රජිනිකාන්ත්ගේ ‘ජේලර්’ ඉන්දියාවම කලඹයි | සිළුමිණ

රජිනිකාන්ත්ගේ ‘ජේලර්’ ඉන්දියාවම කලඹයි

දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මෙරට ප්‍රේක්‍ෂකයන් අතර ද අතිශයින් ජනප්‍රිය නළුවකු බව රහසක් නොවෙයි. ඔහුගේ චිත්‍රපට නැරඹීමට ප්‍රේක්‍ෂකයන් වැල නොකැඩී සිනමා ශාලා වෙත රොක්වන අයුරු බොහෝ විට දකින්න පිළිවන්. මේ දිනවල නැවතත් රජිනිකාන්ත්ගේ සිනමාපටයක් සිනමා රසිකයන් තුළ උන්මාදයක් ඇති කරමින් තිරගත වෙනවා. ඒ ‘ජේලර්’ නැමැති ඔහුගේ අලුත්ම සිනමාපටය යි. මේ වනවිට ඉහළම ආදායම් උපයමින් ප්‍රදර්ශනය වන ජේලර් 2023 වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ සිනමාපටය ලෙස වාර්තාවක් ද පිහිටුවා අවසන්. චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා තවමත් ගත වී ඇත්තේ දින 24ක් පමණක් බවත් මෙහි දී සඳහන් කළ යුතුයි. ‘ජේලර්’ එන්නට පෙර මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ දෙමළ සිනමාපටය ලෙස වැජඹුණේ මනි රත්නම් අධ්‍යක්‍ෂණය කළ, අයිශ්වර්යා රායි, කාර්ති, වික්‍රම්, ජයම් රවි වැනි නළු නිළියන් රඟ පෑ ‘පොන්නියින් සෙල්වන්-2 ’ චිත්‍රපටය යි.

රජිනිකාන්ත්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ පසුගිය අගෝස්තු 10 වැනි දින යි. එය තිරගත වන්නටත් පෙර සිටම ප්‍රවේශපත් විශාල වශයෙන් අලෙවි වෙමින් තිබූ බව වාර්තා වුණා. අෙමරිකාව වැනි රටවල ද මෙම තත්ත්වය දකින්නට ලැබුණු බවයි සඳහන් වුණේ.

‘ජේලර්’ තිරගත වීම ආරම්භ වූ දිනයේ තමිල්නාඩුවේ රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ට නිල නොවන ආකාරයෙන් නිවාඩු ලබා දී තිබුණාලු! ඒ පළමු දිනයේම චිත්‍රපටය නරඹන්නට ආසාවෙන් පසු වූ ප්‍රේක්‍ෂකයන්ට ඒ සඳහා අවස්ථාව සලසා දීම සඳහා යි. රජිනිකාන්ත්ගේ රසික රසිකාවියන් ගිනිකෙළි දල්වමින්, නටමින් වයමින් චිත්‍රපටයේ තිරගත වීම සමරන ආකාරය ද මාධ්‍ය වාර්තා කර තිබුණා. මැද පෙරදිග ඇතැම් රටවලත් පාන්දර 4.30ට පවා දර්ශන වාර පැවැත්වෙන බැව් සඳහන්.

උද්වේගකර ජවනිකාවලින් පිරි වේගවත් සිනමාපටයක් වන ‘ජේලර්’ හි රජිනිකාන්ත් රඟපාන්නේ මුතුවෙල් පාණ්ඩියන් නමැති චරිතයක්. ඔහු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියෙක්. මුතුවෙල්ගේ පුතා අර්ජුන් පොලිසියේ ඉහළ නිලධාරියෙකු වන අතර ඔහු බිහිසුණු දාමරික කල්ලියක නායකයකු පිළිබඳ විමර්ශනයක් කරමින් සිටිනවා. මෙම දාමරික නායකයා කොටු කර ගැනීමට ආසන්න වෙත්ම අර්ජුන් හිටිහැටියේ අතුරුදන් වෙනවා. ඔහු ඝාතනය කර ඇති බවයි පෙනෙන්නේ. ජේලර් චිත්‍රපටයට පසුබිම් වන්නේ මුතුවෙල් පාණ්ඩියන් තම පුතුගේ ඝාතකයන් හඹා යාම පිළිබඳ කතාවයි.

රජිනිකාන්ත්ට අමතරව තවත් ජනප්‍රිය නළු නිළියන් කිහිප දෙනෙකුම මෙහි රඟපෑමත් ‘ජේලර්’ හි ආකර්ෂණීය බවට හේතුවක්. මෙකල මලයාලම් සිනමාවේ ජනප්‍රියම නළුවකු වන මෝහන්ලාල් ද ‘ජේලර්’ හි කෙටි චරිතයක් රඟපානවා. බොලිවුඩ් නළු ජැකී ෂ්රෝෆ් මෙහි රඟපාන තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

මෙම සිනමාපටයේ රඟපෑම සඳහා රජිනිකාන්ත් ඉන්දියානු රුපියල් කෝටි 110ක මුදලක් අය කර ඇති බවටත් කතාවක් තිබෙනවා. එය ලංකා මුදලින් රුපියල් කෝටි 430කට ආසන්න යි.

රජිනිකාන්ත්ගේ වයස මේ වනවිට අවුරුදු 72ක්. නමුත් තවමත් ඔහු ඉන්දියානු සිනමාවේ කාර්යබහුලම නළුවෙක්. බොහෝ දෙනා පවසන්නේ ඔහුගේ සැබෑ වයස කියන්නට බැරි බවයි. ජේලර් චිත්‍රපටයේ දී පවා මේ බව දැකිය හැකියි. වේෂ නිරූපණයට අමතරව රජිනිකාන්ත් අනුගමනය කරන ආහාර රටා වැනි කාරණා ද ඔහුගේ ‘තරුණ’ පෙනුමට වග කියන බවයි සඳහන් වන්නේ. රජිනිකාන්ත් ඔහුගේ ආහාර සම්බන්ධයෙන් විශාල විනයක් සහිත කෙනෙක්. ඔහු නිතරම කාබනික ආහාර භාවිතයට ගන්නා බව සඳහන්. එමෙන්ම භාවනා කිරීම සඳහාත් ඔහු ලොකු කාලයක් යොදවන බව පැවසෙනවා.

රජිනිකාන්ත්ගේ ජීවිත කතාවත් චිත්‍රපටයක් මෙන්ම අපූරු සිදුවීම්වලින් පිරුණු එකක්. වයස අවුරුදු 25දී සිනමාවට පිවිසෙන්නට පෙර රජිනිකාන්ත් විවිධ රැකියාවල නිරතව සිටි අතර කලක් ඔහු බැංගලෝරයේ බස් කොන්දොස්තරවරයකු හැටියටත් කටයුතු කළා. එකල ඔහු වේදිකා නාට්‍යවල රඟපාමින් තම රංගන හැකියාවන් මුවහත් කරගත් බව පැවසෙනවා. මේ කාලයේම වාගේ රජිනිකාන්ත් මදුරාසියේ සිනමා ඇකඩමියකට බැඳී චිත්‍රපට රංගනය හැදෑරීමට සූදානම් වුණා. නමුත් ඔහුගේ පවුලේ අය ඊට වැඩි කැමැත්තක් දක්වා නැහැ. එම අවස්ථාවේ ඔහු දිරිමත් කරමින් කටයුතු කර ඇත්තේ ඔහු සමඟ එකට රැකියාව කළ රාජ් බහදූර් නමැති මිතුරෙක්. ඒ කාලයේ රාජ් රජිනිකාන්ත්ට මුදල් හදල්වලින් ද උදව් කළ බව පැවසෙනවා. ඉන්දියාවම වසඟයට ගත් නළුවකු බවට පත් වීම දක්වා රජිනිකාන්ත් ආ ගමන පටන් ගත්තේ මේ ආකාරයෙනු යි.

Comments