කොහොඹා කංකා­රියේ සැඟ­වුණු තොර­තුරු | සිළුමිණ

කොහොඹා කංකා­රියේ සැඟ­වුණු තොර­තුරු

ලංකාවේ යාගහෝම හා නැටුම් කලාවේ ආරම්භය ගැන කියන රසවත් කතා පුවතක් කොහොඹා කංකාරියේ එයි. පළමුව ඒ පුවත කෙටියෙන් බලමු. ලංකාවේ යක්ෂ බලය මැඬ එදා සිටි යක්ෂ රැජිණ වූ කුවේණී පාවාගෙන යක්ෂයන් වනසා ලංකාවේ පළමු රජු බවට පත්වූයේ වයඹදිග ඉන්දියාවේ සිට පැමිණි විජය කුමරුය. විජය ලංකාවට ආවේ ක්‍රි. පූ. 543 දීය. කලක් යන විට විජය රජුට දාව කුවේණී ජීවහත්ථ - දිසාල යනුවෙන් දරු දෙදෙනකු ලබා ඇත. ලංකාවේ රාජ්‍යත්වය ලබා ගැනීමට දකුණු ඉන්දියාවේ පඬිරට රාජ කුමාරිකාවක් පාවා ගන්නා ලෙස ඇමැතිවරු විජය රජුට බල කළහ. ඊට එකඟ වූ විජය කුවේණි හා දරු දෙදෙන රජවාසලෙන් නෙරපුවේය. යක්ෂයින් වැනසීමට කුවේණී විජයට උදවු කළ බැවින් ඉතිරි ව සිටි යක්ෂයෝ ඇයට වෛර කළහ. කුරුණෑගල නුදුරු යක්දෙස්සාගල කඳු මුදුනට ගිය කුවේණී - විජය ඇතුළු ආර්ය රාජ පරපුරට තදින් ශාප කොට එයින් බසින විට යක්ෂයෙකුගේ පහරකින් ඈ මළාය. කුවේණී ආර්ය රජුන්ට ශාප කළ කඳු මුදුන අදත් “ළතෝනිගල” නමින් හැඳින්වෙයි. මවගේ මරණයෙන් පසු ජීවහත්ථ හා දිසාල සමනළ අඩවියට පලා ගොස් සැඟවුණේය. මහාවංශය අනුව වැද්දන් පැවත එන්නේ ජීවහත්ථ හා දිසාලගෙනි. (ඓතිහාසික ව මේ කරුණ වැරදිය.) වැද්දන් පැවත එන්නේ අවුරුදු තිස් දහසක් පමණ පැරැණි බලංගොඩ මානවයාගෙනි.කුවේණී මියගිය පසු විජය රජු හා වෛරයෙන් විජයගෙන් පලි ගැනීමට දිවිදෙනක් වී උපන්නාය. විජය නින්දට යන විට මෙම දිවිදෙන ඉතා දිගු දිවක් මවාගෙන විජයගේ යහන දක්වා දිව දිගු කරයි. ඔහු ඒ ශාපය විඳිමින්ම මිය ගියේය.

විජය මියගිය පසු දඹදිව සිට ආ ශාක්‍ය වංශික පඬුවස්දෙව් කුමරු රජ විය. ඒ විජයගේ මරණින් පසු උපතිස්ස ඇමැති රටේ පාලනය ගෙන යද්දීය. උපතිස්ස නුවර රජ කළ පඬුවස්දෙව් රජුගේ අගබිසව වූයේ භද්දකච්චානාය. ටික දිනක් යන විට කුවේණිගේ දිවි දෝෂය පඬුවස්දෙව් රජුට එල්ල විය. දිවි දෙන දිගු දිවක් මවාගෙන පඬුවස්දෙව් රජු නිදන විට දිව දිගු කරයි. රජු නින්දෙන් බය වී නැඟිටියි. පඬුවස්දෙව් රජු දිවි දෝෂයෙන් විඳින ශාපය සක්දෙවිඳු දකියි. මේ දෝෂය දුරළීමට ඊශ්වර දෙවි මඟින් රාහුට පවරයි. රාහු විශාල ඌරෙකුගේ වෙස්ගෙන දඹදිව මල රජුගේ උයන වනසයි. මල රජු තම උයන වනසන ඌරා ගැන ආරංචි වී ඌ ලුහුබඳියි. මල රජුට බාල සහෝදරයෝ තිදෙනෙකු වූහ. කිත්සිරු / සඳසිරු / මලසිරු / ඒ තිදෙනාය. මල රජු සමඟ මෙම සහෝදරයන් තිදෙනා ද ඌරා ලුහුබඳියි.

ඌරා මුහුදට පැන උතුරුකරයේ මුහුද පීනා ලංකා රාජ්‍යයට ඇතුළු වෙයි. එවිට සක් දෙවි මල රජු ඉදිරියේ පෙනී සිට පඬුවස්දෙව් රජු දිවි දෝෂයෙන් මුදවා ගන්නා ලෙස ඉල්ලයි. මල රජු ඒ පිළිගෙන බමුණු වෙස් ගෙන ඌරා ලුහුබැඳ එයි. රට මැද හන්තාන කන්ද නුදුරු ගන්නෝරු කන්දට ආ ඌරා අතුරුදන් වෙයි. මල රජු ගන්නෝරු කන්දේදී විශාල යාගයක් කොට රජුට වැලඳී තිබු දිවි දෝෂය දුරලයි. ඒ නිසා පේරාදෙණිය නුදුරු ගන්නොරු කන්ද, මල රජු කළ ඒ යාගය නිසා අදත් ඒ දිවිදොස් කන්ද ලෙසින් හඳුන්වනු ලබයි. පැන ගිය ඌරා අතුරුදන් වූ කන්ද හන්තාන හෙවත් ඌරාගල කන්ද ලෙසින් ප්‍රසිද්ධ වෙයි.

ලංකාවේ විජය හා පඬුවස්දෙව් යන මුල් රජවරුන් දෙදෙනාට එල්ල වූ මේ කුවේණිගේ දිවිදෝෂය ජනකතාවක් ලෙස වැඩී ලියලා ගියේ කෝට්ටේ කල ලියැවුණු උතුරුමුල හිමිගේ “කුවේණි අස්න” ග්‍රන්ථයෙනි. ඉන්පසු මහනුවර යුගයේ නරේන්ද්‍රසිංහ රජු කල ලියැවුණු “සියඹා අස්න” ග්‍රන්ථයේ මේ කතාව තවත් ලියලා යයි. මේ ග්‍රන්ථ දෙක ම වෘත්ත ග්‍රන්ධි සිංහලෙන් ලිය වී ඇත. මල රජුගේ යාගයෙන් පඬුවස්දෙව් රජු සුව වූවා මෙන් කුවේණී අස්නෙන් කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1412 - 1467) හා සියබා අස්නෙන් නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි. ව. 1707 - 1739) ඇති සියලු පාප දෝෂ දුරු වී දේව පිහිට - ආරක්ෂාව ප්‍රාර්ථනා කෙරෙයි.

මහනුවර යුගය වන විට දිවිදෝෂ කතාව තවත් ලියලා යන්නට විය. “කොහොඹ කංකාරිය” යනු විශාල කංකාරියකි. මහා වින කැපීමකි. ලංකාවේ සිදු වූ පළමු මහා යාගය හෙවත් කංකාරිය කොහොඹ කංකාරියයි.

මේ යාගයේ දී කොහොඹ දෙවි මූලික ව පුද ලබන බැවින් ඒ පූජා උත්සවය “කොහොඹා කංකාරිය” යන නමින් හැඳින්වෙයි. ඒ හැර මේ යක්කමේ දී කන්දේ දෙවි - ඉරුගල් බණ්ඩාර - වීරමුණ්ඩ මෙන් ම කඩවර දෙවි ද පූජා ලබයි.

(කඩවර යනු එක් දෙවියෙකු නොව දේව රාශියක එකතුවකි.)

කොහොඹා කංකාරිය ලංකාවේ ශාන්ති කර්මවල මෙන් ම උඩරට නැටුම් කලාවේ ද මුල් උත්පත්තියයි. කොහොඹ කංකාරිය ගැන පර්යේෂණ ග්‍රන්ථ දහයක් පමණ ලියවී ඇත. ඉන් චාර්ල්ස් ගොඩකුඹුරේ ලිවූ ග්‍රන්ථය වඩාත් ශාස්ත්‍රීය වෙයි. තේජා ගුණවර්ධන ලිවූ ග්‍රන්ථය ද වැදගත් වෙයි. (කොහොඹා කංකාරියෙන් මහායාගයක් කොට දුරු කළ දිවි දෝෂය යනු මුල් කල වටහා ගැනීමට අසීරු වූ දරුණු බෝවන රෝගයක් වූ වසූරියයි. වසූරිය උග්‍ර වූ විට රෝගියාට දිවියන් සිහි විකල්ලෙන් දිස්වෙයි. 2015 ජනවාරි “වෛද්‍යවරයා” සඟරාවට මා ලිවූ ලිපියකින් මේ ගැන විස්තර කොට ඇත.

කොහොඹ කංකාරියේ පුද පූජාවල ආරම්භක භූමිය හතරකෝරලේ බව චාර්ල්ස් ගොඩකුඹුරේ කියයි. ඒ හැර උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව මුලින් ම මේ ශාන්ති කර්මය පැතිර ගිය බව චාර්ල්ස් ගොඩකුඹුරේ පැහැදිලි කරයි.

මල රජු කළ මේ කොහොඹ කංකාරියේදී වෙස් නැට්ටුවා වෙස් ඇඳුම් කට්ටලය ඇඳගෙන මල රජුගේ ඇඳුම් කට්ටලයෙන් අර්ධයක් ඇඟ පලඳියි. මේ අනුව උඩරට නැටුම් කලාවේ එන ඉහළම තත්ත්වය වූ වෙස් බැඳීම - වෙස් ඇඳුම් කට්ටලය මුලින් ම පැමිණ ඇත්තේ කොහොඹ කංකාරියේදීය. වෙස් ඇඳුම් කට්ටලය නැටුමට ඇඳ ඉන්පසු ගළවා කිළි නොගෑවෙන සේ දේවාලයක තැබීම පැරැණි වෙස් නැට්ටුවන්ගේ චාරිත්‍රය විය.

වෙස් ඇඳුම් කට්ටලයෙන් මල රජුගේ ඇඳුම් කට්ටලය / පායන හිරු සංකේතවත් වන බව තවත් අර්ථ විවරණවල එයි.

කොහොඹ කංකාරිය බොහෝ විට පවත්වන්නේ ගොයම් කැපු පසු මැදින් මාසයේය. පළපුරුදු නැට්ටුවෝ - බෙරකරුවෝ රාශියක් එකට එකතු වෙති. උඩරට නැටුමේ අග්‍ර ඵලය කොහොඹා කංකාරියයි. මුල් ම කාලයේ උස් ගොඩැල්ලක - කමතක මේ නැටුම දින කීපයක් නටා ඇත. නැටුමේ එක් එක් අංග පාලි යනුවෙන් හැඳින්වේ. එවැනි පාලි 23 කොහොඹ කංකාරියේ එයි. එදා ඒවා නැටීමට දින ගණනාවක් ගත විය. අද ඒවා කෙටි වී නවීකරණය වී ඇත. කොහොඹ දෙවි උත්පත්ති කතාව අංග දොළහකි. කොහොඹ කංකාරියේ ඉතිරි අංග කීපයක ඇති අංග ප්‍රමාණය පහත දැක්වෙයි. අයිලේ යැදීම - 16 / ඌරා කොටස් කිරීම - 02 / කළු කුමාර දෙවියන්ගේ කවි - 10

 

Comments

පිටු