එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජය ගැනී­මට පංච­විධ ක්‍රමෝ­පා­යක් | සිළුමිණ

එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා ජය ගැනී­මට පංච­විධ ක්‍රමෝ­පා­යක්

වසරක් පාසා අය-වැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට, ඒ සඳහා අනුමැතිය ලබාගැනීම සිරිතකි. එහි අන්තර්ගත යෝජනා දේශපාලන, සමාජ සංවර්ධන, ආර්ථික සංවර්ධන සහ සමාජාර්ථික සංවර්ධන යෝජනා වශයෙන් හඳුනාගත හැකිය. දේශපාලන අභිමතාර්ථ සහ මැතිවරණ ඉලක්ක කොටගෙන ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති හා ආහාර මිල සහන ලබාදීම යනාදිය හුදෙක් දේශපාලන යෝජනා වන අතර, “හඳෙන් හාල්”, “ධාන්‍ය රාත්තල් අට” සහ “හම්බන්තොට සංවර්ධනය”යනාදිය ඊට හොඳම නිදසුන් වේ. “ජනසවිය”, “සමෘද්ධිය” මෙන්ම අධ්‍යාපන හා ‍ෙසෟඛ්‍ය සංවර්ධනය සමාජ සංවර්ධන යෝජනා ලෙස හැඳින්විය හැකිය. “කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය” සහ “අපනයන සැකසුම් කලාප” වැනි යෝජනා ආර්ථික සංවර්ධන යෝජනා ලෙසත් “ගම් උදාව” සහ “අධිවේගී මාර්ග සංවර්ධනය” සමාජාර්ථික සංවර්ධන යෝජනා ලෙසත් හඳුන්වන්නට පිළිවන.

මෙවර අයවැය යෝජනා තුළ මේ සෑම වර්ගයකටම අයත් යෝජනා දක්නට ලැබෙන නමුදු එහි වන සුවිශේෂ යෝජනාවක් වන්නේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමැති පුළුල් හා කාලෝචිත යෝජනාවයි. ඒ වූකලි ආර්ථික සංවර්ධන යෝජනා ගණයෙහිලා සැලකිය හැකිය. එබැවින් මෙ-ලිපිය මඟින් ඒ යෝජනාවෙහි වැදගත්කම සහ එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපාය පිළිබඳ විමසීමක් කරනු ලැබේ.

ඌන සංවර්ධනය පිළිබඳ ගැටලුව ස්වාභාවික සම්පත් හිඟය, ප්‍රාග්ධන හිඟය (තාක්ෂණ හිඟයද ඇතුළුව) සහ පුහුණු-නුපුහුණු ශ්‍රම හිඟය යනාදියෙහි ප්‍රතිඵලයක් ලෙස කලක් තිස්සේ ආර්ථික විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබීය. එහෙත් ව්‍යවසායකත්ව හිඟය ඌන සංවර්ධනයට පාදක වන බව එතරම් අවධානයට භාජනය වී නැත. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධකවලටත් වඩා ව්‍යවසාය යන සාධකය ප්‍රබලය. ඒ මක් නිසාද යත්: ව්‍යවසායකත්වය විසින් අන් සියලු සාධක සංවිධානය කිරීම නිසා ආර්ථික ක්‍රියාවලිය නිර්මාණය වන බැවිනි. ව්‍යවසායකත්වය හිඟ වන විට අනෙකුත් නිෂ්පාදන සාධක අකර්මණ්‍ය වෙයි.

භූමිය සහ ඊට අයත් සම්පත්, ශ්‍රම සැපයුම සහ ශ්‍රමයේ ගුණාත්මක භාවය යන සාධක අතින් අප රටේ තත්ත්වය ඉතා හොඳ මට්ටමක පවතී.

දළ දේශීය ඉතුරුම් සහ දළ දේශීය ප්‍රාග්ධන සමුච්ඡය අතින් ගත් කලද ප්‍රාග්ධන සම්පාදනය අතින්ද එතරම් අයහපත් මට්ටමක නොපවතී. එසේ නම් අප රටේ ඌන සංවර්ධනයට බලපෑ ඇති ප්‍රධානතම හේතුව වන්නේ ව්‍යවසායකත්වයේ හිඟකමයි. දක්ෂ ව්‍යවසායකයන් සිටිනා රටක එහි ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන සමාගම් රැසක් බිහි වේ.

එමෙන්ම එවැනි රටවල අපනයනය ඉතා ඉහළ මට්ටමක පවතී. ජපානය, ජර්මනිය, සහ එංගලන්තය ප්‍රමාණයෙන් කුඩා රටවල් වුවද ඔවුන් ලෝක ආර්ථිකයෙහි ප්‍රබලයන් බවට පත්ව සිටින්නේ සිය ව්‍යවසායකත්ව ශක්තිය මතය. ටොයෝටා සහ ෆොක්ස්වැගන් වැනි සමාගම් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය මෙන් හතර-පස් ගුණයක් විශාල වන්නේ එබැවිනි.

මෙවර අයවැය යෝජනාවලියෙහි විශේෂත්වය වන්නේ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන මඟින් අප රටේ ඉහත සඳහන් කළ ව්‍යවසායකත්ව හිඟයට පිළියම් යෙදීමට ක්‍රියා කිරීමයි. ඒ ඔස්සේ ‘ව්‍යවසාය රාජ්‍යයක්’ ගොඩනැඟීමට ප්‍රයත්න දැරීමයි. මේ නව යෝජනාව තුළින් “Japan Inc” යනුවෙන් හඳුන්වන ජපානයේ බිහි වූ ව්‍යවසාය පද්ධතිය සිහිගැන්වේ.

මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 10,000ක් වැනි දැවැන්ත මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට යෝජනා කර තිබේ. එමඟින් රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවි බල සවිය, දිරි සවිය, ජය ඉසුර, සොඳුරු පියස, මාධ්‍ය අරුණ සහ සූර්ය බල පැනල සවිකිරීම යනාදි වශයෙන් ව්‍යවසාය කාණ්ඩ 9ක් සඳහා 6%ක් හෝ ඊටත් වඩා අඩු පොලී අනුපාත යටතේ ණය ප්‍රාග්ධනය ලබාදීමට සැලසුම් කෙරේ.

මේ වූකලි රුපියල් 100,000ක ණය මුදලක් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලිය රුපියල් 6,000ක් හෙවත් මාසිකව රුපියල් 500ක් වැනි ඉතා සුළු මුදලකි.

මේ යෝජනාවලියට සමගාමිව දේශීය ව්‍යවසායකයාගේ ආරක්ෂණය හා දිරිගැන්වීම පිණිස ප්‍රතිතෝලන හා ප්‍රතාපන නීති දැඩි කිරීම, කොටස් හිමියන් 10 දෙනකුගෙන් සමන්විත වන නව සමාගම් වෙනුවෙන් සහනදායි ලෙස ප්‍රාග්ධනය සැපයීම, ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගතව සිටින එහෙත් වටිනා ව්‍යවසායකත්ව අදහස් ඉදිරිපත් කරන ව්‍යවසායකයන්ට ඔවුන්ගේ අතීත දුර්වලතා නොසලකා නැවත ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ඉඩකඩ ලබාදීම යනාදි ක්‍රියාමාර්ගද අපනයන දිරිගැන්වීමද යෝජනා කොට තිබේ.

තවද, ව්‍යාපාර කිරීමේ නෛතික පහසුව හා පසුබිම සකසාදීම පිණිස පැරණි අණපනත් සංශෝධනය කිරීම, 2011 ව්‍යාපාර පවරාගැනීමේ පනත අහෝසි කිරීම යනාදි කටයුතු ඔස්සේ ව්‍යවසායකයාට මිත්‍රශීලි නෛතික යටිතලයක් සකස් කිරීමේ යෝජනාද ඇතුළත් කොට තිබේ.

 ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපාය

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනාවලිය සහ එහි සැකැස්ම මැනවින් ඉදිරිපත් කොට තිබුණද එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපාය ඒ තුළ ඇතුළත් වී නොතිබීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. යෝජනාවලිය කොතරම් ආකර්ෂණීය වුවත්, නිර්මාණාත්මක වුවත් එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමෝපායක් නොවේ නම් ඉන් අපේක්ෂිත ප්‍රතිඵලය සාක්ෂාත් කරගත හැකි නොවේ.

ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනද ක්‍රියාවට නැංවීමේ ක්‍රමෝපායයන් සැලසුම් කරගැනීමේ අවශ්‍යතාව පැනනැඟී තිබේ. අප රටේ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා එදා මෙදාතුර බොහෝ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

 

 ණය යෝජනා ක්‍රම, කාන්තා ව්‍යවසාය ක්‍රම කුඩා සහ මධ්‍ය ව්‍යාපාර, ආනයන ආදේශන කුඩා කර්මාන්ත, අපනයන සැකසුම් කර්මාන්ත, දේශීය කර්මාන්ත යනාදි සෑම අංශයක්ම ඒ අතර දක්නට ලැබේ. මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකු, සණස බැංකු, සංවර්ධන මුල්‍ය සංස්ථාව යනාදි බොහෝ බැංකු ආයතනද වරින් වර පිහිටුවන ලදි.

එහෙත් අප රටේ තවමත් සැලකිය යුතු ව්‍යවසායකයන් සංඛ්‍යාවක් හෝ ඔවුන් ආර්ථිකයට හෝ අපනයනයට දක්වන දායකත්වයේ හෝ සැලකිය යුතු වෙනසක් හෝ දක්නට නැත. අනෙක් අතට අප රටේ ව්‍යවසායකයන් කර්මාන්ත අංශයට මැළිකමක් දක්වන බවද පෙනේ. ඔවුන් සේවා අංශය කෙරෙහි යොමු වීමට අභිරුචියක් දක්වන්නේ සේවා අංශයට ස්වාභාවික වෙළෙඳපළ ආරක්ෂණයක් පවතින බැවිනි.

මේ නව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනාවලිය හුදෙක් අඩු පොලී ණය ප්‍රාග්ධනය සැපයීම මත පමණක් සාර්ථක කරගත නොහැකිය. එබැවින් ඒ සඳහා ඊට සමගාමීව ක්‍රියාවට නැංවිය යුතු වැඩපිළිවෙළ පහක් මෙහිදී යෝජනා කරමි. ඉන් එකක් වන්නේ දීප ව්‍යාප්ත ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් ඔස්සේ ව්‍යවසායකත්ව පුහුණුව ලබාදීමයි. ප්‍රාග්ධනය තිබූ පමණින් ව්‍යවසායකයන් බිහි නොවන අතර උපතින්ම හෝ පළපුරුද්දෙන් බිහි වන ව්‍යවසායකයන් සංඛ්‍යාව සීමා සහිතය. අනෙක් අතට සිංහල හා දෙමළ සමාජයේ ව්‍යවසායකයන් කෙරෙහි අතීතයේ පටන් නිසි පිළිගැනීමක්ද නොවීය. අනගාරික ධර්මපාල තුමා “උඹලා හොඳට කැවුම් උයන්න දන්නවා හැබැයි ඒවා විකුණන හැටි දන්නේ නැහැ” යනුවෙන් වරක් පැවසුවේ මේ බව සනාථ කරමිනි. ගැමියන්ගේ ගෙවතුවල ඉදෙන අනෝදා, පේර යනාදිය පාරට ගෙනවිත් විකිණීමට පුරුදු වීමෙන් ආදායමක් ලැබිය හැකියැයි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එදා කී විට බොහෝ දෙන එය සමච්චලයට ගත්හ.

එබැවින් ව්‍යවසායකත්ව සංවර්ධනය හා පුහුණුව අප රටේ ව්‍යවසායකත්ව දියුණුව සඳහා අත්‍යවශ්‍ය යෙදවුමකි. ව්‍යවසාය යනු ව්‍යාපාර නොවන අතර ව්‍යවසායකත්ව දනුම කරණ කොටගෙන ව්‍යාපාර බිහි වීමත් ඒවා වැඩි දියුණු වීමත් සිදු වේ. එසේ නම් ව්‍යවසායකත්වය යනුවෙන් අදහස් වන්නේ ව්‍යාපාරික අවස්ථා ග්‍රහණය කරගැනීමට ඇති සමත්කම ලෙස සඳහන් කළ හැකිය. එය හැකියාවකි. එසේ නම් එය පුහුණු කළ හැකිය. ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් පසු ව්‍යවසායකත්ව හැකියාව මෙන්ම කළමනාකරණ හැකියාවද එක ලෙස ප්‍රයෝජනවත් වේ. ව්‍යාපාරයේ වර්ධනයට හා දිගු කාලීන පැවැත්මට එම හැකියාවන් දෙකම අත්‍යවශ්‍ය වේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනාවලිය තුළ මෙවැනි උපාංග ඇතුළත් වී නැති බැවින් ණය ප්‍රාග්ධනය සැපයූ පමණින් ව්‍යවසායකයන් සැලකිය යුතු තරම් නිර්මාණය නොවනු ඇත.

1. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කරගැනීම පිණිස පළමු වැඩපිළිවෙළ ලෙස ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනයක් (National Institute/ Council/ Authority or Entrepreneurship Development) පිහිටුවීමට යෝජනා කරමි. එය විද්වතුන්ගෙන් මෙන්ම වෘත්තිකයන්ගෙන්ද සමන්විත විය යුතු වන අතර, එමඟින් ප්‍රාදේශීය මට්ටමේ වැඩමුළු හා පුහුණු සැසි සංවිධානය කළ යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් සංවර්ධන නිලධාරීන්ගේ සහභාගිත්වය මත එය ක්‍රියාත්මක කළ හැකිය. මෙම වැඩසටහන් හුදු ගතානුගතික ක්‍රමයට වඩා තරුණ පරපුරට නව ලොවක් පෙන්වා දීමට හැකි වන පරිදි සකස් කළ යුතුය.

2. මෙහි දෙවන වැඩපිළිවෙළ ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් ඒකාබද්ධ (Integrated Enterprise Development Program) වැඩසටහනක් ලෙස දැනට පිහිටුවා ඇති ඉන්කියූබේටර්, වෘත්තීය පුහුණුව, නිෂ්පාදනය හා අපනයනය යනාදි ක්ෂේත්‍රවලට අදාළ ආයතන සමඟ එකාබද්ධ පුළුල් ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. මේ මඟින් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ ආයතන පිළිබඳව ව්‍යවසායකයාට අවබෝධයක් ලැබෙන බැවින් සිය ව්‍යාපාර කිරීමේ අපහසුව (Bottleneck) මඟහරවාගැනීමේ පහසුව ලැබේ.

3. තුන්වන වැඩපිළිවෙළ ලෙස ජාත්‍යන්තර සහයෝගිතා පුහුණු වැඩසටහනක් (International Co-operation for Entrepreneurship Training) නිර්මාණය කරගැනීම ප්‍රයෝජනවත් වේ. මේ සඳහා ජපානයේ ජයිකා (JAICA), කොරියාවේ කොයිකා (KOICA) සහ වෙනත් යුරෝපීය රාජ්‍ය හා පෞද්ගලික ආයතන සමඟ සම්බන්ධතා ගොඩනඟාගත යුතුය. මෙවැනි ආයතනවල සහයෝගය ලබාගැනීම සඳහා මුදල් අවශ්‍ය නොවන අතර, විදේශීය විශේෂඥයන්ගෙන් අමුද්‍රව්‍ය, නිෂ්පාදන ක්‍රම, තාක්ෂණය, තත්ත්ව පාලනය, විදේශීය වෙළෙඳපළ යනාදි බොහෝ කරුණු පිළිබඳ ඉගැනීමට අවස්ථාව සැලසේ. එමඟින් නවෝත්පාදන මෙන්ම ඒවා අලෙවි කළ යුතු වෙළෙඳපළ යනාදිය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ අවබෝධයක්ද ලැබේ. අප රටේ ලොකු කුඩා ව්‍යවසායකයන්ගෙන් පොදුවේ විද්‍යමාන වන ගැටලුවක් වන්නේ ඔවුන් සිය භාණ්ඩ හෝ සේවා පිළිබඳ තත්ත්වය නොසලකා හැරීමයි. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකත්වය දුර්වල බැවින්ද ව්‍යවසායකත්වය දුර්වල වී තිබේ.

4. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනාවලිය සාර්ථක කරගැනීම පිණිස වන සිව්වන වැඩපිළිවෙළ ලෙස නව ව්‍යාපාර විශේෂ රක්ෂණ ක්‍රමයක් (Special Insurance Scheme for New Enterprises) හඳුන්වා දීමද කළ යුතුය. මේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබනුයේ නව ව්‍යවසායකයෝය. නව ව්‍යාපාර කෙරෙහි යොමු වීමටත් ඒවායෙහි ආයෝජනය කිරීමටත් දිරිගැන්වීමක් ලෙස මෙවැනි රක්ෂණ ක්‍රමයක් ප්‍රයෝජනවත් වනු ඇත.

5. පස්වැනි වැඩපිළිවෙළ ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තිරසර ලෙස පවත්වාගැනීම පිණිස නව ව්‍යාපාර ඇගයීමේ ක්‍රමවේදයක් (Enterprise Evaluation Scheme) හඳුන්වා දිය යුතුය. මෙය ඉහත යෝජනා කරන ලද ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය මඟින්ද ක්‍රියාත්මක කළ හැකිය. ඇගයීම යනු හුදු සම්මාන දීමේ වැඩපිළිවෙළක් ලෙස නොසලකා රජය අපේක්ෂා කරන රැකියා, නිෂ්පාදනය, අපනයනය, විදේශ විනිමය ඉපයීම යනාදි නිර්ණායකයන්ට සාපේක්ෂිව ව්‍යාපාර ඇගයීම කළ යුතුය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අවසන් ඉලක්කය වන්නේ ප්‍රබල ව්‍යවසායක පන්තියක් අනාගතයේ බිහි කිරීමයි. ඔවුහු අවසානයේ බහුජාතික සමාගම් බවට පත් විය යුතුය. එමගින් රැකියා, ආදායම්, විදේශ විනිමය, තරගකාරිත්වය, ව්‍යාපාරවල බුද්ධිමය දේපළ යනාදිය රජය විසින් ඉලක්ක කළ යුතුය. ඒ සඳහා සෑම අය-වැයකින්ම මේ එන්ටර්ප්‍රයිස් වැඩසටහන අඛණ්ඩව වසර ගණනාවක් පවත්වාගත යුතුය. කොරියානු සමාගම් වන හ්යුන්දායි, එල්ජී, දේවූ, සැම්සුන් වැනි සමාගම් කුඩා පරිමාණයේ ව්‍යාපාර ලෙස ඇඳුම් මැසීම, ආහාර සැකසීම වැනි ව්‍යාපාරික කාර්යයන්ගේ නියුක්තව සිටියදී රජය මැදිහත් වී ව්‍යාපාරික අවස්ථා වෙත පොලඹවාගත් බැවින් ඒවා දැවැන්ත සමාගම් බවට පත් වූ අතර, අවසානයේ කොරියානු ආර්ථිකයේත් සමාජයේත් මෙහෙයුම්කරුවන් බවටද පත් විය. ශ්‍රී ලංකාවද එවැනි අත්දැකීම්වලින් පාඩම් උගනිමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධන පදනම ලෙස යොදාගත යුතුය.

(මෙහි යෝජනා කර ඇති සමගාමී පංචවිධ සංකල්පය කර්තෘ සතුය)

Comments