හෙළකින් ඇරැඹී ගිරි සිරසකින් අවසන් කළ ජීවිතයක් | සිළුමිණ

හෙළකින් ඇරැඹී ගිරි සිරසකින් අවසන් කළ ජීවිතයක්

පළමු හැරවුම

මම උපන්නේ මාතර. හරියටම කියන්නේ නම් වැලිගමය. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද එහිමය. අපි ක්‍රිකට් තරග වලට සහභාගිවුණු එසමය අමතක නැත. සනත් ජයසූරිය යනු එකල සිටම මගේ හොඳ මිත්‍රයෙකි. මාතර උයන්වත්තේ ක්‍රිකට් තරගයකට සහභාගිවී ගිනි කසයා සේ සනත් එල්ල කළ ප්‍රහාරයක් ජයග්‍රහණයකින් නිමවද්දී මගේ පියාගේ කර මත යන්නේ මා නොව සනත්ය. මට වඩා වැඩිවාරයක් සනත් මගේ පියාගේ උරහිස් මත වාඩිවී ගෙදර ආ ආකාරය අදත් මට අමතක නැත. පොල් රුප්පාව මැදින් කෑ ගසන සියොතුන්ගේ හඞ සන්ධ්‍යාවේ හමා එන සුළඟින් දෙසවන් මත තාල නගයි. රාත්‍රිය උදාවන බව කියන්නට හිරු මුහුදේ ඈත ක්ෂිතිජය රත් පැහැ ගන්වද්දී අපට තවමත් රෑ බෝවී ඇතැයි නොසිතෙන්නේ දෑත සිරවී ඇත්තේ ක්‍රිකට් පිත්ත සහ බෝලය හේතුවෙනි. එය බිමින් තබන්නට අපිට කිසිම වුවමනාවක් නැත. එසේ බිම තැබුවහොත් කවුරුන් හෝ එය රැගෙන යනු ඇතැයි අප තුළ ඇත්තේ තැතිගැන්මක් වැනිය.

ක්‍රිකට් ක්‍රීඩාවට කුඩා සන්ධියේ අපි එතරම් ලොල්වී සිටියෙමු. මාතර ජීවිතය එවැන්නකි. කතාකරන හැම මොහොතකම ක්‍රිකට් ගැන කතාකරන්නටත්, සිතන පතන සියලු දේ ක්‍රිකට් ගැන සිතන්නටත් මම හුරුවී සිටියෙමි. එය මට පමණක් සත්‍යයයක් නොවේ. බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් අරභයා සත්‍යයක් වන්නට ඇතැයි මගේ හැඟීමය. කොටින්ම කියනවා නම් මා කෑවේ, බීවේ ක්‍රිකට් ක්‍රීඩාව සිත්හි තබාගෙනය. මා කතාකළේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්ය. මෙය කොතරම් තදබල පිපාසයක් වූයේද යත් පොල් රුප්පාව යට වත්ත පහළ අපි බන්දුල වර්ණපුරලා වූයෙමු. රෝයි ඩයස්ලාගේ චරිත සිතින් රූපනය කළෙමු. අඩුවුවත් රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන්, පුවත්පතින් දුටු විවියන් රිචඩ්ස්ලා, ඇලන් බෝඩර්ලා, ක්ලයිව් ලොයිඩ්ලා හා ගාෆීල්ඩ් සෝබර්ස්ලා යැයි සිතමින් පොල් ගස් වටේ ඇතිවනතුරු ක්‍රිකට් ගැසීමු. මේ උන්මාදය මගේ ජීවිතයේ පළමු හැරවුම යැයි අදටත් මට හැඟේ. එය නොනවතින ආශාවකි. ලොල් බවකි. ආදරයකි. ගෞරවයකි. වචනවලින් ප්‍රකාශ කළ නොහැකි ආත්මීය හැඟීමකි. කෙටිම වචනයෙන් කියන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාව හා මා යනු දෙදෙනෙකු නොව එක් අයකු බවට පත්ව සිටියෙමි. එය මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම බව අද බලද්දී මට පැවසිය හැකිය.

දෙවැනි හැරවුම

මගේ ක්‍රිකට් උන්මාදයට මගේ පියාගේ උපකාරයද හොඳ අත්තිවාරමක් දැම්මේය. අම්මා විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් කතා නොකළා විය යුතුය. ඇය මට ආදරය පෑ නමුත් මගේ නිදහස අහුරන්නට කැමැත්තක් නොදැක්වූවාය. අවසානයේ මා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්වන දක්ෂතා ගැන සිතුණු නිසාදෝ මගේ මාපියන් තීරණය කළේ මාතරින් කොළඹට රැගෙනවිත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි අත්දැකීමක් මා වෙත ලබාදෙන්නය. මාතර මිතුරා සනත් ජයසූරිය හා සෙසු බොහෝ මිතුරන් අතහැර මම කොළඹ ආනන්ද විදුහලට එන්නට අවස්ථාව ලැබූවෙමි. නිතර හඞ තළන සමුදුරටත්, සුදු වැලි පලසටත්, පොල් රුප්පාවටත්, වත්ත පහළ ගාෆීල්ඩ් සෝබර්ස්ලාටත් සමුදී මම කොළඹ ආවෙමි.

ඒ සම්බන්ධයෙන් සතුටක් මෙන්ම දුකක්ද මා සිත තුළ දළු ලා වැඩී තිබුණේය. සතුට ක්‍රිකට් ක්‍රීඩාව දිගටම, වඩාත් විධිමත්ව පවත්වාගෙන යන්නට ඇති හැකියාවයි. දුකනම් මගේ සුමිතුරු කැලගෙන් වෙන්ව ඒමට සිදුවීමයි. මා කොළඹ එනවිට මට සාපේක්ෂව යකඩ යකාද කොළඹ ආවේය. රේල් පීලි දෙකක් මත සිල්පර කොටන් දස දහස් ගණනක් මත මහා හඞ නංවමින් කළුම කළු පාටට පහත රට මැණිකේ දුම්රිය කොළඹ ආයේය. එහි නැගී බොහොදෙනෙකු කොළඹ එනවා මම දුටිමි. ඒ කියන්නේ මාතර සිට කොළඹට පැමිණීම යනු ජීවිතයේ අරමුණු වලින් ඈත්වීමක් නොවේ. අරමුණුවලට තවත් ළංවීමකි. මේ හේතුවෙන් මා දුක්විය යුතුව නැත. ලැබුණු අවස්ථාවන් ගැන සතුටු විය යුතුය. දැන් කොළඹ සිට ක්‍රිකට් ක්‍රීඩාව වඩා විධිමත්ම හදාරන්නට මට අවස්ථාව උදාවී තිබේ.

එය අතිශය බලපෑමක් සිදුකළ සිදුවීමක් ලෙසින් සැලකිය හැකිය. මා එසේ කියන්නේ එකල්හි හොඳම පුහුණුකරුවන්, ක්‍රීඩාංගණ පහසුකම්, ක්‍රීඩකයන් සිටියේ කොළඹ වන හෙයිනි. තේරුම් කමිටුවේ අවධානයට, පුවත්පත් අවධානයට ලක්වූයේ අන්කිසිවකුත් නොව කොළඹ ක්‍රීඩකයන්මය. ඔවුන්ට වැඩි අවස්ථාවක් හිමිවූ අතර වැඩි පිළිගැනීමක් අත්පත් කරගෙන සිටියේය. දැන් මාද කොළඹ ක්‍රීඩකයකු බවට බවුතිස්ම ලැබ ඇත්තේය.

තෙවැනි හැරවුම

කොළඹ ආනන්ද විද්‍යාලය අගනුවර කීර්තිධර පාසලකි. පුහුණුකරුවෝ එමටය. පහසුකම් ඇතිතරමට තිබේ. මාතරට සාපේක්ෂව එකල්හි මම කොළඹ පුහුණු පහසුකම් ගැන සැසඳීමි. මා මේ කියන්නේ අසූව දශකයේ මුල් භාගය ගැනය. පිට පළාත්හි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබූ පහසුකම් එකල හා සමපාත කර සිහිපත් කරගන්නැයි මම ඔබට යෝජනා කරමි. දැන් මම පෙරට වඩා පුළුල් පහසුකම් අත්විඳිමින් සිටිමි. මේ අතර හාහපුරා කියා අවුරුදු 13න් පහළ කණ්ඩායමේ නායකත්වය මාවන් අතපත්තු නම් මාතරින් කොළඹ ආ නව යොවුන් ක්‍රීඩකයාට හිමිවූ බව පාසල නිවේදනය කළේය. සිය ගණනක් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මේ අවස්ථාව කොළඹ ආනන්ද විදුහලේදී මට හිමිවන්නට ඇත්තේ ඇයිදැයි මම එකල නොසිතුවෙමි. නමුත් ඊට ඉවහල් වන්නට ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව අරභයා මා තුළ පවතින උන්මාදයයි. අතනොහරින ගති ස්වභාවයයි. සාර්ථකත්වය උදෙසා කරනු ලබන මහත්වූ කැපවීමයි.

දෘඪතර පුහුණුව සම්බන්ධයෙන් මා සතුව පවතින ආකල්ප වන්නට ඇතැයි මට සිතේ. නායකත්වය හිමිවීම මා තුළ ඇතිකළේ කිසියම් සාධනීය වෙනසකි. වෙනදා මා පුහුණු වූවාටත් වඩා මගේ පුහුණුව ශීඝ්‍ර කිරීමට මම තීරණය කළෙමි. එසේ කියා මා විශේෂයක් කරන්නට සිදුවි නැත. දැනටත් මා ජීවිතය බවට පත්කරගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවමය. මට මුලදී ප්‍රකාශ කරන්නට නොහැකි වූ යමක් මෙහිදී සටහන් කරන්නට කැමතිය. ඒ එකල්හි සිට මා නිදා ගත්තේද ක්‍රිකට් ගැන සිතමිනි. මම සිහිනෙන්ද ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනෙමි. ලෝකයේ අති දැවැන්ත ක්‍රීඩාංගණවල මගේ පිතිහරඹයට ඔල්වරසන් දුන්නවුන් මම දුටුවේ සැබෑ චිත්‍ර ලෙසිනි. ශතක පිට ශතක මම සිහිනයෙන් රැස්කළ අතර හිස් ආවරණය ඉවත් කර පිත්ත ඔසවා ජයඝෝෂා නගන ප්‍රේක්ෂකයාට ස්තුතිවන්ත වුණෙමි. එකි සිහින දැකීම තවතවත් වැඩි වර්ධනය වූවා මිස මෙසමයෙහි කිසිදු අඩුවක් ඇතිවුණේ නැතැයි කිවහැකිය.

සිව්වැනි හැරවුම

මම දින දින පාසල තුළ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ස්ථාවර වීමි. 13න් පහළ සිට 19න් පහළ දක්වා ජ්‍යෙෂ්ඨත්වයද සමඟ නිතැතින් නායකත්වය හිමිවුණේ මටය. එය එක්තරා ආකාරයකින් වාසනාවකි. මම එසමයේ වඩා සුදක්ෂ ලෙස පිති හැසුරුවෙමි. අන්තර් පාසල් ක්‍රිකට් තරගයන්හි දක්ෂ පිතිකරුවකු වූයෙමි. නායකයකු වශයෙන් අභියෝගාත්මක තීරණවලට එළඹුණෙමි. මා ගන්නා බොහෝ තීරණ සමඟ මගේ පාසල මා සමඟ රැඳී සිටියේය. මගේ කණ්ඩායම මා සමඟ රැඳී සිටි බව කිවයුතුය.

මෙම පිළිගැනීම මා තුළ ඇතිකළේ තවත් දැඩි විශ්වාසයකි. එහි ප්‍රතිඵලය එක්තරා ආකාරයක හැරවුමක් ලෙස මම දකිමි. බාටා ඔබ්සවර් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් මා ලැබූ පිළිගැනීමද මෙහිදී වෙසෙසින් දිවියේ සන්ධිස්ථානයකි. ඇගැයුම් විශේෂයෙන් අපේක්ෂා නොකළ යුතු වුවද ඇගයීම මහත් වූ මානසික ශක්තියක් පුද්ගලයා තුළ නිර්මාණය කර දෙයි. එය පුද්ගල ජීවිතය වෙනස් කරන්නට ඉවහල්වන ශක්තිමත් යතුරකි. අමතක කළ නොහැකි ශක්තිමත් මාර්ගයකි. එය මම ජීවිත කාලය පුරා අත්දැක අත්විඳ ඇත.

පස්වැනි හැරවුම

ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ දොරගුළු විවර වන විට 1990 වසරේ නොවැම්බර් මාසය උදාවී තිබිණි. දෙසැම්බර් සීතලට සූදානම්වන ලෝකයට වඩා මගේ ලෝකය සීතලවී තිබේ. ඒ යොවුන් ක්‍රීඩකයකු වශයෙන් යන්තමින් අවුරුදු විස්සක් වෙද්දී ජාතික පිලට කැඳවුම් ලැබීමට වාසනාවන්ත වීමය. සාමාන්‍යයෙන් ජාතික තලයට එළඹෙන්නට හැකිවේදැයි පවා නොදැන මා සිහින දකිමින්, නොතිත් පිපාසයෙන් ක්‍රිකට් ගැසූවෙක්මි. එකල ජාතික පිලට එක්වීම සඳහා සුවිශේෂී විශ්වාසයක් මා තුළ හටගෙන තිබුණේ නැත. ජාතික පිල දුරස්වූ හැඟීමකි. මට උවමනා වූයේ කෙසේ හෝ ක්‍රිකට් ක්‍රීඩා කිරීම පමණි. ක්‍රීඩකයකු වීම පමණි. එහි දිගුවක් ලෙස මම කොළඹ ආයෙමි.

දැන් ජාතික පිල නියෝජනයට සුදුසුකම් ලබා සිටිමි. මගේ ප්‍රතාවාදියා ඉන්දියාවයි. සිහිනයෙන්, පුවත්පත්වලින්, රූපවාහිනියෙන්, ගුවන්විදුලියෙන් අසා සිටි වෙන්සාකාර්ලා, රවී ශාස්ත්‍රිලා, කපිල් දේව්ලා, අසරුදීන්ලා, රාජුලා, ෂර්මලා දැන් මගේ දෑස් මානයේය. ඔවුන් ඉන්දියාවේ චන්දිගාර්හි පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා සූදානම්ය. මම පළමු ඉනිමේ පන්දු රැකීමේ කටයුතු ආරම්භ කළෙමි. කිසිදු කඩුල්ලක් දවාගැනීම සඳහා උඩපන්දුවකින් හෝ දුවද්දී දැවීයාමකට උපකාරයක් කිරීමට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැත. මගේ දෙකන් රත්වෙමින් ඇත. ශ්‍රී ලංකා ඉනිම ඇරඹූයේය. එකපිට එක කඩුලු බිම දමන්නට ඉන්දීය පන්දුයවන්නන් සමත්වී තිබේ. එක් අන්තයක හුදෙකලා සටනක නිරතවන්නේ අසංක ගුරුසිංහ පමණි. මම අර්ජුන රණතුංගගේ දැවීයාමත් සමඟ ගෞරුව බහුමානයෙන් චන්දිගාර් පිටියේ තණ නිල්ලට ආවේ පිත්තක්ද සමඟය. එ සමඟින් මගේ පිතිකරු සගයා වූ හෂාන් තිලකරත්නද ක්‍රීඩාගාරයට ගියේ ලකුණු නොලබාම කඩුල්ල අහිමි කරගනිමිනි.

ඉන්පසු වාරය මගේය. වෙන්කටපති රාජු සිය වමතින් කරකවා දැමූ පන්දුව මම පිළිගතිමි. බොහෝ දුරක් යෑම මගේ අපේක්ෂාව විය. අවසානයේ මගේ ඉරණම වූයේ රාජුගේ හොඳම ටෙස්ට් පන්දුයැවීමේ ගොදුරක් බවට පත්ව දැවීයාමටය. මගේ පළමු තරගයේ ලකුණු සංඛ්‍යාව බිංදුවකි. අසීරුතාව විසින් ඇතිකළ ලජ්ජාව මා තුළ රැඳී ඇත. මම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ආකාරය මතකය. සියලු ප්‍රේක්ෂකයන්, විචාරකයන්, පුහුණුකරුවන් මා දෙස බලා සිටිබවක් මට හැඟිණි. ඊට පිළිතුර නොවෙනස්ය. වෙනසකට ඇත්තේ රාජු වෙනුවට මෙවර මා කපිල් දේව්ට ගොදුරුවීමය. එවිට මා සුපුරුදු පරිදි ලකුණු ලබා නොසිටි අතර කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ බව විනිසුරු සංඥාකළේය. ඒ මගේ ජාත්‍යන්තර ඇරඹුමයි. එය අසාර්ථක, නීරස ඇරඹුමකි. මා සිටියේ සොවිනි. ඒ ඇතිවූ ලජ්ජාව හේතුවෙනි. එහෙත් මම කිසිවක් අතහැරියේ නැත. කෙසේහෝ නැගිටිමියැයි සිතීමි. පළමු ටෙස්ට් ලකුණ රැස්කිරීම සඳහා මට වසර දෙකකට ආසන්න කාලයක් ගතකිරීමට සිදුවිය. එය එළඹුණේ 1992 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ සංචාරක ඔස්ට්‍රේලියානු පිලට එරෙහිවය. එහි පළමු ඉනිමේ සුපුරුදු පරිදි මට හිමිවූයේ බිංදුවකි.

දෙවැනි ඉනිමේ එක් ලකුණකි. නැවත මා මනස්තාප වූයෙමි. ලජ්ජාවෙන් අවසඟ වීමි. එහෙත් මාගේ චිත්ත ධෛර්යය, හිතවතුන් හා එක්ව මගේ දණහිස් කෙළින් කළේය. මගේ හිස යළි ඉහළට එසැවිණි. යළි ශ්‍රී ලංකා පිලට එක්වන්නට මට අවස්ථාවක් උදාවනවිට තවත් වසර දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණේය. ඒ 1994 වසර විය. එවර ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාවමය. ස්ථානය ඉන්දියාවේ අහමදාබාද්ය. මම සුපුරුදු පරිදි ඉනිම දෙකේදීම අසාර්ථක වූයෙමි. ගෙඩි පිටින් බිංදු දෙකකි. මට ආවේ මහත්වූ හැඬුමකි. ඒ ආකාරයෙන් එස්.එස්.සී තරගයේදී ක්‍රීඩක කාමරයට නොගොස් මම එළියට වී හඞා වැටුණු ආකාරය මට සිහිපත්විය. එහෙත් මා සිත හා සටන් කර යළි ප්‍රකෘතිමත් වූයෙමි. යළි ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්නැයි මට කීවේ 1997 වසරේදීය. නවසීලන්තයේ ඩනඩීන් සීතල හා මගේ සීතල එක්ව ලකුණු 25ක් හා 22ක් මා රැස් කළේය. එය මා තුළ යළි ගිලිහී නැවත ඇතිවෙමින් තිබූ විශ්වාසය තහවුරු කරවීමක් විය. මම නැගිටීමි. එතැන් පටන් නොනැවතී ඉදිරියට පැමිණියෙමි. ශතක වැස්සේය. ද්විත්ව ශතක ගැලුවේය. මම එකී කීර්තියට යට වෙමින් නිරහංකාරව ජීවත්වන්නට කටයුතු කළෙමි. මගේ ජීවිතයේ සුවිශාල හැරවීම ලෙස මා දකින්නේ මෙකී නොවෙනස් අධිෂ්ඨානයයි. නොනැවතී ඉදිරියට යෑමට තිබූ ගාමක බලයයි. එය වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යය.

හයවැනි හැරවුම

මම මගේ ජීවිතයට අවංකය. මම ක්‍රිකට් ගසන්නේ දශක දෙකක් පමණක් වන්නට පුළුවන. එහෙත් මට මගේ පවුල අත්‍යවශ්‍යය. මා සමඟ ජීවත්වන, මගේ දුකට සැප බෙදා ගන්නා ඔවුන් වෙනුවෙන් මා ජීවිතයේ වැඩි කාලයක් ගත කළ යුතුය. ලෝකය පුරා රට රටවල ක්‍රීඩාංගණ මත කරක් ගැසූ මගේ ජීවිතය පරිසමාප්ත වන්නේ පවුලට යුතුකම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉටුකරන්නේ නම් පමණි. එය බැංකු ගිණුම් තරකිරීමෙන් පමණක් ප්‍රමාණවත් නැත. එහෙයින් මම ජීවිතයේ මැදි වයසේ තවත් තීරණාත්මක හැරවුමකට පිවිසියෙමි. ඒ ක්‍රීඩාව සම්පූර්ණයෙන් අතහැර පවුල වෙනුවෙන් සම්පූර්ණයෙන් එක්වීමටය. මෙතෙක් කලක් මා වෙනුවෙන් මගේ දරුවන් ගැන බලාගනිමින්, අනේක විධ දුක්ඛ දෝමනස්ස විඳි මගේ ප්‍රිය බිරිය නෙළුනිට සහය විය යුතුය. මම ඉතසිතින් ඇය හා ජීවත්වෙමි. ධනය, රූපය, බලය ඇතිකල් ලෝකය පුරා ජීවිතය සොයන්නට කෙනෙකුට හැකිය. එහෙත් සැබෑ ජීවිතය ඇත්තේ පවුල තුළය. එය ඇත්තේ හෘද සාක්ෂිය සමඟය. මම මගේ දූවරුන් දෙදෙනාට යහපත් පියෙකු වන්නට මගේ ප්‍රිය බිරියට යහපත් සැමියකු වන්නට මාපියන්ට යහපත් පුතකු වන්නට උත්සුක වෙමි. එය මගේ ජීවිතයේ ප්‍රධාන හැරවුමකි.

නිගමනය

මගේ ජීවිතයෙන් ගත යුතු හොඳම අවවාදය යහපත් අරමුණක නියැළීම හා එයට නිරන්තරයෙන් ආශා කිරීමේ අවශ්‍යතාවයි. නොනවත්වා තමන්ගේ ආශාව සමඟ ජීවත්වන්නටත්, රොඳ බඳින්නටත් මම බියෙන් තොරව ඔබට කියමි. ඇතැම්විට තමන් සිහින දකින ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයට යන්නට ඔබට අවස්ථාව උදානොවනු ඇත. වෘත්තියෙන් ඉහළ නොයනු ඇත. එහෙත් ඔබ නිසැකවම ජීවිතය කළමනාකරණය කරගතහැකි යහපත් මිනිසකු, පුරවැසියකු, ලෝවැසියකු බවට එය පත්කරනු නිසැකය.

Comments