සිකු­රාදා නිවා­ඩුව ගැන ජේ. ආර්. කරුණු කියයි | සිළුමිණ

සිකු­රාදා නිවා­ඩුව ගැන ජේ. ආර්. කරුණු කියයි

“මේ ගරු සභාවේ සිටින ව්‍යක්තම කතිකයා ඔබයි” යනුවෙන් ශ්‍රීලනිපයේ ඇමැතිවරයකුව සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා ජේ. ආර්. ජයවර්ධන මහතා ගැන වරක් සඳහනක් කෙළේය.

අපහාසය වෙනුවට උපහාසය මතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කතාව ඉතිහාසගත තොරතුරුවලින් අනූනය.

කොළඹ කෞතුකාගාරයේ එක් නැරැඹුම් මැදිරියක් විවෘත කිරීමට පැමිණි ජයවර්ධන මහතා සිය කතාව ආරම්භ කෙළේ ප්‍රශ්නයකිනි. ප්‍රශ්නය ඇසුවේ පැමිණ සිටි පිරිසෙනි.

“ආණ්ඩුවේ ආයතන සේරටම ඉරිදා නිවාඩුයි. ඒත් මේ කෞතුකාගාරයේ නිවාඩුව ඉරිදා නොවෙයි. සිකුරාදයි. මෙතන විතරක් සිකුරාදා නිවාඩුයි. ඒ මොකද කවුරුහරි ඒකට හේතුව දන්නවා ද?” ජයවර්ධන මහතා සභාව දෙස බැලුවේය.

මේ වන විට වේදිකාවේ ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය ද අසුන් ගෙන සිටියාය. එතුමිය කෞතුකාගාරයේ උසස් නිලයක් දැරුවාය. වට පිට බලා කිසිවකුගෙන් උත්තරයක් නැති තැන ජයවර්ධන මහතා ගුණවර්ධන මහත්මිය දෙස බලා “හොඳයි මං ඔබතුමියටත් දැනගන්ඩ මේ කටුගෙයි ඉතිහාසය ගැන කතා කරන්නම්, සිකුරාදා නිවාඩුවට හේතුවත් කියා දෙන්නම් කියමින් කතාව ආරම්භ කෙළේය.

“මේකට කටුගේ කියන්නේ මහ විශාල තල්මහ සතෙකුගේ ඇටසැකිල්ලක් එල්ලා තිබෙන නිසා වෙන්ඩ ඕනැ. මේ ගොඩනැඟිල්ල හදන්ඩ පෙර ඕලන්දක්කාරයන්ගේ හිරගෙයක් මෙතන තිබුණා. රට ඉංග්‍රීසින්ට අයිති වුණාම ඒ ගොඩනැඟිලි පාලුවට ගියා.

“ඕලන්දකාරයෝ මේ ප්‍රදේශයේ කුරුදු වැව්වා. කොල්ලුපිටියෙ අරලිය ගහ මන්දිරය තියෙන පැත්තෙ පොල් වැව්වා. කුරුදු වත්ත, පොල්වත්ත කියන නම් හැදුනේ එහෙමයි. බම්බලපිටිය පිටිය පැත්ත මහ කැලේ කජු ගස් තිබුණා. ඔය කැලෑවෙ හැංගිල හිටපු මං පහරන්නො ගාලු පාරෙ කරත්තකාරයන්ව කොල්ල කෑවා. එක කරත්තකාරයෙක්ව මරල කජු ගහක එල්ලුවා. තෝමියන් (සාන්ත තෝමස් සිසුන්) සිසුන් අහුවුණොත් කජු ගස්වල එල්ලනවා කියලා ඒ කාලෙ සින්දුවකුත් තිබුණා.

වටිනා පරණ වස්තු එකතු කරල ඒවා අනාගත පරපුරට බලාගන්ඩ ස්ථානයක් තියෙන්ඩ ඕනැ කියල රාජකීය ආසියාතික සමිතිය ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ග්‍රෙගරි ආණ්ඩුකාරයා මුදල් අනුමත කර ගත්තා. මේ ගොඩනැඟිල්ල ඉදිරිපිට තිබෙන්නේ ග්‍රෙගරි ආණ්ඩුකාරතුමාගෙ පිළිරුවක්. ගොඩනැඟිල්ල විවෘත කළේ 1877 දී.

එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක්ව හිටපු ග්‍රෙගරි ආණ්ඩුකාරයා මහජන යහපතට වැඩ කළා. තේ වගාවට උදවු කළා. වැව් ප්‍රතිසංස්කරණය කළා. උතුරුමැද කියල පළාතක් වෙන් කළා. ඇළ වේලි හැදුවා. කොළඹ නගරයට ගෑස් ආලෝකය දුන්නා. ලබුගම සිට කොළඹට ජලය ලබාගන්න කටයුතු කළා. මේ නිසා මිනිස්සු එයාට ගිරිගෝරිස් රජ්ජුරුවො කියල කියන්ඩ පටන්ගත්තා. එතුමාගෙ නම මතක් වෙන්න ග්‍රෙගරි පාර තියෙනවා. එෆ්. ආර්. සේනානායක මහත්තයා ග්‍රෙගරි පාරේ ගෙයක් හදාගත්තා.

මේ ගොඩනැඟිල්ල හදන්ඩ ප්ලෑන් එක ඇන්දෙ ස්මයිදර් මහත්තයා කොළඹ අද තියන පරණ ගොඩනැඟිලි රාශියක ප්ලැන් ඇන්දේ ස්මයිදර් මහත්තයා ගොඩනැඟිල්ලේ ප්‍රධාන බාස් උන්නැහෙ තමා වපුචි මරික්කාර්. මේ බාස්උන්නැහේ සර් රසීක් ෆරීඩ් මැතිතුමාගෙ සීයා කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කරන්ඩ වපුචි මරික්කාර් මහත්තයා උපකාර කළා මුදල් හදල් දුන්නා.

මේ ගොඩනැඟිල්ල හදන කාලේ වපුචි මරික්කාර් ළඟ මුස්ලිම් උදවිය විශාල වශයෙන් වැඩ කළා සියලු දෙනාම සිකුරාදට වැඩ නවත්තල පල්ලි ගියා. එම නිසා සිකුරාදාට නිවාඩුයි.

“ගොඩනැඟිල්ල හදල විවෘත කරන්ඩ තියන අවස්ථාවෙ ආණ්ඩුකාරයා කල්පනා කළා වපුචි මරික්කාර්ට නම්බු නාමයක් දෙන්ඩ. එහෙම හිතල ඇහැව්වා බාස් උඹට නම්බු නාමයක් දෙන්ඩ වටිනවා. ලස්සනට වැඩේ කරල තිබෙනවා. නම්බු නාමයක් බාරගන්ඩ කැමැති ද කියල ඇහැව්වා.

මට නම්බු නාමයක් එපා කියල එයා කිව්ව එහෙම නම් උඹට සැලකිල්ලක් කරන්නෙ මොන විදියට ද කියල ආණ්ඩුකාරයා ඇහැව්වා.

“මේ ගොඩනැඟිල්ල හදනකම් අපි සිකුරාදා නිවාඩුව ගත්තා. ඉදිරියටත් මේ ගොඩනැඟිල්ලට සිකුරාදාට නිවාඩු දිනයක් කරනවා නම් මං කැමැතියි කියල වපුචි මරික්කාර් කිව්වා. ඒ ආණ්ඩුකාරයා ආඥාවක් නිකුත් කළා සිකුරාදට කටුගේ වහන්ඩ කියලා. ජයවර්ධන මහතා මෙසේ ඉතිහාස පාඩමක් කෙළේය.

වපුචි මරික්කාර් මහතා විසින් ඉදිකරන ලද කොළඹ ගොඩනැඟිලි රාශියක් ගැන තොරතුරු සොයා ගැනීමට ද පසුව අවස්ථාව ලැබිණි. මරදාන දුම්රිය පොළ අවට පාලම්, කොටුව ප්‍රධාන තැපැල් කාර්යාලය, සහිරා විද්‍යාලයීය ගොඩනැඟිලි, ඔරලෝසු කණු ආදිය ඒ අතර වේ.

අදටත් කොළඹ කෞතුකාගාරයේ නිවාඩු දිනය සිකුරාදාය. එහෙත් මෙය වෙනස් වූ අවස්ථාවක් තිබේ. ශ්‍රී ලංකාවේ අන්තිම රජතුමාගේ ඔටුන්න සහ සිංහාසනය මහජන ප්‍රදර්ශනයට ‍තබන ලද අවස්ථාවේ සිකුරාදා දිනයේ ද කෞතුකාගාරය විවෘත කිරීමට තීරණය විය. වපුචි මරික්කාර් මහතාට වූ රජයේ පොරොන්දුව කඩකිරීමට මෙන්ම ඉස්ලාම් භක්තිකයනට වූ පොරොන්දුව කඩකිරීමට ද සිදුවන නිසා වපුචි මරික්කාර් පරපුරේ ජ්‍යෙෂ්ඨයා වූ ශ්‍රීමත් රසීක් ෆරීඩ් මහතාගෙන් පූර්ව අවසරයක් ගෙන කෞතුකාගාරය සිකුරාදාට විවෘත කිරීමට තරම් එදා රාජ්‍ය තන්ත්‍රය නිහතමානී විය.

ශ්‍රීමත් රසික තරීඩ් මහතා මෙන්ම ඔහුගේ පියා වූ වපුචි අබ්දුල් රහමාන් මහතා ද මෙරට දේශපාලනයට සම්බන්ධ ව සිටියහ.

ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන්ම ඔහුගේ පරපුරට අයත් සාමාජිකයෝ කීප දෙනෙක් ද ඔවුන් සතුව තිබූ කෞතුක භාණ්ඩ කොළඹ කෞතුකාගාරයට පරිත්‍යාග කළහ.

දෙවන ලෝක මහා යුද්ධය අවසන් වූ පසු ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පවත්වන ලද ජාත්‍යන්තර සමුළුවේ දී අනුමත කරගත් සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කෙළේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. එදා එතුමා සිය අත්සන සඳහා යොදාගත් පෑන ද කෞතුකාගාරයට පරිත්‍යාග කර ඇති භාණ්ඩ අතර වන බව කෞතුකාගාරයෙන් දැනගන්නට ලැබිණි.

වාමාංශික දේශපාලනයේ නිරත වූ අසෝකා පරණවිතාන පිලිප් - රොබට් දේශපාලනයේ අවංක අනුගාමිකයෙකි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ ද දැන හැඳුනුම්කමක් තිබිණි. මාම්පේ - කැස්බෑව ගම් සභාවේ සභාපති තනතුර ද දැරූ අවංක එඩිතර රණකාමි චරිතයකි.

ජීවිතයේ අවසාන කාලයේ ඔහු පුරාවිද්‍යාවට අයත් භූමියකට යාබද ආරණ්‍ය සේනාසනයක් දියුණු කිරීමටම කාලය කැප කෙළේය. මේ භූමිය වයඹ පළාතට අයත්ය. එහෙත් ආරණ්‍ය සේනාසනය සඳහා කිසිම බල කඩදාසියක් තිබුණේ නැත.

ආරණ්‍ය සේනාසනය සඳහා අක්කර පහක් වෙන් කර ගැනීම සඳහා ඔහු ජේ. ආර්. ජයවර්ධන මහතා හමු විය. “අක්කර පහක් මොකද ටිකක් වැඩියෙන් ඉල්ලන්න මං ජොන්ක්ලාස් මහත්මයාව පිටත් කරල සුදුසු තැනක් සොයල බලල ඉඩමක් දෙන්නම්. පුරාවිද්‍යා ඉඩම් දෙන්ඩ මට බෑ. ඒවා පුරාවිද්‍යාවට ඕනෑ කියල කියන්නෙත් තව පරණවිතාන කෙනෙක් (මහාචාර්ය සෙනරත් පරණවිතාන) ජේ. ආර්. කීවේය.

“මට සර් ඔය ඉඩකඩම්වලට දැන් තණ්හාවක් නෑ. මට වැඩියෙන් ඉඩම් එපා. අක්කරයක් දුන්නත් මං සතුටෙන් සර්ටත් පින් දීල බාර ගන්නවා” යැයි අසෝක පරණවිතාන කීවේය.

“හොඳයි සතියකින් එන්න” ජේ. ආර්. කීවේය.

සතියකට පසුව උදෑසනක ජේ. ආර්. නිවසට ගිය අසෝකා පරණවිතානට ජේ. ආර්. ජයවර්ධන මහතා මෙසේ කීවේය.

“මිස්ටර් පරණවිතාන, ජොන්ක්ලාස් මහත්තයා ගස්වැල්වලට ආදරේ කෙනෙක් එයා ගල්කුලමට කිට්ටුව භාවනාවට සුදුසු ඉඩමක් තෝරගෙන ආවා. ඒකට අවශ්‍ය ලියකියවිලි ගාමිණි දිසානායක මහත්තය සූදානම් කරල දෙයි. ඔන්න මං හරියටම අක්කර පහක් මැනල දෙනවා. මැනුම් ගාස්තුව ගෙවන්ඩ වෙයි. ඒකට සූදානම් වෙන්ඩ.”

“මං අක්කර පහට වැඩිය දෙන්නෙ නෑ. ඒ මොකද එතකොට සෝවාන් පලයෙන් එහාට යයි. අක්කර පහට අඩුවෙන් දෙන්නෙ නෑ. සෝවාන් නොවී අතරමඟ නතර වෙන්ඩ පුළුවන්. දැන් පුළුවන් සෝවාන් වෙලා ජීවිතේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්ඩ.

මොකද මේ ඉල්ලුම් පත්‍රයේ ලියල තියනවනෙ මේ ඉඩම අරගන්නෙ මේ ජිවිත කාලය තුළදීම සෝවාන් වීම සඳහාය කියල. ඉඩමෙ වැඩේ හරි. ඒ වුණාට පුරාවිද්‍යා ඉඩම කිසි දේකට පාවිච්චි කරන්ඩ බෑ” ජේ. ආර්. අවවාදයක් ද කෙළේය.

දිනේෂ් ගුණවර්ධන, ගාමිණි ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අසෝකා පරණවිතාන සහෝදරයාගේ ඉතාම කිට්ටු හිතවතුන් බව ද දනිමි. බලාපොරොත්තු වූ පරිදි ඔහුට ඉඩම ලැබිණි. සේනාසනයේ නම හෙළි නොකරමි. 

 

Comments