අද මට පසුතැවෙන්න දෙයක් ඇත්තේ ම නෑ සිරස fm හිටපු ජනප්‍රිය නිවේදිකා සුරංගී ද අල්විස් | Page 2 | සිළුමිණ

අද මට පසුතැවෙන්න දෙයක් ඇත්තේ ම නෑ සිරස fm හිටපු ජනප්‍රිය නිවේදිකා සුරංගී ද අල්විස්

අම්මාට ඕනෑ වුණේ මාව ගුවන්විදුලි ශිල්පිණියක් කරන්න

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මීට වසර හතරකට කලින් මගේ සැමියා පියල් මිය ගියා. දැන් මගේ ලොකු පුතා සචින්ද්‍රට අවුරුදු විසි පහයි, පොඩි පුතා සවීන්ද්‍රට අවුරුදු දහනවයයි

 

"සුරංගීට දුක හිතුණා

යටිතොල කණපිට හැරුණා

මූණ රෝස පාටින් පිරුණා

කඳුළු පේළියක් වැටුණා...."

 

ප්‍රවීණ ගීත රචක, ගුවන්විදුලි ශිල්පී ප්‍රේමකිර්ති ද අල්විස්ගේ ඒ අපූරු ගීතයට පාදක වූ පුංචි සුරංගී සොයා අපි හරිත වන් කඳුශිඛර අතරින් මහනුවර හීරැස්සගල ගම්පියසට ගියෙමු. මෝසම් වැස්සෙන් හාත් පස කඳු පන්ති තෙත බරිතවී තිබුණි. උදෑසන පිපී හිනැහුණු මල් පෙති වැස්සට මුහුණ හකුළුවා ගනිද්දී ඈත අහස පුරා විදුලි අකුණු රටා මැවුණි. හිරිකඩට ගෙට එන්න නොදී ඇය දොර වසා දැමුවා ය.

 

"තාත්තා මං වෙනුවෙන් ලිව්ව මේ ගීතය ඇහෙන වාරයක් පාසා මගේ ඇස් කඳුළෙන් තෙත් වෙනවා. මම ලිව්ව "දුවකගේ කඳුළු" පොතේ ඒ කඳුළුවල උණුසුම තියෙනවා. ඒ නිසා ම ඒ පොතට විශාල පාඨක පිරිසක් ඉන්නවා. නවවැනි මුද්‍රණයත් නිකුත් වුණ නිසා ගුණසේන එකෙන් තව පොතක් ලියන්න කියලා මට නිතර ම කතා කරනවා. මේ දවස්වල හෙමින් හෙමින් නවකතා පොතක් ලියාගෙන යනවා."

සුරංගී ද අල්විස් කතාබහට මුලපිරුවේ එලෙසිනි. ගුවන්විදුලි ශිල්පිනියක වූ දයා ද අල්විස් ඇගේ අම්මා ය.

"අම්මාට තමයි ඕනෑ වුණේ මාව ගුවන්විදුලි ශිල්පිනියක් කරන්න. රූපවාහිනිය ආව කාලේ ගුවන්විදුලිය ජනතාවගෙන් ටිකක් ඈත් වුණා. එහෙම කාලෙක "සිරස" පටන් ගනිද්දී මාත් ඒකට ගියා. උදෑසන "සූරිය සිරස" වැඩසටහනට මාවයි, කිංස්ලිවයි තෝර ගත්තා. අපි ඒ වැඩසටහන කරද්දී ඉස්කෝලෙන් ඉවත් වුණා විතරයි වගේ.

අපට ලොකු බලපෑමක් තිබුණෙත් නෑ. අපට කිව්වේ ගුවන්විදුලිය අහන්න හිතෙන මාධ්‍යයක් බවට පත් කරන්න කියලා විතරයි. අපි හරි ම සැහැල්ලුවෙන්, නිදහසේ, සාමාන්‍ය ජනතාවට සුහදශීලී අයුරින් වැඩසටහන කළා. කිංස්ලියි මමයි සහයෝගයෙන් ඒ වැඩසටහන කළා. නමුත් සමහර අවස්ථාවල අපි දෙන්නා අතර මතවාද, අමනාපකම් ඇති වුණා.

ඒත් ඉතින් තරහා වෙලා ඉඳගෙන වැඩසටහනක් කරන්න බැරි නිසා අපි දෙන්නා ආයෙමත් සුහද වෙලා වැඩසටහන කරනවා. රණ්ඩු වෙවී යාළු වෙවී තමයි වැඩසටහන කළේ. ඒ වුණාට අපි හිතුවාට වඩා වැඩසටහන ගොඩාක් ජනප්‍රිය වුණා. සමහරු නම් අපට දොස් කිව්වා. භාෂාවට හානි කරනවා කිව්වා. කතා කරන භාෂාවෙන් ම වැඩසටහන කළා මිස හිතාමතා නම් විනාශයක් කළේ නෑ. මං ඇතුළු ව තමාලි, දිල්රුක්ෂි, මනීෂා, රොෂාන්, බවන්ත, සංජීවනී සහ කිංස්ලි තමයි සිරසට එකතු වුණු මුල් ම අට දෙනා. අපි අදටත් යාළුවෝ."

සුරංගි නුවර පදිංචියට යන්නේ විවාහයෙන් පසු ව යි.

"විවාහයෙන් පස්සේ හැමදෙයක් ම අතහැරලා මම නුවර පදිංචියට ඇවිත් බිරියක්, මවක් සහ ගෘහණියක් වුණා. මම නුවර පරිසරයට පුංචි කාලේ ඉඳලා හරි ම ආසයි. අම්මාගේ ගම නුවර නිසා ගමේ ආවා ම මම ආපහු කොළඹ යන්නේ අඬ අඬා. ඒ තරම් මම නුවරට කැමතියි. මගේ ලොකු පුතා සචින්ද්‍රට වයස අවුරුදු විසි පහයි, පොඩි පුතා සවීන්ද්‍රට වයස අවුරුදු දහ නවයයි. සැමියා පියල් නානායක්කාර ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ යි. ඔහු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා මීට වසර හතරකට කලින් මිය ගියා. දැන් ලොකු පුතා ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මම ඉතා ම හොඳ පවුල් ජීවිතයක් ගත කළා.

දරුවෝ දෙන්නා ව හොඳින් හදා වඩා ගත්තා. මගේ අම්මා ගුවන්විදුලි ශිල්පිනියක් හැටියට කාර්ය බහුල වුණු නිසා මං පුංචි කාලේ වැඩිපුර ම හිටියේ ලොකු අම්මා එක්ක යි. තාත්තාගේ දුරස්වීම නිසා මට තාත්තාගේ ආදරය විඳින්න ලැබුණේ නෑ. ඒක මගේ පුංචි හිතට ලොකුවට දැනිලා තිබුණා. පවුලක් විදිහට පුංචි කාලේ මට ලොකු තනිකමක් දැනුණා. ඒ නිසා විවාහ ජීවිතය සැමියා, දරුවන් එක්ක එයාලාගේ ළඟින් ම ඉන්න මට ඕනෙ වුණා. මං ඒ අතින් ජීවිතය දිනුවා.

අද මට පසුතැවෙන්න දෙයක් ඇත්තේ ම නෑ. තාත්තාගේ, අම්මාගේ කලාව ඉදිරියට ගෙනියන්න මට උනන්දුවක් නෑ කියලා සමහරු නම් දොස් කියනවා. ඒ නිසා හෙමින් හෙමින් ලියන දෙයක් කරගෙන, නුවර පරිසරයේ සුන්දරත්වය විඳිමින් ඉන්නවා."

අතරමැදින් බාධා නොකර මම අසා සිටියෙමි. ඒ ඇගේ ජීවිතය නොවේදැයි මට සිතුණි.

Comments