සිත නළවන සුන්දර ඕවිල්ල ඇල්ලේ සොඳුරු සවාරියක් | Page 2 | සිළුමිණ

සිත නළවන සුන්දර ඕවිල්ල ඇල්ලේ සොඳුරු සවාරියක්

ගමන් මාර්ගය-

බදුල්ල- කොළඹ මාර්ගයේ කුඹල්වල හන්දියේ බැස කිලෝමීටර් 5ක් පමණ වැල්ලවාය මාර්ගයේ ගමන් කර ඇල්ලට ළඟා විය හැකිය. දුම්රියෙන් යනවා නම් කොළඹ කොටුවෙන් බදුල්ල දුම්රියේ නැඟී ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස ඇල්ලට යා හැකිය.

 

සුන්දර පාරාදීසයක් බඳු අදහාගත නොහැකි තරම් සුන්දර දසුන්වලින් පිරුණු ශ්‍රී ලංකාව දෙස්විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වීමට ප්‍රධාන හේතුව ඒ සුන්දරත්වයයි. ඇල්ල ද එවැනි සුන්දර ස්ථානයක්. ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ මුහුදු මට්ටමේ සිට මීටර 1141ක් පමණ උසින් පිහිටි ඇල්ල නගරය, කඳු නඟින්නන් අතර ප්‍රසිද්ධ­ියක් උසුලනවා. එපමණක් නොවෙයි දේශීය සංචාරකයන්ටත් වඩා ඇල්ල වෙත ඇදී එන්නේ විදෙස් සංචාරකයන්.

 

කොළඹ සිට බදුලු කෝච්චියෙන් වගේම බස් රියෙනුත් ඇල්ල නගරය වෙත ළඟා විය හැකි වුවත් වඩාත් සුන්දර දුම්රියේ ගමන බවයි බොහෝ දෙනකුගේ අදහස. දකුණු පළාතේ සිට පැමිණෙන අයට නම් වැල්ලවාය හරහා බස් රියෙන් ඇල්ලට ළඟා වීම පහසු විය හැකිය. සංචාරකයන් බහුල කාලයට නම් ඇල්ල ප්‍රදේශයේ හෝටල් සහ නවාතැන්පොළවල් පිරී යන නිසා එහි යන්න කලින් නවාතැනක් වෙන්කරවාගෙන යනවා නම් එය ඔබේ සංචාරයට පහසුවක් වේවි.

ඇල්ල හන්දියෙන් නමුණුකුළ පාරේ කිලෝමීටර් 2ක් පමණ දුර ගිය විට පුංචි සිරිපාදයට යන පාර හමුවනවා. පුංචි සිරිපාදය ලෙස හඳුන් වන්නේ ඇල්ල ගල කන්දට ඉස්සරහින් පේන කන්දයි. පුංචි ශ්‍රීපාද කඳු මුඳුනෙත් සැබෑ ශ්‍රී පාද කඳු මුඳුනේ වගේම අංශක 360ක දර්ශන පථයක් තිබෙනවා. හිමිදිරියේ ඉර සේවය දැක බලා ගන්න එතැන හරි අපූරුයි. ඒ හැරුණාම ඈතින් කඩා හැලෙන රාවණා ඇල්ලත් ඉතා සුන්දරව දිස්වෙනවා.

ඊළඟට හමුවන පූනාගල කඳු වැටියේ අවසාන භාගයේ පිහිටලා තියෙන 'ඇල්ල ගල' කන්ද එහෙමත් නැත්නම් ‘ඇල්ල රොක්’ හි විශේෂත්වය වන්නේ ෆයිනස් කැලේ මැදින් කන්ද මුඳුනටම නැඟ අවට සිරි නැරඹීමට හැකි වීමයි. කඳු බෑවුමේ නැම්මක් සමඟ පිහිටලා ඇති ස්ථානයට බැසගත් විට දිස්වෙන්නේ ත්‍රාසය මුසු පුළුල් දර්ශන පථයක්. කිතල් ඇල්ල දුම්රිය ස්ථානයට පහළින් තිබෙන පාරෙන් ආ විට මේ ඇල්ල ගල කන්දට නැඟිය හැකි පාර පාර හමු වෙනවා.

ඇල්ල ටවුමේ සිට කිලෝමීටර 3.5ක විතර දුරින් පිහිටා ඇති රාවණා ගුහාවට යන කඳු පාරේ ආරම්භක පඩිපෙළ පිහිටා ඇත්තේ රාවණා ගුහාව පන්සලෙන්. වර්ග අඩි 1500කටත් අධික මේ ලෙන් භූමියේ දකුණු පස අවසානයේ සිට ආරම්භය දක්වා කොටසේ සැඟවුණු උමං 4ක් තිබෙනවා. ඇල්ලට යන කා අතරත් ජනප්‍රිය තවත් ස්ථානයක් වන්නේ රාවණා රජුගේ මුත්තණුවන් වන 'පුලස්ති මුණි' සෘෂිවරයාගේ මුහුණේ රූපයක් තියන ස්ථානය. මේ රූපය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ ඇල්ල සිට කිලෝමීටර 4ක පමණ දුරින්.

ඇල්ලට යන ඔබ රාවණා ඇල්ල බලන්න යනවා නම් ඒ සඳහා හොඳ ම කාලය වන්නේ ජනවාරි සිට අප්‍රේල් අතර කාලයයි. අඩි 82ක් උස රාවණා ඇල්ල මවන සොඳුරු දසුන් අපමණයි.

දෙමෝදර ආරුක්කු නමයේ පාලම ඇල්ලට යන ඔබ නැරඹිය යුතුම තවත් සුන්දර ස්ථානයක්. ඒ සඳහා ඇල්ලේ සිට කුඹල්වෙලට ගොස් එතැනින් බදුල්ල බස් රියක ගොස් දෙමෝදරින් බැස කිලෝමීටර 3කට ආසන්න දුරක් පා ගමනින් යා යුතුයි. ඇල්ල දුම්රිය පොළෙන් රේල් පාරට බැස දකුණු පැත්තට ඇවිදගෙන යෑමෙන් ද ආරුක්කු නවයේ පාලමට ළඟාවිය හැකියි. පාලම බලන්න යනවා නම්, දුම්රියක් පැමිණෙන වෙලාව දුම්රිය ස්ථානයෙන් දැනගෙන ඒ වේලාව ආසන්නයේ යෑම වඩාත් සුදුසු වන්නේ, සුන්දරම දසුන මැවෙන්නේ ආරුක්කු අතරින් දුම්රිය ගමන් කරන අවස්ථාවේදී වන නිසයි. පිටතට නැමුණු ආකාරයට ඉදි කර ඇති ආරුක්කු නවය සුදු ඇත්තන්ගේ නිර්මාණයක් බවයි පැවසෙන්නේ. නමුත් ඒ සඳහා ඔවුන්ට අදහස දී තිබෙන්නේ සිංහල ජාතිකයෙක් බවත් පැවසෙනවා.

සුන්දර හවස්වරුවක මේ ආරුක්කු පාලම අතරින් දුම්රියක් යන දසුන කැමරාවට හසුකර ගන්න දෙස් විදෙස් සංචාරකයෝ දක්වන්නේ දැඩි කැමැත්තක්. කැමරා කාචයක රැඳුණු එවැනි දසුන් ඔබටත් ඇල්ල ගමනේ සුන්දරත්වය නැවත නැවත මතක් කරදෙනු නිසැකයි.

Comments