ද වෙති. මෑත කාලයේදී පුරාණ කථාවේ මේ ගුණය නොසලකා හැර අමතක කර දමා ඇත. විජය කථාවේ ඉතිරි කොටස පමණක් සෑම තැනම පිළි‍ගෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ සැබෑ ආරම්භය ලෙස සලකා උත්කර්ෂයට නංවා තිබේ.

ආරම්භක පුරාණ කථාවල ආධිපත්‍යය දරන පිරිස දේශපාලන නීත්‍යානුකූලභාවය සපයමින් දිවයිනේ මූලික වශයෙන් බෞද්ධ ස්වභාවයට සාධාරණත්වයක් ගෙනැවිත් දී තිබේ. ක්‍රි.ව. හයවන සියවසේ සිට සිංහල සංස්කෘතිය තුළ මේ ආරම්භක පුරාණොක්තීන් විවිධාකාරයෙන් ජනකථා, ග්‍රාමීය පූජානුගත නාට්‍ය, ජන කාව්‍ය ආදී වූ බහුවිධාකාරයෙන් නිරන්තරව නිර්මාණය වෙමින් නූතන නාට්‍ය සාහිත්‍ය තෙක්ම පැවැතවිත් තිබේ.

නූතන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් පවා මේ කථාවල දිවයින ජනාවාස කිරීමේ හරය ගැබ්ව ඇතැයි සලකන ලදී. ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ මේ ආකාරයේ අධිකාරිපත්‍රමය (සන්නස්පත්‍රමය) පුරාණොක්ති (charter myths) දක්නට ලැබේ. මෙහිදී එය සඳහා බෞද්ධ නීත්‍යානුකූල භාවයක් ලබාදී තිබේ.

3. ග්‍රාමීයව පවත්වනු ලබන පූජාකර්මයන් හිදී දෙවියන් හෝ යකුන් සම්බන්ධ වන්නේ වුව බොහෝ විට ඒවා ඇරඹෙන්නේ ‘සසිරි බර මෙසිරිලක’ යනුවෙන් පටන් ගන්නා ගායනයකිනි. මෙලෙස සඳහන් කිරීම පිටුපස ඇති අර්ථය මඳක් විමසා බලමු.

ඇත්තෙන්ම මෙය භූගෝලීය ප්‍රදේශයක් ගැන ප්‍රකාශනයක් නොව ස්ථානයක් පිළිබඳ ‘පරිකල්පනය‘ (සිතින් මවා ගැනීම) කිරීමකි. අතීතයේ බොහෝ දෙනාට අද මෙන් ප්‍රාදේශීය භූගෝලය ගැන දැනුමක් නොතිබුනද මෙය සාගරයෙන් වට වූ දූපතක් ය යන වැටහීම තිබෙන්නට ඇත. මෙලෙස ‘පරිකල්පන’ කිරීමට බලපෑ අභ්‍යන්තර භූගෝලය සටහන් කර තැබූ ‘කඩයිම් පොත්’ නම් රචනා විශේෂයක් අපට හමුවේ. මීට අමතරව දේව ගණයේ විවිධ දෙවිවරුන් ආධිපත්‍ය දරන විචල්‍ය සීමාවන්ගෙන් යුතු ප්‍රදේශ ගැන ද ඔවුන්ට වැටහීමක් තිබුණි.

4. පූජාකර්ම ගායනයන්හි ඉහත සඳහන් පාඨයෙන් අනතුරුව ශ්‍රී ලංකාව නම් මේ ස්ථානයේ පවතින බෞද්ධ ධුරාවලිය (hierarchy) විස්තර කරයි.

“උතුම් බුදු සරණේ

වදහළ දහම් සරණේ

සමඟ සඟ සරණේ

බැතින් වඳිනෙමු මෙතුන් සරණේ ”

අනතුරුව ප්‍රධාන ආරක්ෂක (සිව්වරම්) දෙවිවරුන් සහ ඒ ඒ ප්‍රදේශයට විශේෂ වූ අවශේෂ දෙවිවරු ද සඳහන් කරනු ලැබේ. පළාතෙන් පළාතට වෙනස්කම් සමහරක් ඇතත් මුළු දිවයිනටම පොදු වූ බුදුන් ප්‍රමුඛව ප්‍රධාන ආරක්ෂක දෙවිවරුන්ගෙන් සමන්විත සමස්ත ලංකා දේවගණයක් ගැන විශ්වාසයක් පවතී. මේ දෙවිවරු බුදු සමය, රාජ්‍ය හා ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්නන් ලෙස සැලකෙති. දිවයිනේ සිංහල කථා කෙරෙන පළාත් හැමෙකකම පාහේ මේ අදහස් ඇතුළත් කවි බලි තොවිල් වතාවත්හිදී ගායනා කරනු ලැබේ.

මේවා ප්‍රබන්ධ කෙරුණේ කවදා දැයි නිශ්චිතව කිව නොහැකිය. නමුත් භාෂාමය ලකුණු අනුව දළ වශයෙන් 16 වන සියවසේ දී පමණ යැයි කිව හැකිය. එහෙත් මීට සමාන තත්ත්ව නිරූපණ ඊට ‍බොහෝ කළකට ඉහත සිට පැවතී එන්නට ඇත. මේ සාහිත්‍යය අනුසාරයෙන් සංකල්පනය වන ස්ථානය පිළිබඳව ප්‍රදේශ නිරූපණයක් දැක්වෙන අතර, එය එකිනෙක ආවරණය වන පරිදි සැලසුම් වූ බෞද්ධ දේව බල ප්‍රදේශ ධූරාවලියකින් යුක්තය. ඒ එක් එක් දෙවිවරු තමන් අධිපති කේන්ද්‍රස්ථානයකදී පුද පූජාවට පාත්‍ර වෙති.

ග්‍රාමීය මට්ටමේ ඇති මෙම දේව හා යක්ෂ පුදපිළිවෙත්වලින් ඔබ්බට ගොස් බෞද්ධ පූජනීය ස්ථාන වෙත එළඹුණු කල බුදුරදුන් උදෙසා වූ පුද පූජා සම්බන්ධයෙන් නිකායාදී භේදයන් අභිබවා යන දැඩි ඒකරූපීකරණයක් දැක්ක හැකි වේ. බැතිමත්හු තම චිත්ත සන්තානය තුළ බුදුන් පුරුෂයෙකු වුවත් මවක හා සමාන දයානුකම්පා සහගත අයෙකු ලෙස නිදන් කරගෙන සිටිති.

මේ ඒකරූපීකරණය පහසු වී ඇත්තේ පන්සල්, භික්ෂූන් හා ධර්ම දේශකයන් සෑම තැනකම ලැබිය හැකි හෙයිනි. පන්සල්වල ඇති සිතුවම් ද මෙම ඒකරූපී භාවය ගොඩ නැගීමට හේතු වී තිබේ. රට පුරා විහිද ඇති සියලු ගම් නියම්ගම් අභිබවා යන පොදු ‘මෝක්ෂ මාර්ගයක්’ කෙරේ සෑම දෙනාම බැඳී සිටින හෙයින් එය පොදු චින්තනයක් ලෙස පැවතවිත් තිබේ.

5. ස්ථානය පරිකල්පනය කිරීමත් සමඟ පැන නගින අනෙක් ප්‍රශ්නය වන්නේ එය නම් කිරීමට ඇති වචන දෙක පිළිබඳ ගැටලුවය. එය ‘ලංකා’ හෝ ‘ශ්‍රී ලංකා’ යන නාමයෙන් නම් කළ යුතුද? නො එසේනම් ‘සිංහලද්වීප’ යනුවෙන් නම් කළ යුතුද? යන්නයි. ම‍ගේ අත්දැකීම නම්, බලි තොවිල් කවි අඩංගු පොත් සිය ගණනක් කියවීමේදී මේ දිවයින ‘ලක’ නැතහොත් ‘සිරිලක’ යැයි හඳුන්වා ඇති බවය.

එහෙත් මේ දිවයිනට විදේශික නැවියන් හෝ වෙළෙන්දන් ආදීන් පැමිණෙන කළ ඔවුන් එය හඳුන්වා ඇත්තේ ‘සිහළ දෙස’ කියාය. වෙනත් අවස්ථා ස්වල්පයකදී හැර මහාවංශය වැනි ශ්‍රී ලාංකික ඉතිහාස මූලාශ්‍රයන්හි ද මේ රට හඳුන්වා ඇත්තේ ‘ශ්‍රී ලංකා’ යනුවෙනි. මහාවංශයේ පළමු කොටසේ ඇතැම් තැනක ‘තම්බපණ්ණි’ යන්න ද යෙදී තිබේ.

ආරම්භක පුරාණ කථාවේදී විජය මේ දිවයිනට ගොඩ බැස විෂ්ණුගෙන් මෙහි නම කුමක්දැයි ඇසූ විට ඔහුගෙන් ලැබෙන පිළිතුර නම් ‘ශ්‍රී ලංකා දිවයින’ යනුයි. එහෙත් පිටස්තරයෝ මේ දිවයිනට බොහෝ විට නො එසේනම් සෑම විටම හැඳින් වූයේ ‘සිංහලදීප’ කියාය. මීට අමතරව යුරෝපීයයන් ‘සෙයිලාන්’ හෝ ‘සිලෝන්’ යන්න ව්‍යවහාර කළේ ඒ වචනය චීන බසෙහි යෙදෙන නිරුක්තිය අනුසාරයෙනි. අරාබි බසින් ‘සෙරන්ඩිබ්’ යන්නෙන් සඳහන් වන්නේ එලෙසින්මය. පසුගගිය කාලයේ දමිළ ගරිල්ලා බටයන් තම නිජබිම යැයි කියූ ‘ඊළාම්’ යන්න ‘සිංකලම්’ (සිංහලයන්ගේ රට) යන අරුතැතිව බව මදුරාසි ශබ්දාවලිය (Madras Lexicon) අපට පවසයි.

(මතු සම්බන්ධයි)

Comments