මම උඩින් පාත් වුණු කෙනෙක් නෙමෙයි | සිළුමිණ

මම උඩින් පාත් වුණු කෙනෙක් නෙමෙයි

ඇතැම් කලාකරුවන් ඉන්නවා නමත් එක්ක රූපය ජනප්‍රිය , ඒ වගේම තමයි රූපය දන්න නම එතරම් නොදන්න. අද රසඳුන එක්ක කතාබහකට එකතු වූ මෞලී ප්‍රනාන්දු එහෙම කෙනෙක් මේ නමට වඩා රූපය හැමෝටම හුරුයි. සම්භාව්‍ය නිර්මාණ රැසක දැක ගන්න පුළුවන් හා ළමා නළුවෙක් හැටියට කලාවට පිවිසිලා මේ වෙද්දී කලාව තුළ නමක් තිබ්බ ඔහු ගැනයි මේ කතාබහ

මෞලිගේ නමට වඩා බොහෝ දෙනකුට ඔබේ රූපය හුරුයි නේද, ඉස්සර ලැබුණු ප්‍රතිචාර තවමත් ලැබෙනවද..?

ඇත්තටම මගේ නමට වඩා මගේ රූපයෙන් තමයි මාව බොහෝ දෙනෙක් හඳුනා ගන්නේ. නමින් දන්න අයත් ඉන්නවා. බොහෝම ටික දෙනයි. මම රංගනයට එන්නේ පුංචි කාලේ, ඒ කාලේ කරපු වැඩ එක්ක මට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ රංගනයෙන් ටිකක් ඈත් වුණා අධ්‍යාපන වැඩ එක්ක. මම නීතිය හදාරලා ලෝයර් කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ආයෙමත් රඟපාන්න පටන් ගත්තා. දැන් ආයෙමත් මාව හඳුනාගෙන කතාබහ කරන පිරිසක් ඉන්නවා. උසාවියේදී පවා ආ අර නාට්‍යයේ ඉන්නවා නේද කියලා නාට්‍යයේ නමින් කතා කරන අයත් ඉන්නවා. ඒ ගැන සතුටුයි.

බොහෝ දෙනකුට මතක අරුංගල් නිර්මාණයෙන්, ළමා නළුවෙක් හැටියට කලාවට ආ මෞලී දැන් ඇයි නිහඬ.?

මම ප්‍රධාන චරිතයක් කරන්නේ අරුංගල් නිර්මාණයේ තමයි , ඒ 2007 අවුරුද්දේ. නමුත් මම රඟපාන්න පටන් ගන්නේ මගේ තාත්තා වර්ෂ 1997 දී නිර්මාණය කළ එගොඩ ගොඩත් රත්තරන් නාට්‍යයෙන්. ඊට පස්සේ උඩුගම් යාමය, තෙත් සහ වියළි රඟපෑවා. ඊට පස්සේ කැම්පස් ජීවිතේ ලෝ කොලේජ් එකේ වැඩ එක්ක රංගනයෙන් ටිකක් ඈත් වුණා , මගේ හීනය වුණේ ලෝයර් කෙනෙක් වෙන්න. මම ඒකට තමයි මහන්සි වුණේ. ඔය අතරේ තාත්තා ටෙලිනාට්‍යයේ හා තට්ටු දෙකේ ඉස්කෝලේ කියන චිත්‍රපටයේ මම රඟපෑවා. නමුත් ලොකු දායකත්වයක් නොදුන් නිසා මගේ නිහඬ බව පෙනුණා. ඒ නිහඬ වීමට හේතුව අධ්‍යාපන වැඩ කටයුතු තමයි

නීතිය එක්ක ගනුදෙනු කරන නිසා කැමරාවට සීමා දා ගත්තද..?

නැහැ එහෙම නැහැ , මේ කාලේ තමයි මම වැඩිපුර සම්බන්ධ වුණේ නිර්මාණවලට. දැන් මට නිදහසක් තියෙනවා මම කරන නිර්මාණය මොකක්ද කියලා හිතලා තීරණය අරගෙන සම්බන්ධ වෙන්න. ඉගෙන ගන්න කාලෙ තමයි ටිකක් සීමා දාගෙන හිටියෙ. ලෝයර් කෙනෙක් වුණා කියලා, නීතිය එක්ක ඉන්නවා කියලා එහෙම මම සීමා පනවගෙන නැහැ රංගනයට. මේ දෙකම කොහොමත් අට පහ ජොබ් නෙවෙයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් කාලය කළමනාකරණය කරගෙන මට රඟපාන්න පුළුවන්. ඒ වගේම තමයි රඟපෑමේ සීමාව ගැන කිවුවොත් මගේ පුද්ගල ජීවිතයට හා මගේ රැකියාවට හානියක් කියලා මට හිතෙන දෙයක් මං කරන්නෙ නැහැ. මම කරන චරිතය තව කෙනෙකුට හානියක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මට දැනෙනවා නම් මට හානියක් නෙමෙයි කියලා මම ඊට සම්බන්ධ වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ මගේ දැකීම මත තමයි මගේ සීමාව නිර්ණය වෙන්නේ.

ඔබ රඟපාන නිර්මාණ එක්ක සංසන්ධනය කරද්දී දැන් රඟපාන්න පුළුවන් කලා නිර්මාණ බිහි වෙනවා අඩුයි කියලා හිතෙනවද..?

මීට අවුරුදු තුන හතරකට කලින් නම් හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවීමක් තිබුණා. නමුත් මේ කාලයේදී හොඳ නිර්මාණ බිහිවෙනවා. නමුත් ඇතැම් නිෂ්පාදකවරු මුදල් ඉපැයීමේ අරමුණින් නිර්මාණ බිහි කරන්න උත්සාහ ගන්නවා. ඒ නිසා වාණිජමය පරමාර්ථයෙන් කරන නිර්මාණ වැඩියි කලාත්මක නිර්මාණවලට වඩා. ඔය හේතුව දකින්න තියෙනවා. මම දන්න විදිහට කලාත්මක නිර්මාණ බිහිකරන නිර්මාණකරුවන් අතේ හොඳ පිටපත් තියෙනවා නමුත් නිෂ්පාදකවරු නැහැ .

ළඟදි දවසක උමාලි තිලකරත්න එක්ක ඡායාරූප කිහිපයක් අරගෙන තිබුණා. ඒ නිසා මෞලි ගැන ආයෙමත් කතා කරලා තිබුණා සමාජ මාධ්‍ය ඔස්සේ, ඒ ගැනත් කියමු..?

ෆොටෝග්‍රැෆර් නිමේෂ් මගේ යාළුවෙක්. එයාට ඕන වුණා මගේ හොඳ ෆොටෝස් ටිකක් ගන්න. නිළියක් එක්ක. ඒකට සුදුසු කෙනෙක් හිතන කොට තමයි මට උමාලි තිලකරත්න අක්කව මතක් වුණේ. මම උමාලි අක්කාව දන්නේ “අරුංගල්“ කරන කාලේ ඉඳලා. මට ආස හිතුණ අක්කා එක්ක ඒ ෆොටෝ ෂූට් එක කරන්න. මම උමාලි අක්කට ඒ යෝජනාව කළා. අක්කා ලෙහෙසියෙන් එහෙම ෆොටෝ ෂූට්වලට යන කෙනෙක් නෙවෙයි. නමුත් මගේ ආරාධනාව පිළිඅරගෙන එයා ඒකට සම්බන්ධ වුණා. මම තමයි ෆොටෝ ග්‍රැෆර්ට යෝජනා කළේ කන්සෙෆ්ට් එක. මම ආසයි දෙමළ, තෙලිඟු, මලයාලම් විදිහට අඳින්න. ඒකට සුදුසු කෙනා විදිහට දැක්කේ උමාලි අක්කව. වැඩේ සාර්ථකයි කියන්නේ ඒක ලස්සනයි. ගොඩක් අය ඒකට ප්‍රතිචාර දක්වලා තිබ්බා.

උමාලි ඔබට සමීප කෙනෙක් ..?

උමාලි තිලකරත්න කියන්නේ මම පොඩි කාලේ ඉඳලා දන්න කෙනෙක්. එයා මාත් එක්ක අරුංගල් වගේම මහපොළොව නාට්‍යයේ රඟපෑව ඉතාමත් සපොටිව් රංගන ශිල්පිනියක්, හරි ලේසියි උමාලි අක්කා එක්ක රඟපාන්න. ඒ වගේම එයා හරිම නිහතමානි කෙනෙක්. එකිනෙකාට හරි අවබෝධයකින් රඟපාන්න පුළුවන් කැරක්ටර් එකක්.

මෞලිව දකින්න ලැබෙන්නේ කලාත්මක සිනමා කෘති හෝ කෙටි නාට්‍යවල විතරයි , රියැලිටි කළොත් ජනප්‍රියත්වය වැඩි වෙයි කියලා හිතන්නේ නැද්ද ..?

මට ජනප්‍රිය වෙන්න ඕන කියන සිතුවිල්ලේ මං කවදාවත් ජීවත් වෙලා නැහැ. ඒ නිසා ඒ ඔස්සේ නිර්මාණ තෝරාගෙනත් නැහැ. මට ඕන වුණේ හොඳ නිර්මාණයක් කරන්න විතරයි. මම කරපු නිර්මාණ බොහොම ටිකක් වෙන්න පුළුවන්. නමුත් ඒ නිර්මාණ දිහා බැලුවාම මට සතුටු වෙන්න පුළුවන්. දැන් මම වෙ‍ෙළඳ දැන්වීම් වගේම වාණිජමය නිර්මාණවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. මුල් කාලයට වඩා මේ නිර්මාණ එක්ක වැඩිපුර ප්‍රතිචාර ලැබෙනවා කියලා මට තේරෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර සමහර වෙලාවට කරදරයක් විදිහට පේනවා ඒ පුද්ගලිකත්වයක් නැති නිසා. නමුත් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිචාර ආදරේ අදහස් ගැන හරියට සතුටු හිතෙනවා.

පෞද්ගලික ජීවිතේ තොරතුරු කොහොමද ..?

ජීවිතයේ අමාරු කාල පහුකරලා ඉවරයි. ඉගෙන ගන්න කාලේ ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒක කට්ටක්. අන්න ඒ සමය දැන් අවසන්. රංගනය ගැන කිවුවොත් ලැබෙන පොඩි පොඩි චරිත කරලා, රංගන ක්ෂේත්‍රයේ නමක් හදාගත්තා. මේ ක්ෂේත්‍ර දෙකටම මම උඩින් පාත් වුණු කෙනෙක් නෙමෙයිනේ, ඉදිරියේදිත් හොඳින් ජීවත් වෙන්න තමයි හිතන්නේ. මම මගේ අම්මා තාත්තා මට පුළුවන් උපරිමයෙන් බලාගෙන සතුටින් ජීවත් වෙනවා.

නිර්මාණවලට පේන අහිංසකකම සැබෑ ජීවිතයේදීත් දකින්න ලැබෙනවද..?

ඒ නිර්මාණවල පෙනෙන අහිංසක පෙනුම සැබෑ ජීවිතේ දී දකින්න ලැබෙනවා. මං කාටවත් නපුරක් කරන්නේ නැහැ , ඒ වගේම තමයි කේන්ති යන, සැර දේට සැර ස්ථාවර මතයක් තියෙන කෙනෙක්. පොඩ්ඩක් කේන්ති යන කෙනෙක් කියන්න පුළුවන් .

ඔබේ පළමු මෙගා නාට්‍ය කෝලංකුට්ටම, ඊට අමතරව අලුත් නිර්මාණ ගැනත් කියමු..?

මගේ පළමු මෙගා නාට්‍ය තමයි කෝලං කුට්ටම. ඒක අවසන් වෙන දවසක් නැහැ , එහි තවම වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා . ඒ තුනම ලබන අවුරුද්දේ තිරගත වෙයි.

දැන් ආදරේ විඳින පෙම්වතෙක්ද..?

මම ආදරේ වින්ද පෙම්වතෙක්. නමුත් මේ වෙලාවේ මම තනිකඩ කෙනෙක් කිවුවොත් හරි.

 

Comments