කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

දේශීය ආර්ථිකයට නව ප්‍රවේශයක්

මාළුවකු වෙනුවට බිලී පිත්තක් දෙන්නට සූදානම් 75 වැනි අයවැය පසුගිය 18 දා මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිවරයා විසින් ඉදිරිපත් කළේ ය. නව අයවැයේ අපේක්ෂාව සියයට හයක ආර්ථික වර්ධනයකි. අයවැය පරතරය සියයට නවයේ සිට සියයට හතර දක්වා වාර්ෂිකව අඩු කරගැනීමට ද අපේක්ෂා කරන බව එකී කතාවේ සඳහන් කෙරිණි. මේ වන විට රටේ ණය බර ජාතික ආදායමෙන් සියයට අනූවකි. ඒ ප්‍රතිශතය සියයට හැත්තෑව දක්වා අඩු කර ගැනීම ද රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.

කොරෝනා වසංගතයෙන් ලෝකය ම පීඩා විඳිද්දී එහි පීඩාව සිය ආර්ථිකයට පීඩාවක් නොකර ගන්නට රජය දරන මහන්සිය මේ අයවැයෙන් ප්‍රකට වෙන බව ප්‍රවීණ ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. අපට මේ අයවැයේ ඇති ඉලක්ක දෙස බැලීමට සිදු වන්නේ ද එවැනි පසුබිමක සිට ය. ලෝකයේ ම කොරෝනා වසංගතය තිබුණත් රටක් ලෙස මේ වසංගතය ඉක්මනින් පාලනය කරගෙන නැවත දේශීය ආර්ථික කටයුතු වේගවත් ලෙස පණ ගන්වා ගත හැකි නම් අපට මේ කියන ඉලක්කවලට ළඟා වීම යථාර්ථවාදී යැයි සිතිය හැකිය.

පවතින කොවිඩ් වසංගතය හමුවේ රට යළි නඟා සිටුවීම සඳහා කළ හැකි සුවිශේෂම කාර්ය වන්නේ නිෂ්පාදන ආර්ථිකයක් සහිත ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කිරීම බව පසුගිය කාලය පුරා සපථ වූ කාරණයකි. රජයේ මූලික අවධානය යොමු වී ඇත්තේ දේශීය ආර්ථිකය කෙරෙහි ය. වඩාත් පැහැදිලි ව කිවහොත් දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය සංතෘප්ත මට්ටමකට ගෙන එමින් ඒ ඔස්සේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීමට උපාය මාර්ග සකසා ඇත. ග්‍රාමීය කෘෂි ආර්ථිකය දියුණු කිරීම, සේවා අංශය පුළුල් කිරීම, අපනයන ක්ෂේත්‍රය නඟාසිටුවීමට පියවර ගැනීම, සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර දියුණු කිරීම අයවැය ලේඛනයේ ඉලක්ක ලෙස පවතී. සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර ද කර්මාන්ත ද නඟා සිටුවීමෙන් විශාල පිරිසක‍ගේ ජීවන මට්ටම ස්ථාවර තත්ත්වයකට ගෙන යා හැකිය.

ජගත් ආර්ථික සංවිධානවල උපදේශනය වන්නේ කොවිඩ් තත්ත්වය ඇතුළත සෑම රාජ්‍යයක් ම දේශීය සම්පත් හා දේශීය ආර්ථීක විභවතා කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්විය යුතු බව ය. මේ උපදේශනය රජය පිළිගෙන තිබේ. ඒ හැරත් ජනාධිපතිවරයා‍ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික සැලසුමට මූලික වශයෙන් පාදක කරගෙන ඇත්තේ ද දේශීය ආර්ථිකයේ පුළුල් හා විධිමත් සංවර්ධනයයි. ඒ අනුව රජයේ දිගුකාලීන ආර්ථික දැක්ම ද නව ආර්ථික උපාය මාර්ග ද කාලයේ තාලයට ඉතා හොඳින් ගැළපෙයි. මේ අයවැය ලේඛනයේ මූලික නිර්දේශ 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට ද නියමිත ය. ආර්ථිකයේ නිත්‍යතාව යන්න සංවර්ධනයට අදාළ පිළිගත් සාධකයකි. අයවැය ලේඛනය සකස් වී ඇත්තේ ඒ සියල්ල පර්යාලෝකනය වන පරිද්දෙන් ය. රටට කිරිපිටි ආනයනය සඳහා වාර්ෂිකව වැයවෙන මුදල රුපියල් බිලියන 55 කි. මෙම මුදල අඩුකර ගැනීම සඳහා දියර කිරි නිෂ්පාදනය දිරිමත් කිරීමට මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබීම පැසසිය යුතු කරුණකි. එසේම පිටරටට කිරිපිටි මිලදී ගැනීමට ගලා යන විශාල මුදල් කන්දරාව ඉතිරිකර ගැනීම සඳහා දේශීය කිරි ගොවීන් සහ නිෂ්පාදකයන් සවිබල ගැන්වීමට අයවැයෙන් යෝජනා ගෙන ඒමද කාලෝචිත ය. කාලයක් තිස්සේ අප රටේ පවතින කිරිපිටි මාෆියාව බිඳ දැමීමට හැකි වුවහොත් එය වත්මන් රජය පමණක් නොව ජනතාව ද ලබන ජයග්‍රහණයක් වනවාට සැක නැත.

ආර්ථික කටයුතු අකර්මණ්‍ය වූ විට එය රජයේ බදු ආදායමට ද බලපායි. එසේම කොරෝනා වසංගතය හමුවේ රජය නොයෙකුත් සහන ද ජනයාට ලබා දී ඇත. කොරෝනා වසංගතයට පෙර රජය වැට් බද්ද සියයට 8 දක්වා අඩු කළ අතර එය මෙවර අයවැයෙන් ද නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. ‘යහපාලන‘ අයවැයෙන් පන්සලේ පින් පෙට්ටියේ සිට කොන්ද බර වෙන තෙක් ගැසූ බදු ගැන හාංකවිසියක් මතක නැති විපක්ෂය අයවැය විවේචනය කරද්දී සිනහ යන්නේ ඒ නිසා ය.

කොරෝනා වසංගතය හමුවේ මේ වසරේ මහ බැංකුව අපේක්ෂා කරන ආර්ථික වර්ධනය සියයට සෘණ 1.7 කි. මෙය මහ බැංකුව පුරෝකතනය කළේ ඔක්තෝබර් මාසයේ අග දී නිකුත් කළ ‘මෑතකාලීන ආර්ථික ප්‍රවණතා’ වාර්තාවෙනි. එහෙත් කොරෝනා දෙවැනි රැල්ලේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග හමුවේ නැවත ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑම් ඇතිව තිබේ. මේ තත්ත්වය ආර්ථික කටයුතු පණ ගන්වා ගැනීමට අහිතකර ලෙස බලපාන බව ඕනෑම පොඩි එකකුට වුව තේරේ. මේ නිසා බොහෝ විට මේ වසරේ මහ බැංකුව අපේක්ෂා කරන අගයට වඩා ආර්ථික සංකෝචනයක් එනම් සියයට සෘණ 1.7 කට වැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති. මේ නිසා රජය මේ අයවැයෙන් ඉලක්ක කර ඇති සියයට 5.5 ක ඉහළ ආර්ථික වර්ධනය ලබා ගැනීම අභියෝගාත්මක ඉලක්කයකි. වඩා වැදගත් වන්නේ රටක් ලෙස අපට අප දෙපයෙන් නැඟී සිටීමට අවැසි ශක්තිය සම්පාදනයයි. නායකයකු සිටිය යුත්තේ ඒ වෙනුවෙනි. මේ ඒ පදනම සැකසීමේ ලා පසුබිම් මෙහෙයුමයි.

පාන් ගෙඩිය තුනයි පනහට දෙන්නම් කියද්දී ඡන්දය දුන් කාලය දැන් ඉතිහාසයේ මතකයක් පමණී. සැමන් ටින් එකට, පරිප්පු දෙසිය පනහට, පිටි කිලෝ එකට ඡන්දය දෙන අය අද නැත. අනාගතය උදෙසා ආයෝජනමය නායකත්වයක් වැඩි ඡන්දයෙන් ජනතාව පත් කර ගත්තේ ඒ නිසා ය. විපක්ෂය මොනවා කිව්වත් සහන මල්ලට හෝ සිල්ලර බඩු මල්ලට රැවටෙන ජනතාවක් දැන් නැත.

1964 ජූලි 30 වැනිදා තම මංගල අයවැය ලේඛනය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරමින් පැවැත් වූ දීර්ඝ කතාවේදී මෙරට බිහි වූ විශිෂ්ට ගණයේ මුදල් ඇමතිවරයකු සහ ආර්ථික විද්‍යාඥයකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා පැවසූ දෙයක් මෙහිලා සඳහන් කළ යුතු යැයි සිතුණේ මේ දෙකෙහි සාම්‍යයක් දිස් වෙන බැවිනි.

“සෞභාග්‍යය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කමක් නැහැ. මා දන්නා එකම හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ නානා අංශවල සිටින අප සියලු දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවේත් අනාගත පරම්පරාවේත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇපකැපවී සේවය කළ යුතුයි.”

මාළුවකු වෙනුවට බිලී පිත්තක් දුන් මේ අයවැය ගැන අදට වඩා හෙට කතා කරනු ඇතැයි අප කියන්නේ ඉහත පුරෝකතන ආදර්ශයට ගනිමිනි.

Comments