ජංගි හොරා ගැන ඔවුහු මෙසේ කියති | Page 2 | සිළුමිණ

ජංගි හොරා ගැන ඔවුහු මෙසේ කියති

මෙතෙක් ලාංකේය සිනමාව තුළ වැඩි වශයෙන් කතා නොවුණු නමුත් මිනිස් සමාජය තුළ දකින්නට ලැබෙන එතරම් විවෘතව කතා කරන්නට අකමැති කතා වස්තුවක් මුල් කරගෙන මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. ඒ මෙම සිනමා නිර්මාණය ගොඩනැඟී තිබෙන්නේ කාන්තා යට ඇඳුම් කෙරෙහි දැඩි ආකර්ෂණයක් පළ කරන සහ ඒවා හොරකම් කිරීමට පෙලඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටායි.

ආචාර්ය සෝමරත්න දිසානායකව බොහෝ දෙනා හඳුන්වන්නේ ළමුන් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙක් විදිහට. නමුත් ඔහුගේ මෙම Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටය මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මඟක් ගන්න සිනමාපටයක්. සෝමරත්න දිසානායකයන් නිර්මාණය කළ චිත්‍රපට සියල්ල අන්තර්ජාතිකව සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම මේ Underpants Thief (ජංගි හොරා) චිත්‍රපටය මෙය 6 වැනි දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමටත් සමත් වී තිබුණා.

 

මට හිතුණා මම රාමුවෙන් පිටතට එන්න ඕනෑ කියලා Underpants Thief හි අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක

මම ළමයින්ට විතරක් සීමා වූ චිත්‍රපට විතරක් හදපු සිනමාකරුවෙක් ‍නෙවෙයි. මගේ නිර්මාණය පවු‍ලේ සැමට නරඹන්න පුළුවන්. නමුත් ළමයින්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිචාරත් මාව මෙතෙක් කාලයක් මේ රාමුවට කොටු කරන්න හේතු වෙන්න ඇති.

ඕනෑම සිනමාකරුවෙක් එකම රාමුවකට පමණක් කොටුවෙලා චිත්‍රපට හදන්න වුවමනා නැහැ කියන එක මම තදින් විශ්වාස කරනවා. මට හිතුණා මමත් මේ රාමුවෙන් පිටතට එන්න ඕනෑ කියලා.මේක වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් නිසා මට ඒ වෙනුවෙන් වෙනස් විදිහේ ප්‍රතිචාර ලැබේවි.

 

ජිවිතේ මම රඟපාපු චිත්‍රපට අතරේ  ආසම චිත්‍රපටයක් Underpants Thief හි ප්‍රධාන නිළි දිල්හානි අශෝකමාලා

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන Underpants Thief එහෙමත් නැත්නම් ජංගි හොරා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා. ඒ නිසාම රසඳුන මේ කතා බහ ජනප්‍රිය ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා සමඟ.

මේ දවස් වල මොකද වෙන්නේ

දැන් අවුරුදු හතරක් විතර වෙනවා මේ නිර්මාණය කරලා. මෙහි පිටපත මට ලැබුණාම මම කියවලා බලලා මගෙත් පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනෙකම තිබුණා. ඒ ගැන සෝමේ අයියා එක්ක කතා කරලා මගේ අදහස කිව්වම ඔහු ඒකට එකඟ වුණා. ඒ එකඟතාවෙන් වැඩ කෙරුවා. ඒ චිත්‍රපටයේ පටන් ගැන්ම සිදු වුණේ එහෙමයි.

මේ තේමාව ගැන කතා කළොත්

ඔය තේමාව අපේ සමාජයේ අලුත් දෙයක් හෝ සිද්ධ වෙච්ච නැති දේවල් නෙවෙයි. ඔය සිදුවීම් මටත් වෙලා තියෙනවා. ෂූටින් ගියාම අපේ යට ඇඳුම් හොරකම් කරන අයත් ඉන්නවා. ඒ වගේම දන්නවා ගැහැනියක් ගඟක ඇළක දොළක නානවා නම් හොරෙන් බලන් ඉන්න කොටසක් ඉන්නවා. දැන් කාලේ නම් බාත්රූම් එකට කැමරාවක් දාලා බලන් ඉන්න දේවල් පවා තියෙනවා. යම් කිසි මානසික ගැටලුවක් තියෙන අයටනේ ඔහොම වෙන්නේ. එතකොට මේ චිත්‍රපටයේ කතා කරන්නේ ඒ මානසික ගැටලුව ගැන දැඩි ලෙස තියෙන පුද්ගලයෙක් ගැන. එහෙම කෙනෙක් පවුලක හිටියොතින් ඒ ගෙදර අයගේ හැසිරීම තමයි මගේ චරිතයෙන් කියැවෙන්නේ. එහෙම නැත්නම් අපේ සමාජයේ මෙවැනි පුද්ගලයෙක් අහුවුණාම මිනිස්සු සාමාන්‍යයෙන් කරන්නේ ගස් බැඳලා ගහනවා අතපය කඩනවා. හැබැයි මගේ දැක්ම හැටියට ඒක නෙවෙයි වෙන්න ඕනේ. ඒ මනුස්සයට එකෙන් ගැලවෙන්නයි උදව් කරන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටයේ කතා වෙන්නේ එවැනි කෙනෙක් ගෙදරක ඉන්නවා නම් ඔහුව ඉන් මුදවා ගන්නේ කොහොමද කියන එක.

මෙතෙක් කරපු චරිත එක්ක මේ චරිතය

මේ කතා තේමාව මට රඟපාන්න අලුත්. නමුත් රඟපෑම කියන එක මට නුහුරු දෙයක් නෙවෙයිනේ. මේ චිත්‍රපටය ඇතුළේ ඉන්නේ චරිත හතරක් වගේ. ගෙයක් ඇතුළෙ සිදුවෙන සිදුවීම් පෙළක්. ඇත්තම කියනවා නම් මගේ ජිවිතේ මම රඟපාපු චිත්‍රපට අතරේ මම ආසම කරන ගොඩේ තියෙන චිත්‍රපටයක්.

රංගනයේ දී අභියෝග බාර ගන්න කැමතියි නේද?

රංගනයේ පමණක් නෙවෙයි මගේ ජීවිතෙත් එහෙමයි. මේ චිත්‍රපටය මම මුළු හදවතින්ම රඟපාපු එකක්. මගේ හදවත එකඟයි නම් මම ඒ කරපු දේට කොයිතරම් ගල් මුල් නින්දා අපහාස ආවත් එයා සැලෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ හදවත පිරිලා ඉවරයි. මම ඉතාම ගෞරවයෙන් කැපවීමෙන් ආදරෙන් තමයි මේ චිත්‍රපටයේ රඟපෑවේ. මගේ හදවත පිරිලා ඒ නිසා අනිත් අය මොනවා කිව්වත් මට වැඩක් නැහැ.

පුබුදු ගැනත් අපි කතා කළොත්, වත්මන් රංගන පරම්පරාවේ ඔහුගේ රංගනය ගැන ඔබ දකින්නේ කොහොමද?

පුබුදු මම දකින්නේ චරිතයක් බාර ගත්තම ඒ වෙනුවෙන් වෙහෙසෙන අධ්‍යයනය කරන කෙනෙක්. ඒ එක්කම ඒ ඉන්න චරිතත් එක්ක බද්ධ වෙලා ෆුල් ටයිම් හරියට ඒ වැඩේ කරන්න උත්සාහ කරන කෙනෙක්. එහෙම රඟපාන මිනිස්සු ඒ චරිතයෙන් වෙන් වෙලා පේනවා. රඟපාන නළු නිළියන් අතරේ වෙන් වෙලා පේනවා. ඒ තමයි දක්ෂතාව. ඒක තමයි රංගනයේ තියෙන දක්ෂතාව. පුබුදු කියන්නේ එහෙම කෙනෙක්. ඒක ලෙහෙසි චරිතයක් නෙවෙයි. ඒකට හොඳ කෙනෙක් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඉතින් මම හිතනවා සෝමේ අයියා ඒකට සුදුසු ම කෙනා තෝරා ගෙන කියලා.

මේ නම Underpants Thief (ජංගි හොරා) මේ ගැනත් විවිධ කතා තියෙනවා, ඔබ මේ නම දකින්නේ කොහොමද?

ඔය නම දාද්දි සෝමේ අයියටත් තිබුණා කොයි විදියට බාර ගනීද දෝ කියලා. හැබැයි ඒ නම දාපු නිසා නේ මේ තරම් කතා බහකට ලක් වෙන්නේ. මේ රටේ මොන තරම් නම් හොරු ඉන්නවද? විශාල මහා පරිමාණයේ හොරු ඉන්නවනේ. ඉතින් ඔය පොඩි ජංගියක් හොරකම් කරලා තියෙන්නේ ඕකේ. මට කියන්න තියෙන්නේ ඒකයි. ඔය වචන දෙක වැරදි අර්ථයෙන් ගන්න ඕනේ නැහැ. සාමාන්‍ය ජිවිතේ තියෙන දේවල්. ජංගියට ජංගිය කියන්නේ නැතුව මොනවා කියන්නද? අනික හොරාට හොරා නොකියා මොකක් කියන්නද? එතකොට ඒ දෙක එකතු වුණාම අවුල් ද?

 

 

ජංගි හොරා දූපත් සිනමාවෙන් එහාට ගිහින් කරපු නිර්මාණයක්

 Underpants Thief හි ප්‍රධාන රංග භූමිකාවක් රඟ දක්වන පුබුදු චතුරංග

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන Underpants Thief හි ප්‍රධාන රංග භූමිකාව රඟ දක්වන්නේ පුබුදු චතුරංග. ඒ නිසාම ඔහුගෙනුත් මේ සිනමා අත්දැකීම ගැන අපි විමසා සිටියා.

මේ නිර්මාණය ගැන අපි කතා කළොත්

Underpants Thief කියන්නේ සෝමරත්න දිසානායක පිටරට ඉන්නකොට ලියපු තිර පිටපතක්. ඒ එක්කම මනෝ වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා ලැබුණු කතා වස්තුවක්. එතකොට මනෝ වෛද්‍යවරුන් හොඳින්ම දන්නවා ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සමාජ ස්ථරයට යටින් බොහොම රහසිගතව ඇතුළාන්තයෙන් හැංගිලා තියෙන මානසික රෝගයක් බව. ඉතින් මේ මානසික රෝගය දැන් අපි දන්නා තරමට ඉතා ප්‍රබල දැවැන්ත චරිත ඇතුළතත් මේ මානසික රෝගය තියෙනවා. නමුත් සමාජය ඉදිරියේ පෙන්නේ නැහැ. ඉතින් එහෙම සමාජය ඇතුළෙ හැංගිලා තියෙන මානසික රෝගයක් ගැන මේ චිත්‍රපටයේ කතා වෙන්නේ. මම දකින්නේ මේ වගේ වෙනස් ආකාරයේ මාතෘකා කතා කළ යුතුයි. කලාකරුවාගේ වගකීම මේ හැංගිලා තියෙන දේවල් එළියට අරගෙන සමාජයේ කතිකාවක් හදන එක. ඒක මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා සිද්ධ වෙයි. මේ වෙද්දිත් 6 වැනි දිල්ලි අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස ජාත්‍යන්තර සම්මාන පවා ලැබුවා. ඒ එක්කම ඒ සිනමා උළෙලේ ජූරිය විශේෂයෙන්ම මා ගැන කතා කරලා තිබ්බා. ඒක මගේ රංගන ජීවිතේටත් ලොකු වටිනාකමක්. සමාජයේ නොපෙනෙන පැතිකඩක් විවර කරන්න කරපු උත්සාහයක්.

මානසික රෝගී චරිතයක් කිරීමේ අත්දැකීම කොහොමද?

මිට කලින් අවස්ථා ගණනාවකදී මෙවැනි මානසික ආබාධ තියෙන චරිත මම කරලා තියෙනවා. හොඳම නළුවා සම්මානය ලැබුණු "වන්වේ" ටෙලි නාට්‍යයේදී මම මේ මානසික රෝග ගැන ගොඩක් හැදෑරීම් කරලා තියෙනවා. රන් සමනලයෝ කියන ටෙලි නාට්‍යයේ මට මානසික රෝගී චරිතයක් රඟපාන්න ලැබුණා. නමුත් ඒ පේන මානසික රෝගී චරිතවලට වඩා මේ චරිතය වෙනස්. පිටතින් පෙන්න ලොකු මානසික ආබාධයක් පෙන්න නැහැ ඔහුගේ චරිතයේ. ඔහුගේ අභ්‍යන්තරයේ තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඉතින් ඒ දේ තමා මම මගේ චරිතයෙන් නිරූපණය කළේ. මේ රූපගත කිරීම් අතරතුර රුමී රූබන් අපේ මනෝ වෛද්‍යවරයා ඇවිත් උපදෙස් ලබා දුන්නා. ඒ අනුව තමා මේ චරිතය අපි ගොඩනැංවීම් කළේ. රූපගත කිරීම් සිදු කරන අවස්ථාවේදීත් ඔහු හිටියා. ඒ නිසා එතුමාගෙන් ලැබුණු පිටුවහල විශාලයි. ඒ එක්කම අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මේ පිළිබඳ සෑහෙන රිසර්ච් කරලා තිබ්බා. ඒ සියල්ල එක්ක තමා දිල්හානි අක්කත් මමත් මේ චරිතය ගොඩනඟා ගත්තේ. චරිත හතරක් වටා මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. බොහොම හොඳ හැදෑරීමක් එක්ක කරපු නිර්මාණයක් Underpants Thief කියන්නේ.

දිල්හානි ඒකනායක සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ලැබීම ගැන මොකද හිතන්නෙ?

මගේ සිනමාවේ පළමු සම්මානය වන හොඳම නළුවා සම්මානය පළමු දෙරණ ෆිල්ම් සම්මාන උළෙ­‍ෙල‍දී දිනා ගනිද්දී ඒ වේදිකාවේ හොඳම නිළිය සම්මානය ලැබුණේ දිල්හානි ඒකනායකට. ඒ 2012 දී. ඒක මට ලැබුණු ලොකුම වාසනාවක් වුණා එදා. ඇය ඇවිත් මේ සිනමාවේ සම්මාන රැසක් දිනූ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් ඇයත් එක්ක රංගනයේ යෙදෙන්න ලැබීම නළුවෙක්ට ලැබෙන භාග්‍යයක්.

 

මෙවැනි රෝගීන් දෙස මානුෂිය ආකාරයෙන් බලන්න මේ චිත්‍රපටය උපකාරී වේවි

මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුමී රූබන්

Underpants Thief චිත්‍රපටයට වස්තු විෂය වෙන්නේ මානසික රෝගී තත්වයක් බව ඔබ මේ වෙද්දීත් දන්නවනේ. ඒ නිසාම මේ සිනමා නිර්මාණය සාර්ථක කර ගන්නට සම්පත් දායකත්වය දැක්වූ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රුමී රූබන් සමඟ මේ රෝගී තත්ත්වය ගැන අපි කතා කළා.

මානසික රෝග කියන කාරණය ගත්තම පුළුල් ලෙස කතා කළ යුතු දෙයක්. මෙතැනදී Underpants Thief සිනමා නිර්මාණය මුලික කරගෙන කතා කරන නිසා මෙහි කතා කරලා තියෙන්නේ මානසික රෝග අතර තියෙන එක් රෝග ඛාණ්ඩයක් වන ලිංගික මනෝ රෝග කියන එක.

ලිංගික ආසාවන්වල ඇතිවන වෙනස්කම් නිසා ඇතිවන මේ රෝග ඛාණ්ඩය විවිධාකාර විදියට ඇති වෙන්න පුළුවන්. එතැනදී වෙන්නේ යම් කිසි පුද්ගලයකුගේ ලිංගික ආශාව සාමාන්‍ය පුද්ගලයකුගේ ලිංගික ආශාවට වඩා වෙනස් වීම. ඒ අය ලිංගික ආශාව හා සතුටු වීම සිද්ධ වෙන්නේ යම් කිසි පුද්ගලයෙක් මත නෙවෙයි විවිධ අජීවී දේවල් මත. එය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනවා Fetishism (අර්චන කාමය) කියලා. ඒ අජීවී දේවල් බොහෝ වෙලාවට කාන්තාවන් පරිහරණය කරන දේවල්. උදාහරණ ලෙස කාන්තා යට ඇඳුම්, කාන්තා පාවහන් හෝ වෙනත් කාන්තා ආභරණ. බහුලව ම දකින්න ලැබෙන්නේ කාන්තා යට ඇඳුම් වලට ආශා වීම. විශේෂයෙන්ම අලුත් ඇඳුම්වලට වඩා භාවිත කළ ඇඳුම්වලට තමයි ආශාව ඇතිවෙන්නේ. මේවා කැමැත්තෙන් ලබා ගන්න බැරි නිසා මේ අය සොරකමට පෙලඹෙනවා. මේ රෝගී තත්ත්වය මුල් අවදියේදී අහම්බෙන් ඇති වන දෙයක් වෙන්න පුළුවන්. ඒ නව යෞවනයට එද්දී ගෙදර කෙනෙක්ගේ ඇඳුමක් දැකලා කුතුහලය නිසා. නමුත් මේ ආශාව වර්ධනය වුණාම ඒ ඇඳුම් ආභරණ අතපත ගාලා ඒ ක්‍රියාවලියෙන් අධික ලිංගික සතුටක් ලබනවා. ඒ අවස්ථාවේදී ඒ අයට උද්දීපනයක් ඇතිවෙලා සුරාන්තය දක්වා වුණත් යන්නට පුළුවන්.

ලෝකය පුරා ම මේ තත්ත්වය දකින්නට ලැබෙනවා. මේ අය වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ පිරිමි අය. ඉතා ම කලාතුරකින් තමයි කාන්තාවන් දකින්න ලැබෙන්නේ. ලංකාවෙත් එහෙමයි. විශේෂ වයස් ඛාණ්ඩයක් නැහැ. ඕනෙම වයස් කාණ්ඩයක කෙනෙක්ට මතු වෙන්න පුළුවන්. නමුත් සායනවලදී අපිට දකින්නට ලැබෙන්නේ තරුණ වයසේ සහ මැදි වයසේ අය. මේ අයට වැඩි වශයෙන්ම මේ ක්‍රම මඟින් විතරයි ලිංගික සතුට ලබා ගන්නට පුළුවන්. වෙනත් ලිංගික සංසරණ ක්‍රියා මඟින් ලිංගික සතුට ලබා ගන්න අපහසුයි. අනිත් දේ තමා මේ අය මේ දේවල් හොරෙන් කළාට මේ අයගෙන් අනතුරක් වීමේ හැකියාවත් අඩුයි.

මේ රෝගය පමණක් වැලඳෙන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙහි දිගුවක් විදියට මේ ඇඳුම් ඇඳලා බලලා, එළිමහනේ ඇවිදලා සතුටු වෙන අවස්ථාවකුත් තියෙනවා. එය හඳුන්වන්නේ Transvestic fetishism කියලා. තව තත්ත්වයක් තමයි ප්‍රදර්ශන කාමුකත්වය කියන තත්ත්වය. ඒ අය තමා ලිංගික අවයව වෙනත් අයට පෙන්වන්න උත්සාහ කරන්නේ.

අපි හඳුනාගත යුතු දේ තමයි මේ අයට මේ දේ පාලනය කරන්න බැරි බව. ඒ නිසා මේ අයට හිරිහැර කිරීම හෙළා දැකීම වෙනුවට ඒ අයව ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් බව.

 

Comments