ගඩ­ලා­දෙ­ණියේ දිය­ත­රිප්පු ඇස් කන්නාඩි | සිළුමිණ

ගඩ­ලා­දෙ­ණියේ දිය­ත­රිප්පු ඇස් කන්නාඩි

මහනුවර දිස්ත්‍රික්කයේ ගඩලාදෙණිය ඉතා වැදගත් වන්නේ එහි ඇති රජමහා විහාරය නිසාය. ඉතා දුර්ලභ ඉතා පැරැණි දියතරිප්පු මැණික්වලින් ඇස් කණ්ණාඩි සාදන ශිල්පීන් කිහිපදෙනෙකු සිටින ගම්මානයක් ලෙස ද එගම වැදගත් වෙයි. මහනුවර සිට සැතපුම් පහළොවක් පමණ දුරින් පිහිටි ගඟසිරිපුර හෙවත් ගම්පළ ලංකාවේ අගනුවර බවට පත්වූයේ ගම්පළ පළමුවරට අගනුවර කර ගත් හතරවෙනි බුවනෙකබාහු රජුකලයි. (ක්‍රි:ව: 1341 - 1351) කුරුණෑගල බිඳ වැටීමෙන් පසු ගම්පොළ ලංකාවේ අගනුවර බවට පත් විය. 1341 සිට 1410 දක්වා ගම්පොළ ලංකාවේ අගනුවර විය.

ගම්පොළ පළමු රජ වූ හතරවැනි බුවනෙකබාහු කල ගම්පොළ ඇති ප්‍රධාන ම විහාර දෙකක් ඉදිවිය. ඉන් පළමුවැන්න වූ ලංකාතිලකය සේනාධිලංකා සෙනෙවි විසින් ස්ථපතිරායර් ද්‍රවිඩ ශිල්පියා ලවා කර වූ බව ලංකාතිලක ශිලා ලිපිවලින් පෙනෙයි. එය ගල්තලාව මත ගඩොල්වලින් කරවා ඇත. ගඩලාදෙණිය තුන්වැනි ධර්මකීර්ති හිමි විසින් තනි කළු ගල්තලාවක් මත තනි කළු ගලෙන් බඳවා ඇත්තේ “ගණේශ්වර” නමැති ද්‍රවිඩ ශිල්පියා මූලිකයා බව ගඩලාදෙණි ශිලාලිපි කියයි. මේ ස්ථාන දෙක ම මීට පෙර අවැදගත් විය. අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් තුළ ලංකාතිලක හා ගඩලාදෙණියේ වැඩ නිම වී ඇත. එම විහාර දෙකේ ම දකුණු ඉන්දීය විජයනගර් ගෘහ නිර්මාණ ශිල්පය දැකිය හැකිය. විහාර දෙක ම වැඩ අරඹා ඇත්තේ හතරවැනි බුවනෙකබාහුට පෙර කුරුණෑගල රජ කළ පස්වැනි විජයබාහු (ක්‍රි:ව: 1335 - 1341) රජුකලය. ලංකාතිලකය - ගඩලාදෙණිය - ඇම්බැක්ක - පුසුල්පිටිය යන ප්‍රධාන විහාර හතර ම ඉදිකිරීම සඳහා ගම්පොළ කල පැමිණියේ දකුණු ඉන්දීය කාර්මිකයන්ය. වැඩ නිම වූ පසු ඔවුන් ආපසු දකුණු ඉන්දියාවට ගියේ නැත. රජුගෙන් ගම් බිම් තෑගි ලබා ගෙන ලංකාවේ ගම්පොළ අවට ජීවත් වී ඒ පරපුර අද ලාංකික බවට පත් වී ඇත.

ගම්පොළ කල මේ විහාර කරවීමට ආ ශිල්පී පරම්පරාවක් අතර සිටි සුවිශේෂී හැකියාවක් ඇති එක් ශිල්පි පරපුරක් හතරවැනි බුවනෙකබාහු රජුට වැලඳී තිබූ ඇස් පෙනීමේ අඩුකමට ප්‍රතිකර්මයක් ලෙස දියතරිප්පු මැණික්වලින් ඖෂධීය ගුණ බහුල ඇස් කණ්ණාඩි නිපදවා රජුගේ ඇස් රෝගය සුව කර ඇත. ඒ පරපුර අදත් පාරම්පරිකව සුවිශේෂී උරුමයක් ලෙස දියතරිප්පු මැණික්වලින් ඇස් කණ්ණාඩි නිපදවයි. ඒවා අක්ෂි රෝග දුරලයි. ඇසට සිසිල ලබාදෙයි. ඇසට ගුණදායකයි. මේ පරපුර අදත් ගඩලාදෙණිය හා කිරිවවුළ යන ගම්වල ජීවත් වෙයි. 

 

Comments