ඇත්තට ඒක එහෙම වෙයි කියලා මමවත් හිතුවෙ නැහැ | සිළුමිණ

ඇත්තට ඒක එහෙම වෙයි කියලා මමවත් හිතුවෙ නැහැ

ගිහාන් ප්‍රනාන්දු කිවුවම අමුතුවෙන් හඳුන්වා දීමට කිසිවක් ඇත්තේ ම නැත. තරුණ, මහලු පමණක් නොව මේ දිනවල ගිහාන්ට වැඩිපුර ම ආදරය දක්වන්නේ පුංචි පැ‍ටව් ය. ඒ ‘පොඩි වැඩ්ඩෝ’ වැඩසටහන නිසා ය. ප්‍රේමය රෞද්‍රරත්වය, සෞම්‍යත්වය, අකාරුණික නපුරු ගති, භාවාත්මක නිරූපණයන්, විනෝදාත්මක මෙන්ම අතිශය සංවේදීභාවයන් එක හා සමාන දක්ෂතාවකින් යුතු ව නිරූපණය කිරීමට ගිහාන් තුළ ඇත්තේ විස්මිත හැකියාවකි. ඒ සියල්ල අතර ඔහුගේ ඉදිරිපත් කිරීමක් හදිසියේම සමාජ මාධ්‍යජාල කලඹවන්නට පටන් ගෙන තිබේ.

ශලනිගේ මංගල්‍යයේදී මොකක් ද ඒ කරපු වැඩේ....?

ඇත්තට ඒක එහෙම වෙයි කියලා මමවත් හිතුවේ නැහැ. උත්සවය වෙලාවේදී මොකක් හරි වෙනසක් කරමු කියලා කිවුව නිසා මම එහෙම කළා. මගේ තියෙනවා ස්ටෑන්ඩ් අප් කොමඩි වැඩසටහනක්. මම ඒක පිටරටවල ඉදිරිපත් කරනවා. ඒකේ එක කොටසක තියෙනවා ලංකාවේ සංගීතයට මොකද වුණේ කියලා විශේෂාංගයක්. ඒකෙන් පොඩි කොටසක් තමයි මම කළේ. මම සාමාන්‍යයෙන් මගේ ප්‍රසංගවලදී ඒක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මට එහෙම කරන්න බැහැනේ. ගොඩාක් අය ඒක ජංගම දුරකතනවලින් වීඩියෝ කළා. කවුරුහරි සමාජ මාධ්‍යජාලයට මුදා හැරලා තියෙනවා. ඒ සැණින් මිලියනයක පිරිසක් ඒක බලලා තියෙනවා. මේක මම තවම ලංකාවේ පෙන්වලා නැහැ. දැන් මට ලංකාවේ පෙන්වන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා.

 

ඊඩිපස් නිසා මේ දවස්වල අතිශය කාර්යබහුලයි නේද...?

පසුගිය 24 වැනිදා සවස කොළඹත්, 25 වැනිදා පේරාදෙණියෙත් ඊඩිපස් නැතහොත් ප්‍රවීණ නාට්‍ය ශිල්පී, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨතම කථිකාචාර්ය ප්‍රියංකර රත්නායකගේ “රතු වෙස්මුහුණු” වේදිකා නාට්‍යයේ තමයි ඊඩිපස් කතාව සමඟ මේ දිනවල වේදිකාගත වෙන්නේ. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ වගේ අතීතයක පෙන්වූ නාට්‍යයකට අදටත් ප්‍රේක්ෂක ආකර්ෂණය තියෙනවා කියන්නේ අපේ ප්‍රේක්ෂකයන් බොහොම දියුුණුයි. මම බල්ලොත් එක්ක බෑ වගේ වාණිජ ධාරාවේ නාට්‍යවලත්, හාස්‍යජනක විනෝදය දනවන නිර්මාණවලත් රඟපාන අතරේ මේ නාට්‍යයෙත් රඟපානවා. නාට්‍ය නිම වෙලත් පැයක් දෙකක් යනකන් ඒ ගැන කතා කරන්න ප්‍රේක්ෂකයෝ රැඳී හිටියා. ෂේක්ස්පියර්ගේ, සොෆොක්ලිස්ගේ, හිට්ලර්ගේ එහෙම නැත්නම් වෙන කාගෙ හෝ නාට්‍යයක් වුවත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ට ගැළපෙන විදිහට නිර්මාණය කරන එක පහසු දෙයක් නෙවෙයි. ප්‍රියංකර රත්නායක කියන්නේ ම එවැනි අපහසු දේ අනිවාර්යයෙන් ජය ගන්න කෙනෙක්.

 

රතු වෙස්මුහුණු වගේ නාට්‍යයක් කිරීමේදී හොඳ පුහුණුවක් අවශ්‍යයි නේද...?

අනිවාර්යයෙන් ම අවශ්‍යයි. අපිට රඟපාන්න පුළුවන් කියලා බලාගෙන හිටියොත් ඉතින් ඉවරයි. වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියට චරිත තෝරා ගනිද්දි හොඳ නරක තීරණය කර කර ඉන්න අපට බැහැ. ඒ අතරේ ප්‍රියංකරගේ, රාජිතගේ නාට්‍යවල රඟපානවා කියන්නේ රංගන පාසලක ඉන්නවා වගේ තමයි.

 

පොඩි වැඩ්ඩෝ ලේසි වැඩක් නෙවෙයි නේද...?

හරිම අමාරුයි. හරිම අමාරුයි. දැන් ඉන්න පොඩ්ඩෝ අපි පොඩ්ඩෝ කාලේ වගේ නෙවෙයි. එයාලා ඉපදිලා අවුරුදු දෙක තුනක් යද්දි ලෝකෙම දේවල් දැන ගන්නවා. අනික නළුවෙක් සහ නිවේදකයෙක් වුණාට ඒ වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ. මං විශ්වාස කරනවා පොඩි ළමයින්ට ආදරය කරන කෙනෙක් වෙන්නත් ඕනේ කියලා.

 

වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියට අනාගත භීතිකාවක් ඔබට දැනෙන්නේ නැද්ද...?

එහෙමයි කියලා මම මේ රට දාලා නම් යන්නේ නැහැ. තරුණ කාලේ එහෙම සිතුවිල්ලක් ආවා නම් ඒකේ වරදක් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් අපි ජීවිතයෙන් අඩකටත් වඩා ගෙවලා ඉවරයි. අවුරුදු 55 වෙද්දි අපට වැඩ කිරීමේ හැකියාව නවතින තැනකට එනවා කියලා අපි තරුණ කාලෙදි තේරුම් ගන්න ඕනේ. විශ්‍රාම ගන්න ඕනෙ කියන්නේ ඒකනේ. අපේ අය විශ්‍රාම ගන්න ඕනෙ කාලෙදි තමයි මේ රටෙන් ගිහිල්ලා ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා හිතන්නේ. ඒක එහෙම බෑ කියලා මම කියන්නේ නැහැ. සල්ලි කොච්චර ලැබුණත් අසාමාන්‍ය විදිහට දුක් විඳින්න ඕනේ නැහැනේ. නිසි දැනුමක්, නිසි පුහුණුවක්, අලුත්වීම් සෑම වෘත්තියකටම අදාළ යි. අදටත් මම හැදෑරීම් කරන්නේ ඒ නිසයි. හැම පැත්තකින්ම මගේ වෘත්තියත්, ආර්ථිකයත් ගොඩනඟා ගන්න මම දිවා රාත්‍රි කැපවෙනවා. මේ ජවය ශක්තිය තියෙන්නේ ටික කාලය යි. ඒක තේරුම් අරගෙන අපි කවුරුත් වැඩ කරන්න ඕනේ. මම මගේ ජීවිතයේ වගකීම් බොහෝමයක් ඒ ඒ කාලෙට නිසි විදිහට ඉටු කර තිබෙනවා. වෘත්තීය හැකියාව උපරිමයෙන් හදා ගනිමින්, ඒ වටිනාකමින් උපයන දේ අරපිරිමැස්මෙන් පරිහරණය කළොත් මං හිතන විදිහට ලංකාවේ ජීවත් වීම අපහසු නැහැ.

 

පුළුවන් කාලේ කියලා ඔය තරම් වෙහෙසෙන්නේ කොහොමද...?

ඒක තමයි පුදුමය කියන්නේ. උදේ කොළඹ හිටියා නම් වැඩ දහයක් කරලා හැන්දෑවෙද්දි එක්කෝ මහනුවර, එක්කෝ හම්බන්තොට, එක්කෝ යාපනය යන්න වෙනවා. පුහුණුවීම්, රූගත කිරීම්, ගමනාගමනය අධික වෙහෙස කරයි. වේදිකාවේ විදුලි පන්දම්වල රස්නය දරා ගන්න අමාරුයි. නිදි මැරීම් අසීමිතයි. උදේ හවස රැකියාවකට යන කෙනෙකුට වඩා අපේ ශාරීරික වෙහෙස වැඩියි කියා මම හිතනවා. පුදුමේ කියන්නේ ගතට මොනතරම් වෙහෙස වුණත් නාට්‍යයක් රඟපාලා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙද්දි, රඟ පෑ ටෙලි නාට්‍යයක් රූප මාධ්‍යයෙන් දකිද්දි හිතට දැනෙන සතුට විසින් සියලු ශාරීරික පීඩා නිවා දමනවා.

 

ගෙදර ඉන්න කාලයක් නැහැනේ...?

ඒක නම් ඇත්ත. ගෙදරින් බර බරේ දානවා. ඔය තරම් මහන්සි වෙන්න එපා කියනවා. පුළුවන් කාලේ යමක් කර ගත්තේ නැත්නම් පසුවට පසු තැවෙන්න වෙන්නේ මට විතරක් නෙවෙයි ගෙදර අයටත් කරදර වෙනවානේ. මම සාමාන්‍ය‍ෙයන් ඉදිරිය ගැන හිතලා හොඳ කළමනාකරණයක් ඇතුව වැඩ කරන කෙනෙක්. ඒ නිසා මේ මගේ හොඳ ම කාලය නිසා උපරිම වෙහෙස වෙලා මේ කාලේ වැඩ කරනවා. වැඩ වැඩි වුණා කියලා හිතේ දුකක් නැහැනේ. මේ මහන්සියත් සිතට සතුටක්. වෘත්තීය තෘප්තිය මම නම් උපරිමයෙන් අත්විඳිනවා.

 

එච්චර මහන්සි වෙනවා නම් මේ තරම් ඇඟ විශාල වෙන්නේ කොහොමද...?

ප්‍රධාන දේ ඇවිදීමක් ඇත්තේම නෑ. සැතපුම් දහස් ගාණක් ගියත් වාහනේ වාඩි වෙච්ච ගමන්මයි. තව රහසක් තියෙනවා. අපේ අම්මාත් මං වගේ ම යි.

 

Comments