ඒක පුද්ගල ගී ප්‍රසංගයක සිහින දකින නුවන් ප්‍රියංග | සිළුමිණ

ඒක පුද්ගල ගී ප්‍රසංගයක සිහින දකින නුවන් ප්‍රියංග

 

සංගීත ක්ෂේත්‍රය තුළ ගීතයට ඇත්තේ විශේෂ ස්ථානයකි. පද රචනය, සංගීතය සහ ගායනය යන තුන්ඈඳුතු සහසම්බන්ධයේ ප්‍රතිඵලය ප්‍රේක්ෂක හදවත් සියුම්ව ස්පර්ශ කරන සාර්ථක ගීතයකි. පද රචනය යනු ගීතයක ප්‍රබලම අවියයි. ගායනයෙන් සිතට මිහිර ද සංගීතයෙන් කනට මිහිර ද ගෙන එන අතර පද රචනය එය හදෙහි රැඳෙන සාධකය බවට පත්වේ. අසන්නා ආදරයෙන් එය වැලඳගන්නේ තමාගේම අත්දැකීමක් සේ දැනුණු විටයි. එසේ දැනෙන්නට ලිවීම සාර්ථක පද රචකයකුගේ ලක්ෂණයකි. පද රචනය යන්න පුහුණුවෙන් පමණක් කළ හැකි දෙයක් ද නොවේ. සහජ හැකියාවත් එයට එක්විය යුතුය. නුවන් ප්‍රියංග හපුහෙට්ටි ද සහජයෙන් ලද හැකියාව ඔපමට්ටම් කර ගනිමින් ගී ලොවේ සෙමින් ගමනක් යන කලා ශිල්පියෙකි. තම ගී එකතුවකින් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමේ සිහිනය දකිමින් සිටින ඔහුගේ කතාවයි මේ.

“මගේ ගම මතුගම. පාසල් යන කාලෙ ඉඳන්ම මං ලියන්න ආසයි. ඒ කාලෙ මං ලියපු ගීත පොතක්ම තියෙනවා. පස්සෙ ඒවම වෙනස් කරල ගීත බවට පත් කළ අවස්ථාත් තියෙනවා. ගීත රචකයෙක් විදිහට මගේ පළමු නිර්මාණය වුණේ ජනක කැටපේආරච්චි ගයන නිවනට යන්නට පාර සොයනවද කියන ගීතය. ඒ දැනට අවුරුදු පහකට විතර කලින්. ඒක ප්‍රසංග වේදිකාවෙ පවා නිතර ඇසුණා. මුලින්ම ඒක පළ කළේ මුහුණුපොතේ. මේ වෙද්දි ගීත රාශියක් ලියල තියෙනවා. සමහර ඒව මිනිස්සු ආදරෙන් වැලඳ ගත්තා. රසික සංජීව ගායනා කරන අප්පච්චි ගීතයටත් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ලක්ෂ්මන් හිල්මි මහත්මයා සමඟත් ගීත 6ක් විතර කළා. ඔහුම සංගීතවත් කර ගායනා කරන ගීත දෙකකුත් ඉදිරියේදී එන්න තියෙනවා. ගුවන්විදුලියේ සංගීත අංශයේ සේවය කරන නලීන් නාගොඩවිතාන මහත්මයා ගීත 8ක් විතර සංගීතවත් කළා. ඉන්ද්‍රජිත් දොලමුල්ල, ලක්ෂ්මන් හේවාවිතාරණ වගේ ජනප්‍රිය අයත් එක්කත් ගීත කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම විජය කුමාරණතුංගගේ හඬින් ගීත ගයන ලසන්ත ප්‍රේමකීර්තිගේ මුල්ම ගීත තුන රචනා කළේ මං. දැන් ගොඩක් ලියන්නෙ නවකයින් සඳහා කරපු ගීත ගොඩක් ඉදිරියේදී එන්න තියෙනවා.

මං ආරක්ෂක අංශයේ සේවය කරන්නේ. ඒ රාජකාරි කරන අතරතුර ලැබෙන විවේකයේ දී තමයි ගීත ලියන්නේ. මගේම ගීතවලින් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වීම තමයි මගේ එකම බලාපොරොත්තුව. දැනටමත් ගීත 25ක් නිර්මාණය කරල ඉවරයි. ගීත 50ක් කරල ලබන අවුරුද්දෙ ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල ඒ සඳහා වෙහෙසෙනවා. “

Comments