චරි­තය ජීවත් කළ රංග­න­ධරයා | සිළුමිණ

චරි­තය ජීවත් කළ රංග­න­ධරයා

• උපන් දිනය?

1943 සැප්තැම්බර් 2

• උපන්ගම?

කඩුගන්නාව

• උප්පැන්නයේ නම?

වීරතුංගගේ එඩ්මන් විජේසිරි

• දෙමව්පියෝ?

ඩබ්ලිව්.ඩී. විජේසිරි පියා. කර්ලැයින් පෙරේරා සුබසිංහ මව

• සහෝදර සහෝදරියෝ?

හය දෙනයි. පිරිමි පහයි. එක අක්කයි.

• මුලින් ම අකුරු කළේ?

නුගේගොඩ අනුලා විදුහලේ

• කන්ද උඩරට උපදින ඔබ කොහොමද කොළඹ පාසල් ගමන අරඹන්නේ?

තාත්තගේ රැකියාවේ කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයයි.

• ඉන් පසුව?

අනුලා විදුහලෙන් ඉවත්වෙලා පස්වැනි ශ්‍රේණිය දක්වා වැල්ලවත්තේ ශ්‍රී ලංකාධාර බාලිකා විදුහලට ගියා.

• උසස් අධ්‍යාපනය ලබන්නේ?

දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයෙන්

• එහිදී ඔබ විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා?

නෑ! මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ නෑ.

• ඇයි?

ගෙදරට තවදුරටත් බරක් විය යුතු නෑ කියා සිතුවා.

• ඉතිං?

මහජන බැංකුවේ කුරුණෑගල ශාඛාවේ රැකියාවක් ලබා ගත්තා. ඒ 1962 වසරේ.

• කුරුණෑගල නතර වුණා?

නෑ! වසරක් එහි සේවය කැර අයින් වුණා.

• හේතුව?

කොළඹට මාරුවක් හදා ගන්න බැරිව ගිය නිසා.

• දැන් රැකියා විරහිත තරුණයෙක්?

නෑ! ඒ සමඟ ම කොළඹ මහ බැංකුවේ රැකියාව ලැබෙනවා. බැංකු රැකියාවන් මට ලබා දීමට කටයුතු කළේ මගේ අක්කගෙ මහත්තයයි.

• දැන් මා ප්‍රස්තුතයට එන්න කැමැතියි.

මොකක්ද ඒ.

• ඔබ කලා ක්ෂේත්‍රයට සම්ප්‍රාප්තවීම?

ආ... ඒ පාසල් වියේදීමයි සිදුවුණේ.

• දැන ගන්න කැමතියි?

මා විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටියදී හිටපු විභාග කොමසාරිස්වරයෙක් නාට්‍ය දෙකක් කළා. .

• මොනවද ඒ?

‘අශෝක මාලා’ හා ‘කුඩු කෑ විත්තිය’ කියලා. මා එම නාට්‍යවල රඟපෑවා. ඒ 1960 වසරෙයි. වේදිකාගත කළේ ලුම්බිණියෙයි.

• හරි ඔය පාසල් අවධියෙන් ඔබ රැකියාවට ගියාට පසු?

ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘නොනිවෙන ගිනි’ නාට්‍යයට සම්බන්ධ වෙනවා.

• ඒ කොහෝමද?

ලූෂනුත් මාත් පාසලේ එකම පන්තියේ සගයින්. ආ ඔබට තවත් දෙයක් කිව යුතුයි. අ‍‍‍ශෝක මාලා නාට්‍යයේ මා තිස්ස කුමරු ලෙසත් ලූෂන් සාලිය කුමරු ලෙසත් පාසල් වියේදි රඟපෑවා.

• පාසල් වියේදිම රංගනයට පැමිණීමට තරම් සමත් කමක් ලැබෙන්න ගෙදර පරිසරය බලපාන්න ඇති?

ඔව්! මගේ තාත්ත, අක්කා සහ පුංචි අයියා කඩුගන්නාවෙ ඉද්දි ගමේ නාට්‍යවල රඟපානවා. එහෙත් ඒ අය දීර්ඝ කාලීනව ඒවා කරගෙන ගියේ නෑ.

• දැන් ඔබ වේදිකාවට ගොඩවෙලා අවුරුදු 58ක්.

ඔව්! මුලින් ම වේදිකාවට ගොඩ වුණේ මා ඔබට කලින් කිව්ව වගේ 1960.

• ඔබගේ ඔය දීර්ඝ කාලීන රංගන ජීවිතයේ ස්වර්ණමය කඩඉම ‘සමුද්‍රදේවි’ නාට්‍යයේ පෘතුගීසී සෙන්පතියකු ලෙස ගෝවේ ගෑනු පරාදයි ගීතය ගයමින් කළ රංගනය යැයි මා කිව්වොත්?

ඔව්! මා එය පිළිගන්නවා.

• ඔබේ ඒ රංගනය මා මුලින්ම දුටුවේ පාසල් සිසුවකුව සිටියදීයි. මා එකල සිතුවේ ඔබ ඇත්තෙන් ම පෘතුගීසි කාරයකු කියා.

ඔව්! මා ළඟ එයට පිළිතුරක් තිබෙනවා.

• කියන්න?

මා එහි රඟපෑවේ පෘතුගීසි බස මෙන් ම ඔවුන්ගේ සංස්කෘතිය හොඳින් හැදෑරීමෙන් පසුවයි. මා එය උගත්තේ ඒ පිළිබඳ හසල දැනුමක් තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එම්.එච්. ගුණතිලක මහතාගෙන්.

• ඔබේ ඒ රංග කාර්යය පිළිබඳ ආවර්ජනය කළොත්?

මා එහි කළේ ‘ඩියාගෝ ඩිආර්ජෝ’ කියන සෙන්පතියගේ චරිතයයි. මේ සෙන්පතියා ‘සමුද්‍රදේවි’ කුමරියට පෙම් බඳිනවා.

• ඉතිං?

මේ සෙන්පතියා ප්‍රේමය ප්‍රකාශ කරලා කුමරියට හසුන් පතක් යවනවා. ඒ හසුන්පත යැවීමේ උද්දාමයෙන් තමයි ගෝවේ ගෑනු පරාදයි කියන ගීතය ගයමින් නටන්නේ. සමුද්‍රදේවිය ඉතාමත් රූමත් ස්ත්‍රියක්.

• මේ ගීතය සංගීතවත් කළේ කවුද?

සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා

• සුදු ජාතික චරිත රංගනය සඳහා ඔබ සුවිශේෂියි කියා මා කිව්වොත්?

තවමත් මුවන්පැලැස්ස නාට්‍යයේ සුදුජාතික චරිතයක් ඇතුළත් වුණොත් එයට හඬ දෙන්නට ආරාධනය කරන්නේ මට.

• ශ්‍රී වික්‍රම නාට්‍යයෙත්? ‍‍

ඔව්! ශ්‍රී වික්‍රම නාට්‍යයේ විවේකයට පෙර මා ආණ්ඩුකාර නෝත්. විවේකයට පසු ආණ්ඩුකාර බ්‍රවුන්ඩ්‍රින්.

• රංගන චාරිකාවේදි රසවත් එමට ඇති?

අපෝ....! ඔව්

* එකක් කියන්න?

වේදිකාවේ එක් අවස්ථාවක කුවින්ටස් වීරකෝන් මට පිස්තෝලයකින් වෙඩි තියන ජවනිකාවක් තිබුණා. කුවින්ටස් මට වෙඩි තිබ්බා. ඒත් වේදිකාව පිටුපස සිටි කෙනා වෙඩිල්ලක් පත්තු කළේ නෑ,

• ඉතිං?

ඩෝන් කියලා ශබ්දයක් එන්න එපායැ දැන් ශබ්දය නෑ. කුවින්ටස් කරපු වැඩේ පිස්තෝලය ඉනේ ගහගෙන කිව්වා මා තෝව මරන්නේ වෙඩි තියලා නොවෙයි. කඩුවෙන් ඇනලා කියලා කඩුවෙන් මට අනිනවත් එක්ක ම වේදිකාව පසුපසින් ඩෝං... කියල වෙඩිල්ල පත්තු වුණා. එතකොට පිස්තෝලෙ තිබුණේ කුවින්ටස්ගේ ඉනේ.

• මේ දිනවල ඔබේ නිර්මාණ දායකත්වය දැන ගන්න කැමැතියි?

මානෙල් වානගුරුගේ ‘ස්ටෙලා සෙට්වෙලා’ උපුල් පෙරේරාගේ ‘විහාරමහ දේවි වීරකුමරිය’ නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ශ්‍රියානි අමරසේනගේ ‘පාද යාත්‍රා’ ආදි නිර්මාණවලට දායකත්වය දී තිබෙනවා.

• පනස් අට වසරක රංගන චාරිකාවේ ඔබ දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව?

වේදිකා නාට්‍ය සියයකට වැඩියි. චිත්‍රපට තිස්පහක් පමණ. ටෙලි නාට්‍යයත් සියයකට වැඩියි.

• ඔබ රජයේ සේවයේ යෙදී සිටියදීයි මෙතරම් නිර්මාණ සංඛ්‍යාවකට දායකත්වය දෙන්නේ?

ඔව්! මා කාලය මැනවින් කළමනාකරණය කරමින් කටයුතු කළා. කිසි දින මා වැටුප් රහිත නිවාඩු ගිහින් නෑ!

• ඔබට ඔබේ ම නිර්මාණයක් කිරීමට සිතුණේ නැතිද?

නෑ! මට ඒ සඳහා වේලාවක් සොයා ගැනීමේ අපහසුව තිබුණා.

• ඔබේ ග්‍රන්ථකරණය ගැන සඳහන් කළොත්?

කෙටිකතා පොත් තුනක් සහ එක් කාව්‍යය සංග්‍රහයක් නිකුත් කැර තිබෙනවා. ඊට අමතරව පුවත්පත්වලට ලියනවා.

• අද නාට්‍යය ගැන ඔබේ අදහස?

අද නාට්‍යවල ජීවිත අත්දැකීම් නෑ. සරල බොලඳ දේ නාට්‍යය විදිහට කරනවා. දෙපිට කැපෙන දෙබස්වලින් ප්‍රේක්ෂක මනස වල්මත් කරනවා.

• හරවත් නිර්මාණවලින් වේදිකාව හීන වෙලා?

ඔව්! එදා ප්‍රේක්ෂකාගාරයට ගිය මිනිසා නොවෙයි එළියට එන්නේ. ජීවිතයට බොහෝ දේවල් එකතු කර ගත් අලුත් ම මිනිසෙක්. ඒත් අද! ප්‍රේක්ෂකාගාරයෙන් පිටව යන්නේ එසේ අලුත් මිනිසෙක් ද?

• ඔබ කියන්නේ වේදිකාවට හොඳ නිර්මාණකරුවන් නැති ම කියාද?

නෑ! කීප දෙනකු ඉන්නවා රාජිත දිසානායක සුගත් සමරකෝන් වගේ අය.

• ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?

එයත් එහේමයි! කේ.බී. හේරත් සෝමවීර සේනානායක වැනි රචකයින් කීප දෙනකුගේ ටෙලි නාට්‍ය රචනා ඇරුණම මොනවද අපේ රටේ තිබෙන ටෙලි නාට්‍යය.

• ඔබ ටෙලි නාට්‍යය බලන්නේ නෑ?

අපෝ නෑ! එවැනි බොලඳ දේ වෙනුවෙන් වැය කරන්න තරම් කාලයක් මට නෑ!

• නිවාඩු පාඩු වෙලාවට ඔබ මොනවද කරන්නේ?

කවි, කෙටිකතා ලියනවා. පොත්පත් කියවනවා. විශේෂයෙන් සිළුමිණේ ‘සත්මඬල’ වැනි විශේෂාංග කියනවා.

• ඔබේ කලා ජීවිතයේ ඔබ අනුදත් පිළිවෙත?

නිර්මාණකරුවා තුළ ස්වයං වාරණයක් තිබිය යුතුයි. රසිකයින්ගේ සමච්චලයට ලක් විය යුතු නෑ. මා මගේ කලා ජීවිතය තුළ ඒ ස්වයංවාරණය පනවා ගත්තා. රසිකයා ප්‍රබුද්ධත්වයට පත් කිරීම නිර්මාණ කරුවකුගේ කාර්ය විය යුතුයි.

• අද එසේ නොවන නිර්මාණ හා නිර්මාණකරුවන් බිහිවෙලා?

ඔව්! ප්‍රකට නාට්‍යකු බර්ටෝල්ට් බ්‍රේෂ්ට් කිව්වේ සත්‍යයට, මිනිස්වර්ගයාට හා සෙන්දර්යට සේවය කිරීමයි නිර්මාණකරුවකුගේ කාර්ය විය යුත්තේ කියලා. අද බොහෝවිට නොවන්නෙත් ඒකමයි.

• ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැන ගන්න කැමතියි?

මා විවාහ වී සිටින්නේ ශ්‍රියා පෙරේරා සමඟයි. ඇය අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළා. මේ වර්ෂයේ මැයි 16 ට අප විවාහ වී වසර 50 යි.

• ඇගේ ගම?

කිරුළපන

* ආදර සම්බන්ධයක්?

මා කුඩා අවධියේ ගිය පාසලටයි ඇයත් ගියේ. පසුව මා බැංකුවේ සේවය කරද්දි ඇය මට හමු වුණා. මොකද අප දෙදෙනගේ ගෙවල් එක ප්‍රදේශයේ තිබුණේ.

• දරුවෝ?

අපට දුවයි පුතයි. දුව මහේෂිකා ජීවනි. පුතා දමිත නදුන්. දෙදෙනාම බැංකු මාණ්ඩලික නිලධාරින්.

• විවාහකයි?

දෙදෙනා ම විවාහකයි. දුවට පුතෙකුත් පුතාට දියණියන් ම තිදෙනෙකුත් සිටිනවා. 

Comments