පොත පත වත | සිළුමිණ

පොත පත වත

තොරතුරු විප්ලවය හා ප්‍රවෘත්ති

කර්තෘ - සුගත් රත්නායක

මිල - රුපියල් 450

ප්‍රකාශනය - ‍කර්තෘ ප්‍රකාශනයකි

ප්‍රවෘත්තිකරණය විවිධ පැතිකඩ ‍ඔද්දේ ගවේෂණය කරමින් රචනා කෙරුණු කෘතියකි. ප්‍රවෘත්තිවල මූලික අරමුණ හා‍ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ මූලික ක්‍රමවේද ඇතුළත් මේ කෘතිය ඒ පිළිබඳ උනන්දුවන්නන්ට මෙන්ම මාධ්‍ය ‍ක්ෂේත්‍රයට එක්වන ආධුනිකයන්ට සිය වෘත්තීය මට්ටම නංවා ගැනීම සඳහා ඉවහල් වේ.

 

කවුළුවක් මං පියන්පත් නැති

කර්තෘ - ලක්ෂ්මන් කොඩිතුවක්කු

මිල - රුපියල් 375

ප්‍රකාශනය - ‍ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුලක දරුවකු උස් මහත්වී සමාජයේ සියලු හැල හැප්පීම්වලට මුහුණ දෙමින් ආර්ථික වශයෙන් ඉහළට යද්දී ඔහු සමාජය දකින අන්දම තවත් චරිත ඇසුරෙන් විග්‍රහ කරන කෘතියකි. වත්මනෙහි සෑම දෙයටම ‍දේශපාලනය මුල් කර ගන්නා අන්දම කතුවරයා සිත්ගන්නා අන්දමින් කතාව අනුසාරයෙන් ඉදිරිපත් කරයි. දේශපාලනික, ආර්ථික හා ලිංගික වශයෙන් සූරා කෑමට ලක්වූ මිනිසුන්ගේ කතාවකි.

 

කුටුම්බිනී

කර්තෘ - සුනන්දා විජයලතා මුණසිංහ

මිල - රුපියල් 400

ප්‍රකාශනය - ‍ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

දියණියක උස් මහත් කර නිසි කල එළැඹෙද්දී මවුපියන්ගේ ප්‍රාර්ථනාව හා ‍අභිලාෂය වන්නේ යහපත් ගැළපෙන සහකරුවකු සොයා ඇය විවාහ කර දීමය. අප රටේ සමාජ රටාව අනුව අද එය බැරෑරුම් කටයුත්තකි. එහිදී මවුපියන් මුහුණ දෙන අභියෝග බොහෝය.

පාරම්පරික චින්තන රටාව තුළ හිඳගෙන දියණියට ගැළපෙන සහකරුවකු සොයාදීමට වත්මන් මවුපියන් කරන්නේ විශාල අරගලයකි. එසේ විවාහ කරදුන් දියණිය නැන්දා ලේලි අරගලයට මුහුණ දෙද්දී ඇතිවන සිත් තැවුල් සහ ඒවා සමනය කරගනිමින් ජීවිතයට මුහුණ දෙන අන්දම කුටුම්බිනී කතාවෙන් කියැවේ.

සියලු අභියෝග දරාගෙන විවාහ ජීවිතය පවත්වා ගෙන යෑමට උත්සුක වන සෙව්වන්දි වත්මන් තරුණ දියණිවරුන්ට ආදර්ශයකි.

 

යකඩ සිල්පර

කර්තෘ - විමල් උදය හපුගොඩආරච්චි

මිල - රුපියල් 450

ප්‍රකාශනය - ‍ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

උතුරු දුම්රිය මඟ තැනීම ආරම්භ වීමත් සමඟ විසිවැනි සියවස මුල් කාලයේ වන්නියේ සිදුවන සමාජ විපර්යාස ගණනාවක ආරම්භය කියන කෘතියකි.

සුදු ජාතිකයන්ගේ පාලන කාලයේ අපේ රටේ පැවැති සමාජ රටාව හා පරිසරය ද ගම්බද යටිතල පහසුකම් පිළිබඳවද කතුවරයා අපූරු විස්තරයක් ගෙන එයි. එසේම එකල පැවැති ආරච්චිල වසම්ක්‍රමය හරහා රදළයන් ගැමියන්ගේ ශ්‍රමය හා ධනය සූරාකෑම මෙන්ම කුල ක්‍රමය නිසා නිරන්තරයෙන් පෑගී සිටීමට සිදුවූ ජන කොට්ඨාසයකගේ කතාව ද ඉතාමත් සිත් ගන්නා අන්දමින් කතාඅනුසාරයෙන් ගෙනහැර පෑමට කතුවරයා සමත්වෙයි.

ගොරබා යනු ගමේ හේනයන් හෙවත් රෙදි අපුල්ලන්ගේ නායකයාය.

රැහේ පිරිමි ශ්‍රමයෙන් ද ගැහැනු ලිංගිකවද නිරන්තරයෙන් ගමේ ආරච්චිලගේ සූරා කෑමට ලක්වෙති. ගොරබා ඒ සූරා කෑමට සිතින් විරුද්ධ වුවද එය රැහැට උරුම වූවක් ලෙස සිතා නිහඬව සිටී.

එහෙත් ගමට දුම්රිය මඟ තනා ගෙන එන පිටස්තරයන්ගේ බලපුළුවන්කාරකම මත ආරච්චිලගේ ක්‍රියා පිළිවෙතට වක්‍රාකාරයෙන් සමච්චල් කිරීමට ගොරබාට අවස්ථාව සැලසේ.

“අපේ ගම්මැද්දට රිංගන්නට අවුදින් සොයිසා මහත්තැන් හණපට මල්ලේ මකුණො තලන්නහේ ආරච්චි නිලමෙට තඩි ගැහුවා නොවෙද?”

“නිලමේ, බඩහැලයගෙ හමාසෙ වැඩ පොලුකාරයට එක වරුවයි කීවාලු නොවැ.” යනාදී ලෙසින් කතුවරයා එවැනි අවස්ථා විස්තර කරන්නේ අපූරු ගැමි වහරක් යොදාගෙනය.

මුළු කතාව පුරාම විවිධ උපහැරණ යොදා ගනිමින් දෙබස් රසවත්ව යෙදීම ද මෙහි එන විශේෂත්වයකි.

ගම්තුලානට දුම්රිය මඟක් පැමිණීම ගමක සමාජයක හා පරපුරක සමස්ත රටාව කෙරෙහි යුග වෙනසක් කළ අන්දම රසවත්ව සරලව හා සිත්ගන්නා අන්දමින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත්ව තිබේ.

Comments