බොරු ගොසිප් නිසා රඟපෑම එපා වුණා | සිළුමිණ

බොරු ගොසිප් නිසා රඟපෑම එපා වුණා

ශෙහාන් ජයසූරිය කියන්නේ වර්ෂ 2015 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ට පිතිකරුවෙක් විදිහට එකතු වෙලා 2020 දක්වා ජාතික කණ්ඩායමේ ක්‍රිඩා කළ ක්‍රිඩකයෙක්. ඔහු පිත්තෙන් දක්ෂතා දැක්වූ නිසා ජනප්‍රිය වෙනවා සේම ජනප්‍රිය රංගන ශිල්පිනී ඩිලානි අබේගුණවර්ධනගේ එකම දියණිය කවිෂා කාවින්දි එක්ක විවාහ වූ නිසාත් කවුරුත් අතරත් කතාබහට ලක් වුණා . මේ වෙද්දී ඔහු ජීවත් වෙන්නේ ඇමරිකාවේ. ඒ නිසා ඒ පුංචි පවුලේ තොරතුරු ඔහු හා කාවින්ද්‍යා එක්ක කතා කරලා ඒ තොරතුරු මේ විදිහට රසඳුන පිටු අතරට ගෙන එන්න හිතුවා.

ශෙහාන් ලංකාවේ ක්‍රිකට්වලට තිත තියලම රටින් පැන්නා නේද , කොහොමද අමරිකාවේ ගෙවන ජීවිතේ, සුන්දරයි ද, නැත්තම් කටුකද..?

ඇත්තටම ලංකාව නියෝජනය කරලා ක්‍රිකට් ගහන එකට තිත තිබ්බා කියන්න බැහැ. මම ආසාවෙන් හා බලාපොරොත්තුවෙන් ඉන්නවා ලංකාවට ගිහිං ක්ලබ් සීසන් එකක් සෙල්ලම් කරන්න. ඒ අදහස නැතුව නෙමෙයි. බලමු ඉදිරියේ දී ඒ බලාපොරොත්තුව ඉටු කර ගන්න පුළුවන් ද කියලා. මෙහේ ජීවිතේ සුන්දරයි කියන්නත් බැහැ කටුකයි කියන්නත් බැහැ. මොකද මෙහේ ගෙවන්නේ අතිශය කාර්‍යබහුල ජීවිතයක්. කාලය එක්ක දුවන ජීවිතේ මහන්සිය දැනෙනවා. ඒ මහන්සිය නැති වෙන්නේ පවුල එක්ක ගෙවන කාලය එක්ක තමයි. ඒ නිසා සතුටින් ජීවත් වෙනවා කියන්න පුළුවන්.

 

ලංකාවේ තියෙන ප්‍රශ්න එක්ක දැන් හිතෙනවා ඇති රටින් යන්න ගත්ත තීරණය හොඳ එකක් කියලා ..?

මොන ප්‍රශ්න තිබ්බත් මම නම් ආසාව හා වැඩි කැමැත්ත ලංකාවේ ජීවත් වෙන්න. නමුත් මගේ බිරිඳ මෙහේ ජීවත් වෙන කෙනෙක් නිසා මට තීරණය කරන්න වුණා ලංකාව දාලා මෙහෙට ඇවිත් ජීවත් වෙන්න. ඒක තමයි ලංකාව දාලා ඇමරිකාවට ඇවිත් ජීවත් වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ. එයාගේ ජීවිතේ පවත්වාගෙන යන්න මෙහෙ ජීවත් වෙන එක පහසුයි හා වාසියි. මගේ අනාගතේ පවත්වාගෙන යන්නත් මෙහේ ඉන්න එක තමයි වටින්නෙ. දුවන ජීවිතේ එක්ක මෙහේ ඇවිත් ජීවත් වෙන එක ගැන සතුටු වෙන්න පුළුවන් එකම හේතුව ඒක තමයි

 

නමුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තව ටිකක් ක්‍රිඩා කරන්න තිබ්බා නම් කියලා හිතෙනවත් ඇති. හේතුව ක්‍රිකට් ක්‍රිඩාව අතින් ශ්‍රී ලංකාව ජනප්‍රිය නිසා ..?

මම මෙහෙට ආවට පස්සේ ක්‍රිකට් තරග නරඹද්දි ඇත්තටම මට හිතුණා ජාතික ක්‍රිකට් කණ්ඩායම එක්ක තව ටික කාලයක් ක්‍රීඩා කරන්න තිබ්බා නම් කියලා. මගේ යාළුවෝ සෙල්ලම් කරද්දී එයාලා එක්ක මටත් ක්‍රීඩා කරන්න තිබ්බා නේද කියලා හිතුණු අවස්ථා තියෙනවා . ඒත් හැම දෙයක්ම වෙනස් වුණා . වෙනස් වීම හොඳ දෙයක් වුණු නිසා පසුතැවීම් නැහැ

 

බිරිඳ කර ගත් කවිෂා කාවින්දී දැනගෙන හිටියද ඔබ ක්‍රිකට් ක්‍රිඩකයෙක් කියලා ..?

ඔව්. මම ආදරේ ප්‍රකාශ කරද්දී හා මාව හඳුනා ගන්න අවස්ථාවේ එයා දැනගෙන හිටියා මම ක්‍රිකට් ක්‍රිඩකයෙක් කියන එක.

 

අමරිකාවේ ගියත් ක්‍රිකට් අතහැරලා නැහැ නේද ..?

මට ක්‍රිකට් අතහරින්න බැහැ. මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා අමරිකාවේ හිටියත්. ප්‍රාන්ත මට්ටමින්. මගේ ජීවිතේම ක්‍රිකට් ඒ නිසා මම කොහේ හිටියත් ක්‍රිකට් සෙල්ලම් කරයි. ක්‍රිකට් අත අරින්න කිසිම සූදානමක් නැහැ.

කොහොමද ශෙහාන් පවුල් ජීවිතේ. දැන් පිය පදවිය එක්ක කාර්‍යබහුල වෙලා ඇති..?

හරිම කාර්‍යබහුල ජීවිතයක් ගත කරන්නේ. මේ රටේදී අපේ වැඩ, බබාගේ වැඩ අපිමයි කරන්න ඕන. අපිට උදව් කරන්න කියලා කෙනෙක් නැහැ. කවිෂාගේ අම්මා තාත්තා මෙහේ හිටියත් එයාලට නිතරම එන්න බැහැ. ඔවුන් ඉන්නේ අපට වඩා බොහෝදුර. අපි ඉන්න පැත්තට එන්න කවිෂාගේ දෙමාපියන්ට පැය හයක් යනවා ෆ්ලයිට් එකේ එන්න. කිසිම දෙයක් හිතන තතරම් පහසු නැහැ . ඒ නිසා අපිම අපේ වැඩ කර ගන්නවා. බබා ජීවිතේට එකතු වුණාට පස්සේ තවත් නිදහස නැති වුණා . නමුත් අපි සතුටින් ජීවත් වෙනවා

 

අලුතෙන් එකතු වුණු දරුවා එක්ක ගෙවන ජීවිතේදි බිරිඳට ඔබෙන් ලැබෙන සහය කොහොමද ..?

අපි අපිට උදව් කර ගන්නවා. මම ගෙදර ඉන්න දවස්වලට බබාව බලා ගන්නේ හා අනෙක් වැඩ වලටත් උදව් කරනවා. කවිෂා ගෙදර ඉඳලා ජොබ් එක කරන්නේ. ඒ නිසා බබාට අම්මව මිස් වෙනවා අඩුයි. ඒක අපි දෙන්නට පහසුවක් වුණා. එහෙම ගෙදර වැඩ මඟ හැරලා නිදහසේ ජීවත් වෙන්න මේ රටේ බැහැ . එහෙම වුණොත් ඒක කවිෂාට කරන අසාධාරණයක්. ඒ නිසා පුළුවන් උපරිම මම උදව් කරනවා.

 

කවිෂා කියන්නේ කුඩා කල සිට විදෙස්ගත වෙලා හිටපු කෙනෙක්. නුහුරු ජීවිතේ එක්ක කොහොමද ඇය මව් පදවියේ වගකිම් ඉටු කරන්නේ..?

එයා හොඳ අම්මා කෙනෙක්. මෙහේ ජීවත් වුණත් එයා එයාගේ වගකිම් මඟ හැරලා බබාගේ ජීවිතේ ඔහේ ගෙවිලා යන්න ඉඩ දෙන්නේ නැහැ. බබාට ආදරේ ආරක්ෂාව වගේම එයාගේ සියලු වැඩ හරියට ඉටු කරන අම්මා කෙනෙක්. මම මැච්වලට ගියාම එයා තමයි හැමදේම තනියම කර ගන්නේ. ඒක මේ වගේ රටක පහසු කටයුත්තක් නෙමෙයි.

 

ඔබ විවාහ කර ගත්තේ ලංකාවේ ජනප්‍රිය නිළියකගේ දියණියක්. ෆේස් බුක් ආදර කතාව ආරම්භ කරද්දී දැනගෙන හිටියද ඒ ඩිලානි අබේගුණවර්ධනගේ දුව කියලා ..?

එයාව මුලින්ම දැකලා කතාබහ කරද්දී ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ මෙයත් මෙයාගේ අම්මත් නිළියක් කියලා . නොදැන ඇති වුණු හිතවත්කමක් තිබ්බෙ.

 

බයක් දැනුනේ නැද්ද පවුලේ එකම දියණියගේ අතගන්න ඩිලානි අකමැති වෙයි කියලා ..?

ඇත්තටම කිව්වොත් අපි ආදරේ කරලා එයාගේ මාපියන් දැන ගද්දි එයාලා අපේ සම්බන්ධයට විරුද්ධ වුණා , කැමති වුණේ නැහැ , අකමැත්තෙන් අපි ආදරේ කළා. කාලයත් එක්ක තමයි අපි දෙන්නා විවාහ වෙනවට ඒ මාපියන් කැමති වුණේ.

 

බිරියට රඟපාන්න එපා කියලා නීති රිතී දාලද තියෙන්නේ ..?

මුලින්ම මම කිව්වා රඟපාන්න එපා කියලා. නමුත් ඊට පස්සේ මම හිතුවා එයාට හොඳ ෆිල්ම් කරන්න අවස්ථාව දෙන්න ඕන කියලා. ඒ නිසා මම කවිෂාට කිව්වා හොඳ ෆිල්ම් එකකට ආරාධනා ආවොත් භාර ගන්න කියලා.

 

ඇය රඟපාන්න අවස්ථාව ක් ඉල්ලුවොත්..

එයාට රඟපාන්න ඕන කිව්වොත් අවස්ථාව දෙනවා. නමුත් දැන් එයාට රඟපාන්න කැමැත්තක් නැහැ කියලා තමයි කියන්නේ.

 

ලංකාවට එන්න අදහසක් නැතුව ඇති නේද ශෙහාන්.. ..?

ලංකාවට ළඟදිම යන්න ඉන්නේ. නමුත් වැඩි කාලයක් ඉන්න බැරි වෙයි. ඉක්මනින් ආයෙමත් අ‍ෙමරිකාවට එන්න වෙනවා.

ශෙහාන්ගේ කතාබහ අවසානයේ ඔහුගේ ආදරණීය බිරිඳ කවිෂා එක්ක මේ විදිහට කතා කළා, ඈ කතාවට මුල පිරුවේ මවු පදවිය එක්ක ගෙවන අලුත් අත් දැකීම් ගැනයි.

මමත් මවු පදවිය ලැබුවා. දැන් අපේ පුතාට මාස පහයි. එයාගේ නම කෛලේන් සෙනෙත් ජයසූරිය. බබා ලැබිලා මුල් මාස දෙක ටිකක් මට අසීරූ වුණා. ඊට පස්සේ ටිකින් ටික මේ ජීවිතේට හුරු වුණා. දැන් බබා අපිත් එක්ක සංචාරය කරන්නත් එක්කගෙන යනවා. ජුනි මාසේ ඉඳලා ශෙහාන්ගේ ක්‍රිකට් සීසන් එක පටන් ගත්තා. අපි දෙන්නත් එයත් එක්ක හැමතැනම ගියා. ගොඩක් අය පුදුම වුණා. චූටි බබෙක් එක්ක කොහොමද ට්‍රැවල් කරන්නේ කියලා. ඒත් මට ඒක අසීරූ නැහැ දැන් හුරු නිසා. මම නම් හිතන්නේ බබෙක් ලැබුණා කියලා එකතැන ඉන්න හොඳ නැහැ ජීවිතේ විඳින්න ඕන. ඉතිං මම මේ ජීවිතේ විඳිනවා කරදරයක් කියලා නොහිතා.

 

ඇත්තටම රඟපාන්නේ නැත්තේ ඔයා අකමැති නිසාද එහෙම නැත්තම් ශෙහාන් නීති දාලා ද..?

මම එක කොමඩ් චිත්‍රපටයකට සම්බන්ධ වුණා . ඒකේ වැඩ සති දෙකෙන් ඉවර වුණු නිසා සම්බන්ධ වුණා. ඊට පස්සේ උපාධි අවසන් කරද්දී අවුරුදු හයක් ගියා. හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න හිටියේ, රඟපාන්න ආරාධනා ලැබුණත් ලංකාවට ඇවිත් ලොකු කාලයක් ඉන්න මට නිවාඩු නැති නිසා ඒවට සම්බන්ධ වුණේ නැහැ. ඊට පස්සේ කැමැත්තක් ඇති වුණේ නැහැ. මම ආස නැහැ දැන් රඟපාන්න. ශෙහාන්ගෙ රඟපාන්න එපා කිව්වෙත් නැහැ. මගේ අකමැත්ත නිසා තමයි රඟපාන්න යන්නේ නැත්තේ.

එහෙම නැත්තම් ගොසිප් හැදෙයි කියලා බයටද..?

මම ප්‍රසිද්ධ වෙන්න ආස නැහැ ඇත්තටම බොරු ගොසිප් හැදෙන නිසා. ඒත් මම රඟපාන්නේ නැතුව ඉඳලත් බොරු ගොසිප් හැදෙනවා.

 

ශෙහාන් කියන විදිහට ඔහුගෙන් උදව් ලැබෙනවා ද.?

මට වඩා බබාව බලාගන්නේ, බබාගේ වැඩ කරන්නේ ශෙහාන් කිව්වොත් හරි. උදේ පාන්දර බබා ඇහැරෙද්දි මට කලින් එයා නැඟිටලා බබා ගැන බලනවා. පොඩි සද්දයක් ඇහුණත් ශෙහාන් ඇහැරෙනවා. මම වගේ නෙමෙයි. ජිවිතේට මුලින්ම දරුවෙක් එකතු වෙනවා කියන්නේ ලෙහෙසි නැහැ , එතනදි මට කිසි අඩුපාඩුවක් නොකර එයා මට උදව් කරනවා. ඇත්තටම එයා හොඳ සැමියෙක්. හොඳ තාත්තා කෙනෙක් කියන්න පුළුවන් . ඒ වගේම තමයි මගේ කැරියර් එක අත අරින්නේ නැතුව කරගෙන ‍යන්නත් එයා උදව් කරනවා.

 

අම්මා දැන් ආච්චි කෙනෙක් කොහොමද ඇගේ ප්‍රතිචාර..? ඒ ගැනත් කියලා කතාවට සමු දෙමු..?

අම්මා තාත්තා හරි සතුටු වෙනවා. අම්මා ඉන්නේ මට වඩා ගොඩක් දුරින්. මම ඉන්නේ කැලිෆෝනියාවේ අම්මා නිව්යෝර්ක්. එක රටේ තැන් දෙකක . ජොබ් එකෙන් නිවාඩු ගන්නත් අමාරුයි. ඒත් අම්මා නිවාඩු දාලා මගේ ළඟ මාසයක් හිටියා. බබා ලැබෙද්දී එයාලා මගේ ළඟ. අම්මත් මට ලොකු හයියක්. මාස හතරකින් අම්මව දැක්කෙ නැහැ , ඒත් වීඩියෝ කෝල්ස් අරන් බබාව බලනවා.

 

Comments