ලංකා නාමය ලොව බැබළ වූ කාන්තාවෝ හයක් | Page 2 | සිළුමිණ

ලංකා නාමය ලොව බැබළ වූ කාන්තාවෝ හයක්

 

යොහානි මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසඟ කරගත් පසු බොහෝ දෙනා නැවත ශ්‍රී ලාංකික කතුන් ගැන කතාබහ කරන්නට වුණා. අතීතයේ ද විවිධ වූ තමන් නියෝජනය කරන ක්ෂේත්‍ර තුළින් ලාංකේය නාමය අන්තර්ජාතිකයට ගෙන ගිය කාන්තාවන් අන්තර්ජාලයේ යාවත්කාලීන වන අයුරු අපට මුණ ගැහෙනවා. එවන් වූ කාන්තාවන් හය දෙනෙකු ගැනයි මේ තොරතුරු.

 

 

සිරිමාවෝ බණ්ඩාරනායක

අපේ රට මුලින්ම ලෝක ප්‍රසිද්ධ කළ කාන්තාව වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ඒ පළමු කාන්තා අගමැතිනිය ලෙසින්.

1916 අප්‍රේල් 17 වැනි දින රත්නපුර ඇල්ලවළ වලව්වේදී උපත ලද ඇයට නම් තබන ලද්දේ සිරිමා රත්වත්ත ලෙසය. ඇයගේ මව වූ රොසලින්ඩ් හිල්ඩා මහවලතැන්නේ කුමාරිහාමි ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරියක වූ අතර ඇගේ පියා, බාර්න්ස් රත්වත්ත දේශපාලනයේ නියැළිණි.

සිරිමා රත්වත්තේ අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්.

එවකට රාජ්‍ය මන්ත්‍රණ සභා සභිකයකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සමඟ 1940 දී විවාහ වන සිරිමා රත්වත්තේ එතැන් පටන් සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක විය.

දෙවැනි එලිසබෙත් රැජිනගේ කිරීටය යටතේ (1960 ජූලි 21– 1965 මාර්තු 25 සහ 1970 මැයි 29 – 1977 ජූලි 23) ද ඇගේ ම දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පාලන සමයේ (1994 නොවැම්බර් 14 – 2000 අගෝස්තු 10) ද තෙවරක් ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර දරන්නට භාග්‍යවන්ත විය.

සොලමන් බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය දැරීය. 1977 පක්‍ෂ ය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය. ඇගේ පාලන සමයේදී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය.

 

 

සිබිල් වෙත්තසිංහ

 

සොඳුරු ළමා කතා ඔස්සේ දෙස් විදෙස් ළමා ළපටින්ගේ සිත් දිනූ සිබිල් වෙත්තසිංහ 1957 වසරේ දී ඇගේ ප්‍රථම ළමා ග්‍රන්ථය වූ ‘කුඩ හොරා’ මුල් වරට ප්‍රකාශයට පත් කරන ලදී. එලෙස එළි දුටු ඇගේ "කුඩ හොරා" කෘතිය කතාවත්, චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළ අතර, එතැන් පටන් ඈ විසින් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන දිනා ඇත.

1965 දී "වෙසක්‌ පහන" කෘතියට මහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවීම, 1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් "කුඩ හොරා" පොත සම්මානයට භාජනය වීම හා ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මඟින් 1987 වසරේ ඉතා ම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම, හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ "දුවන රැවුළ" පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි.

 

 

අයිෂ්චර්යා පීරිස්‌

 

ජාත්‍යන්තර බීබීසී නාළිකාව මඟින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ කාන්තාවකගේ නමක් ඇතුළත් වුණා. ඒ නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණ ශිල්පිනියගේ නාමයයි.

2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. ඇගේ පෙනීම අහිමිවුවත් ඇය ලැබුණ බාධක හමුවේ ජීවිතය ජයගත් අතර මේවනවිට ජාත්‍යන්තර කීර්තිය දිනූ මෝස්තර නිරූපණ ශීල්පිනියක්.

 

 

ඔටාරා ගුණවර්ධන

 

ව්‍යාපාර ක්ෂේත්‍රයේ ව්‍යවසායිකාවක් ලෙසින් සිය ගමන් මඟ අරඹන ඔටාරා ගුණවර්ධන ශ්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරයේ ද ප්‍රසිද්ධ වෙ‍ෙළඳ නාමයන් වන ODEL සහ Embark හි නිර්මාතෘවරියයි.

ඔටාරා ඩෙල් ගුණවර්ධන උපත ලබන්නේ 1964 අගෝස්තු 30 වැනි දින කොළඹ දී යි. කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි සිසුවියක් වන ඇය පාසල් සමයේ දී ලෙල ක්‍රීඩා සහ පිහිනුම් ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝලිං ග්‍රීන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධාරිනියක් ද වනවා.

1990 වසරේ දී ඇය ඇරඹූ ODEL විලාසිතා සමූහය දශක දෙකක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ පොදු සමාගමක් බිහි කළ ප්‍රථම කාන්තාව වන්නේ ද ඇයයි. 2010 දී ඇමෙරිකානු ස්ටීවි සම්මාන උලෙළේ දී හොඳ ම කාන්තා ව්‍යවසායකයාට හිමි සම්මානය ඇයට හිමි වූ අතර 20013 දී Echelon සඟරාව මඟින් ශ්‍රී ලංකාවේ බලවත් ම ව්‍යාපාරික කාන්තාව ලෙස ඇය ව නම් කළා.

මේ වන විට ඇය හඬක් නැඟිය නොහැකි සතුන් වෙනුවෙන් හඬක් සැපයීම අරමුණ කරගනිමින් සත්ත්ව ශුභසාධනය සඳහා Embark සන්නාම යොදා ගනිමින් අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා.

 

 

ජයන්ති කුරුඋතුම්පාල

 

එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙසට වාර්තා පොතට එක් වූ ජයන්ති කුරුඋතුම්පළ, ජොහාන් පීරිස් සමඟ 2016 මැයි 21 වැනි දින පෙරවරු 5.03 ට එවරස්ට් කඳු මුඳුනට පා තැබුවා.

ඇගේ එම ජයග්‍රහණයත් සමඟ එවරස්ට් කන්ද තරණය කළ කාන්තාවන්ගේ ලැයිස්තුවේ පෝලන්තය, දකුණු අප්‍රිකාව සහ ක්‍රොඒෂියාවෙන් පසු ව හතර වැනි ස්ථානය හිමි වන්නේ ශ්‍රී ලංකාවටයි.

1979 සැප්තැම්බර් 3 වැනි දින උපත ලැබූ ජයන්ති කුරුඋතුම්පළ කොළඹ බිෂොප් විද්‍යාලයේ අදි සිසුවියක්. කැපවීම හා අධ්ෂ්ඨානය තුළින් තම නම ගිනස් පොත දක්වා ගෙන ගිය හෙළ කාන්තාවක් විදියට ජයන්ති කුරුඋතුම්පළ ඉතිහාසයට එක් වී තිබේ.

 

 

සුසන්තිකා ජයසිංහ

 

‘ආසියාවේ කළු වෙළඹ’ නමින් විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලාංකීය නාමය ලෝ තලයේ රැඳ වූයේ 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී මීටර් 200 දිවීමේ ඉසව්ව සඳහා වන රීදි පදක්කම දිනා ගනිමින්. ඒ සඳහා ඇය තත්පර 22.28 ක කාලයක් ගත කර ඇති අතර එය එම ඉසව්ව සඳහා වන ඇගේ පෞද්ගලික වාර්තාව ද විය.

1975 අගෝස්තු 17 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ උඩුවක අැත්නාවල කුඩා ගම්මානයක උපන් සුසන්තිකා මීටර 100 හා මීටර 200 ඉසව් ප්‍රගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියකි. ඇයට දිවීමට අවශ්‍ය සපත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වූ අතර, ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩා කල නොතිබිණ. එසේවුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරග හා IAAF ලෝක ශූරතා තරගවල පදක්කම් ලබාගැනීමට තරම් තත්ත්වයකට ඇය ධෛර්යවන්ත වුවාය.

සුසන්තිකා ජයසිංහ විසින් දිනා ගන්නා ලද එම රිදී පදක්කම ශ්‍රී ලාංකිකයකු විසින් ලබා ගන්නා ලද දෙවැනි ඔලිම්පික් පදක්කම වන අතර ආසියානුවකු විසින් කෙටි දුර දිවීමේ ඉසව්වක දී ඔලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය.

 

Comments