බතික් කියන්නෙ කලාවක් මම හැම කලාවක්ම ඉගෙන ගන්න ආසයි | සිළුමිණ

බතික් කියන්නෙ කලාවක් මම හැම කලාවක්ම ඉගෙන ගන්න ආසයි

2006 වසරේ සිට මොස්තර නිරුපිකාවක ලෙස රංගනයට පිවිසි ඈ 28, සිරිපැරකුම්, සරිගම, අන්ඩර් පැන්ටීස් තීෆ් හෙවත් ‘ජංගි හොරා, ස්වර ආදී සිනමා පට කිහිපයකම අභියෝගාත්මක චරිත නිරූපණය කරමින් සිය රංගන කෞෂල්‍ය විදහා පෑවාය. මේ වන විට ඈ බතික් කලාට පිවිස සිටින්නීය. 2020 වසරේ කර්මාන්ත අමාත්‍යාශය මඟින් පැවැත්වූ බතික් පාඨමාලාවේ ප්‍රථමස්ථානය දිනාගත් ඕ බතික් කලා උපදේශිකාවකි. ඈ නමින් හේමමාලි පෙරේරාය.

ඇත්තටම මම බතික් කලාවට යොමු වුණේ මගේ සැමියා නිසයි. ඔහු ලංකාවේ සිටින දක්ෂ කලාත්මක ඡායාරූප ශිල්පිෙයක්. එමෙන්ම ඔහු චිත්‍ර ශිල්පියෙක් ද වන රන්දික අහංගමයි .

“2016 කියන්නේ තරමක් වැඩ අඩු කාලයක්. මම නිකන් ඉන්න අකමැති නිසා පොඩි පොඩි අත්කම් නිර්මාණ හා ඇඳුම් නිර්මාණ කළා. ඒවා දැක්කම මගේ සැමියා මා තුළ වෙනත් කලාවන් කෙරෙහිද යම් හැකියාව ඇති බව දැනගත්තා. එතැනදී ඔහු යෝජනා කළා බතික් නිර්මාණ කලාවට යොමු වෙන්න කියලා. ඒ වෙන කොට මං බතික් ගැන දැනගෙන හිටියේ නැහැ. ඒත් මම බතික්වලට හරිම ආසයි. ඒ නිසා එයාගෙ යෝජනාවට මං කැමති වුණා.

“නමුත් කොහොමද බතික් කරන්නේ? ඒකට සල්ලි වියදම් කරල ලොකු කෝස් එකක් කරන්න ඕන නේ “ මං කිව්වා. “නැහැ, මං උගන්වන්නම්” ඒ වෙලාවෙදි තමයි මම දැනගත්තේ ඔහු හා ඔහු ගේ සහෝදරයා විභවි ලලිතකලා ඇකඩමියේ ඉගෙන ගන්නා කාලයේ බතික් කලාව ද ප්‍රගුණ කර තිබුණ බව. ඔවුන් වෙනත් ක්ෂේත්‍රවලට යොමු වූ නිසා ඒ දේවල් යටපත් වී තිබුණා. ඒ විදියට තමයි මං බතික් කලාවට යොමු වුණේ.

මම ටික කාලයක් බතික් කලාව කරගෙන යද්දී බතික් කලාවේ නව මානයක් වන ශිබෝරි බතික් කලාවට පිවිසීමට හැකියාව ලැබුණා. ශිබෝරි කියන්නේ ජපන් වංශවතුන් වෙනුවෙන් පමණක් කළ බතික් කලාවක්. ඔවුන්ට පමණයි ඒ ආශ්‍රයෙන් කළ නිර්මාණ ඇඳීමේ අවසරය තිබුණේ. නූතනයේ මේ තත්ත්වය බොහෝම වෙනස් වී තිබෙනවා. අද මිල අධික මේ ශිබෝරි බතික් නිර්මාණ වංශවතුන්ට ධනවතුන්ට, මධ්‍යම පාන්තිකයන්ට වගේම ඕනෑම තරාතිරමක අයකුට අරගෙන අඳින්න පුළුවන්.

කාලයක් තිස්සේ බතික් නිර්මාණ කරන නිසා විවිධාකාරයේ නිර්මාණශීලි ගවේෂණයන් කරන්න මං උත්සාහ කළා. මං ලංකාවේ දේශගුණයට ගැළපෙන වර්ණයන් සහ මෙටීරියල්ස් යොදාගෙන විචිත්‍රවත් ශිබෝරි නිර්මාණ කලාවක් හඳුන්වා දුන්නා. ඒ අනුව සාරි, ලේන්සු, හිස් පළඳනා, අත් පලඳනා, පාවහන්, ඇඳ ඇතිරිලි, තුවා, බුමුතුරුණු, මේස රෙදි, ආදී නොයෙක් නිර්මාණ ඒ ආශ්‍රයෙන් සිදු කළා. මේ හැම එකක්ම එකිනෙකට වෙනස් යුනික් නිර්මාණ.

මගේ සැමියාගේ මඟ පෙන්වීම යටතේ මේ වෙද්දි මං බතික් ආශ්‍රයෙන් සිතුවම් කරණයටද යොමු වී සිටිනවා. ඉදිරියේදී වෙනස්ම විදියේ නිර්මාණ එකතුවක් ශිබෝරි බතික් කලාව ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මගේ බතික් නිර්මාණ මහනුවර, කොළඹ, හික්කඩුව, ගාල්ල, හබරාදුව, කොග්ගල, අහංගම වගේ ප්‍රදේශ දක්වා ව්‍යාප්තව පවතිනවා.”

ඇයට මේ වන විට ලංකාව තුළ වගේම ජාත්‍යන්තරවත් වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියාව, ඩුබායි, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව වගේ රටවලින් මේ වන විට ඇණවුම් ලැබී තිබෙනවා. 2019-20 වසරවල පිට පිටම ශීල්ප සභාවේ කුසලතා සහතික හිමි කරගෙන ඇති ඇය ස්වයං රැකියාවක් ලෙස බතික කලාව ප්‍රගුණ කරන්න කැමති අයට අත දෙන්න සූදානම්ව සිටි. ඇය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කෙනෙක් මුහුණු පොතේ Hayley Perera, Hayley Art යන ගිණුම්වලට පිවිසීමෙන් ඇගේ තොරතුරු ලබාගත හැකිය.

Comments