රුසි­යාවේ නැති දාර්ශ­නි­කයන් ජර්ම­නියේ බිහි­ වුණේ කෙසේ ද? | සිළුමිණ

රුසි­යාවේ නැති දාර්ශ­නි­කයන් ජර්ම­නියේ බිහි­ වුණේ කෙසේ ද?

ආදරය මෙන් ම මතවාද ද මනසට ආරූඪ වන්නේ එකම වයසේ දී ය. ආදරය ද එක්තරා ආකාරයකට මතවාදයකි. එනම් ආදර මතවාදයේ දී දෙවියන් වහන්සේ වෙනුවට ආදරය ආදේශ වේ. නොඑසේ නම් මාක්ස්ගේ භෞතිකය වෙනුවට ආදරය ආදේශ වේ. මේ රුසියාව තුළ ඇති වූ විප්‍රකාරයට රුසියාව ප්‍රතිචාර දැක්වූයේ වෙනත් මතවාදවලින් හෝ දර්ශනවාදවලින් නොව කෙටිකතා කෙටිනවකතා හා නවකතා වලිනි. මේවාට රුසියානු කතා යැයි කීම වඩාත් සුදුසුය. එනම් මේ රුසියානු කෙටිකතා හා නවකතා එංගලන්තයේ හෝ ප්‍රංසයේ කෙටිකතා නවකතාවලට සමාන නොවන බැවිනි. සුවිශේෂ අනන්‍යතාවක් කැටිකොටගත් බැවිනි.

අපි එමානුවෙල් කාන්ට් ගැන කතා කරමු. ජෝර්ජ් විල්හෙල්ම් ෆෙඩ්රික් හෙගල් ගැන කතා කරමු. කාල් මාක්ස් ගැන කතා කරමු. ආතර් සෝෆන්හවර් ගැන කතා කරමු. ෆෙඩ්රික් නීට්ෂේ ගැන කතා කරමු. ඇල්බර්ට් ෂ්වයිසර් ගැන කතා කරමු. මැක්ස් වේබර් ගැන කතා කරමු. ලියෝ ස්ට්‍රා‍රාවුස් ගැන කතා කරමු. ඔවුහු ජර්මන් දාර්ශනිකයෝ වෙති.

අපි රෙනේ ඩේකාට් ගැන කතා කරමු. වෝල්ටෙයාර් ගැන කතා කරමු. මොන්ටෙස්කියු ගැන කතා කරමු. ෂන් පෝල් සාත්‍රේ ගැන කතා කරමු. ලියෝතාද්, ඩෙරීඩා, ෆූකෝ ගැන කතා කරමු. ඔවුහු ප්‍රංශ දාර්ශනිකයෝ වෙති.

අපි ජෝන් ලොක් ගැන කතා කරමු. තෝමස් හොබ්ස් ගැන කතා කරමු. ඩේවිඩ් හියුම් ගැන කතා කරමු. ඇඩම් ස්මිත් ගැන කතා කරමු. ප්‍රැන්සිස් බේකන් ගැන කතා කරමු. ජෝර්ජ් ස්ටුවර්ට් මිල් ගැන කතා කරමු. ජී. ඊ. මුවර් ගැන කතා කරමු. බර්ට්‍රන්ඩ් රසල් ගැන කතා කරමු. ඔවුහු ඉංග්‍රීසි දාර්ශනිකයෝ වෙති.

එහෙත් අපට රුසියාවෙන් දාර්ශනිකයන් ගැන අසන්නට නොලැබේ. ලියෝ තෝල්ස්තෝයි, පියෙදෝර් දොස්තයෙව්ස්කි, ඇලැක්සැන්ඩර් පුෂ්කින්, ඇන්ටන් චෙකොෆ්, නිකොලොයි ගොගොල්, බොරිස් පැස්ටර්නැක් ගැන අසන්නට ලැබෙති. ඔවුහු ලේඛකයෝ නැතිනම් කතා රචකයෝ වෙති. නවකතාකරුවෝ හා කෙටිකතාකරුවෝ වෙති.

ජර්මන්, ප්‍රංශ හා ඉංග්‍රීසි දාර්ශනිකයන්ට අමතරව යුරෝපයේ තවත් සුප්‍රසිද්ධ දාර්ශනිකයන් බිහිවිය. එහෙත් ඒ අතර රුසියානුවෝ නැති තරම්ය. ජින් ජැක්විස් රූසෝ ඉපදුනේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරය. කෙසේ වුවත් ඔහු දාර්ශනිකයකු ලෙස ක්‍රියාකාරී වූයේ ප්‍රංශයේය. සිග්මන් ප්‍රොයිඩ් ඔස්ට්‍රියානු ජාතිකයෙකි. කාල් පොපර් ද ඔස්ට්‍රියානු ජාතිකයෙකි. යුරෝපයේ සෙසු රටවල් ‘දාර්ශනිකයන්’ වෙද් දී රුසියානුවන් ‘කතාකරුවන්’ වූ බවක් පෙනේ.

මෙය එක් අතකට බටහිර යුරෝපීය දර්ශන හා මතවාදයන්ට නැගෙනහිර යුරෝපයෙන් නොඑසේනම් රුසියාවෙන් මතු වූ ප්‍රතික්‍රියාවක්, රුසියාවෙන් දැක්වූ ප්‍රතිචාරයක් ලෙස ද සැලකිය හැකිය.

ලංකාවේ ළමයින් ජපන් බෝනික්කන්ට මෙන්, උගත් රුසියානු තරුණයන් ද බටහිර යුරෝපීය මතවාදයන්ට ආකර්ෂණය විය. ඔවුහු මේ මතවාද තුරුළේ නැලවෙන්නට වූහ. ආදරය මෙන් ම මතවාද ද තරුණයා බොළඳ බවට පත් කරයි.

ආදරය මෙන් ම මතවාද ද මනසට ආරූඪ වන්නේ එකම වයසේ දී ය. ආදරය ද එක්තරා ආකාරයකට මතවාදයකි. එනම් ආදර මතවාදයේ දී දෙවියන් වහන්සේ වෙනුවට ආදරය ආදේශ වේ. නොඑසේනම් මාක්ස්ගේ භෞතිකය වෙනුවට ආදරය ආදේශ වේ.

මේ රුසියාව තුළ ඇති වූ විප්‍රකාරයට රුසියාව ප්‍රතිචාර දැක්වූයේ වෙනත් මතවාදවලින් හෝ දර්ශනවාදවලින් නොව කෙටිකතා කෙටිනවකතා හා නවකතා වලිනි. මේවාට රුසියානු කතා යැයි කීම වඩාත් සුදුසුය. එනම් මේ රුසියානු කෙටිකතා හා නවකතා එංගලන්තයේ හෝ ප්‍රංසයේ කෙටිකතා නවකතාවලට සමාන නොවන බැවිනි. සුවිශේෂී අනන්‍යතාවක් කැටිකොට ගත් බැවිනි.

එක් අතකට මේ නිර්මාණ තමන් හදවත් මත ම රෝපණය වූ ආගන්තුක මතවාදවලට තමන්ගේ නිර්මාණ තුළින් ම ප්‍රතිචාර හා ප්‍රතික්‍රියා දැක්වීමක් ද විය හැකිය.

බුද්ධිය මත ආරෝපණය වෙමින් පැවැති යුරෝපීය මතවාදවලට ස්වකීය රුසියානු හදවතින් ප්‍රතිචාර දැක්වීමක් ද විය හැකිය. ඇලක්සැන්ඩර් පුෂ්කින්ගේ නිර්මාණ මේ සම්බන්ධයෙන් උදාහරණ වේ. එනම් ඇලැක්සැන්ඩර් පුෂ්කින්ගේ නිර්මාණ අධ්‍යාපනය තුළින් තමන් තුළ බිහි වූ බුද්ධිවාදියා විනාශ කරමින් ස්වකීය රුසියානු හදවත යළි මතුකර ගැනීමට දැරූ උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන ආයතන මගින් සිදුවන්නේ භෞතික විද්‍යාව මගින් දෙවියන් හා ආගම පිළිබඳ විශ්වාසය සුන් කර ඉන්පසු ව එම සිත්සතන් තුළට වෙනත් සමාජ විද්‍යාත්මක මත කැවීමය. මෙහි දී භෞතිකය දෙවියන් හා වෙනත් ආගමික විශ්වාස සඳහා ආදේශ වන අතර ඉන් පසුව හිස්වන බුද්ධිය හා හදවත බටහිර යුරෝපීය දර්ශන හා මතවාද විසින් පුරවනු ලැබේ.

එහෙත් දර්ශන හා මතවාද මගින් කරනු ලබන්නේ ද ආගම මෙන්ම ලෝකය හා සමාජය විග්‍රහ කිරීමය. එහෙත් භෞතික විද්‍යාව මගින් ඒ මතවාදවලට දෙවියන්ට මෙන් බලයක් ලබාදෙනු ලැබේ.

පුෂ්කින්ලා භෞතික විද්‍යාව සමඟ තර්ක කරන්නට ගියේ නැත. එහි හරි වැරැද්ද සොයන්නට ගියේ නැත. එහෙත් යුරෝපීය මතවාද මගින් තමන්ගේ හැසිරීම හා හදවත මත ඇතිකරන බලපෑම සමඟ ගැටුමකට ඔවුන්ට මුහුණ දීමට සිදුවිය. රුසියානු සාහිත්‍යය එහි ප්‍රතිඵලයකි. මෙය භෞතික විද්‍යාවෙන් රුසියානු හදවත රැකගැනීම ලෙස ද විග්‍රහ කළ හැකිය.

ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ඉස්කෝප්ප පොරොව, වෙඩිපහර, කපිතාන්ගේ දියණිය, බේල්කින්ගේ කතා ආදී නිර්මාණ සමඟින් මා පවසන අදහස්වල ඇත්ත නැත්ත ගැන සිතිය හැකිය. ආගමික බැතියට ජාතික බැතියට සංස්කෘතික බැතියට ආදේශවීමට මතවාදවලට හැකි ද එමගින් ශික්ෂිත මිනිසෙක් තෘප්තිමත් මිනිසෙකු දක්ෂ මිනිසෙකු සමබර මිනිසෙකු බිහිකරන්නේ ද යන්න පුෂ්කින්ගේ මේ නිර්මාණවල හරය මෙන් සැලකිය හැකිය.

කෙසේ වෙතත් බටහිර යුරෝපීය මතවාදී ආක්‍රමණයට රුසියාව දැක්වූ මේ ප්‍රතිචාර පෙරළා බටහිර පමණක් නොව ලෝකයට ම බලපෑවේය. එනම් එක් අතකට බටහිර යුරෝපීය මතවාදවලට ද වඩා රුසියානු නවකතා කෙටිකතා ලොව පුරා ජනප්‍රිය වූයේ යැයි කිව හැකිය.

බටහිර යුරෝපීය මතවාද ලොව පුරා පැතිරයාමට ඔවුන්ගේ අධිරාජ්‍යවාදය උපකාරී විය. එනම් අධිරාජ්‍යවාදය ඔස්සේ පිහිටුවන ලද විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන ජාලය පිහිටු විය. එහෙත් රුසියානු නවකතා ලොව පුරා පැතිර ගියේ එබඳු බාහිර සහායකට වඩා එම කතා තුළ ගැබ් වූ අභ්‍යන්තර ජවය නිසාය. සෝවියට් දේශය විසින් ද රුසියානු අධ්‍යාත්මයේ හයිය බටහිරට එරෙහිව යොදාගන්නා ලදී. එනම් රුසියානු පොත් ලොව පුරා විවිධ භාෂාවලින් ස්වකීය අනුග්‍රහය යටතේ පළකිරීම සෝවියට් දේශය විසින් සිදු කරන ලදී.

අවසාන වශයෙන් සෝවියට් දේශය හා බටහිර යුරෝපය අතර ගැටුම සමාජවාදය හා ධනවාදය අතර ගැටුමකටත් වඩා ඉතිහාසයේ පෙර සිටම පැවැති බටහිර යුරෝපය හා නැගෙහිර යුරෝපය අතර ගැටුමේ ම වර්තමාන ස්වරූපය බවට පත්විය. එහි දී සෝවියට් දේශයට රුසියානු සාහිත්‍යය අවශ්‍ය විය.

අද වුව ද ඒ ගැටුම එලෙසම පවතියි. එහිදි අද ද රුසියාවේ හයිය පවතින්නේ රුසියානු දාර්ශනිකයන්ට වඩා ලේඛකයන් නිසාය.

අනුන් මරන බටහිර යුරෝපීය ‘කම්කරු වීරයාට’ දොස්තයෙව්ස්කි ප්‍රතිචාර දැක්වූයේ අනුන් වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කරන බෝධිසත්ත්ව වීරයාගෙනි. ඔහුගේ නිවටයා හා කරමසොව් සහෝදරයෝ නවකතාවල මේ ලක්ෂණය දැකිය හැකිය.

යුරෝපීය මතවාද හා රුසියානු සාහිත්‍යය අතර පවතින මේ ගැටුම ඇත්තමට රසවත් කතන්දරයකි.

Comments