ඔබේ හිත ළඟ මා නැතුව ඇති ඒත් මගෙ හිත පුරා ඔබ ඇති සුනිලාගේ අලුත්ම ගීතය | සිළුමිණ

ඔබේ හිත ළඟ මා නැතුව ඇති ඒත් මගෙ හිත පුරා ඔබ ඇති සුනිලාගේ අලුත්ම ගීතය

එකම එක හාදුවක් නැති හීනයක්
එකම පෙම්පත තාම කියවන මහ පොතක්        
කල්පයක් කල් පැරණි ඉපැරණි ප්‍රේමයක්
අතින් අතවත් අල්ලලා නැති ප්‍රේමයක්
 
මෙසක්වළ ඔබ කොහේ හෝ ඇති
කුලගෙදර තුළ සිත් තොසින් ඇති
ඔබේ හිත ළඟ මා නැතුව ඇති
ඒත් මගෙ හිත පුරා ඔබ ඇති
 
හීනියට හිත කොනිති ගහ ගහ
තාම ඔබ මා ළඟ ඉන්න හැටි
තනි යහන පිට රෑ පුරා  මම                            
ගොතන සෙත් කවි ඔබ දන්නෙ නැති
 
ගායනය  -  ලක්ෂ්මන් හේවාවිතාරණ
පද රචනය -  සුනිලා විජේසිංහ
සංගීතය - නවරත්න ගමගේ

ප්‍රේමය විවිධාකාරයි. කාලය වෙනස් වීමත් සමඟ ප්‍රේමයේ විඳීම ද අත්දැකීම් ද අද වන විට විවිධාකාර වී තිබේ. ගීත ලෝකයේ ප්‍රේමය ගැන ලියැවුන ගී බොහෝය. මේ බොහෝ ගී අතර ඇසුන මේ ගීතය අප ගෙන යන්නේ අදින් වසර තිහ හතළිහකට එහා අතීතයකටය.

යුගයක වෙනස මැනවින් මතුකර පෙන්වා දෙන මේ ගීතය ලියන්නේ සුනිලා විජේසේකර ය. කිවිඳියක, පරිවර්තිකාවක සේම පුවත්පත් ලේඛිකාවක ද වන ඇය වෘත්තියෙන් ගුරුවරියකි. අද වන විට විශ්‍රාමික ගුරුවරියක වන ඇය සිය කාලය සම්පූර්ණයෙන්ම යොදා ඇත්තේ ලිවීමට සහ පොත පත කියවීමටය.

ඇය ප්‍රකට පුවත්පත් ලේඛකයකු මෙන්ම නවකතා රචකයකු වූ නැසීගිය චන්ද්‍රසිරි දොඩංගොඩ ලේඛකයාගේ ප්‍රිය බිරිය ය.

යොවුන් වියේ සිටම කවියට පෙම්බැඳි ඇය විසින් ගීත දහයක් පමණ රචනා කර ඇත . ඒ ගී අතරින් පුන්‍යා කත්‍රිආරච්චි ශිල්පිනිය විසින් ගයන “මා ඔබ මුණගැසුන අයුරු සිහි කරන්න එපා...“ ගීතය අදට ජනප්‍රියය.

“එකම එක හාදුවක් නැති හීනයක් 
එකම පෙම්පත තාම කියවන මහ පොතක් 
කල්පයක් කල් පැරණි ඉපැරණි ප්‍රේමයක් 
අතින් අතවත් අල්ලලා නැති ප්‍රේමයක්“

මේ පද කියවන විට සැබැවින්ම අපට මැවෙන්නේ අද කාලයේ පෙම් යුවලක් නම් නොවේ. අද නම් ජංගම දුරකතන අත නැති තරුණියක, තරුණයකු සොයා ගැනීම ද දුර්ලභය. ඒ තරමටම යෞවනයෝ සිටින්නේ නව තාක්ෂණය සමඟය. එමෙන්ම මේ යුගයේ න් අතින් අත අල්ලා නැති , එකම එක හාදුවක්වත් නොදුන් පෙම්වතියක් පෙම්වතෙක් හමු වුණොත් හමු වන්නේ මීට දශක කිහිපයකට කලින් ලියැවුන ප්‍රේමකතාවක පමණි. කාය ඒ තරම්ම වෙනස්ය. අතින් අතවත් අල්ලලා නැති ප්‍රේමයක් ගැන ලියූ සුනිලා ගීතය ගැන අපට කියන්නේ මේ වගේ කතාවක්. 

“මම කාලයක් තිස්සේ, ඒ කියන්නේ මම පාසල් වියේ ඉඳලම කවියට පෙම්බැන්ඳ කෙනෙක්. මම මගේ තරුණ වියේදිත් කවි ලිව්වා. පුවත්පත්වලට කවි ලිව්වා. විශේෂයෙන්ම යොවුන් ජනතා පුවත් පතට ලිව්වා. ඒ දවස්වල ධර්මසිරි ගමගේ මහතා මුල්වී ඇරඹු යොවුන් “පහන් වැට“ නිර්මාණ කේන්ද්‍රයේ සාමාජිකාවක් මමත්. ඒ අතර කවි පොතුත් කළා. ගුවන් විදුලි රඟමඩලට කතාත් ලිව්වා. ඒ අතර කනිටු සරසවිය, සොඳුරු සෙවණ, ආදි ගුවන් විදුලි වැඩසටහන්වලට කවි ලිව්වා. මට අද වෙනකම්ම කවි ලිවීම අත්හරින්න බැරිව ගියා. මේ ගීතයේ පුංචි අත්දැකීමක් තියෙනවා මට වෙච්ච. ඒ කාලේ අපට දුරකතන නැහැ. ඒ නිසා කාටවත් හදිසි පණිවුඩයක්වත් කියන්න ක්‍රමයක් නෑ. ලියුමක් ලියන්නමයි වෙන්නේ. මම යාළුවෙක් දකින්න යන්න සූදානම් වෙලා හිටියේ. එදා හැන්දෑවේ චන්ද්‍රසිරි දොඩංගොඩයි, ඔහුගේ පවුලේ අයයි ආවා දළදා මාළිගාව වදින්න යන්න කියලා. මම ඔවුන් සමඟ ගියා. අර මිතුරාට පණිවුඩය දෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. අපි මාළිගාවට ගිහිල්ලා ගෙදර ආවා. එතකොට හවස් වෙලා. ඒ ගිහින් එනකොට ඒ යාළුවා යන්න ගිහිල්ලා. ඉන් පස්සේ අපි කවදාවත් හමුවුණේ නැහැ. ඕක මගෙ හිතේ කාලයක් තිබුණා. ඒ තිබුණේ දුකක් ද පසුතැවීමක් ද කියන්න අදටත් තේරෙන්නේ නැහැ. ඒ අත්දැකීම තමයි “එකම එක හාදුවක් නැති හීනයක්“ කියලා ලියැවුණේ. මේ පද ටික මා මගේ යෙහෙළිය යමුනා මාලනීට පෙන්නුවා. ඇය තමයි කිව්වේ අපි මේ ලක්ෂ්මන්ට දෙමු කියලා. ඔහු ඉතා කැමැත්තෙන් මෙය ගයන්න භාර ගත්තා. සංගීතවේදී නවරත්න ගමගේගේ සංගීතයෙන් හැඩ වුණ ගීතයට ලක්ෂ්මන්ගේ හඬ මුසුවීමත් එක්ක අමුතු හැඩයක් ගත්තා“

ගීතය පිළිබඳ සුනිලා පවසන්නේ එවන් අදහසකි.

“අපේ ගම වුණේ කිතුල්ගල ඉංගිරියවත්ත කියන ප්‍ර‍ෙද්ශය. අපේ පවුලේ අයියයි අක්කලා දෙන්නයි මමයි හිටියේ. අම්මා අපිව බලාගත්තා. තාත්තා සමසමාජ පාක්ෂිකයෙක්. අපේ තාත්තා ඇන්.ඇම් .පෙරේරා මහතා සමඟ තද යාළුකමක් තිබුණා. තාත්තා ඒ කාලේ පත්තර පොත් සඟරා ගේනවා. පත්තරේ අකුරක් නෑර කියවනවා. ඒ කාලේ අද වගේ විදුලියත් නෑනේ ලාම්පුව පත්තු කරගෙන රෑ නිදිවරාගෙන අපිත් පොත් පත්තර කියවනවා. ඒ කාලේ කැලණි ගඟ අපට ගොඩාක් සමීපයි. කවියට පත්තරවලට තිබුණ ආදරය නිසාම තමයි පහුකාලීනව මම චන්ද්‍රසිරි දොඩංගොඩ සමඟ විවාහ වෙන්නෙත්. ඔහු පොතට පතට කවියට පත්තවලට බොහෝම ඇළුම්කළ කෙනෙක්. “

සිය සැමියාගේ වියෝවෙන් පසු සිය පුතු සහ මව සමඟ ජීවත් වූ සුනිලා දැන් තනිකඩය. ඒ පුතු විදේශ ගතවීමත්, මවගේ වියෝවීමත් සමඟය. නමුදු කාලය අපතේ නොහරින ඇය තවමත් ලියන්නීය. සිය සැමියා විසින් ලියන ලද පොත පත සුරකින්නීය. ඇය ජීවිතයේ හුදකලා බව නැති කරගන්නේ තම සිතෙහි නැඟෙන සිතුවිලිවලට නව පණක් දෙමිනි.

“එකම එක හාදුවක් නැති හීනයක්...“ ගීතය ද අගේ හිතේ පාළුවට කාන්සියට ලියැවුණ ගීතයකි. මේ ගීතය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතරණ පවසා සිටියේ මෙවැනි අදහසකි.

“මම මේ පද ටිකට හරිම කැමැතියි. මේ පද ටික ලැබුණ ගමන් මම එයට කැමැති වුණා. කාලයක් තිස්සේ මගේ හිතෙත් තිබුණ අදහසක් මේ. අපි ආදරේ කරන අයට අපිව මතක නෑ. එක්කෝ අපි ආදරේ කරන අයට අපිව දැනෙන්නේ නෑ. සමස්තයක් හැටියට මේ ගීතයට මං කැමැති වුණා. අත්තටම සොයුරිය සුනිලා බොහෝම ප්‍රවේශමෙන් වචන භාවිත කරලා තියෙන්නේ.

“ඔබේ හිත ළඟ මා නැතුව ඇති

ඒත් මගෙ හිත පුරා ඔබ ඇති“ මේ මට නිතර හිතුණ දෙයක්. එය ඇය හරි අපූරුවට පද ගළපලා තියෙනවා.

Comments