කුවේ­ණිය මිය ගියේ සඳ­ලං­කාව්දී ද? | සිළුමිණ

කුවේ­ණිය මිය ගියේ සඳ­ලං­කාව්දී ද?

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් පිළිබඳ තොරතුරු, පුවත්, ජනශ්‍රැති සහ ජනප්‍රවාවද රසවත් කතා ලෙස උගත් නූගත් පිරිස් අතර එකසේ ජනප්‍රිය ය. සාමාන්‍ය පොදු පාඨකයා ද ඒවාට පෙම් බඳියි. වෙසෙසින් පාසල් දරු දැරියන් අයාගත් මුවින් ද, යොමාගත් නෙතින් ද යුතුව ඒවාට සාවධාන වන අයුරු අප විස්මපත් කරවන සුළු ය. විජයාවතරණ කතාව සමඟ තදන්තරව බැඳුණු ආදිවාසීන්ගේ සම්භවය පිළිබඳ කතා ප්‍රවෘත්ති දරුවන්ට අපූර්ව කතා රසයක් ලබා දෙනවා මතු නොව තම ඉතිහාසය ගවේෂණය කිරීමෙහිලා පෙළඹවීමක් ඇති කරන බව බොරු නොවේ.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් යනු වැදි ජනයා ය. ඔවුහු අතීතයේ සිට අප රටේ විසූහ. වැදි ජනයාගේ සම්භවය පිළිබඳව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. විජයාවතරණය හා මේ එක් පුවතක් සම්බන්ධ ය. ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරු සහ ඒ අවධියේ ලංකාවේ විසූ කුවේණි නැමැති යක්ෂ ගෝත්‍රික කුමාරියගේ දරුවන් වූ ජීවහත්ථ හා දිසාලා යන දෙදෙනාගෙන් වැදි ජනයා පැවත එන බව බොහෝ දෙනාගේ අදහස‍ වෙයි.

වැදි ජනයා පිළිබඳව ඩී.ජී. සෙලිග්මාන් හා බ්රෙන්ඩා සෙලිග්මාන් යන විදේශීය විද්වතුන් මෙන් ම නන්දදේව විජේසේකර පී.බී. මීගස්කුඹුර, දයානන්ද සෝමසුන්දර වැනි දේශීය විද්වතුන් ද පර්යේෂණාත්මක ග්‍රන්ථ සම්පාදනය කර ඇත. ආර්.එල්. ස්පිට්ල් වෛද්‍යවරයා වැදි ජනයා සමඟ වෙසෙමින් තමා ලද අත්දැකීම් රසවත් නිර්මාණාත්මක ප්‍රබන්ධ ස්වරූපයෙන් ලියා තැබී ය.

ආර්.එල්. ස්පිට්ල් ලියූ Vanished Trails කෘතියේ සිංහල පරිවර්තනය වන “මැකීගිය දඩමං” රසවත් කෘතියේ පරිච්ඡේදයක් “චී චෙං චූලගොඩ යමු කිරි නෑනෝ” නමින් 6 වන ශ්‍රේණිය සිසුන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතට පාඩමක් ලෙස ඇතුළත් කර තිබේ.

ඉදින් ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ සම්භවයට සඳලංකාවේ දායකත්වය විමසා බැලෙන මෙම යුගයට සඳලංකාව අයත් වන “වයඹ පළාත” හෙවත් “සත්කෝරළය” සම්බන්ධ තොරතුරු සමුදායක් ඇතුළත් වී ඇත. අපි වයඹින් පටන් ගනිමු. ‘සබර’ යනු වැද්දා හඳුන්වන නමකැ’යි කි‍යවෙන බැවින් අපි ජීවහත්ථ හා දිසාලා නතර වූ සබරගමුවේ නතර වී සිටිමින් මේ පුරාවෘත්තය සලකා බලමු.

වයඹ දිසාව කෝරළ හතකට බෙදා ඇත. ඒ නිසා හත්කෝරළය නම් වේ. සත්කෝරළය යනුද ඊට ම ව්‍යවහාර කෙරෙයි. සත් කෝරළය නමින් වනුයේ වෑ උඩවිල්ලි, දේව මැදි, හිරියාල, කටුගම්පොල, දඹදෙණි, වන්නි, දෙමළ යන කෝරළ හතෙන් සෑදුනු භූමි භාගයයි.

පණ්ඩිත පරාක්‍රමබාහු, වෑත්තෑවේ හිමි ආදී සාහිත්‍යධරයින්ටත්, වාරිය‍ෙපාළ හිමි වැනි ජාතිමාමක වීරයින්ටත් නිජ භූමිය වූයේ සත්කෝරළයයි.

සිරිලක් කඩඉම් පොත්වල සඳහන් අන්දමට සහ ජනප්‍රවාදවලට ද අනුව රාවණගේ රාජධානිය ද මෙහි පිහිටියේ ය. සත්කෝරළයේ උපනගර පිළිබඳව සඳහන් දඹදෙණි අස්න හා යාපහු විස්තරය යන කෘති සඳහන් කරන අයුරු දඬුබා (නිකවැරටිය) කටුගම්පල, මුණ්ඩ කොණ්ඩපල, මාදම්පේ මා - කඳවුර (මාකඳුර) ආදී උප නගර රැසක් සත්කෝරළයට අයත් විය.

සත්කෝරළයට අයත්වන කෝරළ හත (07) ට අයත් ගම්බිම්, මායිම් පැරැණි කඩයිම් පොත්වල සඳහන් වෙයි. එහි දඹදෙණි හත්පත්තුව හඳුන්වා ඇත්තේ මෙසේය.

“හත් පත්තුව තුළ දඹදෙණි පුර පවර

තිබූ පත්තුව දඹදෙණි යැයි විට පතර

එහි තිත්තුව දෙවි පතිරජ ඈ පවර

මැති යුක්තව කෙළෙ රජ ඔප ඇසුරු කර”

දඹදෙණි හත්පත්තුවේ පාලනය ගෙන ගිය දේව පතිරාජයන් පිළිබඳ දෙන තොරතුරු ඓතිහාසික වශයෙන් වැදගත් ය.

රාජකීයන්ට ඔත්තු සැපයීම නිසා සතුටට පත් රජු තෑගි කළ පෙදෙස වෑ උඩවිල්ලි හත්පත්තුව විය. එය පැරණි කඩඉම්වල මෙසේ දක්වයි.

“සිත් ගත්තුව පෙර සිට රජතුමෙන් කලී

දුන් ඔත්තුව ඇත්තොට රිදී පිදු ලොලී

ගොස් දුන්නුව දෙදෙසෙන් වෑ උඩ විල්ලී

හත්පත්තුව ගිණිකොළ ඇත දකින කලී

පෙර කාලේ තිබූ සිරි දෙවියා ගලට

තම ලෝලෝ සිරිමත් අය ආලෙ කොට

එම කාලේ සිට පැවතෙන නමක් සෙට

හිරියාලේ හත්පත්තුව දනු සොඳට”

පැරණි කඩඉම් පොත්වල දේව මැදි හත්පත්තුව

“විපුල ලෙසින් ජල ගලනා දෙඔය රැඳී

ලකල කිඹුලාවානාය හක්වටුනා මැදි

සකල පෙදෙස පැරකුම්පුර මැදසෙ සැදී

පතල විය හත්පත්තුවෙ දේව මැදි”

යනුවෙන් හඳුන්වයි.

අලි කොටි වගවලසුන්ගෙන් ‍ගහන, ඒ නිසා ම එදා අපමණ පීඩාවට පත් ජනකායක් විසූ වන්නි හත්පත්තුව කඩඉමේ සඳහන් වන්නේ මෙලෙසිනි.

“කිසිඳු වන්නිවරු නාමේ නෙක ලෙසිනි

මෙහිදු පසු නොබැස වනගත වැවී මෙනි

ගිජිදු සමඟ නෙක කොටි දන විසීමෙනි

පසිදු විය හත්පත්තුව ඉන් වන්නි”

දකුණු ඉන්දීය බට කණ්ඩායම මිත්‍ර ලීලාවෙන් හෙළ රජ දරුවන්ට රැකවරණය දෙමින් සහාය වූ අවස්ථා ඉතිහාසයේ දී හමුවෙයි. එවන් කණ්ඩායම් ගම්බද “කතුන්” හා ආවාහ වීමෙන් ඇති වූ ජනාවාසය දෙමළ හත්පත්තුව නමින් කඩඉම් පොත්වල හඳුන්වා තිබේ. ඒ මෙසේය.

“එතෙර සිටන් සපැමිණි දෙමළුන් එකල

නතර වෙවී සිට ගම්බපද ගත්තු කල

විතර සෙනග දෙමළුන් යයි කිව සිහල

පතර විය හත්පත්තුව ඉන් දෙමළ”

විජයාවතරණය තෙක් දිවයන ඉතිහාසයක් ඇති සඳලංකාවද අයත් වන කටුගම්පල හත්පත්තුවේ බලකෝටුවක් පැවති බව පෙනී යි. කඩඉම්වල කටුගම්පල හත්පත්තුව ගැන මෙසේ සඳහන් වෙයි.

“රුක්මන් කිසා කඩු ගනිමින් නෙක ලෙසිනි

වික්මැකි විජය සමඟින් සපැමිණි යෙහෙනි

සිත්ගත් ඇමති සහ පිරිවර විසු සොඳිනි

හත්පත්තුව තිබෙයි කටුගම්පොල නමිනි

සත් කෝරළයට අයත් හත්පත්තු අතරින් කටුගම්පළ හත්පත්තුවට අයත් උතුරු පිටිගල් කෝරළය තුළ පිහිටි රමණීය භූමි භාගයක් “සඳලංකාව” නමින් ප්‍රසිද්ධියට පත් වී ඇත. සිරිලක් කඩඉම් පොත්වල “පිටිගල් රට” විස්තර කිරීමේදී “සෙන්දිය” නම් රුවන් ආකාරයක් තිබූ බව සඳහන් කරයි. පිටිගල් රටේ මායිම් ලෙස මා ඔය අද්දර ගොන් කුර කෙටූ ගලක් ද එයට අඩ ගව්වක් පමණ දුරින් වෑ කන්දක් ද වූ බව සඳහන් කරයි. මෙහි සඳහන් කරන “සෙන්දිය නම් රුවන් ආකාරය දැනට “තඹකන්ද” නමින් හඳුන්වන ප්‍රදේශය හා ආශ්‍රිතව පැවතුණා විය හැකියැයි මහාචාරය් මහානාම කරුණාරත්නයෝ 1984 දී “රිවිරැස” ට පැවැසූහ.

“තඹකන්ද” යනු උස් කන්දක් සහිතව පිහිට සඳලංකාවට යාබද නමකි. තඹකන්ද ප්‍රදේශයේ පසෙහි අදත් ය‍ෙබාර හලුව දැකිය හැකිය. එමෙන්ම දැනට ශත වර්ෂ බාගයකට පමණ පෙර කරන ලද කෑණීම් වලදී තඹකන්ද ප්‍රදේශයෙන් දියරන් මතුවූ බවද වාර්තා වෙයි. “සෙන්දරි ගිරි” හෙවත් සෙන්දිගල ඇසුරු කළ ගම පසුව ‘හෙන්ඩියගල” යනුවෙන් ව්‍යවහාරයට පැමිණියේ යැයි මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා පවසයි.

“සඳලංකාව” ට නම සෑදුනු අන්දම පිළිබඳව ජනප්‍රවාදයක් එදා මහාචාර්ය මහානාම කරුණාරත්න මහතා “රිවිරැස” පත්‍රයට මා සමඟ කීවේය. මේ ඒ රසවත් කතාවයි. (මෙය විජයාවතරණය හා සම්බන්ධ ජනප්‍රවාදයකි.)

තම්මැන්නාවට ගොඩබසින විජය කුමාරයාට කුවේණිය මුණ ගැසෙයි. කුවේණි ලංකාපුර රාජධානියේ අග රජුගේ සුරූපී දියණියයි. දුටු සැණින් විජය කුවේණිට පෙම් බඳියි. කුවේණියයත් විජයත් පෙම්වතුන්ව සිටින බව දැන ගන්නා ලංකාපුර රජු ශෝකයට ද දෙවනුව කෝපයට ද පත්වෙයි. විජයගේ ප්‍රේමය සතුරු ආක්‍රමණියකයෙකුගේ කූට දේශපාලන උපක්‍රමයක්යැයි සලකන රජු විජය අල්ලා ගැනීමට පිරිසක් යවයි.

මෙය දැන ගන්නා කුවේණිය සිය සැලමුතු පෙම සිහි නගාගෙන සිය රජුට එරෙහිව තමනට හිතවත් පිරිසක් රැස්කරවා විජය භාර දෙන්නීය. ඔවුහු විජයට ආරක්ෂාව හා රැකවරණය සලසති.

මෙම පුවත දැනගන්නා ලංකාපුර අගරජු අධික ලෙස කෝපයට පත්වී විජය විරුද්ධව යුධ ප්‍රකාශ කරයි. දෙපිරිස අතර දරුණු යුද්ධයක් ඇති වෙයි. කුවේණිය එහිදී විජයට උදව් කරයි. යුද පිටියේදී විජයගේ කඩු පහරකින් ඇද වැටෙන ලංකාපුර රජු “හන්ද ලංකා” (“අනේ මගේ ලංකාපුර විනාශයි”) යනුවෙන් විලාප නගයි. (හන්ද යනු අනේ “අහෝ”, “අදෝ” යන අරුත ඇති ප්‍රාකෘත පදයක් බවත් මෙය පාලි හා සංස්කෘත රූප සමඟ තත්සමව යෙදෙන බවත් මහාචාර්ය මහානාම කරුණාරත්න ශූරීහු පවසති.) “හන්ද ලංකා” හඳ ලංකා” වී විකල්ප රූපයකින් “සඳලංකා” වූ බවත් පැවසෙයි.

කුවේණියව විජය පන්නා දමා අසරණ කළ අවස්ථාවේදී සිය ඥාතියෙකුගේ ගල් පහරකින් ඇය ඇද වැටී මිය ගියේ “හන්ද ලංකා” (අනේ මගේ ලංකාව”) යන විලාපයත් සමඟ බැවින් “හඳලංකාව” වී පසුව “සඳලංකාව” යන නම ව්‍යවහාර වූ බවත්, එහිදී කුවේණිය මියගියේ වත්මන් සඳලංකාව ප්‍රදේශයේ බවත්, තවත් ජනප්‍රවාදයක් අනුව කියැවේ. ජීවහත්ථ හා දිසාලා ගණ කෑලෑව මැදින් සබරගමුවට පළා ගියහ. ඔවුන්ගෙන් සබරගමුවේ වැදි ජනයා උපත ලැබීය.

කෙසේ වුව රාවණාගේ පටන් පැවත ආ ලංකාපුර රාජධානිය වර්තමාන සඳලංකාව ආශ්‍රිත ප්‍රදේශයට බව එම ජනප්‍රවාදවලට අනුව ද සැලකිය හැකිය. 

Comments