ප්‍රේක්ෂකයන්ගෙනුත් ආදර යෝජනා එනවා | Page 2 | සිළුමිණ

ප්‍රේක්ෂකයන්ගෙනුත් ආදර යෝජනා එනවා

ක්ෂේත්‍රයේම කෙනෙක්ට මගේ කැමැත්තක් නැහැ

හදවත ලස්සන නම් එච්චරයි මට ඕන

 

ඇය කොතරම් කටකාර වුණත් හරිම හුරුබුහුටියි. කියවිල්ල අහන් ඉන්නත් ආසයි. දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ අසනිගේ හොඳම යෙහෙළිය සකුණි ලෙසින් රඟන ඇය ෂයිනි රෝචනා නෙත්තිකුමාර.

බොහෝ දෙනා ඇයව හඳුනාගත්තේ සංගීතේ ටෙලි නාට්‍යයෙන් වුවත් ඇය කලාවට පිවිස ඇත්තේ නම් අද ඊයේ නොවේ.

“සිරස නාලිකාවේ විකාශය වුණු ‘පුංචි පැංචි’ වැඩසටහනේ ප්‍රසන්ටර් කෙනෙක් විදියට තමයි මං කලාව හඳුනාගත්තේ. ඒ ගොඩක් පුංචි කාලේ. ‘සුජාතා’ කියන ළමා ටෙලි නාට්‍යයේ මලිති කියන චරිතය හරහා මං ටෙලි නාට්‍ය කලාවට සම්බන්ධ වුණා. නාලක ස්වර්ණතිලකගේ ‘දඟමල්ල’ වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු නිසා ටික කාලෙකට මට රංගනයෙන් ඈත් වෙන්න වුණා. උසස් පෙළ කළාටත් පස්සෙ තමයි නැවතත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ. ඔය අතරේ මොහාන් නියාස්ගේ ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒක තවම තිරගත වුණේ නැහැ. ඒකේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ (අඛිල ධනුද්දර) එක් බිසවක් වුණේ චුලක්ෂි රණතුංග අක්කා. එයාගෙ නැඟණිය තමයි මං. පස්සේ ඒ රජුගේ බිසවක් වෙන්න සිදු වෙනවා. ඒ ජම්මාල් කියන බිසව. මගේ පළමු සිනමා අත්දැකීම විදියට ඒකෙන් මට බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුණා.

සංගීතේ ෂූටින් කරන අතරේ සුපුන් රත්නායකගේ සහ සුරාජ් මාපාගේ අධ්‍යක්ෂණයෙන් යුත් අලුත්ම ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ අතර ධනුෂ්ක රේමන්ගේ අලුත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වුණා.

‘සංගීතේ’ සාරංග මෙන්ඩිස්ගේ නිර්මාණයක්. පුංචි කාලෙදිත් මං ඔහු සමඟ වැඩ කරලා තිබුණා. ‘හදවතේ කතාව’ කියන ටෙලි නාට්‍යයේ මගේ රංගනය දැකලා තමයි සාරංග අයියා මට ‘සංගීතේ’ ටෙලි නාට්‍යයට ආරාධනා කළේ. ‘සංගීතේ’ වගේම සමීර හසුන්ගේ ‘දාංගලේ’ කියන ටෙලි නාට්‍යයත් ගොඩක් ජනප්‍රිය වුණා. මුතු කුඩ කියන නාට්‍යයට වගේම පෝය ටෙලි කතාවලටත් දායක වෙන්න ලැබුණා.”

බොහෝ දෙනා ෂයිනිව හඳුනගත්තේ නම් කටකාර, හුරුබුහුටි සකුණි නිසා. පාසල් වේදිකාව ඇයට ලොකු පන්නරයක් ලබා දුන් බවයි ෂයිනි පවසන්නේ.

“මගේ පාසල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය. පාසල් වේදිකාව තමයි මට රංගනයට මඟ හදලා දුන්නේ. හොඳම සහාය නිළිය වගේම හොඳම නිළිය සම්මානයත් සමස්ත ලංකා මට්ටමින් මට හිමි කර දුන්නේත් පාසල් වේදිකාව. ඒ ලබපු අත්දැකීම් ටෙලි නාට්‍ය රංගනයේ දී නුහුරු බව නැතිකර ගන්න මට ලොකු පන්නරයක් වුණා. නර්තනයත් හැදෑරුවා. ඒ පැත්තත් ඉදිරියේ දී ප්‍රගුණ කරගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා.”

රංගනය, නර්තනය කොතරම් ප්‍රගුණ කළත් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් වීමට නම් ඇගේ කැමැත්තක් නැහැ. ප්‍රාථමික අංශයේ ගුරුවරියක් වීමයි ඇගේ එකම බලාපොරොත්තුව.

“මගේ අම්ම, තාත්තා වගේම අයියත් ගොඩක් කැමතියි මං කලාව පැත්තෙන් ඉදිරියට යනවට. ඒත් මං කැමැති ගුරුවරියක් වෙන්න. මට ඕන ප්‍රාථමික අංශයේ ගුරුවරියක් වෙන්න. ඒ සඳහා මං දැනටමත් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. පුංචි ළමයි මට කොහොමත් ආදරෙයි. මං කැමතියි ඒ රැකියාවට.”

සංගීතේ සකුණි වගේම ෂයිනිත් තාම ගැළපෙන ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න බවයි පැවසුවේ.

“ප්‍රේක්ෂකයන්ගෙනුත් ආදර යෝජනා එනවා. ක්ෂේත්‍රයේ අය නම් මං ගැන හොඳටම දන්නවා. හැමෝම මට නංගි කෙනෙක්ට වගේ ආදරෙයි. හරියට බබෙක් බලාගන්නව වගේ තමයි හැමෝම මට සලකන්නේ. ආදරේ ගැන තාම අත්දැකීමක් නැහැ. ආදරේ සුන්දර හැඟීමක්. ඉතින් මට ගැළපෙන කෙනෙක් ලැබෙනකම් බලන් ඉන්නවා. මේ ක්ෂේත්‍රයේම කෙනෙක්ට මගේ කැමැත්තක් නැහැ. හදවත ලස්සන නම් එච්චරයි මට ඕන. එහෙම කෙනෙක් තමයි මං බලාපොරොත්තු වෙන්නේ.”

 

 

Comments