මාන්තායි වරායෙන් ලෝකයට විවර වූ ලංකාවේ වීදුරු කර්මාන්තය | සිළුමිණ

මාන්තායි වරායෙන් ලෝකයට විවර වූ ලංකාවේ වීදුරු කර්මාන්තය

යෝධ වැව දකුණු ඉවුරෙන් හඳුනාගත් වීදුරු උණු කළ උඳුන තුළ වීදුරු අවශේෂ තැන්පත්ව ඇති බැවින් එම උඳුන සඳහා ලබා දුන් උෂ්ණත්වය වීදුරු නිෂ්පාදනයට භාවිත කරන ලද අමුද්‍රව්‍ය රසායන පර්යේෂණ මඟින් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටී. මේ ස්ථානයෙන් හමු වී ඇති අඟුරු කොටස් උඳුන කාලනිර්ණය කිරීමට යොදාගන්නා බවද එමඟින් අතීතයේ වැළලීගිය රහස් හෙළි කරගත හැකි බවද ආචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මහතා පවසයි.

රජරට ශිෂ්ටාචාරය ආරම්භ වූ රජරට හරහා ගමන් ගන්නා එකම ජලමාර්ගය වන්නේ මල්වතු ඔයයි. මල්වතු ඔය මන්නාරම අරිප්පුවට වයඹින් පිහිටි අච්චකුලම හා සිලාවතුර යන ස්ථානවලින් මුහුදට වැටේ. ඊසානදිග මෝසම මෙහි ප්‍රධාන ජල සැපයුමයි. වාර්ෂිකව මල්වතු ඔය නිම්නයට ඝන මීටර මිලියන 34592ක් පමණ ජල ප්‍රමාණයක් ලැබෙන අතර, ඉන් 12%ක් හෙවත් ජලය ඝන මීටර් 568ක් පමණ මුහුදට ගලා යයි.

වංශකථාවලට අනුව මල්වතු ඔය නිම්නය ජනාවාස වී ඇත්තේ ඉන්දීය සංක්‍රමණිකයන්ගෙනි. එහෙත් ඒ වන විට ලංකාවේ ජන සංස්කෘතියක් පැවැති බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක තහවුරු කරයි. පුරාවිද්‍යාත්මක සාධක අනුව මල්වතු ඔය නිම්නය ජනාවාස වී ඇත්තේ පූර්ව අනුරාධපුර අවධියේය. අනුරාධපුර ඇතුළුනුවර කැණීම් මඟින් ක්‍රිස්තු පූර්ව 900- 600 කාලය නියෝජනය කරන දියුණු ජන සමාජයක් මල්වතු ඔය නිම්නයේ පැවති බව 1992 ආචාර්ය දැරණියගල විසින් සිදු කරන ලද කැණීමේදී අනාවරණය වී ඇත.

ඔවුන් මෙරට විසූ සංවිධානාත්මක ජන සමාජයක ස්වදේශීය ජනයා බව හඳුනාගෙන තිබේ. මේ පිරිස මල්වතු ඔය නිම්නයේ ජනාවාස පිහිටුවාගෙන සිටි බව අනුරාධපුරය, තේක්කම, අලුත්බෝවැව, සියඹලාගස්වැව, මාන්තායි හා හෙළුබෑවැව ප්‍රදේශවල පිහිටි මූල ඓතිහාසික යුගයේ සුසාන, වැව්, අමුණු මඟින් තහවුරු වේ.

තේක්කම අමුණ මඟින් මල්වතු ඔය හරස් කොට ඉදි කර ඇති යෝධ වැව අනුරාධපුර රජ කළ ධාතුසේන රජු (ක්‍රිව 453- 413) විසින් ඉදි කරන ලදි‍. රජරට වාරි තාක්ෂණයේ සුවිශේෂ ලක්ෂණ විශද කරමින් ඉදි වූ ඓතිහාසික නිර්මාණයක් ලෙස යෝධ වැව හැඳින්විය හැකිය‍.

යෝධ ඇළ දකුණු ඉව්රේ පිටවාන ඉදි වී ඇත්තේ 2014 වසරේදීය. ඇළ මාර්ගය හා අවට ඇති පස් තට්ටුව තල්ලු කරමින් පිටවාන ඉදි කර තිබේ. ඉදි කරන ලද පිටවානට නුදුරින් යෝධ වැවේ සිට මීටර් 500ක් පමණ දුරින් හමු වූ ජනාවාස ගොඩැල්ලක තිබී වීදුරු උණු කිරීමට භාවිත කරන ලදැයි හඳුනාතත් උදුන් සමූහයක් හමු වී තිබේ. මේ ස්ථානය අතීතයේ නිගමක් හෙවත් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස පැවැති ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.

යකඩ හා වීදුරු මේ ස්ථානයේ නිස්සාරණය කළ බව තහවුරු කරමින් මේ ස්ථානයෙන් යබොර හා වීදුරු බොර හමු වී තිබේ. මේ ස්ථානය පිහිටා ඇත්තේ අනුරාධපුර නගරය හා මාන්තායි වරාය අතර ප්‍රදේශයේය. මාන්තායි වරාය වසර 1500කට වැඩි කාලයක් සක්‍රීය වරායක් ලෙස ආසියානු කලාපයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස පැවැති බව ඉතිහාසය මගින් තහවුරු කරයි. වරාය හා ප්‍රධාන නගරය අතර භාණ්ඩ හුවමාරුව හා වෙළෙඳාම සඳහා අවශ්‍ය නිෂ්පාදන බොහොමයක් අනුරාධපුරය හා මාන්තායි අතර ගම්මානයන්හි සිදු වූ බව ජනාවාස ගොඩැලි නිරීක්ෂණයෙන් හඳුනාගත හැකි වී තිබේ.

මන්තායි වරාය අතීත ලංකාව ලෝකයේ සෙසු රටවල් හා සම්බන්ධ කළ බව සනාත කරමින් එම වරාය භූමියේ සිදු කරන ලද කැණීම්වල දී බ්ලැක් ඇන්ඩ් රෙඩ්වෙයා, රූලේට් හා පර්සියානු කලාපය තුළ භාවිත කළ පෝසි ලේන් හා වීදුරු හමු වී තිබේ. මේ උඳුන් සඳහා ඊසානදිග සුළඟ උපයෝගී කොටගෙන ඇති අතර වීදුරු උණු කිරීම සඳහා සෙල්සියස් අංශක 1500 -1800 උෂ්ණත්වයක් අවශ්‍ය බව හඳුනාගෙන තිබේ. මේ වීදුරු උඳුන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන වැල තලෛමන්නාරම් වැලි නිධියෙන් ලබාගත්තායැයි අනුමාන කෙරේ.

තලෛමන්නාරම් වැලි නිධියට ඇත්තේ මේ ස්ථානයේ සිට කිලොමීටර් 8ක් පමණි. නිෂ්පාදන කාර්යය සඳහා අවශ්‍ය තඹ ආසන්න තඹ නිධියකින් ලබාගන්නට ඇතැයිද උපකල්පනය කෙරේ.

ජනාවාස ගොඩැල්ලෙන් මේ වන විට මැටි බඳුන් වර්ග දහයක පමණ කැබැලි හමු වී ඇත. පිටවානේ සිට මිටර් 1600 උතුරට හා මීටර් 200 නැඟෙනහිරට මතුපිට ගවේෂණය සිදු කර ඇති අතර මේ භුමියෙන් වළංකටු හැරුණු විට පබළු විදුරු භාවිතය පිළිබඳ සාධක හමු වී තිබේ.

ලංකාවේ උඳුන් සම්බන්ධ පර්යේෂණ දෙකක් සිදු කර ඇත. ඉන් එකක් සමනොළ වැව ප‍ර්යේෂණයයි අනේක සීගිරිය අලකොළවැව පර්යේෂණයයි. මේ පර්යේෂණ මඟින් ලංකාවේ යකඩ හා විදුරු උණු කිරීමේ තාක්ෂණය ක්‍රිපූ 1000ට දින නියම කොට ඇත. මේ හැරුණු විට ජේතවනය, අභයගිරිය ආශ්‍රිතවද උඳුන් හා යබොර අවශේෂ හමු වී තිබේ. එහෙත් වීදුරු පමණක් උණු කරන ලද බෝල් බර්නර්ස් හමු වී ඇත්තේ යෝධ ඇළ දකුණු ඉවුරේ මේ ස්ථානයෙන් පමණි. මේ ස්ථානයේ ජන ඝනත්වය ගැන උපකල්පනයක් කළ නොහැකි වූවද මතු පිට පුරාවස්තු විසිරීම අනුව ප්‍රදේශය පුරා ජනාවාස පැතිර තිබෙන්නට ඇතැයි හඳුනාගෙන ඇත.

මේ පර්යේෂණය සඳහා රජරට විශ්වවිද්‍යාලයේ සිසුසිසුවියන් දහයක් පමණ සහභාගී වී ඇති අතර රජරට විශ්වවිද්‍යාලයේ මානව හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා හා පුරාවිද්‍යා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ තුසිත මෙන්ඩිස් මහතාගේ අධීක්ෂණය මත රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මහතා පර්යේෂණ කැණීම සිදු කරයි.

මේ ගවේෂණයේ අරමුණ වී ඇත්තේ පූර්ව ඓතිහාසික යුගයේ යකඩ තාක්ෂණය ලංකාව තුළ ම බිහි වූවාද, එසේත් නැත්නම් ඉන්දීය මහා කලාපයෙන් පැමිණියාද යන්න විමසීම බව ආචාර්ය ටිකිරිබණ්ඩාර විජෙපාල මහතා පවසයි.

පුත්තලම - මන්නාරම හා අනුරාධපුර - මන්නාරම අතර පිහිටි හඳුනාගත් යෝධ වැව කර්මාන්ත මධ්‍යස්ථානය අතීතයේ පොම්පරිප්පුව, මාන්තායි, මල්වතු ඔය නිම්නය වැනි නාගරික ජනාවාස හා සම්බන්ධව තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මේ ස්ථානයේ සංස්කෘතික අවධි ගණනාවක් හඳුනාගත හැකි වී ඇත.

අතීත රජ සමයේ යෝධ වැව ඉදි කරද්දි මේ භූමීයේ විසූ ජනයා රජු විසින් ඉවත් කරවා වැව ඉදි කළ බව ජනප්‍රවාදයේ එයි.

යෝධ වැව අවට ජනයා එකම මූලයකින් පැවැත එන කර්මාන්තකරුවන් හෝ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැළෙන්නන් ලෙස හඳුනාගෙන ඇති බවද, යෝධ වැවේ ජලයෙන් පෝෂණ කු‍ඩාවැව් 62ක් පවතින බවද එම වැව්වල බිසෝකොටුවක් නොමැති බව ද, පලෙව් වැව් ලෙස හඳුන්වන විශේෂ හා ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වාරි තාක්ෂණ ක්‍රමයක් බවද නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් ශ්‍රී ස්කන්දක්කුමාර් මහතා පවසයි‍. බිසෝකොටුවක් නැති මේ වැව් අතීත මානවයාගේ ජල සංරක්ෂණය හා ජලය රැස් කරගැනීම පිළිබඳ අලුත් අත්දැකීමක් වේ. එම වැව් කුඩා උස් බිම් වටා පිහිටා ඇති අතර, එම උස් භූමියේ කුඹුරු වගා කළ ජනයා ඒ වටා ජලය රැස් කරගෙන තිබීම ‍පලෙව් වැව්වල ලක්ෂණයයි.

යෝධ වැව දකුණු ඉවුරෙන් හඳුනාගත් වීදුරු උණු කළ උඳුන තුළ වීදුරු අවශේෂ තැන්පත්ව ඇති බැවින් එම උඳුන සඳහා ලබා දුන් උෂ්ණත්වය වීදුරු නිෂ්පාදනයට භාවිත කරන ලද අමුද්‍රව්‍ය රසායන පර්යේෂණ මඟින් හඳුනාගැනීමට කටයුතු කරමින් සිටී. මේ ස්ථානයෙන් හමු වී ඇති අඟුරු කොටස් උඳුන කාලනිර්ණය කිරීමට යොදාගන්නා බවද එමඟින් අතීතයේ වැළලීගිය රහස් හෙළි කරගත හැකි බවද ආචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මහතා පවසයි. කැණීම අවසානයේ උඳුන රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැම්පත් කෙරේ. 

Comments