මෝදිට එරෙ­හිව රාහුල් | සිළුමිණ

මෝදිට එරෙ­හිව රාහුල්

ඉන්දියාවේ නේරු ගාන්ධි පවුල, පාකිස්තානයේ භූතෝ පවුල, බංග්ලාදේශයේ ෂෙයික් පවුල, මියැන්මාරයේ අවුං සාං සුකී, මාලදිවයිනේ ගයුම් පවුල කලාපීය වශයෙන් නායකත්වය සඳහා යොමුවූ පවුල් පරම්පරා වෙති. එහෙත් ඉන්දීය දේශපාලනය තුළ මේ දක්වා මේ පරම්පරානුගත දේශපාලනය එතරම් ප්‍රශ්නයක් වී නැත. මේ ගැන අවධානය යොමු කෙරෙන්නේ වර්තමානය ගැන සසදාළමිනි. නව පරම්පරාව දේශපාලනයේ පවුල් පසුබිම ගැන දක්වන්නේ එතරම් පහන් හැඟීමක් නොවේ.

 

ඉන්දීය දේශපාලනයේ “කේන්තිකාර තරුණයාට“ විශාල කාර්යභාරයක් පැවරී තිබේ. ඒ ඉන්දියාවේ කලක් ප්‍රබලතම දේශපාලන පක්ෂය වු ඉන්දීය කොංග්‍රසය යළි දෙපයින් නැඟිටුවා ගැනීමයි. ඉන්දීය නිදහස් සටනේදි අතිප්‍රබල භූමිකාවක් රඟ දැක්වු කොංග්‍රසය තම වසර132ක ඉතිහාසයේ දරුණුතම මැතිවරණ පරාජය 2014 වසරේ ලැබීය. එම මහ මැතිවරණයේදී සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 20%කටත් අඩු ප්‍රමාණයක් ලැබු කොංග්‍රසය ආසන 543කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 44ක් එනම් 8%ක ප්‍රමාණයක් ලැබීය.

2004 හා 2009 මැතිවරණවලින් ජය ලබා සන්ධානගත ආණ්ඩු පිහිටවු කොංග්‍රසය කිසි විටෙකත් මෙතරම් අභාග්‍ය සම්පන්න පරාජයක් අපේක්ෂා නොකළේය. එය පක්ෂ සාමාජිකත්වයේ ධෛර්යය ඉතා බරපතළ ලෙස පිරිහීමට ලක්කරන්නක් විය.

රාහුල් ගාන්ධි මුහුණ දෙන අභියෝගයේ තරම ඉතා බරපතළ වන්නේ තවමත් කොංග්‍රසය අගමැති මෝදිගේ දැවැන්ත නායකත්වයේ සෙවණ යටතේ පවතින භාරතීය ජනතා පක්ෂ සන්ධාන රජයට දැනෙන තරමේ යමක් කිරිමට අපහසු තත්ත්වයක සිටින නිසාය.

ප්‍රශ්නය වන්නේ රාහුල් ගාන්ධි සියල්ල ඉක්මනින් වෙනස්කිරිමට තරම් ශක්තිමත් ස්ථාවරයක් අත්කරගෙන ඇත්තේද යන්නයි. ඔහු පක්ෂ නායකත්වයට පත්වීම පක්ෂයේ ක්ෂණික පිබිදීමකට හේතුවේද? එසේත් නැත්නම් තවත් කාලාන්තරයක් විපක්ෂ නායක භූමිකාව හෙබවීමට ඔහුට සිදුවේද? මේ ප්‍රශ්න නව නායකත්වය හමුවේ තිබේ.

ඉන්දීය කොංග්‍රසය එසේත් නැත්නම් ඉන්දිරා කොංග්‍රසය ඉන්දියාවේ ප්‍රබලතම දේශපාලන පක්ෂය ලෙස තවමත් සැළකේ. එහි පක්ෂ සාමාජිකත්වය කෝටි 2 කට අධිකය. නිදහස ලබා ගතවු වසර 70න් වසර 49ක්ම ඉන්දියාවේ මධ්‍යම රජය හෙබවුයේ කොංග්‍රසයයි.

ජවහර්ලාල් නේරුගේ සිට ආචාර්ය මන්මෝහන් සිං දක්වා අගමැතිවරු 7 දෙනෙක් කොංග්‍රස් රජයන් යටතේ සේවය කර තිබේ. එය ඉන්දියාවේ එක් ආගමකට හෝ එක් ජනවර්ගයකට පමණක් සීමා නොවී සමස්ත ඉන්දීය ජනගහනය සදහා වන දේශපාලනික දර්ශනයකට හිමිකම් කියන පක්ෂයකි. ඒ නිසා හින්දුවාදී යන මාධ්‍ය ලේබලය කොංග්‍රසයට ඇලවී නැත. ඉන්දියාව 1947 නිදහස ලැබීමෙන් පසු මේ දක්වා කොංග්‍රස් පක්ෂයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ එහි නායකත්වය පරම්පරානුගත වීමයි. එනම් නේරු ගාන්ධි පවුලේ ආධිපත්‍යයට කොංග්‍රසය නතුව තිබීමයි. එය දකුණු ආසියානු දේශපාලනයේ විශේෂ ලක්ෂණයකි.

ඉන්දියාවේ නේරු ගාන්ධි පවුල, පාකිස්ථානයේ භූතෝ පවුල, බංග්ලාදේශයේ ෂෙයික් පවුල, මියැන්මාරයේ අවුං සාං සුකී, මාලදිවයිනේ ගයුම් පවුල කලාපීය වශයෙන් නායකත්වය සඳහා යොමුවු පවුල් පරම්පරා වෙති. එහෙත් ඉන්දීය දේශපාලනය තුළ මේ දක්වා මේ පරම්පරානුගත දේශපාලනය එතරම් ප්‍රශ්නයක් වී නැත. මේ ගැන අවධානය යොමු කෙරෙන්නේ වර්තමානය ගැන සසඳාලමිනි. නව පරම්පරාව දේශපාලනයේ පවුල් පසුබිම ගැන දක්වන්නේ එතරම් පහන් හැඟීමක් නොවේ.

ඉන්දීය දේශපාලනය තුළ අගමැති මෝදි ලැබු විශේෂ වාසියක් වන්නේ ඔහු පවුල්වාදී හෝ දේශපාලනික පරම්පරානුගත නායකයෙක් නොවීමයි. ඔහුගේ සාමාන්‍ය ජනජීවන රටාවද මැතිවරණ ව්‍යාපාරයේදි බෙහෙවින් වාසිදායක තත්ත්වයක් උදාකළේය. එහෙත් කොංග්‍රස් පක්ෂය එසේ නොවේ.

පක්ෂ නායකත්වය ජවහර්ලාල් නේරුගෙන් ඉන්දිරා ගාන්ධිටත්, ඇයගේ ඇවෑමෙන් පුත් රාජීව් ගාන්ධිටත්, ඔහුගේ හදිසි අභාවයෙන් පසු යම් කාලයකින් අනතුරුව බිරිද සෝනියා ගාන්ධිටත් දැන් ඇගේ පුත් රාජීව් ගාන්ධිටත් පැවරී තිබේ.

එහෙත් ඉන්දීය ජන්ද දායකයන් එය සලකන්නේ පක්ෂයේ ආවේණික ලක්ෂණයක් ලෙසයි. නොබෝදා රාහුල් ගාන්ධි අමෙරිකාවේ චාරිකාවක නිරත වු අවස්ථාවේ පැවැති විද්වත් සංවාදයකදී මේ පිළිබදව සාකච්ඡාවකට ලක්වී තිබේ. එහිදි ඔහු පෙන්වා දුන්නේ පවුල් දේශපාලනය ඉන්දියාවට අලුත් දෙයක් නොවන බවයි.

සෑම පක්ෂයකම, මෝදිට නොමැති වුවත් භාරතීය ජනතා පක්ෂයේ බොහෝ ප්‍රධානින් හා ප්‍රාන්ත දේශපාලනයේ බොහෝ නායකයන් මෙවැනි දේශපාලනික පවුල් උරුමක්කාරයන් බව රාහුල් ගාන්ධි පෙන්වා දුන්නේය. එය සැබෑවකි. එහෙත් මෙහිදි ප්‍රශ්නය වන්නේ රාහුල් ගාන්ධි සතු පවුල් පසුබිම නොව ඔහුගේ නායකත්වයේ ලක්ෂණයි. අගමැති මෝදි ලබා ඇති විශේෂ වාසිය වන්නේ ද මේ ශක්තිමත් නායකත්වයයි. එහිදි ඔහු වසර තුනක් පාලනය හොබවා පක්ෂයේ පදනම බෙහෙවින් ශක්තිමත් කරගත්තේ ය. ප්‍රාන්ත මට්ටමින් ද භාරතීය ජනතා පක්ෂයේ භූමිකාව ශක්තිමත් කිරිමට ඔහු සමත්වී තිබේ.

කොංග්‍රසයට අද විශාල ප්‍රමාණයේ ප්‍රාන්ත වලින් හිමිව ඇත්තේ කර්ණාටක හා පංජාබ් පමණි. එම පක්ෂයේ පාලනය යටතේ පවතින ප්‍රාන්ත ගණන 5කි. මේ පසුබෑම කොංග්‍රසයට අත් වූයේ මෝදිගේ නායකත්වය යටතේ කොංග්‍රස් ප්‍රාන්ත පදනම දෙදරවාලීමට භාරතීය ජනතා පක්ෂය සමත් වු බැවිනි. මෙහිදි බලපාන්නේ රාහුල් ගාන්ධිගේ මවගේ පාර්ශවයෙන් උරුම වී ඇති ඉතාලි සම්භවය හො වෙනත් පුද්ගලික සාධකයක් නොවේ. ඔහු නායකයෙකු ලෙස කොතරම් දුරට ඉන්දීය ජනතාව තුළ ශක්තිමත් ප්‍රතිරූපයක් ගොඩ නංවා ගැනිමට සමත්වන්නේද යන සාධකය මතයි.

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රසයේ නායකයා බවට පත්වීම විශාල වෙනස් කමක් සිදුකළ හැකි සාධකයක් නොවන්නේ ඔහු 2014 මහ මැතිවරණයේදීද උප නායකයා ලෙස පක්ෂයේ ජන්ද සටන මෙහෙයවීම නිසාය. ඔහු එදා මෝදිට අභියෝග කරමින් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගියේය. එහෙත් ඔහුට ජනතාවට තම පණිවුඩය කා වැද්දවීමට තරම් ශක්තියක් නොවු බව දේශපාලන නිරික්ෂකයන්ගේ පිළිගැනීමයි. ඊට මුලික හේතුව වී ඇත්තේ මේ දක්වාම රාහුල් ගාන්ධි එතරම් ආකර්ෂණීය දේශපාලනික චරිතයක් වී නොතිබීමයි.

කොංග්‍රසයේ සෙසු නායකත්වය නිරතුරුව අපේක්ෂා කරන්නේ නේරු ගාන්ධි පවුලේ සාමාජිකයෙකු පක්ෂයේ ක්‍රියාකාරි මෙහෙයුම් කරු ලෙස සිටිනු දැකිමයි. එය පක්ෂයේ අනන්‍යතා ලක්ෂණයක් මෙන්ම මුල් යුගයේ සිටම ජනතාව අතර මුල් බැසගත් පිළිගැනීමකි. එහෙත් නේරු ඉන්දිරා හෝ රාජීව් තරම් ප්‍රබලතාවක් අපේක්ෂා නොකළද තම මව වු සෝනියා ගාන්ධි 2004 පුදුම සහගත කොංග්‍රස් මැතිවරණ ජයක් සඳහා පක්ෂය මෙහෙයවු ආකාරයේ අති විශේෂ දක්ෂතාවක් පෙන්නුම් කරන බවක් තවමත් රාහුල් ගාන්ධිගෙන් විද්‍යමාන නොවීමයි. රාහුල් ගාන්ධි සිය ප්‍රධානතම රූපවාහිනි සම්මුඛ සාකච්ඡාව මේ වසරේ මුල භාගයේදී පැවැත්වීය. එහිදි පවා ඔහු ඉන්දීය ජනතාවට ආකර්ෂණිය භූමිකාවක් නිරූපණය කිරිමට සමත් නොවීය.

තමාට පක්ෂ නායකත්වය පවුලෙන් උරුම වු බවක් එහිදි ප්‍රදර්ශනය කළා මිස එහිදි කිසිදු ශක්තිමත් දේශපාලනික දර්ශනයක් ඉදිරිපත් කිරිමට රාහුල් ගාන්ධි සමත්වුයේ නැත. මෙහිදි රාහුල් ගාන්ධි අගමැති මෝදිට අභියෝග කිරිමට පෙරාතුව ඔහුගෙන් උගත යුතු දේ බොහෝ තිබේ. එහිදි මෝදි සතු පැහැදිලි ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙළක් තීබේ. ඒ සඳහා මෝදි කැපවී සිටී. මෙය නිතැතින්ම ඔහු 2020 මහමැතිවරණ ජයක් සඳහා මෙහෙයවන සාධකයක් බවට පත්ව තිබේ.

රාහුල් ගාන්ධිට වැඩි කාලයක් ඉතිරිවී නැත. ඔහු ඉදිරි වසර දෙකක කාලය තුල ජාතික නායකත්වයක් ගොඩනගාගත යුතු වේ. පැහැදිලි දේශපාලනික දර්ශනයක් ඉදිරිපත් කළ යුතු වේ. මෙය ඔහු මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයයි.

අනෙක් අතට ඉන්දියාවේ බොහෝ දෙනා අපෙක්ෂා කළේ රාහුල් ගාන්ධි නොව ඔහුගේ සොයුරිය ප්‍රියංකා ගාන්ධි පක්ෂ නායකත්වයට පැමිණෙනු ඇතැයි යන්නයි. ඒ මන්ද ඇයගෙන් බොහෝ දෙනා ඉන්දිරා ගාන්ධි දුටු බැවිනි. එයද රාහුල් හමුවේ පවතින අභියෝගයක් වන්නේය. 

 

Comments