කෙනඩිගේ අමුතු සතා | සිළුමිණ

කෙනඩිගේ අමුතු සතා

 අමෙරිකා එක්සත් ජනපදයේ 35 වැනි ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි ආන්දෝලනාත්මක සිද්ධි මාලාවකට මැදිව රට පාලනය කරමින් සිටියදී අභිරහස් මරණයකට ගොදුරු විය. ''.. Change is the law of life. And those who look only to the past or present are certain to miss the future..'' අතිතයේ ජීවත්වන පුද්ගලයාට අනාගතය මගහැරී යන බව ඔහු කීවේය. කුමන්ත්‍රණයක ගොදුරක්ව මරුමුවට පත්වීමට ටික කලකට පෙර හෙතෙම මෙසේ ද කීවේය. '' .. Forgive your enemies, but never forget their names..'' ඔබේ සතුරාට සමාව දෙන්න. එහෙත් කිසිදා ඔවුන් කවුදැයි අමතක නොකරන්න.

ජෝන් එෆ්. කෙනඩි විසින් උපුටා දක්වන ලද මෙවැනි අගනා ආප්තයන්ට වඩා මගේ සිත් ගත් ඔහුගේ උපමා කතාවක් ගැන නැවත සිහි ගැන්වීම කාලෝචිත යැයි සිතේ. ඔහු දේශපාලන රැළියක මහජනතාව අමතමින් මෙසේ කීවේය.

''.... මිත්‍රවරුනි, හරි පුදුම සතෙක් හිටියා. පුදුමයි කියන්නේ ඌ හිතා ගන්න බැරි තරම් දිගයි. අන්න ඒ නිසා උගේ ශරීරයේ මුහුණට දැනෙන සංවේදනයක් ශරීරයේ පසුපස කොටසට දැනෙන්නේ සෑහෙන කාලයක් ගත වුණාට පසුවයි. ඔන්න එක දවසක් ඔලුවට ම වැදුණු මරු පහරක් නිසා මුහුණ රතුවෙලා ඇස්වලින් කඳුළු වැටෙත්දී දරා ගන්න බැරි වේදනාවෙන් උගේ ඉදිරිපස කොටස මැරෙන්න වැටිලා හිටිත්දී ඊට බොහෝ කාලයකට පෙර ලැබුණු රසවත් ආහාරයක් නිසා උගේ වලිගය සතුටින් වැනෙමින් තිබුණා ලු. ...'' මෙසේ කී කෙනඩි මොහොතකට දෙනෙත් වසා ගෙන සිනාසුණේ ය. ඊට ටික කලකට පසු ඔහු අභිරහස් මරණයකට ගොදුරු වූයේ ඔහුගේ උපමා කතාවට ඔහුම නිදසුනක් වෙමිනි.

කෙසේ නමුත් කෙනඩි උපමාවට ගත් පුදුම සතා දැන් නම් අප හැමට ම වුවමනා නම් දැකිය හැකිය. අප ජීවත්වන මේ කාලය සහ මේ යුගය අර පුදුම සතාට හැමතින් ම සමාන ය. මේ යුගය ඊට අයත් සියල්ල ද සමඟින් මිය යමින් තිබේ. ඒ බව කල් තබා දකින ඇතැම්හු තැති ගනිති. ඇතැම්හු සතුටු වෙති. ඒ බෙදීම අනාගත යුගයේ හැඩ රුව කෙසේ වේද කියා ය. එහෙත් අති බහුතරයක් දෙනා මේ දෙකොටසට ම අයත් නොවෙති. ඔවුහු යුගයේ අවසානය නො දකිති. එහෙයින් ඔවුන්ගේ සතුට හෝ වේදනාව යන දෙකෙන් කුමක් වූවත් එය නිසැකයෙන් ම විහිළුකාරී වීම නො වැළැක්විය හැක්කේ මොළේ මිය ගිය ශරීරයක දෙපාවලට සපත්තු පැළැඳීම සිනාවට නිමිත්තක් වන හෙයිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වන්නේ යුගයක අවසානය සනිටුහන්ව තිබියදී ය. අති බහුතරයක් දේශපාලන පුරෝකතන - ජනමත සමීක්ෂණ සහ ජ්‍යොතිෂ අනාවැකි පමණක් නොව අමෙරිකා එක්සත් ජනපදයේ බහුතරයක් ජන්දදායකයන්ගේ විශ්වාසය ද අනාථ කරමින් ඔහු ජය ගත්තේ යුගය මතු නොව ඊට අයත් අධිපතිවාදී දැනුම් හා මතවාද ලෝකය ද මිය ගොස් ඇති බව මොනවට ඔප්පු කරමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය අහම්බයක් හෝ ඉතිහාසයේ වැරැදීමක් හෝ නොවේ. නුදුරු අනාගතයේ ට්‍රම්ප් ලා ලෝකයේ සෑම තැනෙකින් ම හිස ඔසවන්නට ගන්නා අතර ඔවුන් එකිනෙකා සමඟ මිතුරුව හෝ පසමිතුරුව හෝ ඔවුනොවුන් ගැටී මේ යුගය විනාශ කරනු ඇත. අනතුරුව එන ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යුගය නිර්මාණය කරනු ලැබේ. නාශක - ජනක යන චක්‍ර ද්විත්වය යොදා ගනිමින් ඉතිහාසය සෑම විට ම ක්‍රියා කැර ඇත්තේ එකම නියාමයක් අනුව ය. අපි එයට ඉතිහාසයේ දෛවය යැයි කියමු. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයේ දෛවය විසින් සිතාමතා ම තෝරා ගන්නා ලද්දෙකි.

ඉතිහාසය කිසි විටෙක ආපසු ගමන් කරන්නේ නැති බව සැබෑ එහෙත් අතීතය අනාගතය දෙසට ප්‍රක්ෂේපණය කළ හැකි ය. එවිට එක ම සිදුවීම යළි යළි සිදුවන බව පිළිගන්නට සිදුවේ.

මේ සටහන ආරම්භ කෙළේ ජෝන් එෆ්. කෙනඩිගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. අමෙරිකා එක්සත් ජනපදයේ අභිනව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රකාශයකින් එය අවසන් කරමු. ඔහු මෙසේ කීය.

'' .... නේටෝව යනු අමෙරිකාවෙන් යැපෙන සංවිධානයකි. ලෝකයේ වෙනත් රටවල කටයුතු සඳහා මින් පසු අපි අපේ හමුදා නො යවමු. ඔවුන්ට අපේ හමුදා සහය වුවමනා නම් ඊට නිසි ගාස්තුව ගෙවිය යුතුයි... ''

කෙනඩි සහ ට්‍රම්ප් අතර ඇති අසමානකම් අති විශාල ය. එහෙත් එක ම එක සිද්ධියක් සම්බන්ධයෙන් පමණක් ඔවුන් දෙදෙනා පුදුමාකාර ලෙස සමානවන ලකුණු විද්‍යමාන වෙයි. එය සොයා ගත හැක්කේ ඉතිහාසයේ දෛවයෙනි. කෙනඩිගේ අමුතු සතා අද සෑම තැනෙකින් ම පාහේ හිස ඔසවමින් සිටී. එනම් ඔළුව මැරුණු වලිගය නැටවෙන සත්ත්වයා ය. උගේ ඔළුව මළත් වලිගෙ නටයි .

කේ.සී.ජේ.රත්නායක 

Comments