මේ ජයග්‍රහණය නිසා මට මාව හොයාගන්න පුළුවන් වුණා | සිළුමිණ

මේ ජයග්‍රහණය නිසා මට මාව හොයාගන්න පුළුවන් වුණා

- මම කවුද, මම මොනවාද කරන්න ඕනේ කියලා මට හඳුනා ගන්න පුළුවන් වුණා
- මූණ සුදු වෙන්න ක්‍රීම් ගානවට වඩා හොඳට ව්‍යායාම කරන්න එතකොට නිකන්ම ලස්සන වෙනවා 
ඔලිම්පියා කායවර්ධන තරගාවලියක් නියෝජනය කිරීමේ බලාපොරොත්තුව දැන් මට තියෙනවා

සිංගප්පුරුවේ පැවති ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන ලෝක ශුරතාවලියට ‘ලයිෆ් ස්ටයිල් මොඩල්’ සහ ‘ස්පෝර්ට්ස් මොඩ්ල්’ යන අංශ දෙක යටතේ තරග ඉසව් තුනකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ ජයරුක්ෂි සමන්කුල එහිදී ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත්තා ය. ජීවිතයේ ඉලක්කයක් සොයමින් සිටි ඇයට අනාගත ගමන් මඟ විවර වූ අහඹු අවස්ථාව පිළිබඳව ඇය ‘රසඳුන’ සමඟ කතාබහ කළාය.

මේ ජයග්‍රහණය අහම්බයක් ද...? 

ඔව් ඇත්තටම. කායවර්ධන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසීම අහම්බයක් තමයි. නමුත් මම කොහොමත් ඉඳලා හිටලා ජිම් ගියා. කඩවත ප්‍රදේශයේ ජිම් එකකට තමයි මුලින්ම ගියේ. එහිදී මගේ පුහුණුකරු වුණේ ඉන්දික ධනංසූරියයි. විවාහයෙන් පස්සේ මම ඩුබායිවල පදිංචියට ගියා. එහේදි මගේ බර කිලෝග්රෑ ම් 69ක් වෙනකම් වැඩි වුණා. ශරීරයේ බර අඩුකර ගන්න මම ඩුබායිවල තියෙන ජිම් එකකට ගියා. එහිදී තමයි මට කෝච් හර්ෂ ඩි. පිරිස් මුණගැහුණේ. මගේ දෛවය මේ පාරට හැරුණේ ඔහු නිසයි.

යෝග්‍යතා සහ කායවර්ධන තරගවලට මින් පෙර ඉදිරිපත් වී තිබෙනවා ද...?

නැහැ. ජිම් එකේදී මම සෙල්ලම් කරන විදිහ, ටෙක්නික් යූස් කරන විදිහ, මගේ ස්ට්රෙෂන්ත් එක ඔක්කොම බලලා කෝච් දවසක් කිව්වා මෙහෙම තරගාවලියක් තියෙනවා ඒකට තරග කරමු කියලා. ඒ අනුව මම තරගයට ඉදිරිපත් වෙන්න සූදානම් වුණා. එතකොටත් තරගයට තිබු‍ණේ මාස හතරයි. චීනය ඇතුළු රටවල් රැසකින් තරගකාරියන් 35 දෙනෙකු පමණ මේ තරගයට ඉදිරිපත් වුණා. මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළා. ඇත්තෙන්ම ජයග්‍රහණයක් ලැබෙයි කියලා මං හිතුවෙත් නෑ. නමුත් කරන දේ කැපවීමෙන් කෝච්ගේ උපදෙස් අනුව කළා. ජයග්‍රහණය ගැන හරිම සතුටුයි. ඒ වගේම මට යන්න මාවතත් විවෘත වීම ගැන ඊටත් වඩා සතුටුයි. දැන් මම දිගටම පුහුණුවීම් කරලා ඊළඟ තරගවලට ඉදිරිපත් වෙනවා. ඔලිම්පියා කායවර්ධන තරගාවලියක් නියෝජනය කිරීමේ බලාපොරොත්තුවක් දැන් මගේ සිතේ ඇති වී තිබෙනවා. ඒ සඳහා තව වසර තුන හතරක හොඳ පුහුණුවක් මට අවශ්‍යයි. ඒ අතරේ ඩුබායිවල පෞද්ගලික කායවර්ධන උපදේශකවරියක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය බලපත්‍රය ලබා ගන්න මේ දවස්වල කටයුතු කරනවා.

ඔබගේ පාසල් ජීවිතයේ ක්‍රීඩා අත්දැකීම් මොනවාද..?

මම වැලපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවා. එහිදී වයස අවුරුදු 11න් පහළ දිවීම, තුන්පිම්ම හා දුර පැනීම ඉසව්වලින් ජයග්‍රහණ ලබලා දක්ම ක්‍රීඩිකාව හැටියට ශූරතා දිනලා තියෙනවා. ඊට පස්සේ මම වත්තල ශාන්තා ආනා බාලිකා විද්‍යාලයට ගියා. එහිදී ‘ශිතෝරියු ශුකේකායි’ නැමැති කරාතේ ක්‍රීඩාවට යොමු වුණා. අට වසරේ ඉඳලා දිගටම මම ඒ ක්‍රිඩාව කළා. නමුත් සාමාන්‍ය පෙළ විභාගය නිසා ඒක නතර කළා.

ඔබ අධ්‍යාපන ක‍ටයුතුවලදී වැඩි නැඹුරුවක් දැක්වූයේ මොන අංශවලින් ද...?

මම සිංහල සාහිත්‍යයට ගොඩාක් කැමැතියි. කවි ලියන්නත් මම ගොඩක් ආසයි. මම නිතර කවි ලියනවා. ඒ වුණාට මම වත්තල ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වුණා. අයි.ඩී.එම්. එකේ තොරතුරු තාක්ෂණ පාඨමාලාවකුත් කරලා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ රැකියාව කරන අතර තමයි 2014 වසරේදී විවාහ වෙලා ඩුබායිවලට ආවේ.

ඔබේ සැමියා සහ පවුලේ අයගෙන් ඔබට සහායක් ලැබෙනවා ද...?  

මගේ සැමියා ඩුබායි රාජ්‍යයේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරනවා. එයා දවස් තුනෙන් තුනට තමයි වැඩට යන්නේ. ගෙදර ඉන්න දවස් තුනේ මගේ පුහුණුවීම්වලට උදව් කරනවා. අපි දෙන්නා ගමන් බිමන් යනවා. සතුටින් ඉන්නවා. මම ඩුබායිවලදි මීට පෙර ක්‍රිකට් තරගවලටත් සහභාගි වෙලා ශූරතා දිනලා තියෙනවා. මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලේ නම් කරාතේ කරනවාට අම්මා අකමැති වුණා. ඒ අධ්‍යාපනයට බාධා වන නිසයි. දැන් මට මේ ගමන එන්න මේ ජයග්‍රහණය ලබන්න මගේ සැමියා වගේ ම පවුලේ අයගෙනුත් ශක්තියක් ලැබුණා. මම බැහැයි කියලා පුහුණුවීම් අත්හරින්න යන හැම වෙලාවෙම එයාලා මාව පුළුවන් තරම් උනන්දු කළා. ඒ වගේම ලංකාවට ආවම මගේ තාත්ති මට සුදුසු විදිහට කෑම ටික හදලා දුන්නා. මගේ තාත්ති ආනයන අපනයන කළමනාකරුවකු හැටියට රැකියාව කරලා දැන් විශ්‍රාමිකයි. මගේ අයියා නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. අයියත් දැන් ආනයන අපනයන කළමනාකරුවෙක් විදිහට වැඩ කරනවා. නංගි උපාධිධාරිනියක්. එයා බ්‍රවුන්ස් කැපිටල් ආයතනයේ නිලධාරිනියක්. එයාලා හැමෝම මට පුළුවන් තරම් ධෛර්ය දෙනවා.

කිලෝ 69ක් වුණු බර අඩුකරගන්න ජිම් ගිහින් බර අඩු වුණා ද...?

ඔව්. ජිම් ගිහින් ලෝක ශූරතාවකුත් ලැබුණා. කිලෝ 69ක් වුණු ඇ‍ඟේ බරත් කිලෝ 55කට අඩුකර ගත්තා. ඇත්තටම ඇඟට හොඳට දාඩිය දාන්න ව්‍යායාම කරනවා නම් අපේ බර අඩු වෙලා, ලෙඩත් අඩු වෙලා, අපේ පෙනුමත් ලස්සන වෙනවා. නමුත් ලංක‍ාවේ ගොඩාක් අය ඒ ගැන උනන්දුවක් නැහැ. දැන් ලංකාවේ ගෑනු ළමයින්ට සුදු වෙන පිස්සුවක් තමයි තියෙන්නේ. සුදු වෙන්න කියලා ක්‍රීම් ජාති ගානවා. ඒ වගේම වැක්සින් ගන්නවා. ඒක ඒ තරම් හොඳ නැහැ. මම කොණ්ඩෙ කලර් කරලා විතරයි. කොණ්ඩෙ හදලා නැහැ. අම්මාගේ කොණ්ඩේ විදිහමයි. මූණටත් මම කිසිදෙයක් ගාන්නේ නැහැ. දාඩිය කුණු ශරීරයෙන් හොඳට පිට වුණාම නාලා පිරිසිදුව ඉන්නවා නම් මතුපිටින් දේවල් සමට ගාන්න අවශ්‍ය නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඉතින් මම ලංකාවේ ලස්සන වෙන්න කැමති අයට කියන්නේ මූණ සුදු වෙන්න ක්‍රීම් ගානවාට වඩා හොඳට ව්‍යායාම කරන්න. එතකොට නිකන්ම ලස්සන වෙනවා.

මේ ජයග්‍රහණය නිසා ඔබට ලැබුණේ මොනවාද..?

ඇත්තටම මේ ජයග්‍රණය නිසා මට මුකුත් ලැබුණේ නැහැ කියලා සමහරු මට කියනවා. ජයග්‍රහණයකින් ලැබෙන්නේ සල්ලි, පදක්කම්, තෑගි විතරක් නෙවෙයි. වටිනා ම තෑග්ග තමයි මේ ජයග්‍රහණය නිසා මට මාව හොයාගන්න පුළුවන් වුණා. මම කවුද, මම මොනවාද කරන්න ඕනේ කියලා මට හඳුනා ගන්න පුළුවන් වුණා. දැන් මට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට යා හැකි මඟක් තියෙනවා. මට ඒ වටිනාකම මිල කරන්න බැහැ.

Comments