මගෙ අනාගත ආදරවන්තයා කොහේ හරි ඉඳන් මේ ලිපිය කියවාවි | සිළුමිණ

මගෙ අනාගත ආදරවන්තයා කොහේ හරි ඉඳන් මේ ලිපිය කියවාවි

- දැන් ඉහළ පිළිගැනීම් ලැබුණත් ඊට කලින් ඉහළ ප්‍රතික්ෂේප වීම් මට ලැබිලා තියෙනවා
- තොප්පිය නැති වුණත් අපි ඔයාව හඳුන ගත්තා සිංදුවේ කොටසකුත් කියන්නකො කියලා පොලිසියෙන් කිව්වා
- අපි බලාපොරොත්තු වුණේ නැහැ මේ තරම් වයිරල් වෙයි කියලා තාමත් කට්ටිය ටික් ටොක් කරනවා

"කවුරුත් නැති තැන ලංවෙමු අපි

ගේ මැද සාලේ

වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ"

මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයක්. මේ ගීතය ලියන්නේ හර්ෂණ කේ පෙරේරා, සංගීතවත් කර තිබෙන්නේ Evo beats. ගීතය ගයන්නේ නව පරපුරේ ගායිකාවක් වන අමන්දි සුලෝචනා. මේ කතාබහ අමන්දි සුලෝචනා විජේසිංහ සමඟින්.

අලුත් ගීතයට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

සිංදුව රිලීස් කරලා සති දෙකක් වගේ කාලයක් වෙන්නෙ. මේ වෙද්දී මිලියන 1.5කට එහා ප්‍රේක්ෂකයන් පිරිසක් සිංදුව නරඹලා තියෙනවා. ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ගැන හරිම සතුටුයි. මෙහි සම්පූර්ණ ගෞරවය පිරි ස්තූතිය හිමිවෙන්න ඕනේ අපේ ගෙදර අයට, දෙසවන ටීම් එකේ ඩිරෙක්ටර් කසුන් අයියා, දෙසවන කෘෘ එකේ හැමෝටම සහ සහයෝගය දුන්න සැමට.

මේ අමන්දිගේ පළමුවෙනි සිංදුවද?

මීට අවුරුදු හතරකට පෙර සිංදුවක් කළා. ඕඩියෝ එක විතරයි අවුට් කළේ. මේ මගේ දෙවන සිංදුව. ඒ එක්කම කියන්න ඕනේ රූප රචනාවක් එක්ක කරපු පළවෙනි සිංදුව.

අමන්දි කොහොමද සංගීතයට යොමු වෙන්නෙ

මගේ අම්මා පෙර පාසල් ගුරුවරියක්. මම ඉපදෙන්න ඉන්න කාලේ ඉඳන්ම අපේ අම්මා සිංදු කියනවා. මමත් පුංචි කාලේ ඉඳන්ම දැක්කෙ අම්මා පොඩි ළමයි වටකරගෙන සිංදු කියන නටන විදිය. ඒ නිසා මමත් ආස කළා පෙරපාසල් ගුරුවරියක් වෙන්න. මම පාසලේදි හැදෑරුවේ නර්තනය. ඒත් පාසලේ සංගීත තරගයකදී මම අම්මා උගන්වපු පද්‍ය ගායනාවක් කළා. එතැනින් පස්සෙ පාසලේ බොහෝ කලා කටයුතුවලදි මම ගායනයෙන් සම්බන්ධ වුණා. මම සංගීතය නොකළට පාසලේ බෑන්ඩ් එකේ සාමාජිකාවක්. පාසලේ නැටුම්, රඟපෑමට, සිංදු කියන්න මේ සියල්ලටම මාව ගත්තා. ඒවා තුළින් පාසලට ජයග්‍රහණ අරන් දුන්නා. සිංහල ඉංග්‍රීසි නාට්‍යයවල රඟපෑවා. මම ඉගෙන ගත්තේ කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී. බාලිකා පාසලක් නිසා පිරිමි චරිත කළෙත් අපිමයි. පාසල් වේදිකාවේ හොඳම නළුවට හිමි සම්මානය මට ලැබුණා.

අමන්දිගෙ වෘත්තිය වෙන්නෙ?

මම පෙරපාසල් ගුරුවරියක් විදියට කටයුතු කරන්නෙ. අම්මා තුළින් දැක්ක ඒ ගුරු වෘත්තියට මම හරි ආදරෙයි. ඒ නිසා කලා කටයුතු එක්ක ගුරු වෘත්තිය කරගෙන යනවා.

ජනප්‍රිය තලයේ ඉන්න අයත් අමන්දිගේ සිංදුවට ටික් ටොක් කරනවා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

අපි බලාපොරොත්තු වුණේ නැහැ මේ තරම් වයිරල් වෙයි කියලා. තාමත් කට්ටිය ටික් ටොක් කරනවා. හරිම සතුටුයි ඒ ගැන නම්.

අමන්දි කියන්නෙ නැටුමටත් දක්ෂ කෙනෙක්, තව මොන වගේ අවස්ථාවන් ද ලැබුණේ සිංදුව හරහා?

රටේ ඉන්න ජනප්‍රිය අධ්‍යක්ෂකතුමෙක්ගෙන් ආරාධනා ලැබුණා රඟපාන්න. මම වගේ පුංචි කෙනෙකුට ඒ වගේ ලොකු ආරාධනාවක් ලැබුණාම හිතාගන්න බැරි වුණා මොනවද කියන්නේ කියලා. ඒ වෙලාවේ මට ආපු සතුටට මට එකපාරටම උත්තරයක් දී ගන්න බැරි වුණා.

අමතක නොවන ප්‍රතිචාර ඇති?

මමයි අම්මයි හෝමාගම යද්දී පොලිසියෙන් නවත්තලා ලයිසන් චෙක් කළා. ඒ දේවල් බලලා යන්න යද්දි, ආයේ නවත්තලා ඒ අය කිව්වා "මට ඉන්න හිතුණා" එක කියන අමන්දි නේද කියලා. තොප්පිය නැති වුණත් අපි ඔයාව අඳුන ගත්තා. සිංදුවේ කොටසකුත් කියන්නකො කිව්වා. අන්තිමට සිංදු කොටසකුත් කියලා තමා අපේ ගමන ගියේ. එහෙම ලැබෙන ප්‍රතිචාර හරිම සුන්දරයි.

මේ ගමන එන්න පහසු වුණාද ?

මට දැන් ඉහළ පිළිගැනීම් ලැබෙනවා. නමුත් ඊට කලින් ඉහළ ප්‍රතික්ෂේප වීම් මට ලැබිලා තියෙනවා. හැබැයි එහෙම ප්‍රතික්ෂේප වීම නිසා තමයි අද හැමෝම දන්න කෙනෙක් වෙන්න මූලික හේතුව වුණේ සහ මාත් එක්ක හැමදාම මගෙ පවුලේ අය හිටියා. ඒ අය ඉස්සරහටත් මා එක්ක ඉන්නවා. මට කියන්න තියෙන්නෙ ඕනම දේකට ඉවසීමෙන් ඉන්න. කවදාහරි සැනසීමක් ලැබෙයි කියලා මම අත්දැකීමෙන් දැනගත්තා. මොකද මේ සංගීත ගමන මම එකපාරටම මල් වියන් මැද ආපු ගමනක් නෙමෙයි. ගල්, මුල්, දුක්, ගැහැට, කඳුළු ඒ එන මඟ තිබුණා. ඒත් ආපස්ස හැරිලා බලනකොට ඒ හැමදේම ගැන මට සතුටක් තියෙනවා. මොකද මම සංගීතය ගැන තව බොහෝ දේ ඉගෙන ගන්න කැමතියි.

අමන්දි මේ වෙද්දී ආදරවන්තියක් ද?

මං තවම ආදරවන්තියක් නෙමෙයි. ආදරය සහ ආලය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. මම උපරිමයෙන්ම ආදරය විඳින කෙනෙක් මගෙ ගෙදර අයගෙන්.

ආදරේ දකින්නෙ කොහොමද?

ආදරය සහ ආලය කියන්නෙ ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක්. ඒ කෙනා ළඟ හිටියත් ඈතක හිටියත් මං බලාපොරොත්තු වෙන්නෙ කාන්තාවන්ට උපරිමයෙන්ම ගරු කරන කෙනෙක් වෙන්න ඕනේ. ආදරය හා ආරක්ෂාව ලබා දෙන කෙනෙක් වෙන්න ඕනේ. කිසිම කෙනෙකුට වචනෙකින් හෝ අපහාස නොකරන කෙනෙක් වෙන්න ඕනේ. මම කරන වෘත්තීන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පවුලේ අයට හොඳ දරුවෙක් වෙන්න ඕනේ, හොඳ සහෝදරයෙක් වෙන්න ඕනේ. සමහර විට මගෙ අනාගත ආදරවන්තයා කොහෙහරි ඉඳන් මේ ලිපිය කියවන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් ලැබුණොත් මං අනිවාර්යයෙන්ම ආදරවන්තියක් වෙයි. මේ හැමදෙයක්ම මම අපේ තාත්තාගෙන් දැකපු දේවල්. ඒ නිසා මම විශ්වාස කරනවා මේ වගේ තව අය අනිවාර්යයෙන්ම ඇති කියලා.


Comments