මගේ රංගනය මම තුට්ටු දෙකට පාවා දෙන්නෙ නැහැ | Page 2 | සිළුමිණ

මගේ රංගනය මම තුට්ටු දෙකට පාවා දෙන්නෙ නැහැ

 

 

සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා නැතහොත් ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා සමඟ තැලි පිලි ඇඳ පෝරුමස්තකප්‍රාප්ත වූ දමිළ මනාලිය සිනමා ඉතිහාසයේ නොමැකෙන මතකයකි. සිනමා අධ්‍යක්ෂවරියක වූ සිය මව නිසා ම ඇය සිනමාවට පිවිසෙනවිට මාස පහක බිළිඳියකි. සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය ආදී ක්ෂේත්‍රයන්හි සම්මානනීය කෞශල්‍ය පෑ ඇය විදෙස් නිර්මාණ රැසකට ද රංගනයෙන් දායක වූවා ය. වීණා ජයකොඩි නම් ඈ හමු වූයේ කලෙකට පසුව ය.

 

"කැන් යූ හියර් මී" ටෙලි නාට්‍යයෙන් පස්සෙ තව ම මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා නෑ. දැන් ටෙලි නාට්‍ය කෙරෙන හැටි දැක්කා ම මට හිතුණා ගෙදරට වෙලා ඉන්න එක හොඳයි කියලා.

මම මුලින් සම්බන්ධ වුණේ 'අත්ත බිඳෙයි' ටෙලි නාට්‍යයට යි. කණ්ඩායමක් හැටියට හැමෝම හොඳ එකමුතුවකින්, එකිනෙකාට ගෞරවයෙන්, පිළිවෙළට, ශිල්පීය බවකින් වැඩ කළා. එයින් පස්සේ සම්බන්ධ වුණු නිර්මාණවලත් ඒ බව තිබුණා. අද දන්න අයයි, නොදන්න අයයි හැමෝ ම ටෙලි නාට්‍ය හදනවා. පුළුවන් අයයි බැරි අයයි හැමෝම රඟපානවා. චරිතෙට අවශ්‍ය කෙනාද නැද්ද නොබලා ලාබෙට ලේසියට කවුරු හරි අරන් රූගත කරනවා.

එකම වාහනෙන් හැමෝම එකතු කරගෙන යනවා. හැමෝගෙම වැඩ ඉවර වෙනකන් හැමෝම කාලය නාස්ති කරමින් දුක් විඳිමින් දර්ශනතලවල බලා ඉන්නවා. සමහරු තමන්ට ඊළඟ අවස්ථාව නැති වෙයි කියලා හැම දේම ඉවසගෙන ඉන්නවා. මට එහෙම බෑ. සල්ලි හොයන ටෙලි නාට්‍ය තමයි දැන් වැඩිපුර තියෙන්නේ. කලාත්මක නිර්මාණ අඩුයි. මම කාටවත් පන්දම් අල්ලලා ආව කෙනෙක් නෙවෙයි. මම බොහොම කැපවීමෙන් මගේ රංගන ජීවිතය ගොඩ නඟා ගත්ත කෙනෙක්. තුට්ටු දෙකට මගේ ආත්මයත්, රංගනයත් පාවා දෙන්න මට බැහැ."

සිය මව විසින් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකයන්ට තමා ව හඳුන්වා දීම රංගන ජීවිතයේ සුවිශේෂ ගමනක ඇරඹුමක් වූ බව වීණා සිහිපත් කළේ කෘතවේදීත්වයෙනි.

"සාගරයක් මැද චිත්‍රපටයේ රූගතකිරීම් අතරේ මම කොණ්ඩෙ බැඳලා, සාරියකුත් ඇඳගෙන, අම්මාගේ චරිතය කරමින් ඉඳලා අඹ ගහක් උඩ නැඟලා අඹ කැඩුවා. ඒ වෙලාවේ ගාමිණී ෆොන්සේකා මහතා ‍‍'අර ගෑනිට බහින්න කියනවා බිමට' කියලා කෙනෙක් ගහ ළඟට එවලා තිබුණා. ගාමිණී ෆොන්සේකා මහත්මයා අපට රඟපෑම වගේ ම චරිතයක ගරුත්වය, රූගත කිරීමක් අවසන් වනතුරු චරිතයේ ඒකාත්මික බව රඳවා ගැනීම, නිර්මාණ කාර්යයේදී තිබිය යුතු විනය හොඳින් ඉගැන්වූවා. ගාමිණී මහත්මයා එක්ක වැඩ කරද්දී මං හොඳට බැණුුම් අහලා තියෙනවා"

මදර් තෙරේසා සිනමා පට දෙකක්, රෝඩ් ටු බැංගලෝර්, පීටර් වන්, අ කොමන් මෑන්, මැතිව් ආදි විදේශීය නිර්මාණ රැසකට ද වීණා රංගනයෙන් දායක වූවා ය.

"ඒ අවස්ථා බොහෝමයක් මට ලැබුණේ චන්ද්‍රන් රත්නම් මහතා නිසයි.

ඊට පස්සෙත් විදේශීය නිර්මාණ බොහොමයකට මට ආරාධනා ලැබුණා. සමහර ඒවට මට යන්න බැරි වුණා. ඕනෑවට වඩා ඒවා හඹාගෙන යන්න මට ආසාවක් තිබුණේ නැහැ. මේ රටේ කරපු දේවල් ගැන මම සෑහීමකට පත් වෙනවා. විදේශ රටවලින් ලැබිච්ච ඇගයීම් වටිනවා. විදේශීය නිර්මාණකරුවෝ එක්ක වැඩ කරද්දි වෙලාව, පිළිවෙළ හරියට ම තිබුණා. මට ඒ දේවල් අමුතු දෙයක් වුණේ නැහැ. මොකද ගාමිණි ෆොන්සේකා මහත්මයා එක්ක වැඩ කරද්දි පිළිවෙළක්, විනයක් තිබුණා."

ඇයගේ සැබෑ ජීවිතයත් සිනමාපටයක තිර කතාවක් වගේ යැයි විටෙක මට සිතිණි.

"තරුණ කාලෙම පණ වුණත් දෙන්න කියලා හිතලා ප්‍රේමයක පටලැවිලා විවාහ වුණා. වැඩිමල් දුව, ඊට පස්සේ පුතාලා දෙන්නයි. විවාහය දෙදරා ගියා. ළමයි එක්ක තනියම ජීවත්වෙන්න අමාරුයි කියලා හිතලා දෙවන විවාහයක් කර ගත්තා. ඒකත් අසාර්ථකයි. මං ළමයි තුන්දෙනා හොඳට හදා ගත්තා. ලොකු පුතා මාත් එක්ක ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයක රඟපෑවා. දුවට ආරාධනාවක් ලැබුණු වෙලාවක දුව කිව්වේ 'අනේ අම්මා වින්ද දුක මට නම් විඳින්න බෑ' කියලයි. සිනමාවට සම්බන්ධ වෙන්නත් කලින් මට විවාහ යෝජනාවක් ඇවිත් තිබුණා. එයා ගොඩක් සැර පරුෂ කෙනෙක් නිසා මම ඒ කාලෙ කැමැති වුණේ නැහැ. ඊට අවුරුදු 30 කට විතර පස්සේ අපි නැවත හමු වුණා. මම ඔහු සමඟ දෙදහස් එකේදි මගේ දරුවන්ගේ කැමැත්ත ඇතිව විවාහ වුණා. ඔහු සමඟ විදේශගතවත් ටික කාලයක් හිටියා. මීට වසර දෙකකට විතර කලින් ඔහු පිළිකා රෝගයකින් මිය ගියා. මම දැන් ගහ කොළ සොබාදහම විඳිමින් නිදහසේ ඉන්නවා. අල්ලපු ගෙදර මගේ දුව ඉන්නවා. මගේ දරුවන්ගේ දරුවෝ හය දෙනෙක් ඉන්නවා. මම දවසේ වැඩි වෙලාවක් දෙවියන් වඳිනවා. ඉතින් මට මොන තනිකමක් ද...."

Comments