ජනතාවට සේවය කිරීම අත්හළ නොහැකි භාරධූර වගකීමක් | Page 2 | සිළුමිණ

ජනතාවට සේවය කිරීම අත්හළ නොහැකි භාරධූර වගකීමක්

මං හිතාගෙන හිටියේ කථිකාචාර්යවරයෙක් කියන්නේ කථික තරගවල වගේ කතා කරන කෙනෙක් කියල යි. විශ්වවිද්‍යාලවල දේශකවරුන්ටයි කථිකාචාර්යවරුන් කියන්නේ කියලා මං දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් කතා කරන්න තිබුණු ආසාව නිසා ම මම අද වැඩි දෙනකුට කතා කරන කෙනෙක් බවට පත්වුණා.

පාසල් මිතුරන් හමුවෙලා අව්‍යාජ මානව සබඳතා අත්විඳින්නටත් එදා වගේ ම ඔවුන් සමග සුහද ව කතා බහ කරලා ගමේ ටිකක් ඇවිදලා එන්නත් මං කැමතියි. මේ හැම තනතුරක් ම අපට ලැබිලා තියෙන්නේ සමාජයට යමක් හරියට කරන්න මිස බැබළෙන්න නම් නෙවෙයි.

මගේ පශ්චාද් උපාධි අධ්‍යයන පර්යේෂණය සිදු කළේ බන්ධනාගාර තදබදයට පිළියමක් ලෙස දීර්ඝකාලීන ව සිර දඬුවම්වලට නියම වූ සිරකරුවන් ප්‍රජා සේවයට යොමු කිරීම සම්බන්ධයෙනුයි

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වත්මන් සභාපති ධූරය උසුලනුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහයි. 2018 අගෝස්තු මාසයේ සිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු එහි සභාපතිවරයා බවට පත් වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ය. 1998 ඔක්තෝබර් 02 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් බවට පත් වූ ඔහු ඉගැන්වීම් කටයුතුවලට සමගාමී ව දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලයේ මෙන් ම රාජ්‍ය ආයතන කිහිපයක ම පරිපාලන කටයුතුවලට ද සම්බන්ධ ව ඉහළ තනතුරු සහ වගකීම් දරන්නෙක් ද වේ.

 

2018 වසරේ සිට ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ ඔහු අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීම සඳහා වූ 2015 අංක 04 දරන පනත මගින් ස්ථාපිත කරන ලද අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද 2016 වසරේදී පත් විය. පසුව 2021 අග භාගය දක්වා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කළ ඔහු එහි සමාරම්භක අධ්‍යක්ෂවරයා වීම ද විශේෂත්වයකි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එවකට කටයුතු කළ මහාචාර්ය දියනාත් සමරසිංහගේ ඇරයුමෙන් එහි සේවයට එක් වූ උදයකුමාර මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යයේ ද නිරත වූයේ ය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍ය හා අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස එක් වන්නේ කීර්තිමත් සමාජවිද්‍යා පර්යේෂකයකු වූ මහාචාර්ය නන්දසේන රත්නපාල විද්වතාණන්ගේ ආරාධනයෙනි. ඒ ආරම්භයට මේ වනවිට වසර 24ක් සම්පූර්ණ වී ඇති අතර කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් එදා මෙදාතුර අති විශාල දූදරු පිරිසකට ප්‍රථම උපාධි පාඨමාලා, පශ්චාද් උපාධි පාඨමාලා ආදිය සඳහා දේශකවරයකු ලෙස මෙන් ම උපාධි අධ්‍යයන පර්යේෂකයකු වශයෙන් ද ඔහු විසින් ලබා දෙන ලද සහාය හා මඟ පෙන්වීම අගනේ ය.

එසේ ම ඔහු ජාතික පොලිස් විද්‍යා පීඨයේ ආරම්භක අධ්‍යයන මණ්ඩල සාමාජිකයකු ලෙස සේවය කර ඇති ඔහු එම විද්‍යා පීඨය, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය, බන්ධනාගාරය, පරිවාස දෙපාර්තමේන්තුව ඇතුළු අපරාධමය විෂය ක්ෂේත්‍රයන්ට අදාළ නිලධාරීන් පුහුණු කිරීමේ සම්පත් දායකයෙකු ලෙස ද කටයුතු කර ඇත. දේශීය ව පමණක් නොව චීනය, තායිලන්තය, චෙක් ජනරජය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, යන රටවල පාඨමාලා හැදෑරීමටත්, 2019 වසරේ ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවති අපරාධ වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ නිල නියෝජිතයා වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වීමට ද ඔහුට අවස්ථාව උදා විය.

“දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු හා පර්යේෂණ කටයුතුවලින් ලද අත්දැකීම් වගේ ම අපරාධ සම්බන්ධ විවිධ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් නිසා අපරාධ පාලනය හා නිවාරණය පිළිබඳ ශාස්ත්‍රීය කරුණු අවබෝධ කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික වශයෙන් නිවාරණ කාර්යයන් ඉටු කිරීම පිළිබඳවත් මනා දැනුමක් මට ලැබුණා. ඒ දැනුම හා අත්දැකීම් ඇසුරෙන් ජාතික මට්ටමේ කාර්යයන් ගණනාවකට සම්බන්ධ වීමට මට හැකි වුණා. ඒවායෙන් ලද අත්දැකීම් හා දැනුම නැවත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබා දීමට මම කටයුතු කළා. 2013 වර්ෂයේ දී සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම් පිළිබඳ ඉල්ලීම් මුල් කොට ගෙන වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකදී සිරකරුවන් බොහෝ පිරිසක් මරණයට පත් වුණා. ඒ පිළිබඳ සලකා බැලීම සඳහා පත් කෙරුණු විශේෂඥ කමිටුවේ 2013 සිට 2020 දක්වා සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට ලැබීම මගේ වෘත්තීය ජීවිතයට අත්දැකීම් රාශියක් එක් කිරීමට හේතු වුණා විතරක් නෙවෙයි මගේ පශ්චාද් උපාධි අධ්‍යයනය පර්යේෂණය මම සිදු කළේත් මෙරට බන්ධනාගාර තදබදයට පිළියමක් ලෙස දීර්ඝකාලීන ව සිර දඬුවම්වලට නියම වන සිරකරුවන් ප්‍රජා සේවයට යොමු කිරීම සම්බන්ධයෙනුයි.

ඒ සඳහා මගේ පර්යේෂණ උපදේශකවරයා වශයෙන් කටයුතු කළේ අපරාධ විද්‍යා විෂය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙහි පුරෝගාමි වූ කීර්තිමත් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා යි. එම පර්යේෂණ කටයුතුවලදී අධිකරණ අමාත්‍යංශය සමගත් මම සමීප ව කටයුතු කළා.

එවකට අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙසත් පසුව එහි ලේකම් ලෙසත් කටයුතු කර විශ්‍රාම ගිය නීතිඥ කමලිනී ද සිල්වා මගේ පර්යේෂණ කටයුතුවලදී විශාල සහායක් ලබා දුන්නා. අධිකරණ අමාත්‍යංශයේ කාර්යයන් සඳහා මාගේ සේවය ලබා ගැනීම සඳහාත් එතුමිය කටයුතු කළා.

එමගින් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සේවයට යෙදවීමට යෝජනා කිරීමටත් මට හැකි වුණා. තවත් රාජ්‍ය ආයතන රැසකට අපරාධ විද්‍යා උපාධිධාරීන් රැකියාලාභීන් ලෙස යොමු කරවීමටත් මට හැකි වුණා.

ඒ වගේ ම රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන් වගේ ම රටේ ඉහළ තනතුරු හා නිලතල දරන ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතු සඳහා සහාය දැක්වීමටත්, ඔවුන්ගේ උපදේශක ලෙස කටයුතු කිරීමටත් මට අවස්ථාව ලැබුණා. අපරාධ පාලනය පිළිබඳ ඔවුන් ලද එම දැනුම රාජකාරි කටයුතුවලදී ප්‍රායෝගික ව යොදවන අයුරු අද මට දකින්න ලැබෙනවා.”

අම්පාරේ උපන් උදයකුමාර අමරසිංහ සිය පාසල් අධ්‍යාපනය ආරම්භ කරන්නේ කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙනි. සිය පියාගේ දඬුවම් මාරුව නිසා උපන් ගම අතහැර ටික කාලෙකට කෑගල්ලට යන්නට ඔහුට ද සිදු විය.

“මගේ තාත්තා රිචඩ් අමරසිංහ රජයේ නිලධාරියෙක් හැටියට අම්පාර දිස්ත්‍රික්කයේ රාජකාරි කළා. තාත්තාට කියලා නොයෙකුත් වැඩ කරවා ගන්න ආව අය ඒ කාලේ හැටියට බිස්කට් පෙට්ටියක් වගේ දේවල් තෑගි බෝග හැටියට අරන් ආවා. නමුත් තාත්තා කිසි දවසක ඒ තෑගි ගත්තේ නැහැ. ඔහු ඉතා සෘජු ප්‍රතිපත්ති තිබූ, අසාධාරණයට වගේ ම වංචනික ක්‍රියාවලට තදින් විරුද්ධ ව කටයුතු කළා. එහෙම සිටියදී කෑගල්ල කච්චේරියට දඬුවම් මාරුවක් ලැබුණා. ඒ අනුව අපි කෑගල්ල කච්චේරියේ නිල නිවාසයකට පදිංචියට ආවා. මගේ පාසල් ගමන ආරම්භ වන්නේ එහෙදීයි. වසර කිහිපයකින් පසු නැවත තාත්තාට අම්පාර කච්චේරියට ස්ථාන මාරුව ලැබුණා ම එහේ ගිහින් අම්පාර කාවන්තිස්ස මහා විද්‍යාලයට ඇතුළත් වෙලා සාමාන්‍ය පෙළ සමත් වුණා. පසුව අම්පාර ගාමිණි මහා විද්‍යාලයට ඇතුළත් වෙලා වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ ආරම්භ කළත් සිංහල භාෂාව පිළිබඳ තිබූ උනන්දුව නිසා කලා විෂය ධාරාවට මාරු වුණා.

මම ඉස්කෝලේ වගේ ම සමස්ත ලංකා කථික තරඟවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මගේ පාසලේ හිටපු විජේදාස විදුහල්පතිතුමා නිසා ඒ උනන්දුව වැඩි වුණා. ලොකු වුණා ම කවුරු වෙන්නද කැමති කියලා ඇහුවා ම මං කිව්වේ කථිකාචාර්යවරයෙක් වෙනවා කියලා යි.

මං හිතාගෙන හිටියේ කථිකාචාර්යවරයෙක් කියන්නේ කථික තරගවල වගේ කතා කරන කෙනෙක් කියලා යි. විශ්වවිද්‍යාලවල දේශකවරුන්ටයි කථිකාචාර්යවරුන් කියන්නේ කියලා මං දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් කතා කරන්න තිබුණු ආසාව නිසා ම මම අද වැඩි දෙනකුට කතා කරන කෙනෙක් බවට පත්වුණා.”

1990 දී උසස් පෙළ සමත් වුවත් රටේ පැවති කලබලකාරී වාතාවරණය නිසා විශ්වවිද්‍යාල වසා තැබිණි. ඒ අනුව රාජ්‍ය සේවයට අයදුම්පතක් යොමු කිරීමෙන් අම්පාරේ වාරිමාර්ග කළමනාකරණ අංශයේ ආයතන සංවිධායකවරයෙක් වශයෙන් ක්ෂේත්‍ර නිලධාරී තනතුරක් ඔහුට ලැබිණි. ගමේ ගොවි ජනතාව හා කෘෂිකර්මාන්තය නඟා සිටුවීම මෙන් ම ගොවි ජනයා සහ ඉහළ නිලධාරීන් සම්බන්ධීකරණ කටයුතු ඔහු අතින් ඉටුවුණු කාර්යයන් අතර විය. 1993 දී විශ්වවිද්‍යාලයට දොර විවරවීමෙන් එකී රැකියාවෙන් ඉවත් ව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණි.

“ඒ කාලේ යුද හමුදාවට බැඳෙන්නත් මගේ ලොකු උනන්දුවක් තිබුණා. මගේ පියා සමඟ ඉතා සමීප හිතවත්කමක් තිබුණු එවකට අම්පාර දිස්ත්‍රික්කයේ දිසාපති ලෙස කටයුතු කළ විශිෂ්ට පරිපාලන නිලධාරියකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතාට මගේ බලාපොරොත්තුව ගැන කිව්වාම එතුමා තමයි මාව විශ්වවිද්‍යාලයට යන්න උනන්දු කළේ. එයින් පසුවත් මා එතුමා ව නිතර මුණගැසුණා. රාජ්‍ය සේවයේ ඇති වටිනාකම, අධ්‍යාපනයේ වටිනාකම එතුමා මට නිරතුරු ව ම කියා දුන්නා.

ඒ පිළිබඳ මගේ උනන්දුව වැඩිදියුණු කළා. ඒ වගේ ම මගේ අධ්‍යාපන කටයුතුවලදී දේශකවරුන් ලෙස සම්බන්ධ වුණු කීර්තිමත් රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනෙක් මගේ ජීවන ගමන ඉහළට ඔසවා තැබීමට හේතු වූණා. මගේ අම්මා සුමනාවති අමරසිංහ රැකියාවක් කළේ නැති වුණාට ඇය ගුරු පත්වීමක් ලබන්නට නියමිත ව සිටියා. නමුත් දේශපාලන පළිගැනීම් හේතුවෙන් ඇයට ඒ වෘත්තිය අහිමි වුණා.

මගේ අම්මා ඉතා ම ධෛර්යවන්ත කාන්තාවක් වගේ ම ඇය ගොවිතැන් කටයුතුවලටත් දැඩි උනන්දුවක් දැක්වූවා. අදටත් ඇය එම කටයුතු කරනවා. මගේ අක්කයි, නංගියි රාජ්‍ය සේවයේ සිටිනවා.

මගේ ජීවිතයේ සමබරතාව පවත්වාගෙන යන්න අද මට මගේ බිරිය මේනකා නිශාන්ති ලොකු සහායක් ලබා දෙනවා. විශ්වවිද්‍යාලයේ මම අවසාන වසරේ ඉන්න කාලේ ඇය ප්‍රථම වසරට ඇතුළත් වුණා. එදා මෙදාතුර ඇය මගේ ජීවන සහකාරියයි. ඇයත් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවය කරනවා.

අපගේ දියණියන් දෙදෙනා වන අමායා අමරසිංහ සහ සිත්මි නේතා අමරසිංහ තවමත් කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගන්නවා. කොළඹ ජීවිතය පහසුකම් අතින් හොඳ වුණත් මානසික මෙන් ම ශාරීරික සුවය සඳහා මම ඉඩක් ලැබෙන හැම වෙලාවක ම දරුවන්, බිරිය සමඟ අම්පාරේ යනවා. මගේ අම්මා, සහෝදරියෝ එහේ ඉන්නවා. ගමේ ගිය වෙලාවට මට තනතුරු අමතක වෙලා යනවා.

පාසල් මිතුරන් හමුවෙලා අව්‍යාජ මානව සබඳතා අත්විඳින්න අදටත් එදා වගේ ම ඔවුන් සමග සුහදව කතාබහ කරලා ගමේ ටිකක් ඇවිදලා එන්න මං කැමතියි. මේ හැම තනතුරක් ම අපට ලැබිලා තියෙන්නේ සමාජයට යමක් හරියට කරන්න මිස බැබළෙන්න නම් නෙවෙයි. මේවා අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන් වුණත් අපි කරන යහපත් දේ මේ සමාජයට ඉතිරි වෙනවා. අපේ කාලේ හැම දෙනෙක් ම වගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ නොමිලේයි. අපේ උසස් අධ්‍යාපනයට උදව් කළේ මේ රටේ ජනතාවයි.

අපට මේ සමාජයේ පිළිගැනීමක්, ගෞරවයක්, නිලතල ලබා ගැනීම සඳහා විශාල දායකත්වයක් දුන්නේ මහජනතාවයි. ඒ නිසා මම විශ්වාස කරන දෙයක් තමයි හැකි සෑම අවස්ථාවකදී ම ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම.

ඒ සඳහා කිසිවිටෙකත් අත්හළ නොහැකි යුතුකමක් අපට තිබෙනවා. ඒ නිසා අපි තවදුරටත් මහජනතාවගේ දේවල් බලාපොරොත්තු නොවී ඔවුන් වෙනුවෙන් කළයුතු සේවය යුතුකමක් සේ සිතා ඉටු කළ යුතුයි.”

Comments