එක දෙයක් හරි, හරියට කළොත් ජනප්‍රිය වෙන්න ඒ එක දෙයත් ඇති | Page 2 | සිළුමිණ

එක දෙයක් හරි, හරියට කළොත් ජනප්‍රිය වෙන්න ඒ එක දෙයත් ඇති

 

 

මේ දිනවල ටෙලි නාට්‍ය කලාව යම් සුබවාදී ගමන් මඟකට පිවිස ඇති බව පෙනෙන්නට ඇත. කලෙකට පස්සේ චම්පා ශ්‍රියාණි ද සිය රංගනයන් ඔස්සේ කරළියට පිවිස සිටින අයුරු අප දකින්නේ "සකර්ම" ටෙලි නාට්‍යයෙනි. ශාන්ත දිසානායකගෙ පරඬැල් නවකතාව, ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය, චන්දන ලියනගුණවර්ධන නිෂ්පාදනයෙන් "සකර්ම" ටෙලි නාට්‍ය මේ දවස්වල විකාශ වෙනවා. මම ඒකෙ මවගේ චරිතය නිරූපණය කරනවා. කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියංකර රත්නායක, පබෝදා සංදීපනී ඇතුළු බොහෝ පිරිසක් මේකෙ රඟපානවා. ගයන්න, වයන්න, නටන්න දක්ෂ අලුත් පිරිසක් අද ක්ෂේත්‍රයේ ඉන්නවා. රූගත කිරීම් නැති වෙලාවට අපි හැමෝම හරි ම සතුටින්, විනෝදයෙන් හිටියා. ප්‍රියන්ත ප්‍රනාන්දු ඉතා ම දක්ෂ ලෙස අපි ව මෙහෙයවූවා.

 

චම්පා වෘත්තීය රංගන ශිල්පිනියක් වුවත් ඇය නිර්මාණවලට සම්බන්ධ වන්නේ ඉතා අඩුවෙනි. අංග සම්පූර්ණ පිටපතක්, මුල මැද අගක් නැති නිර්මාණ මම බාර ගනේ නැහැ. මම මේ ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ වැඩ කළේ පිළිවෙළක් ඇතිවයි. අනික දැන් අපි තරුණ වයස පහුකරලා ඉන්න නිසා චරිතාංග රංගනයක් කරනවා හැර පෙනී සිටීමේ චරිත කරලා වැඩක් නෑ. සකර්ම මම බාර ගත්තේ මේ හැම දෙයක් ම ඒ නාට්‍යයේ තිබුණ නිසයි. කාලෙකට පස්සේ වැඩක් කළත් ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් තියෙනවා.

රඟපෑ චරිත සංඛ්‍යාව අවු වුණත්, බැද්දේගෙදර, වනවදුලේ වසන්තය, කටු ඉඹුල, ගංගා සහ නිශ්ශංක වැනි ටෙලි නාට්‍යවල ඇය රඟපෑ චරිත නිරූපණයන් අදටත් බොහෝ අයට මතක ය. වසංගත සමයේ එම නාට්‍ය නැවත විකාශය වීම නිසා ප්‍රේක්ෂක මතකයන් යළි අවදි විය.

ඇත්තට ම පහුගිය කාලේ ගෙවල්වල ගොඩාක් අය ටෙලි නාට්‍ය නැරඹීමෙන් ඉවත් ව සිටියා. ඒ නාට්‍යවලින් වැඩි හරියක් දරුවන්ට දෙමව්පියන්ට එකට ඉඳලා බලන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. පරණ නාට්‍ය නැවත විකාශය වෙන්න පටන් ගත්තාට පස්සේ මිනිස්සු ඒවා බලනවා. ඒකෙන් පැහැදිලි වෙනවා හොඳ නිර්මාණවලට ඉඩක් තියෙනවා කියලා.

දීර්ඝ කාලයකට පසුව රඟපෑමට අවතීර්ණ වීම ඇයගේ සිතේ යම් චකිතයක් ද ඇති කරවීය. ඉස්සර නම් මට එක දිගට කියන්න දෙබස් හොඳට මතක තිබුණා. දීර්ඝ කාලයකට පස්සේ නිසා ඒ ශක්තිය මට නැති වෙලාද දන්නේ නෑ කියලා බයක්, චකිතයක් තිබුණා. නමුත් රඟපාද්දි තේරුණා මතකයේ ප්‍රශ්නයක් තාමත් මට නෑ කියලා. ප්‍රියන්තගේ කැමරා කෝණ ඇතුළෙ රඟපාන්න හරිම අමාරුයි කියලා මම දැනගෙන හිටියා. මම ඔහු එක්ක පළමු වතාවටයි වැඩ කළේ. හැම අතින් ම සාර්ථක වුණා කියලා පේනවා. සතුටුයි.

චම්පා සිය ජීවිතයේ දියණියක් ලෙසත්, බිරිඳක් ලෙසත්, මවක් ලෙසත් වගකීම් හා යුතුකම්වලට වැඩි ඉඩක් වෙන් කළ ගැහැනියකි.

මගේ අම්මා අවුරුදු 85ක් වෙනකන් මම මගේ ළඟ තියාගෙන බලා ගත්තා. මට දූලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාගේ වයස් පරතරය අවුරුදු 10යි. දරුවෝ දෙන්නා ම සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කඩඉම් පහු කරනකම් මම ඒ දෙන්න වෙනුවෙන් නැවති නැවතී තමයි නිර්මාණ කටයුතුවලට යොමු වුණේ. ඒ අතරේ හොඳ වැඩත් ලැබුණා. රූගත කිරීම්වලට ගිහින් ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ අතපසු වෙයි කියලා ලැබුණු ගොඩාක් දේවල් ප්‍රතික්ෂේප කළා. දූලා දෙන්නාගේ පාසල් අධ්‍යාපනය ඉවර වෙනකම් මම ළමයි ළඟ හිටියා. වැඩක් බාරගත්තොත් කොළඹින් පිට යන්න වෙනවා. එහෙම වුණොත් දරුවන්ට ලොකු වරදක් වෙනවා. අපි හැමදෙයක්ම කරන්නේ දරුවො වෙනුවෙන්නේ. මොන දේවල් කළත් අන්තිමට දරුවන්ට ඒකෙන් ප්‍රතිඵලයක් හොඳක් නැත්නම්, දරුවන්ට සිද්ධවෙන්නේ කරදරයක් නම් අපි මවුවරු හැටියට අවසානයේ පසුතැවීමට පත් වෙනවා. ඒ නිසා මං අදටත් හිතන්නේ මං අනුගමනය කළ පිළිවෙත් නිවැරදියි කියා යි. ලොකු දුව උපාධියත් අවසන් කළා. දැන් එයා විවාහ වෙලා රැකියාවක් කරනවා. එයාට චූටි පුතෙකුත් ඉන්නවා. ඒ කියන්නේ මං දැන් ආච්චි අම්මා කෙනෙක්."

චම්පාගේ ලස්සන ම තරුණ කාලේ ඇය වැඩි හරියක් හිටියේ රංගන ක්ෂේත්‍රයේ නොවේ. ඒ අහිමි වීම් ගැන ඇයගේ සිතේ පසුතැවීම් නැතුවා ම නොවේ.

ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මගේ තරුණ කාලේ හිටපු අංක එකේ අධ්‍යක්ෂවරයායි. ඔහුගේ වෙස්මුහුණු නාට්‍යයට මට ආරාධනා ලැබුණත් ලොකු දුව ලැබෙන්න හිටිය නිසා මම බැහැ කිව්වා. ජයන්ත අයියා එයාගෙ අලුත් නිර්මාණයටත් මට කතා කළා. ඒ වෙලාවෙ මගේ මුනුපුරා ලැබෙන්න හිටිය නිසා මට ඒකටත් යන්න ලැබුණේ නෑ. ජයන්ත අයියා වගේ කෙනෙක්ගේ නිර්මාණයක් මට අතහැරීමට සිදුවීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. ඒ වගේ ම වසන්ත ඔබේසේකර මහත්මයාගේ නිර්මාණයකුත් මට ඒ කාලෙ අතාරින්න සිදු වුණා. ඒ මගේ දරුවෝ අතෑරලා යන්න බැරි නිසා. ඒ ගැනත් දුකයි.

පාසලේ රූගත කෙරුණු නිර්මාණයකට දායක වීමට අහම්බෙන් ලැබුණු අවස්ථාවෙන් පසු හිමි අහිමි ටෙලි නාට්‍ය රංගනයෙන් ක්ෂේත්‍රයට පිවිසි චම්පා මුලසිට ම ප්‍රවීණ ශිල්පීන් සමඟ එකට වැඩ කිරීමෙන් ම පන්නරයක් ලැබුවා ය. ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් ඔස්සේ සිය රංග කෞශල්‍යයන් ඔප්නංවා ගත්තා ය.

ප්‍රවීණයින්ගේ ඇසුර රංගන පාසලකට ගියා හා සමානයි. ඒවගේ ම ඒ කාලේ අද වගේ ෆෝන් තිබ්බෙ නෑ. ඒ නිසා ම අපි ගොඩාක් පොත් කියෙව්වා. ඒ පොත්වල තිබුණු චරිත අපේ රංගනය දියුණු කර ගන්න ලොකු උදව්වක් වුණා. උතුවන්කන්දේ සරදියෙල් නිර්මාණයේ රංගනය වෙනුවෙන් හොඳ ම නිළිය වශයෙන් නිර්දේශ වුණා. වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියට තෝරලා වැඩ කරන්න බැරි වුණත්, මගේ සැමියා රැකියාවක් කරන නිසා මම අරපිරිමැස්මෙන් වැඩ කළා. අපට ඉන්න ගෙයක්, යන්න එන්න වාහනයක් තියෙනවා. මම ලස්සනට පිරිසිදුව අඳිනවා. ප්‍රසන්න ව ඉන්නවා. අවශ්‍ය දේටයි, අනවශ්‍යදේටයි මුදල් නාස්ති නොකර සැමියායි, දරුවෝ දෙන්නයි එක්ක සරල ව සතුටින් ජීවත් වෙනවා. සීමාව ඉක්මවලා උපයන්න ගියොත් තමයි ප්‍රශ්නත් වැඩි වෙන්නේ. අද පවුලක් හැටියට අපි ගොඩක් සතුටු වෙනවා. ජනප්‍රියත්වය වුණත් ඕනෑවට වඩා ඕනෙ ම නෑ. එක දෙයක් හරි, හරියට කළොත් ජනප්‍රිය වෙන්න ඒ එක දෙයත් ඇති. කවදා හරි දවසක මේ ඔක්කොම දාලා අපට යන්න වෙනවා. එදාට හිත නිදහසින් යන්න තියෙන්න ඕනේ. ඒ අතින් මම සාර්ථක යි." ඇය එසේ කීවේ ඉමහත් සැහැල්ලුවෙනි.

Comments