විදෙස් රටවල ප්‍රසංග කලාවට පුදුමාකාර ඉල්ලීමක් තියෙන්නේ | Page 2 | සිළුමිණ

විදෙස් රටවල ප්‍රසංග කලාවට පුදුමාකාර ඉල්ලීමක් තියෙන්නේ

මගේ මහ ගෙරදත් එක්ක එදා වගේම අදත් මම ඉන්නේ සතුටින්

 

මිහිරි කටහඬකට සිත් සුවපත් කරන්නට හැකි වන්නේ කීයෙන් කී දෙනාටද? ඒ ස්වර සහ වචන හරඹය නිසා ඔහුගේ හෝ ඇයගේ ජීවිත ගමන තීරණාත්මක ද කරන්නේය. උත්පත්තියෙන්ම ගෙන එන එබඳු දක්ෂතා අනුව දේශ දේශාන්තරවල නම සනිටුහන් කරන්නට හැකිවන්නේ ද කිහිපදෙනකුට පමණයි. එදා පාසලේදී ඇය ගැයූ ගායනා, වාදනා, නර්තන, සහ රංගනයෙන් දැක්වූ හැකියාවට මනබැඳි ප්‍රේක්ෂකයන්ගෙන් ලුම්බිණි රඟහල අතුරු සිදුරු නැතුව පිරී ගියේය. ඇගේ දක්ෂතාවන් නිසා මේ වන විට අප අතරින් වෙන්වූ ප්‍රවීණ සංගීතඥ සරත් දසනායකයන්ගේ සංගීතයට චිත්‍රපටිවල අත්වැල් ගායනයට ද ඈ යොමු වූවාය. අද ඈ සංගීත ලෝකයේ ශ්‍රී ලාංකේය නාමයත්, ගීත ඇතුළු ගායනාත් නොයෙක් රටවල ප්‍රචලිත කරමින් ගායිකාවකව සිටින්නීය. කාංචනා අනෝමානි පිරිස් නම් ඇය පසුගිය දිනෙක රසඳුන හා කළ කතාබහයි මේ.

ඔබේ සංගීත ගමන පැහැදිලි කළොත් ?

මම පාසල් ගියේ ලුම්බිණි මහා විද්‍යාලයටයි. එහිදී මම ප්‍රීති දසනායක, සන්ධ්‍යා බුලත්සිංහල යන්න දෙපළ නිසයි අද ගායිකාවක් හැටියට මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ. පාසලේ තිබුණු සෑම කටයුත්තකට ගායනයෙන් නර්තනයෙන්, සහ රංගනයෙන් මම සහභාගී වෙලා තියෙනවා. ලුම්බිණි රඟහලෙන් බිහිවුණු කලා ශිල්පීන් අති විශාලයි. ඒ අතරට මටත් එන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. පාසල් යන කාලෙදීමයි මම චිත්‍රපටි ගීතවලට ඇත්වැල් ගායනයෙන් යොමු වුණේ. ඒ ආපු ගමන තමයි අද මං මේ යන්නේ.

මුලින්ම චිත්‍රපටිවල අත්වැල් ගායනයට යොමුවුණේ කොහොමද?

ප්‍රවීණ සංගීතඥ සරත් දසනායකගේ සංගීතයෙන් හැඩවුණු "මධු සමේ" චිත්‍රපටයටයි අත්වැල් ගායනයෙන් යොමුවුණේ. මමත් එක්ක එදා මගේ පාසලේ තවත් හතර දෙනෙක් සහභාගී වුණා. පස්සේ මම චිත්‍රපට කිහිපයකම ගායනා කළා. ඒ අතර මම වඩාත්ම කැමැති " හුලවාලී " චිත්‍රපටයේ අත්වැල් ගායනයටයි. මේ තාක් මට උදව් කරපු ඒ ප්‍රවීණයන්ට මම ලෙස හිස නමා නමස්කාර කරනවා.

ඔබ ගායනා කළ ඒ ගීතවල පද රචනා කළේ කවුද ?

ප්‍රවීණ ගීත රචක මාධ්‍යවේදී අජන්තා රණසිංහ, ටොරානාහි ශබ්ද පරිපාලක අනුර කුමාර දිසානායත මෙන්ම හේමලාල් ගීතදේව සහ නවක ගේය පද රචකයන් ද මට පද මාලා රචනා කරලා තියනවා. නවරත්න ගමගේ ගේ සංගීතය නිසා ඒ හැම ගීතයක්ම හරිම ජනප්‍රිය වීමත් එක්ක මගේ බලාපොරත්තු වැඩිවුණා.

ගුවන් විදුලි සංස්ථාවත් එක්ක තියෙන සම්බන්ධතාව මොනවගේද ?

මම ඒ කාලේ ළමා පිටියේ ගීත ගායනා කළා. ළමා නාට්‍ය හා නර්තනවලටත් සහභාගී වුණා. ගුවන් විදුලි සංස්ථාවේ, ඒ ⁣ශ්‍රේණියේ ගායිකාවක් වෙන්න තිබූ ශ්‍රේණිගත විභාගවලට ඉදිරිපත් වෙලා "ඒ " ශ්‍රේණියේ ගායිකාවක් වීම මම ලබපු ලොකු ජයක්. භාරත ගී වින්දන වැඩසටහනට මට දිගටම ගීත ගායනා කරන්න අවස්ථාව හිමි වුණා. මේ බැඳීම් නිසා මගේ මහ ගෙරදත් එක්ක එදා වගේම අදත් මම ඉන්නේ සතුටින්.

2013 වසර කාංචනාගේ මතක සැමරුමේ රනින් ලියන දවසක් වුණාද?

එක ඇත්ත. මගේ මුල්ම ප්‍රසංගය පැවත්වුණේ මේ වසරේදී. සරාගී ගී, ස්නේහේ ගී හා මල් සැරලිය නමින් කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේදි ඩී. ඩී. ගුණසේනයන්ගේ සංගීත රාවයට මේ ප්‍රසංගය සාර්ථකව පැවත්වුණා.

කලා පදනම් කීයකට සම්බන්ධව සිටිනවාද?

සංගම් කිහිපයකම ඉන්නවා, ලංකා භාරත කලා පදනමේ මුල්ම සමාජිකාවක්. භාෂා තුනකින් මට ගායනා කරන්නට පුළුවන්. (මේක ශ්‍රී ලංකාවේ හින්දි ගීත සංගමය) මේ පදනමේ හොඳම ගායන ශිල්පිනිය වෙලා මට සම්මානත් ලැබුණා. මට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ මව, පියා දේපලම කලාවට සම්බන්ධයි.

ඔබ විදේශගත වෙන්නේ කුමකටද?

මම භාෂා තුනෙන්ම ගීත ගායනා කරන නිසා ඩුබායි රටෙන් මට ආරාධනාවක් ලැබුණා; ඒ රටේ පදිංචි වෙලා ඉන්න අයගෙන් හා හෝටල් සමුහයකින් වසර අටකට කොන්ත්‍රාත් පදනමට ගීත ගායනා කරන්නට. මම එකපයින් කැමති වුණා. ශ්‍රී ලාංකේය ගීත කලාව විදේශීය රටක ප්‍රචලිත කිරීමට අවස්ථාව ලැබෙන නිසා.

දැනට රටවල් කීයක පමණ ඔබ ශ්‍රී ලාංකේය නාමය ඔසවා තබා තියෙනවාද ?

ඉන්දියාව, මාලදිවයින, ජපානය, කොරියාව, ඩුබායි, මැලේසියාව, ඉතාලිය, ප්‍රංශය, නවසිලන්තය, ඕස්ට්‍රේලියාව යන රටවල් නියෝජනය කරලා තියෙනවා. මේ රටවල් විනය අතින් හරිම ඉහළ තැනක ඉන්නේ. ප්‍රසංග කලාවට පුදුමාකාර ඉල්ලීමක් තියෙන්නේ. එහේ වැඩියෙන්ම කියන්න කියන්නේ සිංහල, දෙමළ සහ හින්දි ගීත. ඔවුන්ට ඕන අපේ භාෂාවේ හඬයි.

දැනට ඔබ කළ නිර්මාණ ගැන මතක් කළොත් ?

මම දැනට ගීත ගණනාවක් කරලා තියනවා. ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේය පද සිට නව පරපුර දක්වාම. ඒ අතර මෑතක ජනප්‍රිය වුණු ගීත කිහිපයක් මේ.

රෑ සැදෑවේ, හිරුත් නැති සඳුත් නැති, මදු සඳ පානේ, රැයේ සඳ නිවිලා,

බන්දා හද, මා මා මුලා වේලාදෝ පෙම්වත,

මේ ගීතවල ගේය පද අජන්තා රණසිංහ, හේමලාල් ගීත දේව. නිරෝෂා ගිතදේව, අනු තුමාර අමරසේකරයි. නවරත්න ගමගේ සහ දර්ශන රුවන් දිසානායක ගී තනු හා සංගීතයෙන් දායක වුණා.

ශ්‍රී ලාංකේය ප්‍රසංග වේදිකාව ගැන මොකද හිතෙන්නේ ?

මේ වකවානුවේ තරමක් විනෝද වෙන්න ජනතාවට බෑ. එනිසා අපි අපේ රට වෙනුවෙන් හිතනවා මොනවද කරන්න පුළුවන් කියලා.

ඔබේ අනාගත පසුබිම සැලසුම් කරලා තියෙන්නේ කොහොමද ?

මගේ ඊළඟ ප්‍රසංගය ඉදිරියේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අලුත් ගීත කිහිපයකුත් කරන්නයි සංවිධානය කරලා තියෙන්නෙ. තව රටවල් කිහිපයක ප්‍රසංග බාරගෙනත් තියෙනවා.

 

Comments