සත්‍ය­ජිත් රායි මාලන් බ්‍රැන්ඩෝට පෙන්වූ ලෝ දහම | සිළුමිණ

සත්‍ය­ජිත් රායි මාලන් බ්‍රැන්ඩෝට පෙන්වූ ලෝ දහම

අප බොහෝ විට දකින්නේ මරණාසන්න මොහොතේ දී පවා දූ දරුවන් පැමිණෙන තුරු පණනල රැකගන්නට වෙර දරන මවුපියන් ය. ජීවිතය අග්ගිස්සේ දී ශීලභාවනා වැඩසටහන්වලට නොවරදවා සහභාගි වුණ ද මුණුබුරු මිණිබිරියන්ගෙන් දුරස්වීමේ චේතනාවක් අපේ මුතුන්මිත්තන්ට නැත. බොහෝ දෙනා මේවා හඳුනාගන්නේ අපට ම ආවේණික සංස්කෘතික ලක්ෂණ ලෙස ය. එහෙත් මේ සංස්කෘතික ලක්ෂණ සමඟ ධර්මය (බුුදුදහම) කොතෙක් දුරට පෑහෙන්නේ දැයි තෝරා බේරා ගැනීම ඒවායේ හොඳ නරක හඳුනාගැනීම තරමට ම ගැටලු සහගත ය. හොඳ නරක යනු ද සාපේක්ෂාර්ථ ඇති වදන් ය. ‘‘චරිත කතා පෙරහරේ බර්ට්‍රන්ඩ් රසල්ලා, මාලන් බ්‍රැන්ඩෝලා හා අපි...? යන මැයෙන් මෙහි මුල් කොටස ඉකුත් සතියේ ඵල කෙරිණි.’’

තමා තුළ ආකල්පමය වෙනසකට අවකාශයක් විවර කළ එක් පුද්ගලයකු ලෙස මාලන් බ‍්‍රැන්ඩෝ හඳුනා ගන්නේ සත්‍යජිත් රායි නම් වූ ලොව සුපතළ ඉන්දියානු සිනමාවේදියා ය. වරක් කල්කටාවේ දී සත්‍යජිත් රායි හමු වූ තමා ඔහු ද කැටුව මහමග ඇවිද යමින් සිටිය දී වැරහැලි ඇඳගත්, අතපය කැඩුණු හිඟන දරුවන් රැසක් විසින් වටකරගනු ලැබුවේ යැයි ද රායි ඔවුනට කිසිදු මුදලක් නො දී, ඔවුන් දෙස නොබලා මගහැරයාමට උත්සාහ කරද් දී විමතියට පත් වූ තමා එසේ කළ හැකි වන්නේ කෙසේ දැයි විමසූ බව ද බ‍්‍රැන්ඩෝ කියයි. රායිගේ පිළිතුර බ‍්‍රැන්ඩෝ ලියා තබන්නේ මෙසේ ය.

‘‘ඔබ ඉන්දියාවේ ජීවත් වූයේ නම් මෙයාකාරයේ දේවල් හැමදාම දකින්න පුළුවන්. මගේ සන්තකයේ ඇති සෑම දෙයක්ම විකුණා දැම්මත් මේ දරුවන්ගෙන් කෙනෙකුට රුපියලකින් කොටසක්වත් ලැබෙන එකක් නැහැ. ඒ නිසා ඔවුන් නැවතත් ඔය විදිහට අපි පස්සෙන් එනවා නියතයි. මේ ගැටලුව විසඳීමට මට කළ හැකි දෙයක් නැහැ.

ඇතැම් ගැටලුවලට විසඳුම් නැහැ.’’

(අම්මා මට කියාදුන් ගී - 577 පිටුව)

‘හොඳ’ යැයි සම්මත බොහෝ දෑ කිරීමේ පුරුද්දක් (මුදල් පරිත්‍යාග කිරීම වැනි) දීර්ඝ කාලයක් මුළුල්ලේ තමා තුළ පැවතුණ ද සත්‍යජිත් රායි පැවසූ මේ සත්‍යය ඔස්සේ කිසියම් ලෝ දහමක් තමාට පසක් වූ බවකි, බ‍්‍රැන්ඩෝ අවධාරණය කරන්නේ. බුද්ධිය අභිබවා හදවත නැ‍ඟී සිටීමේ ප්‍රතිඵලය එතරම් සාධනීය නොවන බව ඔහුට පෙනෙයි.

සරාගී, විනෝදකාමී, ජනකාන්ත සිනමා තාරකාවක් ව බැබලුණ මාලන් බ‍්‍රැන්ඩෝ තුළ කාලයට සමගාමීව සිදුවන අනුක්‍රමික විපර්යාසය පාඨකයා අවදිකරවන සුළු ය. අත්දැකීම් විසින් ඔහු සාන්තුවර තත්ත්වයට ඔසවා තබනු ලැබුණේ දැයි සැකසාංකාවක් පාඨකයා තුළ ජනිතවන්නේ පොතේ අගභාගයේ දී ය. මේ කාලය තුළ දී දූපතක් මිල දී ගන්නා බ‍්‍රැන්ඩෝ ඉන් අනතුරුව තමා අත්විඳි මනෝභාවයන් සටහන් කර තබන්නේ මෙසේ ය.

මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය ගත වූයේ තහිටි දූපතේදීයි. සැබෑ සාමකාමී දිවිපෙවෙතකට මා කෙදිනක හෝ ආසන්න වූවානම් ඒ තහිටි වැසියන් සමඟ මගේ දූපතේ ගත කළ කාලයයි. මුලින්ම එහි ගිය වකවානුවේ මෝඩයකු සේ මා සිතූයේ මගේ ධනය වැයකොට එකී ජනතාවට උදව් පදව් කළ යුතු බවයි. එහෙත් ඔවුනට දීමට මා වෙත කිසිවක් නොමැති බව මට ඉක්මනින්ම වැටහී ගියේය. ඒ වෙනුවට මට දීමට බොහෝ දේ ඔවුන් තුළ තිබිණ.

(අම්මා මට කියාදුන් ගී - 338 පිටුව)

මාලන් බ‍්‍රැන්ඩෝගේ ලෝක දැක්ම, ඒ ජීවන දැක්ම ප්‍රසාරණය වී පරිපාකයට ළං වන ආකාරය පිළිබඳ බොහෝ නිදසුන් ඔහුගේ ස්වයංචරිතාපදානයේ තැනින් තැන සටහන් වී තිබේ.

ගැලීලියෝ නිවැරදි බව පිළිගැනීමට වතිකානුවට වසර 300කටත් වඩා අධික කාලයක් ගත විය. එසේම ලෝකය පිළිබඳ බොහෝ මතවාද තවමත් වෙනස් වී නොමැති. බටහිර සංස්කෘතිය තුළ පවතින බුද්ධිමය පක්‍ෂග්‍රාහි බව පිළිබඳව මම නිතර මවිතයට පත් වෙමි. එහි දී කිසිවක් විද්‍යාගාරයේ දී සනාථ කරන තුරු සත්‍යයක් බැව් පිළිගැනීමක් නැත. දේශපාලන අධිපතිවාදය, ඕනෑම දෙයක් පිළිබඳව කිසියම් සීමාවකට පසු විමසා බැලීමට උනන්දුවක් ඇති නොකරයි. ඇතම් වැදගත් විද්‍යාත්මක පර්යේෂණයන්ට එරෙහිව ඇතැම්විට දේශපාලන බලාධිකාරිත්වය ක්‍රියා කරයි.

(අම්මා මට කියාදුන් ගී - 557 පිටුව)

මීළඟට කෙටියෙන් විස්තර කළ යුතු වන්නේ ලොව පහළ වූ විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස පිළිගැනෙන ඉංග්මාර් බර්ග්මාන් (1918-2007) ගේ ස්වයංචරිතාපදානය පිළිබඳව ය. එය නමින් Lantern Magica ය. සිංහලට පරිවර්තනය වන්නේ ‘මැජික් ලන්තැරුම’ ලෙස ය. බර්ග්මාන් වරක් පවසා ඇත්තේ මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ ජීවිතවල අභ්‍යන්තර නාටකය ගවේෂණය කිරීම තමාගේ සිනමාවේ හරය වන බව ය. ‘මැජික් ලන්තෑරුම’ ලියද් දී ඔහු නිරත වන්නේ ද මේ කාර්යයේ ය. බොහෝ ස්ත්‍රීන් ඇසුරු කරන බර්ග්මාන් ‘මරියා’ නම් වූ කාන්තාව සමඟ ඇතිකරගත් සබඳතාවෙහි ප්‍රතිඵල ගැන කියන්නේ මෙසේ ය.

මරියා, මට විවිධාකාරයේ අත්දැකීම් ලබා දුන්නාය. මගේ බුද්ධි හීනතාව, මගේ ආධ්‍යාත්මික දියාරු බව හා ව්‍යාකුළ චිත්තාවේගයන් සඳහා ඇගේ ඇසුර වටිනා ඖෂධයක් වී යැයි මට සිතේ. මගේ කාමුක පිපාසාව ද ඇය විසින් සන්සිඳවනු ලැබුවාය. සිරගෙදර කවුළුව විවෘත කොට උමතු සත්ත්වයකු ඇය ඉවතට ගත්තාය. අපි දෙදෙනා ස්ටොක්හෝම් හි දකුණු ප්‍රදේශයේ වූ තනි කාමරයක් සහිත හිරවුණු තට්ටු නිවාස කොටසක ජීවත් වීමු. එහි පොත් රාක්කයක්, පුටු දෙකක්, ලියන මේසයක්, ලාම්පුවක්, මෙට්ට දෙකක් හා ඇඳ ඇතිරිලි ද විය. ඉවුම් පිහිම් තට්ටු අල්මාරිය තුළම සිදු වූ අතර රෙදි, පිඟන් කෝප්ප සියල්ල සෝදනු ලැබුවේ පයිප්ප බේසම තුළයි. අප දෙදෙනාම සියලූ වැඩ කටයුතු කළේ මෙට්ට දෙක මත වාඩිවී ගෙනයි.

(මැජික් ලන්තෑරුම - 186 පිටුව)

මෙවැනි සබඳතා නිශේධනය වී, අහෝසිවී ගිය ආකාරය බර්ග්මාන් විස්තර කරන්නේ ගැහැනිය පිට වරද පටවමින් නොවේ. තමාගේ බොහෝ දුර්වලතා නිර්ව්‍යාජ ලෙස එළි දක්වන ඔහු, වරක් තමා දෙදරු මවක වූ විවාහක ස්ත්‍රියක (ගුන් නමැති) සමඟ පැවැත්වූ සබඳතාව අවසානයේ තබන සටහන මෙවැනි ය.

මුදල් නැත. චිත්‍රපටද නැත. සෑම මසකම හිටපු බිරින්දෑවරු දෙදෙනකු හා දරුවන් පස් දෙනකු නඩත්තු කිරීම සඳහා අති විශාල මුදල් සම්භාරයක් වැය කළ යුතු විය. දඩ මුදල් ගෙවීම දින දෙකකින් ප්‍රමාද වී නම් කෝපයට පත් ළමා අධිකාරියේ නිලධාරීන් මගේ කාලකණ්ණි ජීවිතයේ අහුමුළු සොයන්නට පටන් ගනී.

(මැජික් ලන්තෑරුම - 226 පිටුව)

ජීවිතය නිරාවරණය කිරීම යන්නෙන් මෙහි දී අප අදහස් කරන්නේ ලිංගිකත්වය එළිදැක්වීම ම නොවේ. මතකයට වධ දෙන ඇතැම් සිදුවීම් කොතරම් නම් ජුගුප්සාජනක වුව ද ඒවා හෙළිදරව් කිරීමට ඔවුන් බොහෝ විට යොමුවී තිබේ.

ගුන් නැමති කාන්තාව ද සමඟ වරක් ප්‍රංශයේ සවාරියක යෙදුණු අවස්ථාවක දී අයිෆල් කුළුණට නැගුණු ඇසිල්ලකින් අත්විඳි ශාරීරික ප්‍රශ්නයකින් (අජීර්ණයකින්) තමා හෙම්බත් වූ ආකාරය ඔහු විස්තර කරන්නේ මෙසේ ය.

අපි දෙදෙනා ඕඩියන් ශාලාව ඉදිරිපිට වැදගත් ආපනශාලාවකින් දහවල් ආහාරය ගත්තෙමු. මීළඟ පැය කිහිපයේ දී බඩවැල් තුළ කිසියම් විපර්යාසයක් සිදුවන බවක් හැඟී ගියේය.

අප ආහාරයට ගත් දේ ශරීරය සමඟ පොරබදන බවක් දැනිණ. දැන් අප සිටින්නේ අයිෆල් කුළුණ මුදුනේයි. එතැන් සිට පැරීසියේ සුප්‍රසිද්ධ දසුන පෙනේ. ඒ අතරතුර දහස් ගණනක් වූ බැක්ටීරියාවන් බඩවැල් තුළ ක්‍රියාත්මක වන බව දැනේ.

අපි දෙදෙනා වහාම සෝපානය වෙත දිව ගියෙමු. එහෙත් එහි බෝඞ් ලෑල්ලක් එල්ලා තිබිණ. එහි සඳහන් වූයේ නොකඩවා ක්‍රියාත්මක වන සනීපාරක්ෂක කම්කරුවන්ගේ වැඩවර්ජනයට සහාය පළ කිරීම වස් සෝපානය පැය දෙකකට පමණ නවතා ඇති බවයි. කළහැකි කිසිවක් නොවූ බැවින් අපි දෙදෙනා පයින්ම දඟර ගැසුණු පඩිපෙළ දිගේ පහළට බසින්නට වීමු. අවසානයේ ඉතා කාරුණික ටැක්සි රියදුරකු සිය රථයේ අසුන්වල පුවත්පත් පිටු කිහිපයක් එලා, යාන්තමින් ගඳගසමින් සිටි තරුණ යුවල හෝටලයකට රැගෙන ගියේය.

(මැජික් ලන්තෑරුම - 220-221 පිටු)

මෑත කාලීන චින්තකයකු, විද්වතකු වූ බර්ට‍්‍රන්ඞ් රසල්ගේ ස්වයං චරිතාපදානය (1967 දී පළ වූ) විචාරකයන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ ‘රාගනිඃශ්‍රිත බුද්ධිගෝචර’ කෘතියක් ලෙස ය. එහි දී මේ මහා චින්තකයා තමා හතර වරක් විවාපත් වූ බව හා සිය අනියම් පේ‍්‍රම සබඳතා පිළිබඳව නිරාවරණය කර ඇත්තේ කිසිදු පැකිළීමකින් තොරව ය.

දැන් මේ සියල්ලෙන් ගම්‍යවන පොදු සත්‍යය කුමක් ද? ජීවිතය අතැඹුලක් කරගනිමින් ජීවිතය පසක් කරගැනීමට යොමුවන්නේ කවර නම් ජනකොටසක් ද? සංස්කෘතික ප්‍රශ්නයට ඔබ්බෙන් වන තවත් කිසිවක් මෙහි ඇත්තේ ද? ජීවිතයේ නිම්හිම් දකින තුරු ම ලැබූ දේ අත්හැරීමේ සූදානමක් අප සතුව පවතින්නේ ද? කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනය කරමින් ‘කුලෙසු අනනුගිද්ධෝ’ යැයි දසදහස් වාරයක් තොල් මැතිරුව ද ස්වකියයන්ගෙන් මිදෙන්නට, නිදහස් වන්නට අපට හැකි වී තිබේ ද?

අප බොහෝ විට දකින්නේ මරණාසන්න මොහොතේ දී පවා දූ දරුවන් පැමිණෙන තුරු පණනල රැකගන්නට වෙර දරන මවුපියන් ය. ජීවිතය අග්ගිස්සේ දී ශීලභාවනා වැඩසටහන්වලට නොවරදවා සහභාගි වුණ ද මුණුබුරු මිණිබිරියන්ගෙන් දුරස්වීමේ චේතනාවක් අපේ මුතුන්මිත්තන්ට නැත.

බොහෝ දෙනා මේවා හඳුනාගන්නේ අපට ම ආවේණික සංස්කෘතික ලක්ෂණ ලෙස ය. එහෙත් මේ සංස්කෘතික ලක්ෂණ සමඟ ධර්මය (බුුදුදහම) කොතෙක් දුරට පෑහෙන්නේ දැයි තෝරා බේරා ගැනීම ඒවායේ හොඳ නරක හඳුනාගැනීම තරමට ම ගැටලු සහගත ය. හොඳ නරක යනු ද සාපේක්ෂාර්ථ ඇති වදන් ය.

කෙසේ වුව ද චරිත කතා පිළිබඳ විග්‍රහයේ දී අපට කිව හැකි වන්නේ විදේශීයයකුගේ ස්වයංචරිතාපදාන අපගේ වින්දනය තීව‍්‍ර කිරීමට මෙන් ම චින්තනයේ නිම්වළලූ ප්‍රසාරණය කිරීමට ද අවකාශයක් විවර කරන බව පමණි.

 

Comments