යාළුකමට එහා ගිය බැඳීමක් අපි අතරේ තියෙන්නේ | සිළුමිණ

යාළුකමට එහා ගිය බැඳීමක් අපි අතරේ තියෙන්නේ

 

මහේෂි මධුශංකා කියන්නේ අපි කවුරුත් හඳුනන ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිනමාවේත් පුංචි තිරයේත් ඇයගේ රංගන කුසලතාවන් ප්‍රේක්ෂකයින්ට හොඳින් හුරුයි. පුංචි තිරයට අහිංසක චරිතයක් වුණු ඇයට බොහෝ දෙනා ආදරේ කරනවා. මේ දවස්වල මහේෂිට සිනමාවේ දැවැන්ත නිර්මාණයක හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන වගේම කලා ලොවේ සහ පෞද්ගලික ජිවිතේ ගැනත් කළ සොඳුරු කතාබහකි මේ....

මහේෂි, මේ දවස්වල මොකද වෙන්නේ?

මම රඟපෑ ස්වරණවාහිනියේ විකාශය වූ මැස්සා නාට්‍යය අවසන් වුණා. අලුත්ම වැඩ කටයුත්ත වෙන්නේ රන්ජන් රාමනායක මහතාගේ නවතම චිත්‍රපටය. ඒක ගොඩක් සුවිශේෂියි ලංකාවට. ඒකට ප්‍රධාන හේතුව ලයිකා ප්‍රඩක්ෂන් එකක් වීම. ඉන්දියාවේ ටැමිල් ෆිල්ම්ස් එයාලා වැඩිපුර කරන්නේ. මම මේ ළඟදී බලන්න ගියා Rocky Aur Rani ෆිල්ම් එක. හෝල් ඔක්කොම ෆුල්. ලංකාවේ ෆිල්ම්වලට හරියට අඩුපාඩු කියනවා. හැබැයි ඒකට හේතුත් තියෙනවා. අපේ ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂවරු හිටියට අපිට නිෂ්පාදකවරු අඩුයි. ඒ නිසා ලයිකා ප්‍රඩක්ෂන් හරහා ලාංකේය සිනමාවට මේ කරන ආයෝජනය ලොකු ශක්තියක් වෙයි. මෙතැනදී රන්ජන් රාමනායක විතරක් නෙවෙයි, එක් ටැමිල් චිත්‍රපටයක් එක්ක සිංහල චිත්‍රපට පහක් කරනවා. ලංකාවේ අපේ දක්ෂ අධ්‍යක්ෂවරුන්ට තිබ්බ එකම හිඩැස මුදල්. ඒ හිඩැස පුරවනවා ලයිකා ප්‍රඩක්ෂන්. ලයිකා ප්‍රඩක්ෂන් හි ශ්‍රී ලාංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක විදියට කටයුතු කරන්නෙ ජානකී විජේරත්න මහත්මිය. ඇයටත් සුබ පතනවා ඉදිරියටත් මෙවැනිම කටයුතු තව කරන්න ලැබෙන්න. රන්ජන් අයියා සමඟ රඟපාන්න ලැබීම මගේ ජිවිතේ ලොකු භාග්‍යයක් හැටියටයි මම දකින්නේ.

රන්ජන් අයියා සහ මහේෂි කියන්නේ හොඳ යාළුවො නේද?

අපි හොඳ යාළුවො කියන එකට මම චුට්ටක් අකමැතියි. මට කවුරුත් සහෝදර සහෝදරියන් නැහැ. මම හැමතිස්සෙම කියන්නේ සහ මගේ අම්මත් කියන දේ තමයි යාළුවෙක්ට එහා ගිය සහෝදර බැඳීමක් අපි අතරේ තියෙන්නේ කියන එක. රන්ජන් අයියා කියන්නේ මට මගේම සහෝදරයෙක්. මගේ හස්බන්ඩ් වුණත් දන්නවා මගෙයි රන්ජන් අයියාගෙයි තියෙන සහෝදර බැඳීම. මුලින්ම අපි දෙන්නා ෆිල්ම් එක කරද්දී මේ තරම් හිතවත්කමක් තිබ්බේ නැහැ. රන්ජන් අයියා වගේම මමත් කෙළින් කතා කරන කෙනෙක් නිසා කියන්නේ. හලෝ, හායි, ගුඩ් මෝනින් වගේ හිතවත්කමක් තිබුණේ. එයා හිරේ ගියාට පස්සේ අපේ යාළුකම වැඩි වුණා. රන්ජන් කියන්නේ කෙලෙහිගුණ ඉතාම හොඳින් දන්නා කෙනෙක්. මටත් වඩා මගේ හස්බන්ඩ් එක්ක තියෙන්නේ ලොකු යාළුකමක්. මම හිතන්නේ රන්ජන් අයියා කියන්නේ මගේම අයියා කියලා. එයාගේ ඕනෙම කරදරයකදී මම ඉන්නවා වගේම මගේ ඕනෙම කරදරයකදී මගේ හස්බන්ඩ් මගේ අම්මා හැරුණම මට ඉස්සෙල්ලම මතක් වෙන්නේ රන්ජන් අයියාව. හේතුව එයාට කිසිම තරාතිරමක් නැහැ. නගර සභාවේ වැඩ කරන කෙනාටත් එකම විදියට සලකන්නේ. ඒකයි අපි එයාට කැමති වෙන්න හේතුව. ඒ හැර එයා මේ රටේ ඉන්න සුපිරි තරුව නිසා නෙවෙයි.

මේ දවස්වල සමාජ මාධ්‍යය තුළ රන්ජන් අයියාගේ සහ මහේෂිගේ වීඩියෝ එකකුත් හුවමාරු වෙනවා?

ඒ වීඩියෝ එක මම ටික්ටොක් එකකට ගත්තේ. මම කිව්වා අද මම තමයි ඔයාගේ මේකප් ඇසිස්ටන් කියලා විහිලු කර කර ගත්ත වීඩියෝ එකක්. එකේ වරදක් නැහැනේ.

රන්ජන් අයියාගේ අලුත් ෆිල්ම් එකේ මහේෂිට ලැබුණු චරිතය මොකක් ද?

රන්ජන් අයියා කොයි තරම් හිතවත් වුණත් නිර්මාණයට ගැළපෙන්නේ නැත්නම් කිසිම කෙනෙක් ගන්නේ නැහැ. ඒක මම එයාගෙන් දකින තවත් එක් හොඳ ගුණාංගයක්. යාළුකම් සහෝදරකම් නැහැ රන්ජන් අයියට එයාගේ නිර්මාණවලදී, එයා ටිකක් සැරයි. කොහොමත් තිරපිටපත ලියන කෙනා තමයි චරිත තීරණය කරන්නේ.

මහේෂි වැඩි කැමැත්ත සිනමාවට ද පුංචි තිරයටද?

මගේ මුල්ම සිනමා පටයෙන් පස්සේ මාලනී අක්කා මගේ මූණටම කියපු කතාවක්, නංගි ඔයාට සිනමාවෙන් හොඳ ගමනක් යන්න පුළුවන් කියන එක. නමුත් අපේ රටේ වැඩිය චිත්‍රපට නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒකත් එක්ක මට වැඩිපුර දායකත්වය දෙන්න වුණේ නාට්‍යයවලට. හැබැයි ඒකට මම දුක් වෙන්නේ නැහැ. මට ආදරේ කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය වුණා මම රඟපෑ නාට්‍යයවලින්. නමුත් මාලනී අක්කා එදා කිව්ව ගමන මට ඉදිරියේදී යන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා අලුත් චිත්‍රපටයත් එක්ක.

ඔය වැඩවලට අමතරව ලොකුම වැඩේ ගෙදර පොඩ්ඩෝ දෙන්නගේ වැඩ ද?

ලොකුම නෙවෙයි ඒක තමයි ප්‍රධානම දේ. ඒ දෙන්නා පොඩි නිසයි පහුගිය කාලේ ගොඩක් නිර්මාණවල‍ට සම්බන්ධ නොවුණේ. දැන් එයාල චුට්ටක් ලොකුයි. එයාල බලාගන්න මගේ අම්මා සහ හස්බන්ඩ් ඉන්නවා. ඒ නිසා කලා කටයුතුවල නියැ‍ෙළන්න පහසුව සැලසිලා තියෙනවා. පවුල කියන තැනින් සහයෝගය ලැබුණේ නැත්නම් මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න අමාරුයි. මට හොඳ අම්මා කෙනෙක් සහ හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබිලා ඉන්න නිසා කිසිම කරදරයක් නැහැ.

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතන්නේ?

ඒ ආදරේ තමා අපිට තියෙන ලොකුම ශක්තිය. ප්‍රේක්ෂකයින් හදවතින්ම කියන වචන අපිට සල්ලිවලට ගන්න බැහැනේ. ඒ නිසා ඒ ආදරේ මට වටිනවා.

මහේෂිගේ අනාගත බලාපොරොත්තු මොනවද?

ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන එක. ඒ එක්කම මට පුළුවන් විදියට දාන මාන දෙනවා. සල්ලි ගොඩක් තියෙන්න ඕනේ නැහැ ඒ දේවල් කරන්න. අසරණ ළමයින්ට පොත් ටිකක් හරි අරන් දෙන්න පුළුවන් නම් මම ඒ දේ කරනවා. ඒ එක්කම මම අසාවෙන් ඉන්නවා මගේ මහත්තයා එක්ක එකතු වෙලා පන්සලක් හෝ වැඩිහිටි නිවාසයක් හදන්න. ඒකට කට්ටිය බනීවි ඇයි වැඩිහිටි නිවාසයයක් හදන්නේ කියලා. ඒකට හේතුව දැන් ළමයි විදෙස්ගත වෙනවා. ඒකත් එක්ක දෙමාපියන් අසරණ වෙනවා. නමුත් දෙමාපියන්ට හොඳට ගෙවලා නිදහසේ ඉන්න තැන් දැන් නැහැ. වයසට ගියාම පොඩි ළමයි වගේ. ඒ නිසා විවිධ ක්‍රියාකාරකම් එක්ක කාලය ගත කරන්න පුළුවන් තැනක්. පිටරට නම් එහෙම තැන් තියෙනවා. ලංකාවේ අපිට නම් ටිකක් නුහුරුයි. බලමු ඉතින් කාලයත් එක්ක. කොහොමත් තව කාලයක් යයි.

 

Comments